Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

පරිභෝජනයෙහි දී පුද්ගලයා තමාගේ සැපත සලසා ගැනීම සහ. අනතුරුව මවුපිය අඹුදරු දැසිදස් කම්කරු යහළු මිතුරු නෑදෑ ආගන්තුකාදීන්ගේ ඕනෑ එපාකම් ගැන සොයාබලා රැකගැනීම කලයුතු බව දහමෙහි සඳහන්වෙයි.’ ධන ධාන්‍ය ලැබුණත් අපුත්තක සිටාණන් ගේ් පිළිවෙත අනුමත නොකරන බුදු සමය එබඳු ජීවිත ‘ අජද්ධු මරණං අනාථ මරණං’ යනුවෙන් උපහාසයට ලක් කොට ඇත.

 

ප්‍රශ්නය- දෙව් මිනිසුන් සහිත ලෝකයාට (දේව මනුස්සානං නචිරස්සේව) ඉතා කඩිනමින් භෝග සම්පත් බහුල කරගත හැකි හේතු හතරක් (මහන්තං වේපුල්ලං පාපුණන්ති භොගේසු) බුදු දහමෙහි සඳහන් වෙයි. ඒ මොනවාද?

පිළිතුර - අං. නි. චක්ක්‍ර සූත්‍රයෙහි සඳහන් දේශනා පාඨවලට අනුව ලෞකික සම්පත් බහුල වීමට හේතු හතරක් ඇතිබව සඳහන් වේ. ඒවා මෙසේය.

1. පතිරූප දේශවාසය (සුදුසු පෙදෙසක විසීම)

2. සත්පුරුෂ ආශ්‍රය (සද්ගුණ බහුල මිනිස් ඇසුර)

3. ආත්ම පාරිශුද්ධිය (සිත්හි තැන්පත් බව)

4. පෙර පින් ඇතිබව (පුබ්බේච කත පුඤ්ඤතා)


ප්‍රශ්නය - පෙළ දහමට අනුව උපතේ සිට විපත දක්වා සැපවත් ජීවිතයක් සඳහා අවශ්‍ය අංග තමා විසින් සපුරාගත යුතුවෙයි. බුදුදහමට අනුව දානයෙන් මේ සම්පත් ළඟාකරගත යුතු වෙයි. එම සම්පත් මොනවාද?

පිළිතුර - (අං.නි. සුප්පාවාස සූත්‍ර)

“සුප්පාවාසෙ අරිය සාවිකා පටිග්හකානං චත්තාරි ඨානානි දෙති’ සුප්පාවාසවෙනි, දන්දීමෙන් ප්‍රතිග්‍රාහක ලැබීම් හතරකි එමෙන්ම දායක පක්ෂයද එම ප්‍රතිලාභ ලබන්නේය.

ආයුං දත්වා - ආයුෂ

වණ්ණං දත්වා - වර්ණය

සුඛං දත්වා - සැප

බලං දත්වා - බල

උපත කොතැන්හි ද මෙම දානමය ඵල විපාක එහිදී ලබන්නේ ය.


ප්‍රශ්නය - බුද්ධ චරිතය විමසන විට පැහැදිලි වන එක් කරුණක් නම් බුදුරජාණන් වහන්සේ තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස පිළිපන් සුවිශේෂ පුද්ගලයකු බවයි. පැහැදිලි කරන්න.

පිළිතුර - උත්තම ගුණාංග දෙකක් ලෙස ප්‍රථමයෙන් ස්වාර්ථය ඉටුකර අනතුරුව පරාර්ථය ඉටු කිරීම දේශනා පාලියෙහි සඳහන් කොට ඇත. තමන් වහන්සේ සම්බුද්ධත්වය ලැබීම තුළින් ස්වාරථය ඉටුකරගත් භාග්‍යවතුන් වහන්සේ දෙවනුව පරාර්ථය පිණිස වෙහෙස නොබලා සිය දිවියෙහි අවශේෂ භාගය කැප කළහ. එහෙයින් බුදුරජාණන් වහන්සේ අත්තහිත - සම්පත්ති- පරහිත සම්පත්ති යන ගුණාංග දෙකින්ම සමන්විත යහ.


ප්‍රශ්නය - පෙලදහමට අනුව ‘ අවබෝධය’ ‘පරිඤ්ඤාත’ යනුවෙන් සුවිශේෂ කොට දක්වා ඇත. පරිඤ්ඤත යන්නෙහි සරල අර්ථය ‘පිරිසිඳ දැනීම’ යන්නයි. මෙබඳු දැනීම් තුනක් ‘තයො පරිඤ්ඤා’ ගැන දහමෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර - ‘ඤාත’ නම් දැනීමයි. ධර්මය ඇසීමෙන් හෝ කියවීමෙන් ලබාගත් දැනීම ඤාත පරිඤ්ඤාවයි. ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තීරණාත්මක දැනීම තීරණ පරිඤඤා නම් වෙයි. යම් යම් ක්ලේශ ධර්මයන් ප්‍රහීණ වෙත්නම් ඒ ඒ ක්ලේශ ධර්ම ‘ප්‍රහීණං ති මෙ භික්ඛවෙ‘ ප්‍රහීණ කරන ලදැයි යන දැනීම පහාන පරිඤ්ඤා නම් වෙයි.


ප්‍රශ්නය - ත්‍රිපිටකය යන වචනයේ සරල විවරණය මංජූසා තුන යන්නයි (පාලියෙන් තෙපිටක) මෙයින් සූත්‍ර පිටකය ( බුද්ධ දේශනා එක් කළ සංග්‍රහය) පිළිබඳව කෙටි සටහනක් ලියන්න.

පිළිතුර - සූත්‍ර පිටකය (සුත්ත පිටක) ප්‍රධාන වශයෙන් ගිහි පැවිදි දෙපක්ෂය අමතා බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථා වලදී කළ අනුශාසනාත්මක දේශනා වලින් සමන්විත වෙයි. සාරිපුත්ත - මොග්ගල්ලාන, ආනන්ද වැනි ශ්‍රාවකයන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර කිහිපයක්ද ඒවා බුදුරදුන් විසින් අනුමැතියෙන් තහවුරු කර ඇති හෙයින් බුද්ධ දේශනා හා සමාන ගෞරවයෙන් යුතුව මෙහි ඇතුලත් කර තිබේ.

* දීඝ නිකාය (දීර්ඝ වූ සූත්‍ර එකතුව)

* මජ්ඣිම නිකාය (මධ්‍යම ප්‍රමාණ සූත්‍ර එකතුව)

* සංයුක්ත නිකාය (එක හා සමාන සූත්‍ර එකට රැස්වන වර්ග කළ එකතුව)

* අංගුත්තර නිකාය (සංඛ්‍යාත්මක ලෙස කරුණු ගොනුකර පිළියෙල කළ එකතුව)

* ඛුද්දක නිකාය (කුඩා කුඩා සූත්‍ර එකතුව)


ප්‍රශ්නය - කෝසල සංයුක්තයේ පඨම අපුත්තක සූත්‍රයේ එන විස්තරයකි මේ. දිනක් මහ දවල් බුදුන් වහන්සේ හමුවට පැමිණි කොසොල් රජතුමා මෙසේ කියන්නට විය. ‘ස්වාමිනි! සැවත එක් සිටු ගැහැවියෙක් අපුත්‍රකව (පුතුන් නැතිව) මළේය. මම ඔහුගේ් ඒ ධනය රජගෙට ගෙන්වා තබා ආවෙමි. රන් මිලම අසූ ලක්ෂයකි. ඊටත් වැඩි ධනයකට හිමිකරුවකු වූ ඔහු කාඩි දෙවැනි කොට නිවුඩුහාලේ බත් වැළඳි. කැබලි තුනක් එක්කොට ගත් හණ වැහැරියක් ඔහුගේ ඇඳුම විය. පත්කුඩයක් එස වූ දිරූ කුඩා රථයකින් හේ ගමන් කළේ ය. කොසොල් රජු හා බුදුන්වහන්සේ අතර වූ මේ සංවාදයෙන් බුදු දහමට අනුව දානපතියෙකු වීමෙහි ඇති පා‍්‍රයෝගික බවත් එයින් වෙනත් මගක් ගත් අයකු තමන් සතු ධනය පමණක් නොව අඹුදරුවන් පවා අහිමිව විනාශය ළඟාකර ගත් අයුරුත් පැහැදිලි කළහ. සුත්‍රාගත තොරතුරු ඇසුරෙන් විවරණය කරන්න.

පිළිතුර- ධන පරිභෝජනය පිළිබඳව පෙළ දහමෙහි එන දර්ශනය සම්පිණ්ඩනය කර දැක්වෙන රාසිය සූත්‍රයෙහි කරුණු හතරක් පැහැදිලි කෙරේ. (1). තමා භෝගයන් ප්‍රයෝජනයට ගනියි. (අත්තානං සුඛෙති පීණෙති) (2) බෙහාදෙයි (සං විභජති) (3) පින් කරයි (පුඤ්ඤාති කරොති) (4) පරිභෝජන අරමුණ නො පිරිහෙළා - එනම් අගථිතව, අමුච්ඡිතව අනජ්ඣාපන්නව, ආදීනව දකිමින්, නිස්සරණ ප්‍රඥාවෙන් (තත්ථ අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො, ආදීනව දස්සාවි, නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති) යුක්තවය. භෝග පරිභෝජනය පිළිබඳව පෙළ දහමෙහි පත්තකම්ම සූත්‍රය සහ පංච භෝගාදිය සූත්‍රයෙහි වඩාත් පැහැදිලි දේශනා ඇතුලත් වෙයි.

පරිභෝජනයෙහි දී පුද්ගලයා තමාගේ සැපත සලසා ගැනීම සහ. අනතුරුව මවුපිය අඹුදරු දැසිදස් කම්කරු යහළු මිතුරු නෑදෑ ආගන්තුකාදීන්ගේ ඕනෑ එපාකම් ගැන සොයාබලා රැකගැනීම කලයුතු බව දහමෙහි සඳහන්වෙයි.’ ධන ධාන්‍ය ලැබුණත් අපුත්තක සිටාණන් ගේ පිළිවෙත අනුමත නොකරන බුදු සමය එබඳු ජීවිත ‘ අජද්ධු මරණං අනාථ මරණං’ යනුවෙන් උපහාසයට ලක් කොට ඇත. එක්තරා හිඟන්නෙකු පාළු අගුපිලක මියගිය පසු හිස තබා නිදාගත් පසුම්බිය තුළ තිබී රුපියල් දහස් ගණනක් සහ ජංගම දුරකථන ආදීය තිබූ බවට සඳහන්වන පුවතක් නිරතුරුව අසන්නට ලැබෙයි.

එසේ නොකොට ධනය වනාහි ප්‍රයෝජන ගත යුත්තකි. ජීවිත පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මාධ්‍යයක් පමණකි.

ධනය පරිභෝජනය නොකර සිටීමෙන් අපුත්තක සිටාණන්ට මෙන් ධනය අන්සතු වෙයි. ප්‍රයෝජනයට නො ගන්නා ධනය අමුනුෂ්‍යයන් අරක්ගත් පැහැදිලි සිහිල් දිය පිරි සිත්කලු පොකුණක් වැන්න. කිසිවෙක් පිපාසාව සංසිදවා ගැනීමට හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා ප්‍රයෝජනයට නොගනී. අසත් පුරුෂයා සතු ධනය ;මන් සමාජ පරිහාසයට ලක්වෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.