Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරදුන් නෑ හිතවතුන්ට දහම් දායාදය දුන් උතුම් මැදින් පුර පෝය

ශාක්‍යවංශ රජවරු, කුමාරවරු මානයෙන් උදම් වූ අය වූහ. බුදුන් වහන්සේ බුදු බවට පත් වූවද තමන්ට වඩා, වයසින් බාල යැයි සලකා බුදුරදුන්ට වැඳීම ප්‍රතික්‍ෂේප කළ අතර බාල කුමාර, කුමරියන් ලවා පමණක් වැන්ද වූහ. මොවුන්ගේ අදහස් උදහස් අවබෝධ කරගත් බුදුන්වහන්සේ ඔවුන්ගේ මානය දුරුකරනු පිණිස අහස් කුසට නැග යමා මහ පෙළහර පා වදාළ සේක. මෙය දුටු සුදොවුන් මහා රජු තම පුතු ගෞතම බුදුන් වහන්සේට තෙවන වරටත් වැන්දෝය.

අප තථාගත බුදුපියාණන් වහන්සේ විසිදහසක් පමණ මහා සංඝරත්නය සමග රජගහනුවර වේළුවනාරාමයේ සිට සිය පිය රජුන් හා ශාක්‍ය වංශික නෑ හිතමිතුරන් හමුවන්නට කිඹුල්වත් පුරයට ගමන් අරඹන ලද්දේ මැදින් පොහෝ දිනයේදී ය. කෙටියෙන්ම කියතොත් වේළුවනපුර සිට කිඹුල්වත්පුරයට කතාව මැදින් පෝය කතාවේ ප්‍රධාන වස්තු බීජය ලෙස හැඳින්විය හැකි ය.

බුදුන් වහන්සේගේ කිඳඝෝෂා දඹදිව පුරා, පැතිරයන්නට විය. සිදුහත් කුමරු සියලු කෙලෙස් නසා, වෙසක් පුනු පොහෝදා, බුද්ධත්වය ලබාගත් සේක. ඇසළ පුනු පොහොය දිනයේ දී ධම්මචක්ක පවත්වන සූත්‍රය දෙසා රජගහ නුවර වැඩ විසූහ. උන්වහන්සේගේ සත්‍ය ධර්මය අවබෝධ කරන්නට අති විශාල පිරිස් එක් රොක් වන්න විය. සියල්ල මෙසේ සිදුවද්දී සිදුහත් පුත්රුවන දැක ගැනීමේ බලවත් ආශාවක් සුදොවුන් මහා රජතුමන්ට ඇතිවිය. සිය බලපරාක්‍රම මහිමය මෙන්ම, ප්‍රෞඪත්වය ද රජු සතු විය. අරමුණ ඇතිව ඇමතිවරයෙක් දහසක් පිරිවරා සේනාවක් සමග යැව්වේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර සිට කිඹුල්වත් පුරයට වඩමවාගෙන ඒම සඳහා ය. මෙම දූත පිරිස බුදුරදුන් හමුවට ගියද ආපසු පැමිණියේ නැත. සුද්ධෝදන රජතුමා, නව වතාවක් මෙසේ අමැතිවරුන් නව දෙනෙක් සමග නව දහසක් පිරිස කපිලවස්තු පුරයට යැවු නමුත්, බුදුන් වහන්සේ කිඹුල්වත් නුවර රජ මැදුරට වඩමවා ගන්නට නොහැකි විය. බුදුරදුන් බැහැදකින්නට ගිය පිරිස් අප තථාගතයන් වහන්සේගේ සද්ධර්මය අසා රහත්ව පැවිදි බවට පත් විය.

සුද්ධෝදන පියරජු විසින් අප තථාගත බුදුපියාණන් රජ මැදුරට ගෙන්වා ගැනීම සඳහා අපූරු උපායක් මෙවර යොදන ලදී. සිදුහත් කුමරු උපන් දිනයේම ඉපදුණු කාලුදායි ඇමැතිවරයා දහසක් පිරිස සමග බුදුන්වහන්සේ හමුවට යැව්වේ කිඹුල්වත් නුවරට වඩින ලෙස ආරාධනා කිරීමට ය. නැණවත්, බුද්ධිමත් කාලුදායි ඇමැතිවරයා, තමාට මහණවන්නට, පැවිදිවන්නට අවසර දෙන්නේ නම් බුදුන්වහන්සේ කැඳවාගෙන එන්නට උත්සාහ කරන බව පැවසීය. ඇමැතිවරයා ඇතුළු දූත පිරිස බුදුරදුන්ගෙන් සද්ධර්මය අසා රහත්ව මහණ විය. මේ වන විට, බුදුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා විසිදහස ද ඉක්මවීය. මෙයින් දස දහසක් පැමිණීම ශාක්‍ය ජනපදවාසීන් වූහ. අංග හා මගධ දෙරටින් පැමිණ පැවිදි වූ පිරිස දසදහසකි.

කාලය කෙමෙන් ගෙවී ගියේ ය. කාලුදායී රහතන් වහන්සේ මහණවීමෙන් සතියකට පසුව කිඹුල්වත් පුරයට තමාගේ ගම් පියසට වඩින ලෙස බුදුන්වහන්සේට ඇරයුම් කළහ. තවද පිය රජු, බුදු හිමිපාණන් දකින්නට බලවත් ආශාවෙන් සිටින බව කාලුදායි හිමිපාණෝ පැවසූහ. බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්ව මාස දහයක් දැන් අවසන් වී ඇත.

ඔදවත්, තෙදවත්, පෞරුෂයෙන් යුක්ත අප තථාගත බුදුපියාණන්ගේ කිඹුල්වත් පුර ගමනට ආසිරි පුදන්නට මෙන් පරිසරයද ඉතා දැකුම්කළු සිරියක් උසුලන්නට විය. මුළු පෙදෙස පුරාම සුවඳ පැතිරෙන්නට විය. රජගහ සිට කිඹුල්වත් නුවර දක්වා නව අසිරිමත් සිරියක් දක්නට ලැබිණි.

මෙකී ඥාති සංග්‍රහයට මූලික වූ මෙම දිනය උදා වූයේ මැදින් පොහෝ දිනයේ වීම වැදගත් ය. එම නිසා බෞද්ධ ශාසනික ඉතිහාසයේ ඉතා වැදගත් දිනයක් ලෙස මැදින් පොහෝ දිනය හැඳින්විය හැකි ය. රජගහනුවර සිට කිඹුල්වත් නගරයට පැමිණීම සඳහා මාස දෙකක පමණ කාලයක් ගත වූ බව ශාසන ඉතිහාසයේ දැක්වෙයි.

ශාක්‍යවංශ රජවරු, කුමාරවරු මානයෙන් උදම් වූ අය වූහ. බුදුන් වහන්සේ බුදු බවට පත් වූවද තමන්ට වඩා, වයසින් බාල යැයි සලකා බුදුරදුන්ට වැඳීම ප්‍රතික්‍ෂේප කළ අතර බාල කුමාර, කුමරියන් ලවා පමණක් වැන්ද වූහ. මොවුන්ගේ අදහස් උදහස් අවබෝධ කරගත් බුදුන්වහන්සේ ඔවුන්ගේ මානය දුරුකරනු පිණිස අහස් කුසට නැග යමා මහ පෙළහර පා වදාළ සේක.

මෙය දුටු සුදොවුන් මහා රජු තම පුතු ගෞතම බුදුන් වහන්සේට තෙවන වරටත් වැන්ඳේ ය. ඉන් අනතුරුව සෙසු ශාක්‍ය කුමරුවරුන් බුදු හිමියන්ට වැඳුම් පිඳුම් කළහ. රැස්ව සිටි පිරිසට බුදුන්වහන්සේ වෙස්සන්තර ජාතකය දේශනා කළහ.

පසුදින බුදුරජාණන් වහන්සේ විසිදහසක් පමණ භික්‍ෂූන් වහන්සේ පිරිවර ගෙයින් ගෙට පිඬුසිඟා වැඩියහ. මෙම පණිවිඩය, යශෝදරාවන්ගෙන් ලද වහාම මහත් ලජ්ජාවට හා කම්පාවට පත් වුණු සුදොවුන් රජු තම ශාක්‍ය වංශයට එය බලවත් කැළලක් බව බුදුපියාණන්ට පැවසුවේ ය.

මහරජතුමනි, මේ අපගේ වංශයේ බුද්ධ වංශයේ සිරිත යැයි කියමින් ඔහුට ධර්ම දේශනා කළහ.

එම දෙසුමේ දී මෙහි පහත සඳහන් ගාථාව

ධම්මං චරෙ සුචරිතං - නතං දුච්චරිතං චරෙ
ධම්මචාරී සුඛං සේති – අශ්මිං ලොකෙ පරමාභිච

ආශි‍්‍රතව කරන ලද දහම් දෙසුමේ දී සුද්ධෝදන මහරජතුමා සකෘදාගාමී ඵලයට පත්වුණු අතර මහා ප්‍රජාපතී ගෝතමිය සෝවන් ඵලය ලබා ගත්තා ය.

අප තථාගත බුදුපියාණන් හමුවන්නට යශෝදරාව නො පැමිණියා ය. ‘මගේ කිසියම් ගුණයක් ඇත්නම් භාග්‍යවතුන් වහන්සේ මා සොයා වඩිනවා ඇති.’ බුදුන් වහන්සේ තම පියාණන් වහන්සේ සමග යශෝදරාව වෙත වැඩිය අතර එය ඉතා සංවේදී හමුවක් විය. ඇය බුදු පතුල් අල්ලා හඬා වැටෙන්නට වූවා ය.

වනයේ ගොසින් මල් යහනක නිදනවද
කෝමල අනගි සිරිපා දෙක රිදෙනවද
තිඟේ නැතුව දෙවියෝ මුර කරනවද
මගේ ඇත් රජුනි අද ඔබ කොතනැකද?

මෙවන් සිතිවිලි යශෝදරාවන්ට පහළවන්නට ඇත. තමන් සිදුහත් කුමරුන් සමග ගතකළ ජීවිතයත්, රහල් පුතු උපන්දා, ඇගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් ගිහිගෙයින් නික්මයෑමක් නිසා රජමැදුරේ තනිවුණු යශෝදරාවන් අප තථාගත හිමිපාණන් දුටුවිට ඇති වූ හැඟීම් කෙබඳු යැයි සිතිය හැකි ද?

අප තථාගත බුදුපියාණන් යශෝදරාව ඇතුළු පිරිසට සඳ කිඳුරු ජාතකය වදාරමින් බණ දෙසූ සේක.

අප තථාගතයාණන් වහන්සේගේ කිඹුල්වත් සංචාරයේ හත්වන දිනය එළඹියේ ය. යශෝදරාව සිය රහල් පුතුට නරසීහ ගාථා කියාදී පියගුණ කියා දී තම පියා වූ ගෞතම බුදුන් වහන්සේගෙන් උන්වහන්සේ සතු ධනය ඉල්ලා ගන්නා ලෙස පැවසුවා ය. රහල් කුමරු බුදුරදුන් පසු පස විහාරයටම ගියේ ය. ඔහු මහණ කරන ලෙස සැරියුත් හිමියන්ට දැන් වූ සේක. රජ කිරුළට හිමි කම් කී කුමරු මෙසේ මහණ කිරීම, සුදොවුන් මහ රජුගේ ඉමහත් ශෝකයට හේතු විය. රජු කෙතරම් කම්පාවට පත්වීද යත් හේ බුදුන්වහන්සේ හමුව මෙම අදහස් පළ කළේ ය.

“භාග්‍යවතුන් වහන්ස, දරු සෙනෙහස ඕනෑම කෙනෙකුගේ ඇට, මස් මිදුලු වලට කිඳා බැසගෙන ඇත. මවුපියන්ට දරුවන් තරම් ඔවුන් සතු තවත් වස්තුවක් නොමැත. ස්වාමිනී, මවුපිය අවසරයෙන් තොරව දරුවකු මහණ නොකරන්නේ යැයි ඉල්ලා සිටියේ ය.” සුදොවුන් රජුගේ ඉල්ලීම පිළිගත් අප තථාගතයාණන් වහන්සේ මවුපිය අවසරය නොමැතිව දරුවන් මහණ නොකරන ලෙස අනුශාසනා කළ සේක. පසුදින උන්වහන්සේ මාලිගයට වැඩම කොට දන් වළඳා සුදොවුන් රජු ඇතුළු පිරිස ධර්මපාල ජාතකය දේශනා කළ සේක. සුදොවුන් රජු අනාගාමී ඵලය ලබාගත්තේ ය. මෙම සියලු කරුණු මැදින් පෝය දිනය ඇසුරු කරගෙන සිදු විය. මේ උතුම් මැදින් පුර පෝදා අප බොදු උවැසි උවැසියන් දාන, ශීල, භාවනා ආදියේ යෙදෙමින් පින් කම්වල නියැළෙන්නේ අප තථාගත බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය සිහිපත් කරමිනි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.