Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය
ශීලය හා ශික්‍ෂාප ද අතර වෙනස පැහැදිලි කරන්න.

පිළිතුර
සීලය හා ශික්‍ෂාපදයන්හි වෙනසක් තිබේ. ශීලය නම් පරමාර්ථ සාධනයෙහි (නිවනට යොමු වූ අය ) විසින් ස්වකීය පුහුදුන් ගති පැවැතුම් පාලනය කරනු ලබන පිළිවෙළ සහ ඒ සඳහා ඇති කරගනු ලබන පුරුද්දය. එම හැසිරීම් රටාව දිගින් දිගටම පවත්වාගෙන යාම තුළින් මනසෙහි උසස් බව රැකේ. එය එක් අතකින් කුසලයෙකි. සිල් රැකීම උසස් ක්‍රියාවකි. එහෙත් එය නොරැකීමේ හේතුවෙන් කිසියම් දඬුවමකට යටත් නොවේ. ශික්ෂාපද යනු එක්තරා ආකාරයක නීතිරීති මාලාවකි. නීතියක් පනවනුයේ හේතුවක් ඇතිවය. එබැවින් නීතියක් කැඩූ විට ඒ සඳහා නියම වූ දඬුවම් ක්‍රමයක් ද ඇත. ථෙරවාදී සම්ප්‍රදායට අනුව ශික්‍ෂාවද ප්‍රධාන වශයෙන් දෙවර්ගයකි. එනම් ආභිසමාචාරික සික්‍ඛා සහ ආදිබ්‍රහ්ම චරියක සික්‍ඛා යනුවෙනි.


ප්‍රශ්නය
නඛ්වෙතං භික්‍ඛවෙ තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධා, අගාරස්මා අනගාරියං පබ්බජිතානං, යං තුම්හෙ එව රූපිං කථං කථෙ ය්‍යාථ සන්නි පතානං වො භික්‍ඛවො ද්වයං කරණීයං ධම්මීවා කථා අරියොවා තුණ්හී භාවොතීති. (ඛු.නි. මුච.වග්ග 149 රාජසුත්‍ර)

සදැහැසිතින් ගිහිගෙයින් නික්ම සසුන්ගත කුලපුත්‍රවූ ඔබලාට නිසර ැ කතා සුදුසු නොවෙයි. මහණෙනි! ඔබ යම් තැනකට ඒකරාශී වූ විට දැහැමි කථාවක්ම කළ යුතුමය. එසේ නොමැති නම් නිශ්ශබ්දතාවය ඉතා උතුම් වේ. බුදුරජාණන් වහන්සේගේ දේශනා මහනීයත්වය ප්‍රකට වන එක් අවස්ථාවක් නම් වරද දුටුතැන එය නිවැරැදි කිරීම සඳහා අනුශාසනා කිරීමයි. ‘අනුත්තරං පුඤ්ඤෙක්‍ඛත්තං’ උතුම් පින්කෙත නිසරු දැයින් වළක්වාලීම උන්වහන්සේගේ පරම අධිෂ්ඨානය විය. පැහැදිලි කරන්න.

පිළිතුර
ධම්මපද ධර්ම ග්‍රන්ථයෙහි පහළොස්වන පුෂ්ප වර්ගයෙහි එන ගාථාපාඨයකට අනුව බෞද්ධ ශ්‍රාවකයාගේ විශේෂත්වයක් වන්නේ අතිරොචති පඤ්ඤාය. සම්මා සම්බුද්ධ සාවකො ප්‍රඥාවෙන් හෙවත් නැණ නුවණ මෙහෙයා කටයුතු කිරීමයි. මේ අනුව බෞද්ධයා නැණවතෙකි. බෞද්ධ පිළිවෙත් ගරුක බව යන සුවිශේෂ ලකුණෙන් ජනසමාජය නැණ, ගුණ දෙකින් පිරිපුන් පුද්ගලයා හඳුනා ගනී. ඉහත සඳහන් බුද්ධදේශනා පාඨයට පාදක වූ සිදුවීම වර්තමාන ශ්‍රාවක සැමදෙනටම මහඟු ආදර්ශයකි.

සැවැත්නුවර ජේතවනාරාමයෙහි තෙන ඛොපන සමයේන සම්බහුලානං භික්‍ඛුනං පච්චාභත්තං පිණ්ඩපාත පටික්කන්තානං උපට්ඨාන සාලායං සන්නිසන්නානං සන්නි පතීතානං අයමන්තරා කථා උද්‍යාදි

පිණ්ඩපාතයෙන් අනතුරුව දන් වළඳා දම්සභා මණ්ඩපාගත බොහෝ භික්‍ෂූන් අතර මේ අතුරු කථාව හටගනී. ඇවැත්නි, මගධාධිපති සෙනිය බිම්බිසාර රජ හෝ පසේනදි කොසොල් රජ යන රජුන් අතරෙන් කවරෙක්. මහා ධනවත් ද භෝග වත්ද මහත් භාණ්ඩාගාර ඇත්තෙක් ද? අතිශයින් විජය ග්‍රාහී කවරෙක්ද? මහත් වූ වාහන ඇත්තෙක්වීද? ආනුභාව සම්පන්න හා සෘද්ධි බල සම්පන්න තැනැත්තා කවුද? යන අතුරු කථාව අතර භාග්‍යවතුන් වහන්සේ වැඩම කළහ.

එවිට භාග්‍යවතුන් වහන්සේ දුන් අවවාදය නම් පිරිස එක්රැස් වූ විට දෙලොවටම වැඩක් ඇති කථාවකම නිරත විය යුතු බවත්, එසේ නොහැකි නම් උතුම් නිශ්ශබ්දතාවය ඉතා වැදගත් බවත් ය. මෙම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ ධර්ම කථාවකින් තොරව ‘අත්තුක්කංසන පරවම්භන’ තමා උසස් කොට ආත්ම වර්ණාවක් සඳහා අනුන් ගර්හාවට චරිතඝාතනයට මං පාදන කථා නිරතුරුව පවත්වන ගිහි හා පැවිදි ශ්‍රාවක පිළිවෙත සුදුසු බවය. පාපකර්ම ඒ අනුව වලින් වැළකී උතුම් නිශ්ශබ්දතාවය රැකීම පුර පසළොස්වක දින සීල සමාදානය සඳහා ද ප්‍රයෝජනවත් ය.
 


ප්‍රශ්නය
පෙළදහමට අනුව සිව්වණක් පිරිස සඳහා ගෝචර – අගෝචර’ (සුදුසු නුසුදුසු) තත්ත්ව පිළිබඳව විශේෂයෙන් අවධාරණය කොට ඇත. නිවන් මඟට පිළිපන් සැදැහැවතෙක් මේ ගැන බෙහෙවින් සැලකිය යුතු ය. පැහැදිලි කරන්න.

පිළිතුර
බඹසර විසීම සඳහා සිව්වණක් පිරිස සඳහා සාධක තුනක් දේශනා පාලියෙහි සඳහන්ව ඇත. 1. උපතිස්සය, ප්‍රථම ගෝචරය නම් වටාපිටාව හෙවත් සුදුසු මිත්‍ර සංධානයයි. හිතමිතුරු උපදේශකයන් එවැන්නන් ආශ්‍රය, නිශ්‍රය උපනිශ්‍රය කිරීමෙන් ‘සද්ධා සීල චාග පඤ්ඤා ආදී සද්ගුණ වැඩෙයි.


ප්‍රශ්නය
ශාසනික මෙහෙවරෙහි කඨින චීවර මාසය තුළදී ‘තෙචීවරික තීන විවරානි’ වැනි යෙදුම් ආරාමයන්හිදී නිතර අසන්නට ලැබෙයි. මෙම තෙචීවර හෙවත් තුන් සිවුර පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර
බුදුරජාණන් වහන්සේ විසින් භික්‍ෂු භික්‍ෂුණී උභය සංඝයා විෂයෙහිම අනුදැන වදාළ තුන් සිවුර ‘සංඝාටිය හෙවත් දෙපට සිවුර’ උත්තරා සංගය (උතුර සළුව) හෙවත් තනිපට සිවුර අන්තර වාසිකය හෙවත් අඳනය යන තුනෙන් සමන්විත වේ. අඳනයෙන් යටිකය වැසෙන අතර ඉතිරි සිවුරු දෙක උඩුකය වසයි. උපසම්පදා වන අවස්ථාවෙහි මේ තුන්සිවුර අත්පස තිබීම අත්‍යවශ්‍යයි.


ප්‍රශ්නය
සියලු සංස්කාර ධර්මයන් ඒවායේ මූලික ලක්‍ෂණ තුනක් මඟින් හඳුනාගත යුතු ය. (තීනි ලක්ඛණානි) එනම් අනිච්ච දුක්ඛ, අනත්ත, සියලු සංස්කාර ධර්මයෝ වෙනස් වෙති. පැහැදිලි කරන්න.

පිළිතුර
සියලු සංස්කාර (හේතු, ප්‍රත්‍ය, සමවායෙන් හටගත්) ධර්ම, අනිච්ච දුක්ඛ අනාත්ම ලක්‍ෂණ පෙරටු කොටගෙන ඇත. ත්‍රි ලක්‍ෂණය සංස්කාර පිළිබඳවය. සංඛත භාවයෙන් (හේතු, ප්‍රත්‍ය සමවායෙන්) බැහැරවූ දෙයක ත්‍රිලක්‍ෂණය දැක්ක නොහැකි ය. “අනිච්චා වත සංඛාරා” සියලු සංස්කාර ධර්මයෝ නිරන්තරයෙන්ම වෙනස් වෙති. එසේ වෙනස් වන නිසා ඒ මඟින් දුක් ඇතිවෙයි (යදනිච්චංතං දුක්ඛං) මිනිසුන් නිතරම මේ මාගේ ය. (එතං මම) මේ මම වෙමි (එසො අහං අස්මි) මේ මාගේ ආත්මයයි. (එසෝ මෙ අත්තා) වශයෙන් සංස්කාර පිළිබඳව මමායනය කරත්, යමක් දුක නම් එය අනාත්ම බව බුදුසමයෙහි ඉගැන්වෙයි. (යං දුක්ඛං තදනත්තා) සංස්කාර ධර්මයන් පිළිබඳව මෙම ත්‍රිලක්‍ෂණය ආත්මවාදය පිළිබඳ සාවද්‍ය මතය පිටුදකී.


ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාවෙහිදී ‘එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යැයි ත්‍රිපරිවෘත ඥාන’ පිළිබඳ දේශනා පාඨයක්ඉදිරි පත් කර ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර
තිපරිවට්ට ඤාණ සච්ච ඤාණ සච්ඡිකා තබ්බ ඤාණා සච්ඡිකත ඤාණා

සත්‍ය ඤාණය – අවබෝධ කළ යුතුය යන ඤාණය -අවබෝධ කළේය යන ඤාණය , භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය සර්වප්‍රකාරයෙන්ම අවබෝධ කරගත්හ. එක් සත්‍යයක් ත්‍රිපරිවට්ට් (ත්‍රිපරිවෘත) තුන් ආකාරයෙන් යුක්ත විය. එක් සත්‍යය තුන් ආකාර ඤාණය හතරින් ගුණ කළ විට දොළොස් ආකාර වෙයි.

1. සත්‍ය ඤාණය – පරිඥෙය්‍ය ඤාණය
2. සත්‍ය ඤාණය – ප්‍රහතව්‍ය ඤාණය – ප්‍රහීනය යන
3. සත්‍ය ඤාණය - සච්ඡිකාතබ්බ ඤාණය – ඤාතාය ඤාණය සච්ඡිකතන්ති ඤාණය
4. සත්‍ය ඤාණය – භාවෙතබ්බ ඤාණය – භාවිතන්ති ඤාණය


ප්‍රශ්නය
“චත්තාරො ඝරාවාස ධම්මා” ගෘහස්ථ අගාරික දිවිපෙවෙත සඳහා සද්ගුණ හතරක් බුද්ධ දේශනා තුළ දැක්වේ. මෙම සද්ගුණ මොනවාද?

පිළිතුර
ගෘහස්ථ දිවිය සරුකිරීම සඳහා මෙම පිළිවෙත් අවශ්‍යයෙන්ම රැකිය යුතු ය. ඒවා නම් සත්‍යය දමනය (ඉන්ද්‍රිය) පරිත්‍යාගය, ඉවසීම යන පිළිවෙත් හතර ගිහිවතයි. පුරන්නෙකුට මේ කරුණු සතර ඇත්නම් පාරලෞකික සැපය ද ඒකාන්තය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.