Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දියුණුවට - පිනට නිවනට වැට බඳීන අති මානය

සතධම්ම ජාතකයේ සතධම්ම බමුණු තරුණයා අතිමානය නිසා විහින් තම ජීවිතය විනාශ කරගත් අයුරු මනෝ විද්‍යාත්මකව විවරණය වෙයි. සැඬොල් කුලයේ වූවකුගෙන් කුසගින්න නිසා බත් ඉල්ලාගෙන අනුභව කළ සතධම්ම, පසුව ඒ පිළිබඳ අතිශයින් පශ්චාත්තාප වී, ලේ වමනය කරමින් මරණයට පත් විය. සතධම්ම මෙන්ම ලෝකයේ බොහෝ දෙනා ද මේ අනර්ථකාරී අතිමානය නිසා අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ට පත්වෙති

‘මානය’ යනු මැනීම යි. දස සංයෝජනයන්ගෙන් අටවැන්න, මානය යි. රහත්ඵලය ලබා ගැනීමේදී නැති වන මානය, අකුසල චෛතසිකයකි. මාන සිතිවිල්ල පැවැතිය හැකි ස්වභාව තුනක් පිළිබඳ ධර්ම ග්‍රන්ථවල දැක්වේ.

1. සෙය්‍ය මාන - තමාට වඩා අනුන් පහත් යැයි සිතීම
2. සදිස මාන - තමා හා අනුන් සමාන යැයි සිතීම
3. හීන මාන - තමාට වඩා අනුන් උසස් යැයි සිතීම

පුද්ගලයන් පිළිබඳ මේ තුන් අයුරෙන් සිදු කරන චින්තනය, මිනිසාගේ පිරිහීමට හේතු වෙයි. එවැනි සිතිවිලි ඇති පුද්ගලයා පරිහානියට පත්වන අකාරය සුත්ත නිපාත (බු.ජ.ත්‍රි) උරග වග්ගියෙහි - 34 පිටුවෙහි සඳහන් වන පරාභව සූත්‍රයෙහි මෙසේ දැක් වෙයි.

ජාතිත්‍ථද්ධො ධනත්‍ථද්ධො
ගොත්තත්‍ථද්ධො ච යො නරො
සඤාතිං අතිමඤෙඤති
තං පරාභවතො මුඛං’

යම් මිනිසෙක් ජාති මානයෙන් තදවූයේ, ධන මානයෙන් තද වූයේ කුල මානයෙන් තද වූයේ, සිය නෑයන් ඉක්මවා සිතා ද (ජාතිය, ධනය, කුලය නිසා තම ඥාතීන් හෙළා දකියි ද) එය පිරිහෙන පුද්ගලයාගේ දොරටුවකි. දියුණුවනු කැමැති තැනැත්තා මෙසේ සිතීමෙන් වැළකී සිටිය යුතු යි.

මෙසේ පවතින අපගේ මනුෂ්‍යාත්මභාවය පිරිහෙළන මානය, අඩුවැඩි වශයෙන් ඒ ඒ පුද්ගලයන් තුළ පවතියි. එසේ පුද්ගල මනසේ මානය පවතින ආකාරය අනුව, ලෝකයේ පුද්ගලයන් කොටස් තුනකට වර්ග කර ඇත.

1. අතිමානී පුද්ගලයන්- මානාධික පුද්ගලයන්
2. අනතිමානී පුද්ගලයන් - මානය අවම කරගත් පුද්ගලයන්
3. නිහතමානී පුද්ගලයන් - මානය නැති කළ පුද්ගලයන් (රහතන් වහන්සේ ආර්යයන්)

අතිමානී පුද්ගලයන් ‘අතිමඤ්ඤ’ නාමයෙන් ධර්ම ග්‍රන්ථවල දැක්වෙයි. මානාධික පුද්ගලයන් තම සිතේ පවතින අතිශය දරුණු මානසික රෝගයක් වූ මානාධිකභාවය නිසා තම සම්පත් දේපල හා ජීවිතය පවා නිරපරාධයේ විනාශ කර ගනියි. බුද්ධකාලීනය සිටි බ්‍රාහ්මණ වංශිකයන්ගෙන් බොහෝ දෙනෙක් අතිමානී පුද්ගලයෝ වූහ. ශාක්‍ය වංශිකයෝ ද අතිමානී පුද්ගලයෝ වූහ. ශාක්‍ය සංහාරයට හේතු වූයේ ද ඔවුන්ගේ මේ අතිමානී ස්වභාවය බව බුදු සිරිතින් හෙළි වෙයි. ඇමෙරිකාවෙහි පැවැති සුදු - කලු භේදයද මෙහිදී සිහියට නැගෙයි. කළු මිනිසුන් පිළිකෙව් කරමින් ඇමරිකාවේ විසූ එංගලන්තයෙන් පැමිණි සුදු ජාතිකයන්ගේ් සිතිවිලිවල පැවැති අතිමානීභාවය නිසා, වර්තමාන ඇමෙරිකාවේ පවතින බොහෝ ප්‍රශ්න ඇති විය. එහි පරිහානී ස්වභාවය අවබෝධ වූ වර්තමාන ඇමරිකා ජන සමාජයේ අතිමානී පාප සිතිවිලි දුරු වී, සමානාත්මතා සංකල්ප දියුණු වීම, අප විසින් අගය කළයුතු කාරණයකි.

අනුන් පහත් කොට තමා කොඩියක් සේ - කොතක් සේ උසස් කොට ගත්තා වූ මානය ‘අතිමාන’ නම් වෙයි. එය සිත්හි හටගත්විට සහ ඒ නිසා ඇතිවන පාප සිතිවිලි සිතේ් නොනවත්වා ජනිතවන විට, පුද්ගලයාට තමාගේ තත්ත්වය හා අනුන්ගේ තත්ත්වය නොවැටහී යයි. සාමාන්‍ය තරමට මානය ඇති පුද්ගලයෝ ‘අනතිමානී’ නමින් හැඳින්විය හැකි ය. කෙලෙසුන්ගෙන් මිදෙන තෙක්ම මානය පවතී. මෙසේ සාමාන්‍ය මට්ටමෙන් මානය පවතින පුද්ගලයෝ නොපිරිහුණු ජීවිත ගත කරති. ප්‍රශ්නය ඇතිවනුයේ ජාති කුල, ශෝක, ධන රැකියා දේපළ, සම්පත්, බුද්ධි ආදී ඇතිනම් හා කුසලතා මත ඇතිවන මානය, වැඩි වූ විට ය.

බුදු පියාණන් වහන්සේ, මානාධික සිට බලු ආත්මයෙහි ඉපදුණු තෝදෙය්‍ය සිටුහුගේ පුතු වූ සුභ මානවකයාට මෙසේ වදාළහ.

ඉධ පන මාණව, එකච්චො ඉතථිවා පුරිසො වා ථද්ධො හොති අතිමානී. අභිවාදෙතබ්බං තාභිවාදෙති. පච්චුපට්ඨාතබ්බං න පච්චුට්ඨෙති. ආසතාරහස්ස න ආසතං දෙති. මග්ගාරහස්ස න මග්ගං දෙති.....

‘මානවකය, මේ ලෝකයේ සමහර ස්ත්‍රී පුරුෂයෝ මානයෙන් තද වූයේ, ඉතා උඩඟු වූයේ වෙති. ඔවුහු වැඳීය යුත්තාට නොවඳිති. දැක හුනස්නෙන් නැඟී සිටිය යුතු තැන්තාට අසුනින් නැගිට ගරු නොකරති. තමා වෙත පැමිණි අසුනක් දිය යුතු තැනැත්තාට අසුනක් නොදෙනි. මාර්ගය ඉඩ දිය යුතු තැනැත්තාට මාර්ගය ඉඩ නොදෙති. සත්කාර කළ යුතු තැනැත්තාට සත්කාර නොකරති. ගරු කළ යුතු තැනැත්තාට ගරු නොකරති. බුහුමන් කළ යුතු තැනැත්තාට බුහුමන් නොකරති. පිදිය යුතු තැනැත්තාට නො පුදති. ඔවුහු මෙසේ වරදවා ගත් ඒ කර්මයෙන් කය බිඳී මැරී ගොස් සැප නැති, නපුරු ගති ඇති නිරයෙහි උපදිති. ඉදින් නිරයේ නොඉපදී මිනිස් බවට පැමිණේ නම් පහත් කුලයකම උපදිති.

මෙසේ අතිමානී පුද්ගලයෝ ගරු සත්කාර කළයුතු පුද්ගලයන්ට ගරු නොකර, ගුරුවරුන්ගෙන් ගුරූපදේශ නොගෙන, කලණ මිතුරන් මඟ හැර, පාපීන් හා මිත්‍ර වී පහත් අයට හිමි කටයුතු යැයි සලකා නොයෙක් දේ පැහැර හැර, පෙර කුසලානුභාවයෙන් පැමිණිය හැකි සැපයට ද පත් නොවෙති. සිටින තත්ත්වයෙන් ද පිරිහෙති. අනුන්ට අවමන් කිරීම නිසා කෝපවූවන්ගෙන් ගැහැට පීඩා විඳිති.

සතධම්ම ජාතකයේ සතධම්ම බමුණු තරුණයා අතිමානය නිසා විහින් තම ජීවිතය විනාශ කරගත් අයුරු මනෝ විද්‍යාත්මකව විවරණය වෙයි. සැඬොල් කුලයේ වූවකුගෙන් කුසගින්න නිසා බත් ඉල්ලාගෙන අනුභව කළ සතධම්ම, පසුව ඒ පිළිබඳ අතිශයින් පශ්චාත්තාප වී ලේ වමනය කරමින් මරණයට පත් විය. සතධම්ම මෙන්ම ලෝකයේ බොහෝ දෙනා ද මේ අනර්ථකාරී අතිමානය නිසා අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ට පත්වෙති. බුදුරදුන්ට විවිධ අකටයුතුකම් කළ තෝදෙය්‍ය බමුණා ද අතිමානය නිසා සිය මිනිසත් බව වනසා ගත්තේ්ය. අතිමානයේ හේතුවෙන් ඔහු තම නිවසේ ම බල්ලකු වී උපන් බව, ධම්ම පදට්ඨකථාවේ කියැවෙයි.

මාතංග ජාතිකයද අතිමානයේ ආදීනව පෙන්වා දෙන ධර්ම කථාවකි. එහි මාණ්ඩව්‍ය නම් අතිමානයෙන් පෙළුණු බමුණු කුමාරයා, සීල තපෝවෘද්ධ මාතංග තාපසතුමාට නිග්‍රහ කර ඒ මොහොතේම අංග විකල බවට පත්වෙයි. එහිදී පුද්ගලයා පිරිහෙන මානසික රෝගී ලක්ෂණ කිහිපයක් ම ඉස්මතු කර පෙන්වා දෙනුයේ මෙසේ

ජාතිමදොච අතිමානිතා ච
ලොභො ච දොසො ච මදො ච මොහො
එතෙ අගුණා යෙසු වසන්ති සබ්බේ

තානීධ ඛෙත්තානි අපෙසලානී (ජාතක පාලි, 2 භාගය, බු.ජ.කි‍්‍ර.4)

ජාති මදය ද, අති මානයද, ලෝභය ද , ද්වේෂය ද, මදය ද, මෝහය ද යන මේ හැම දෝෂයක් ම යමෙකු තුළ පවතී නම් ඔවුහු විෂ සර්පයන් පිරි තුඹස් සේ කිසිවකුට ප්‍රයෝජනයක් නැති ක්‍ෂේත්‍රයෝ වෙති. ඔවුන් කෙරෙහි දෙන ලද්ද, මහත්ඵල නොවෙයි.

ඇතැමෙක් උගත්, බහුශ්‍රැත ආදී තත්ත්ව නිසා අතිමානය උපදවාගෙන, මවුපියන්ට නොවඳිති. සත්කාර නොකරති. අවවාද නොපිළිගනිති. පණ්ඩිත මානය නිසා ‘ඔය හාමුදුරුවරු අපි තරම් උගත්තු නොවෙති. පාලි හා ත්‍රිපිටක දහම දන්නෝ නම් අප ය. හාමුදුරුවන් නිවැරැදිව පාලි භාෂාවද නොදනිති යැයි සංඝරත්නය ඇසුරු නොකරති. බණ නො අසති. පෙළ දහමේ නියමඵල නොලබති.

මේ නිසා ලබාගත් මනුෂ්‍ය භාවය පිරිහෙලා ගැනීමට අතිමානය හා මානය යන චෛතසික ස්වභාව හේතුවන බවත්, පින්කිරීමට විරුද්ධ සිතිවිලි එයින් ජනනය කරවීමෙන් අප විපතට පත් කරවන බවත්, හෙළි වෙයි. එ නිසා මෙසේ මෙලෝ පරලෝ දෙකට ම අවැඩක්ම, අනර්ථයක්ම සිදු කරන අතිමානය දුරු කිරීමට සියලු දෙනා වෙහෙසත්වා.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.