Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රත්නපුර ප්‍රදේශයේ පැරැණි පුදබිමක් වන මල්වල පුරාණ විහාරය

මල්වල පුරාණ විහාරස්ථානය මුනිසිරිපා තඹර පිස එන ලොවුතුරු සුවඳින් නිරන්තරයෙන් සුගන්ධිත පුණ්‍යභූමියකි. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජදවස පටන් මුනිසිරිපා පිණිපා කරන සැදැහැතියන්ගේ ඉපැරැණි වන්දනා මාර්ගය පිහිටියේ මල්වල විහාරස්ථානය ඔස්සේ ය. රුවන්පුර නගරයේ සිට පා ගමනින්ම සිරිපා කරුණා කළ එවක බැතිමතුනට, සිරිපා මළුවටත් රුවන්පුරයටත් අතර පිහිටි එකම ක්‍ෂේමභූමිය වූයේ මල්වල විහාරස්ථානයයි.


මල්වල පුරාණ විහාරය
පැරැණි බෝ වෘක්‍ෂය
විහාරාධිපති දිවියාගල විජිතසීහ හිමි
කෞතුක වටිනාකමකින් යුතු විහාර මන්දිරයේ පින් කැටය.
වාහල්කඩ සහිත පිවිසුම සහ පියගැටපෙළ

මල්වල නමැති ගම බිහිවූයේ පොළොන්නරු අවධියේ සිටි සුප්‍රසිද්ධ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමන් දවස සිදු වූ අසිරිමත් සිදුවීමක් පදනම් කොටගෙන බව ජනප්‍රවාදයේ එයි. එනම්, වත්මන් මල්වල නමින් හැඳින්වෙන ප්‍රදේශයේ එවක පිහිටි රාජකීය මල් උයනින් සිරිපා පිදුමට දිනපතා මල්නෙලාගෙන යන දෙවඟනන්, එක්තරා උපායකින් අල්ලාගෙන ඔවුන්ගෙන් සිරිපා පිහිටි සමනොළ අඩවියට පිවිසෙන අයුරු දැනගැනීම සහ ඒ අනුව රජු සපිරිවරින් ගොස් සිරිපා වන්දනාකොට හුදී ජනයා හටද ඒ සඳහා මඟ සැලසීම පිළිබඳ පුවතයි.

බොහෝ විට ජනප්‍රවාද බිහිවන්නේ ඓතිහාසික සාධක පාදක කොටගෙන ය. ඉතිහාසය පිළිබඳ ගවේෂණයේ දී ජනප්‍රවාදයන්ගෙන් ද ගත හැකි දේ බොහෝ ය. එබැවින් ‘මල්වල’ නමැති ගම ලොව බොදු දනගේ මුදුන් මල්කඩ වූ අසිරිමත් සිරිපදලස පිහිටි නමනොළගිර සොයා ගැනීමේ විශේෂ ප්‍රවෘත්තිය හා බැඳෙන අතර, සිංහල රාජාවලියේ එක්සිය සත්තිස් වන (137) රජු වූ දොළොස්වන සියවස්හි (පොළොන්නරු යුගයේ) රාජ්‍යය විචාළ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ලයන් හා ද සබැඳේ. ඉපැරණිම සිරිපා වන්දනා මාර්ගය මල්වල ගම මැදින් වැටී තිබීමද මෙහිලා අතිරේක සාධකයක් ලෙස දැක්විය හැකි ය. මුනිසිරිපා පිනිපා කරන බැතිමතුන් ඉසිඹුලන කෙම්බිමක් වූ මල්වල පුරාණ විහාරස්ථානයෙහි ඉතිහාස කථාව ඇරඹෙන්නේ 19 වන සියවසේ අගභාගයෙනි. පර්යාප්ති විශාරද අහුන්ගල්ලේ ඤාණාභිවංස මාහිමියෝ මෙහි ආදි කර්තෘවරයාණන් ය. එවක රත්නපුර සිට මල්වල දක්වා තිබී ඇත්තේ කරත්ත පාරකි. එතැන් සිට ශ්‍රීපාදස්ථානය කරා ගොස් ඇත්තේ පාගමනින් ය. බොහෝ විට රත්නපුර සිටම පාගමනින් ය. මේ ආයාසකර ගමනේ දී සිය ගමන් විඩාව දුරුකරගැනීම පිණිස මල්වල පන්සල ඔවුන්ට සිසිලස සැපයුවේ ය. සිරිපා වන්දනාවේ යන එන දෙපිරිසටම ගිමන් නිවා ගැනීමට මේ පුදබිම එකසේ පිහිට විය. කළු ගඟ සහ රත් ගඟ යන ගංගා දෙක එක් වී එකම මහ ගඟක් බවට පත්වන, අපූරු සෞන්දර්යයකින් හෙබි සන්ධිස්ථානය ඇත්තේ ද මල්වල ය. බොහෝ බැතිමත්හු කළු ගඟේ කිමිදී එහි සිසිලසින් විඩාව සංසිඳුවා ගැනීමට ද අමතක නොකරති.


විහාර මන්දිරයේ මූර්ති පෙළක්
පැරැණි ධර්ම ශාලාව

1940 දී පමණ ආරම්භක විහාරාධිපතීන් වහන්සේ අපවත්වූයෙන්, උන්වහන්සේගේ ශිෂ්‍ය, වතුරේගම ඤාණෝභාස මාහිමියෝ විහාරාධිපති ධූරයට පත්වූහ. පුරා වසර පන්සාළිස (45) කට අධික කාලයක් එම ධූරය ඉසුලූ උන්වහන්සේ, මල්වල පන්සල හෙවත් මල්වල ශ්‍රී කළ්‍යානාරාමය, විහාරමන්දිර, ධර්ම ශාලා, සංඝාවාස ආදී සකල විහාරාංගයන්ගෙන් පරිපූර්ණ කරවූවාහු මතු නොව දිනපතා එහි ආ දෙනෝදහක් බැතිමතුන්හට දේවාශිර්වාද ලබා ගැනීම පිණිස සිවුමහා දේවාලයකින්ද සමන්විත කරවූහ. මල්වල විහාර මන්දිරය වනාහි, රත්නපුර ප්‍රදේශයේ ඇති පැරණිම විහාර වලින් එකකි. බුදු සිරිතෙහි වැදගත් සිද්ධීන් සිතුවමට නගා ඇති කලාත්මක බිතුසිතුවම් 20 වන සියවසේ නිපුණ චිත්‍රශිල්පියකු වූ සාරලිස් ප්‍රනාන්දු මහතාගේ නිර්මාණයන් ය. අතිපූජ්‍ය වතුරෙගම ඤාණෝභාස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කරන ලද උදාර ආගමික, සමාජ මෙහෙවර අගය කළ නිකාය කාරක සංඝ සභාව විසින් උන්වහන්සේ අමරපුර චූලගණ්ඨි මහා නිකායේ මහා නායක ධූරයෙන් පුදනු ලැබීය.

උන්වහන්සේගේ ඥාති පුත්‍රයකු වන අධිනීතිඥ, නාට්‍ය ශිල්පි, නාමල් වීරමුනි මැතිතුමන් විසින් මල්වල විහාරස්ථානයෙහි යශෝරාවය දේශදේශාන්තරයෙහි ව්‍යාප්ත කරන ලද අතර, විහාරස්ථානයෙහි අනාගතාභිවෘද්ධිය සඳහා ‘ඤාණෝහාස භාර අරමුදල’ නමින් අරමුදලක්ද (මහා භාරකාර දෙපාර්තමේන්තුවෙහි) පිහිටුවන ලදී. අතිපූජ්‍ය වතුරේගම ඤාණෝහාස මහානායක මාහිමියන්ගේ අපවත්වීමෙන් පසු, උන්වහන්සේගේ ශිෂ්‍ය පූජ්‍ය, ඇඹුල්දෙනියේ ජිනවංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1986 දී විහාරාධිපති ධූරයට පත්වූ අතර, උන්වහන්සේ විසින් 1992 වර්ෂයේ දී පූජ්‍ය රාජකීය පණ්ඩිත දිවියාගල විජිතසීහ හිමිපාණන් විහාරාධිපති ධූරයට පත් කරන ලදී. විජිතසීහ හිමියෝ මේ වන විට ශ්‍රී කළ්‍යාණරාම විහාරාධිපති ධූරය සහ ඒ හා අනුබද්ධ ශ්‍රී ඤාණෝභාස පරිවේනාධිපති ධූරය ද උසුලමින් විහාරස්ථානයෙහි අභිවෘද්ධිය සඳහා ඉමහත් සේවාවක් ඉටු කරති. අද දවසේ මල්වල පන්සලෙන් ඉටුවන ආගමික සාමාජික හා අධ්‍යාපනික සේවාව අතිශය උදාරය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.