Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිතයේ අරමුණ කුමක් ද?

නාරාවිල පැට්රික්

හොඳ පුද්ගලයා සහ නරක පුද්ගලයා යන දෙදෙනා ම එක සමානාකාරයෙන් සමාජයට බලපෑමේ ප්‍රවණතාවක් ඇත. නරක පුද්ගලයා හෙවත් දුර්ජනයා අනර්ථය සලසන්නේ තමාට පමණක් නොවේ. ඔහු තමා ඇසුරු කරන සියලු දෙනාට ම අනර්ථදායක වෙයි. අනෙක් අතට යහපත් පුද්ගලයා හෙවත් සත්පුරුෂයා සෙත සලසන්නේද තමාට පමණක් නොවේ’ ඔහු ඇසුරු කරන සමාජයට ද යහපතක් ම සලසයි.

සාධාරණත්වය, සාධාරණත්වය සඳහා ය. සාධුත්වය, සාධුත්වය සඳහා ය. ජීවිතය ඒ දෙක ම සඳහා ය. සාධාරණත්වය සහ සාධුත්වය ඊනියා තර්කය ඉක්මවා යන්නකි. සාධුත්වය තර්කයෙන් සාධනය කරන්න ඉඩ නොදෙන්න. සාධුත්වයට, සාධාරණත්වය හා සම්මානය පිරිනමනු පිණිස විමර්ශනයට ඉඩ සලසන්න. සාධුත්වය තුළ සාධාරණත්වයටත්, සාධාරණත්වය තුළ සාධුත්වයටත් ඉඩ දෙන්න. ජීවිතයේ වටිනාකමත්, පරමාර්ථයත් හඳුනා ගනු සඳහා අපි ‘බෝසත් ගීතය’ ගායනා කරමු. කුමක් නිසා ද යත්, ජීවිතය සාමුහිකත්වය තුළත්, මරණය හුදකලාව තුළත් රඳා පවතින හෙයිනි.

සත්තකින් ම මිනිසා යම්තාක් සොබාදහම සමඟ සහජීවි හෙවත් ඒකාත්මික වන්නේ ද, ඒතාක් ඔහුගේ සහජීවත්වය ස්ථාවර වන්නේය. මිනිසා සිය අධ්‍යාත්මයෙන් යම් පමණකට ස්වභාව ධර්මයේ ආමන්ත්‍රණයට සමානුපාතිකව ප්‍රතිචාර දක්වන්නේ ද, ඒතාක් ඔහුගේ පැවැත්ම අමරණීය වෙයි. කෙසේ ද යත්, කෙනකු ජීවත් වන්නේ හුදෙක් ඔහුට ජීවිතයක් ඇති නිසාම නොවේ. ඔහු ජීවත් වන පරිසරය තුළ ඒ පරිසරය විසින් ඔහුගේ ජීවිතය නඩත්තු කරනු ලබන නිසා ය. උදාහරණයක් ගනිමු. යමකු ජීවත් වන වාතාවරණය ඔක්සිජන් හීනතාවෙන් යුක්ත නම් ඔහුගේ දිවි පැවැත්ම නතර වනු ඇත. එසේ ම පරිසරය පිරිසුදු ජලයෙන් තොර නම් ද, පෝෂ්‍යදායක ආහාර අහේනියෙන් පෙළෙන්නේ නම් ද ඒ ප්‍රතිඵලය ම අත්දකිනු නියත ය.

කිසිවකුට හුදෙක් තමා පමණක් ජීවත්වීමේ අයිතිය යුක්ති සහගත කළ නොහැකි ය. ඇයි ද යත්, කිසිම කෙනෙකුට තමා ජීවත් වන වටපිටාවෙන් තොරව ජීවත් විය නොහැකි නිසා පමණක් නොවේ. පුළුල් අර්ථයෙන් ගතහොත් ස්වභාව ධර්මයෙන් තොරව ජීවිතයක් නොලද හැකි නිසාද වෙයි. ජීවිතය යනු සොබාදහමේ ම නිර්මාණයකි. ජීවයේ සම්භවයට සොබාදහම හැර වෙනත් නිර්මාපකයෙක් නැත. එවන් පුද්ගලත්වය ම එක්තරා ආකාරයක වහල් බවක් අඟවයි. එහෙත් කිසිවකු වහලකු වන්නට කැමති නැත. එබැවින් සියලු ආකාරයේ පෞද්ගලික අයිතිවාසිකම් ඉල්ලා සිටීමෙන් වැළකීම නුවණට හුරු ය.

ආචාර්ය සිග්වික් මෙසේ කියයි. ‘අපි නියතයෙන් ම පුද්ගලයා කිසියම් සමාජයක අංශුවක් බව දනිමු. ඔහුගේ සත්ගුණධර්ම ලෙස හැඳින්වෙන යමක් වේ ද, ඒවා මූලික වශයෙන් ඔහු ඇසුරු කරන්නන් සමඟ පවත්වන ඇයි හොඳයිකම් වලින් මැනවින් ප්‍රදර්ශනය කරනු ලැබේ. ඔහුගේ් විශේෂතම සුවසංවේදිතා ප්‍රභවය ලබන්නේ ඔවුන් සමග පැවැත්වෙන අන්‍යෝන්‍ය සහසම්බන්ධතා මගිනි.

අප දිවි ගෙවන මේ භූගෝලය මත හා තුළ ලද හැකි හැම දෙයක් ම, එහි විද්‍යාමාන යමක් වේ නම් ඒ හැම එකක් විෂයයෙහි කිසියම් බලාපොරොත්තුවක් නියෝජනය කරයි. මහී මාතාවගේ ළැමද සරසන පලාවන් තණතිල්ල ඒ මත වූ හැම දෙයක් ම පෝෂණයට තමා විසින්ම කැපවෙයි. සොබාදහමට සුන්දරත්වයක් එක් කරන සිසිල් සෙවණැලි මවන රුක්පෙළ එපමණකින් වෙහෙස නොබලන්නාහු මානව සංහතිය වෙත සිය මල් හා පල ප්‍රදානය කරන්නාහ. දැල්වෙන ගින්නත්, ගලා යන දිය දහරත්, හමා එන සුළඟත් ඒවායේ පැවැත්ම හුදෙක් තමන් සඳහා පමණක් නොව එසේ ම සකල සත්ත්ව සන්තතියේ සුවසෙත සඳහාත් වන බව සාධනය කරයි.

සොබාදහමේ චර්යාව නිරීක්ෂණයෙන් සාධු චර්යාවෙන් යහපත සලසන්නේ කෙසේ දැයි අප කාටත් උගත හැකි ය. මිනිසකුට වුවමනා සමස්තය වන්නේ් එය යි. සාධුත්වය සඳහා එය අන් සියල්ල ඉක්මවා සිටී. සමාජය නිරන්තරයෙන් පුද්ගලයා විසින් බලපානු ලබන හෙයින්, තමා විසින් තමාටත්, තමා විසින් අනුනටත් යහපත සැලසීමේලා එතරම් පරස්පරයක් ඇති වන්නේ නැත. හොඳ පුද්ගලයා සහ නරක පුද්ගලයා යන දෙදෙනා ම එක සමානාකාරයෙන් සමාජයට බලපෑමේ ප්‍රවණතාවක් ඇත. නරක පුද්ගලයා හෙවත් දුර්ජනයා අනර්ථය සලසන්නේ තමාට පමණක් නොවේ. ඔහු තමා ඇසුරු කරන සියලු දෙනාට ම අනර්ථදායක වෙයි. අනෙක් අතට යහපත් පුද්ගලයා හෙවත් සත්පුරුෂයා සෙත සලසන්නේ්ද තමාට පමණක් නොවේ’ ඔහු ඇසුරු කරන සමාජයට ද යහපතක් ම සලසයි. කිසිම පුද්ගලයකුට කල් තබා තමාට සුදුසු තැනක් සූදානම් කර තැබිය නොහැකි ය.

ඒ අතර ඊටත් වඩා වැදගත් සාධකයක් ඇත. එනම් ඔහු සමාජ සත්ත්වයකු වන නිසා ඔහුට සමාජයෙන් තොරව පැවැත්මක් ද නැති බව යි. යළිත් අපි මෙසේ සිතමු. බවුන් වඩන්නට වනගත වන ;යීගියා නැවතත් නව පන්නයේ සමාජයකට පිවිසෙන්නේ් නොවේ ද? එය හුදකලා නිශ්ශබ්ද සමාජය යි. තවුස්දම් පුරන්නාට පෘතග්ජන සමාජය ගැළපෙන්නේ නැත. එබැවින් බවුන් වඩන්නාට පොදුජන සමාජයේ පිහිට පතනු නොහැකි ය. ‘ලෞකික සමාජයේ සිත්ඇද නොගන්නා වනය සුවදායක යැ’ යි බවුන් වඩන්නට ගිය පුද්ගලයා කියයි. වනපෙත සන්සුන් ය. සමාජය නොසන්සුන් ය. කලබල සහිත ය. සන්සුන් බව අත්‍යන්තයෙන් කලබල සහිත තත්ත්වයට පටහැනි ය. එහෙත් පෘතග්ජන පුද්ගලයාත්, බවුන් වඩන්නාත් කියන අදහස්වල ප්‍රතිවිරෝධයක් නැත. ඇයි ද යත්, පුද්ගලයන් දෙදෙනා ම මුහුණ දෙන තත්ත්වය ඒ දෙදෙනාට සාපේක්ෂව ධනාත්මක වන නිසා ය. ඒ ගැන මෙසේ කිය හැකි ය. පුද්ගලයා තමා ජීවත්වන පරිසරය විසින් තත්ත්වාරෝපිත කරනු ලැබේ. එබැවින් අන්තිමට පුද්ගලයා යි කියනු ලබන්නේද පරිසරය ම නොවන්නේ ද? ඇයි ද යත්, ඔහුගේ ප්‍රාර්ථනා හුදෙක් ඔහුගේ නොවේ. ඒවා ඔහු ජීවත් වන සමාජයේ ප්‍රාර්ථනා හෙවත් බලාපොරොත්තු ම වන නිසයි. එක් පුද්ගලයකු පිළිබඳ සංසිද්ධි බොහෝ දෙනා කෙරෙහි ප්‍රතිචාර දක්වයි. අනෙක් අතට එක් පුද්ගලයෙකුගේ ජීවිතය බොහෝ දෙනා මත රඳා පවතී. සමාජය යනු පුද්ගල සන්තති දාමයකි. එකී දාමයෙහි එක් පුරුකක් සිඳී ගිය විට නිරායාසයෙන් එය සමස්තය ඇද වැටීමට බලපායි. ‘පුද්ගලයා ඔහු ඇසුරු කරන සමාජයෙන් හඳුනා ගන්න, යනු නිතර උපුටා දක්වනු ලැබේ. මේ අනුව පුද්ගලයා යනු අනිවාර්යයෙන් ම සමාජ සංස්ථාවේ ප්‍රත්‍යංශුවකි. එහි අඩුවක් හෝ වැඩියක් නැත.මේ අනුව හුදු නිදහස් පුද්ගලයකු නොලැබිය හැකි බව සාධනය වෙයි. මෙසේ සමස්තාර්ථයෙන් ගත්කල නිදහස් යැ යි කිව හැක්කේ හුදකලාව පමණි. එහෙත් හුදකලාව තුළ අද හැකි වන්නේ ශුන්‍යත්වය හෙවත් ‘හිස් බව‘ මිස අන් කුමක් ද? මේ ලෝකය අන්තරායත්තාව හෙවත් අන්‍යෝන්‍ය සහජීවනය පිළිබඳ වූවකි. අන් හැටියකින් කියතොත් සාපේක්ෂතාව සමඟ බැඳුණකි. මේ ලෝකය තුළ ජීවිතය වන්නේ මිනිසා සහ මිනිසා අතර සාපේක්ෂතාව හෙවත් ඥාතිත්වය යි. ජීවිතය වන්නේ එය යි, හෙවත් ජීවිතය පිළිබඳ අරමුණ වන්නේ එය යි.මේ රහස දැනගත් කල්හි පුද්ගලයා කුසල පාක්ෂික අරමුණක් සමඟ ක්‍රියාකාරී වන්නට නම්‍යශීලි වෙයි.

අරමුණක් හෙවත් ඉලක්කයක් සමඟ ක්‍රියාශීලිවීම යන්නෙන් අදහස් කැරෙන්නේ තමා අනුනට යහපත සැලසීම හෝ තමා යහපත්වීම යි. අධිෂ්ඨානවත්, ක්‍රියාශීලි සහ අරමුණක් ඇතිව කටයුතු කරන්නා ‘යහපත් වන්නේ ‍ෙකසේද?’ යන ප්‍රශ්නය වැඩිදුරටත් ගැටලුවක් කර ගන්නේ නැත. වීර්යය අමරණීයත්වයට මාර්ගය යි. උදාසීනත්වය මරණියත්වයට මාර්ගය යි. වීර්යවන්තයෝ නොමැරෙත්. උදාසීන වූවාහු නියතයෙන් ම මළාහු ය.

එය ධම්මපදයේ කියන්නේ මෙසේ ය.

අප්පමාදෝ අමතපදං - පමාදෝ මච්චුනෝ පදං
අප්ථමත්තා න මියන්ති - යේ පමත්තා යථා මතා - 21

මිනිසකු ක්‍රියාශීලි නොවී, ඔහුගේ යුතුකම අමතක කළ කල්හි භාවිතයට නොගත් ආයුධයක් මලකඩ බැඳෙන්නා සේ උදාසීනත්වය ඔහු වෙළා ගනී. ඒ අතින් සිතත් අවියක්වැන්න. කෙලෙස් එහි බැඳෙන මලකඩ යි. ඒවා අවස්ථාවක් එළඹෙන තුරු සදහට ම බලාපොරොත්තුවෙන් සිටී.ඕනෑම යහපත් කාරියකට එළඹීම යන්නෙන් අදහස් කැරෙන්නේ සමාජයට කිිසියම් යුතුකමක් ඉටුකිරීම යි. එයට සේවාවකි යි කියන්නටත් පුළුවන. වඩාත් මිහිරි වචනයකින් කියතොත් පරිත්‍යාගය හෙවත් කැපවීම යි. පරිත්‍යාගය යනු සමාජය තුළ ශ්‍රේෂ්ඨතම අවශ්‍යතාව යි. පරිත්‍යාගය සියලු ශුභාංශිංසන ගෙන එයි. පරිත්‍යාගය යම් තැනක ද, එතන සාමයත්, සමෘද්ධියත් පල දරයි. බෝධි සත්ත්වයාට හෙවත් බුද්ධාංකුරයාට පුරන්නට රකින්නට සහ දියුණු කරන්නට ගුණධර්ම හෙවත් පාරමිතා දහයක් ඇත. එයින් දානය නම් වූ පරිත්‍යාගය පළමුවැනි ද, ප්‍රමුඛ ද වෙයි. දානය යන්නෙන් අදහස් කැරෙන්නේ අනුකම්පාවෙන් හිඟන්නකුට යමක් දීම හෝ බැති සිතින් පැවිද්දකුට යමක් පිරිනැමීම හෝ නොවේ. එයින් අදහස් කැරෙන්නේ ආත්ම පරිත්‍යාගය යි.

එය අනුන්ගේ හිතසුව පිණිස කැරෙන පරිත්‍යාගයේ අන්තය යි. දානාර්ථයෙන් දෙන දීමනාවේ අදහස තමාගේ අයිතිය අත්හැරීම යි.පරිත්‍යාගය සීමිත අර්ථයෙන් භාවිත විය යුත්තක් නොවේ. සුවිශේෂ සම්මුතිය වන්නේ් කිසියම් ක්‍රියාවක් තුළ ආත්මාර්ථයෙන් තොරව ඉටු කරන ලද පරිත්‍යාගයකි. එහෙත් යමෙක් නියත වශයෙන් අවංක සහ අව්‍යාජ වන්නේ නම්, එය ඔහුගේ වෘත්තිය තුල වුවත් විය හැකි ය.ඉදින් යමෙක් යුතුකම් ඉටුකිරීමේ ගුණයෙන් යුක්ත ද, තමන් වෙත පැවරුණු කාර්යභාරය නොමනාපයෙන් හා කන්කෙඳිරියෙන් තොරව ඉටුකරයි ද, එයින් අදහස් කෙරෙන්නේ, ඔහුගේ අධ්‍යාත්මය පරිත්‍යාගශීලි ගුණයෙන් සන්නද්ධ බව යි. යම් තැන අධිෂ්ඨානය, අව්‍යාජත්වය සහ සක්‍රීයත්වය වේ ද එතැන පරිත්‍යාගය ද වන්නේ්ය. කුටිලත්වය සහ උදාසීනත්වය ඇති තැන පරිත්‍යාගයෙන් තොර ය.

සමාජයට දුෂ්ටත්වය ගෙන එන්නේ උදාසීනත්වය හෙවත් ආලස්‍යය යි. ‍ෙකනකු උදාසීනත්වයට පත් කරන්නේ කුසීතත්වය විසිනි. දුප්පත් මිනිසකු තමා ම පරිත්‍යාගයක් වන්නට වෘත්තියක් කෙරෙහි බලාපොරොත්තු තබා යත්න දරන්නට පුළුවන. සැබවින් ම ඔහු අධිෂ්ඨානශීලීයෙකි. ඉවසිලිවන්තයෙකි. ඒ ඇයි? ඔහු දරිද්‍රතාව විසින් දිරි ගන්වනු ලබන හෙයිනි.

කුසීතත්වයෙන් පෙළෙන උදාසීනයන්ගේ් පැත්තෙන් බලන විට ඔවුන් තමන්ගේ සේවා යුතුකම් පැහැර හැර ඇති හේතුවෙන වර්තමාන සමාජයට සන්තුෂ්ටිය අහිමිව ඇත. ඔවුහු තමනට වුවමනා පමණට වඩා විවේක ගනිති. විවේකය වුවමනා වන්නේ කය සිත වෙහෙසා වැඩ කරන්නාට ය. එබැවින් එය ලබන්නට සුදුසු වන්නේත් ඔහු ම ය.

වැඩ කිරීමෙන් තොරව විවේක ගැනීම නීති විරෝධි වෙයි. ඇයි ද යත්, පැවැත්ම හෙවත් ජීවත්වීම යනු අරමුණක් ඉලක්ක කරගෙන සේවාවක නිරත විය යුතු නිසා ය. සොබාදහම විසින් හැම දෙයක් ම ප්‍රදානය කර ඇත්තේ ඉටු කරන්නට අදාළ සුවිශේෂ කාර්ය භාරයක් සමඟ ය. එය නිසැකයෙන් ම ස්වභාව ධර්මයේ නීතිය යි. උදාසීන, අලස පුද්ගලයා නීතිය ඉදිරිපිට අපරාධකාරයෙකි. නීතියට අකීකරු වූ හැම කල්හි දුෂ්ටයෝ ජය ගන්නෝ ය.

සොබාදහමේ නිර්මාණයක් වූ අනෙක් හැම සත්ත්වයකුට මෙන් ම මිනිසාට ද, සොබාදහමේ නියෝග වලට මුහුණ දෙනු පිණිස අධිෂ්ඨානයෙන් නැගී සිට කාර්යශීලි වන්නට සිදුව තිබේ.

කාර්යශීලි නොවන යමෙක් වන්නේද හෙතෙම කාලකණ්ණි භාවයට බිල්ලක් වන්නේ ය. රෝග පීඩාදියෙන් ඔහු වෙළා ගනු ලැබේ. අන්තිමට ඔහු සුන්බුන්ව විනාශයට පත්වෙයි.

ආයුධයක් අවසානය තෙක් වැඩෙහි යෙදීමෙන් එහි මල නොබැ‍ෙඳ්.

කාර්යශීලි මිනිස්සු වැඩි කලක් ජීවත් වෙති. ඒ ඔවුන් බොහෝ දුරට රෝග පීඩාදියෙන් තොර නිසා ය. අපි යුතුකම් ඉටු කරමු. එමඟින් සාමයත්, සමෘද්ධියත් වෙත පිය නඟමු.

මේ ලිපිය Mahabodhi Centenary Commemorative Volume - SAMBHASHA කලාපයේ පළ කරනු ලැබූ පූජ්‍ය ඒ. ධම්මානන්ද මාහිමියන්ගේ  The purpose of Life ලිපියේ පරිවර්තනයකි

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.