Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මඟ-නො මඟ හෙළි කළ දැව ක‍ෙඳ් දෙසුම

ගංගාවේ මෙතෙරටගොඩගසන ලද දැවකඳ මහා සමුද්‍රය වෙත නොයන්නා සේ ජීවිතයෙහි මෙතෙර හඳුනාගත යුතුය. ගංගාවේ මෙතෙරට ගොඩගසන ලද දැවකඳ මහා සමුද්‍රය වෙත නොයන්නාසේ ජීවිතයෙහි මෙතෙරට වැටුණු පුද්ගලයාද නිවනට පත් නොවන බව මෙහිදී පෙන්වා දී ඇති කරුණකි.

බුදු සසුනකින් අප බලාපොරොත්තුවන්නේ සසර දුක නිවාලන මාර්ගයකට ජීවිතය යොමුකර ගැනීමය. සසුනෙහි පිළිවෙත් පුරන බොහෝ දෙනෙකු විසින් යම් දිනක තමා සසරින් නිදහස් වීමට බලාපොරොත්තු වන්නේ නම් ඔහු ඒකාන්ත වශයෙන්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට බැස ගත යුතුය. එම නිසා නිවන සඳහා පිළිවෙත් පුරන සෑම අයෙකු විසින්ම හඳුනාගත යුතු කරුණූ කාරනා කිහිපයක් අන්තර්ගත සූත්‍ර ධර්මයක් පිළිබඳව විමර්ශනයට ලක් කිරීම මෙම ලිපියෙන් බලාපොරොත්තු වේ. සංයුත්ත නිකායේ ආසිවිස වග්ගයට අයත් ප්‍රථම දාරක්ඛන්ධෝපම දේශනය මෙහි ලා ඉතා වැදගත් සූත්‍ර ධර්මයකි.

එක්සමයක තථාගතයන් වහන්සේ ගංගා නම් නදියෙහි සැඩපහරට හසුව පහළට ඇදෙන දැවකඳක් දැක භික්ෂූන් වහන්සේලාට මහණෙනි, යැයි ආමන්ත්‍රණය කරන්නට විය. මෙම අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද කරුණක් නම් පහළට ඇදෙන දැව කඳ ගංගාවේ එතෙරෙට හෝ මෙතෙරට ගොඩබට නොවු යේ ද, ජලය මධ්‍යයෙහි කිදා නොබැස්සේ ද, ගඟ සුළියකට හසු නොවූයේ ද, මිනිසුන් විසින් නොගත්තේ ද, නොමිනුසුන් විසින් නොගත්තේ ද, ඇතුළත කුණු නොවුයේද, ගංගාව සමුද්‍රය දෙසට පිහිටි නැමීම නිසා එම දැවකඳ මහා සමුද්‍රයටම ගමන් ගන්නා බවය. ඒ ආකාරයෙන් ම බුදුරජාණන් වහන්සේ විසින් මෙම සූත්‍රයෙදී දේශනා කරනවා.

මේ මහා සමුද්‍රය තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශිත අමාමහ නිවන හා සමාන බව. එසේම මෙම ගංගානම් නදිය නිවන සඳහා දේශිත ආර්ය අෂ්ටාංගික මාර්ගය හා සමාන බවය. එසේම ගංගාවේ පහළට ඇඳුන දැවකඳ තථාගත ශ්‍රාවකයා බඳු බවය. මෙම උපමා කිහිපයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා ඇත්තේ සංසාර විමුක්තිය බලාපොරොත්තු වන පුද්ගලයා තම ජීවිතය තුළ හඳුනාගත යුතු ධර්මතා කිහිපයකි.

නිර්වාණය පිණිස ප්‍රතිපත්ති පුරන පුද්ගලයා එම ප්‍රතිපදාවෙහි ගමන්ගන්නා විට නිවන ගිළිහී යාමට හේතු වන කරුණූ කාරණා රාශියක් ඇති බව මෙමගින් විග්‍රහ කොට ඇත. එම නිසා බුදුරජාණන් වහන්සේ මෙම දැවකෙඳ් උපමාවෙන් පෙන්වා දෙන පළමු කරුණ වන එතෙර සහ මෙතෙර හදුනාගත යුතුය. ගංගාවේ මෙතෙරටගොඩගසන ලද දැවකඳ මහා සමුද්‍රය වෙත නොයන්නා සේ ජීවිතයෙහි මෙතෙර හඳුනාගත යුතුය.

ගංගාවේ මෙතෙරට ගොඩගසන ලද දැවකඳ මහා සමුද්‍රය වෙත නොයන්නාසේ ජීවිතයෙහි මෙතෙරට වැටුණු පුද්ගලයාද නිවනට පත් නොවන බව මෙහිදී පෙන්වා දී ඇති කරුණකි. මෙතෙරට හසුවීම නම් ඇස, කන, නාසය, දිව, කන, මනස යන ආධ්‍යාත්මික ආයතන වලට හසුවී එම ආයතන හය මගේය යැයි දැඩිව අල්ලා ගැනීමය. යමෙක් නිවනට පිළිපන්නා වූ මාර්ගයට පිවිසියද

එසේම ගංගාව මධ්‍යයෙහිදී ඇතිවන කිසියම් බාධකයක් නිසා දැවකඳ ජලය මධ්‍යයෙහි කිඳා බැස්මක් ඇතිවුණි ද එම දැවකඳ මහා සමුද්‍රය කරා නොයන්නා සේ යම් ශ්‍රාවකයෙකු විසින් නන්දිරාගයෙන් යුතුව තම ජීවිතයෙහි ඇති වන ලාභ සත්කාරයන්හි අනවශ්‍ය ඇල්මක් ඇතිකරගත්තෙහිද ඔහුගේ නිවනද ඇහිරෙන බව තේරුම් ගත යුතුය. තවද ගංගාවෙහි පහළට ඇඳෙන දැවකඳ මිනිසුන් විසින් ගොඩගත් විටක එම කැවකඳ ද මහා සමුද්‍රය කරා නොයන්නා සේ, ශාසන පැවිදි භාවය ලබන ලද භික්ෂුව වනාහි ගිහියන්ගේ කටයුතු වල ඇලී ගැලී ඔවුන් හා මිශ්‍ර වෙමින් කටයුතු කිරීමක් ඇත්ද එම ශ්‍රාවකයා ද මිනිසුන්ගේ ග්‍රහණයට හසු වූ අයෙක් යැයි මෙහි දී පෙන්වා ඇත. විශේෂයෙන් ශාසන බ්‍රහ්ම චරියාව අමතක කොට ගිහියන් සතුටු වන විට ඔවුන් සමඟ සතුටුවීම, ගිහියන් ශෝක කරන විට තමාද ඔවුන් සමඟ ශෝක කළ යුතු යැයි සිතා ශෝක කිරීම මෙහිදී දතයුතුය.

තවද ගිහියන්ගේ දරුවන් සුරතල් කිරීම, අල්ලාප සල්ලාපයෙහි යෙදීම, වශීගුරුකම් , වෙද හෙදකම් වල නිතරවීම මෙහිලා දත යුතුය. යම් පැවිදි ශ්‍රාවකයෙකු මෙකී කටයුතු වල යෙදී වාසය කරයිද ඔහුගේ නිවනද ඇහිරීයන බව දත යුතුය. එසේම දැවකඳ නොමිනිසුන්ගේ (අමුනුස්සයන්ගේ) ගැනීම කවරේ දැයි මීළඟට විමසා බැලිය යුතුය. යම් ශ්‍රාවකයෙක් සාසනයෙහි පිළිවෙත් පුරන ලද අතර තමා විසින් පුරන ලද ප්‍රතිපත්තීන්හි ප්‍රතිඵලය ලෙස මහේශාක්‍ය සම්පන්න දෙවියෙක් හෝ කිසියම් දේව සමාගමක උපත්තියක් ලැබේ නම් හොඳ යැයි සිතා කටයුතු කිරීම මෙහිදී විග්‍රහ කෙරෙන කාරණයකි. මෙහිදී බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ප්‍රතිපත්ති මාලාව දිව්‍ය සැප ෂහරණ පිණිස නොව හුදෙක් සසර විමුක්තිය පිණිස බව අප වටහාගත යුතු කරුණකි.

එසේම ගංගාවෙහි ඇති දිය සුළියකට දැවකඳ හසු වු විට මහා සමුද්‍රය වෙත එය නොයන්නේ යම් ආකාරයෙන්ද, සසුනෙහි දී පස්කම් ගුණයට හසුවන තැනැත්තා ද නිවනට පත් නොවන බව දත යුතුය. පස්කම් සුවය පිළිබඳ නිරවද්‍ය අවබෝධයක් රහිත තැනැත්තා වනාහි ඇසට දකින පි‍්‍රය මනාප රූප පිළිබඳ ව, කනට ඇසෙන මිහිරී යැයි සම්මත ශබ්ද පිළිබඳව ද, නාසයට දැනෙන පි‍්‍රය යැයි සම්මත ගණ්ධ පිළිබඳව ද, දිවට දැනෙන ප්‍රනීත යැයි සම්මත රස පිළිබඳව ද, කයට දැනෙන සැප යැයි සම්මත ස්පර්ශ පිළිබඳව ද ඇති කරගන්නා දැඩි උපාදානය මුල් කොට තම නිවන අහුරා ගන්නා බව දත යුතුය.

ඔහුගේ ජීවිතයට මෙකී පංචකාමයන් පැමිණෙන විට තම මූලික පරමාර්ථය මග හැරීයනු ඇත. මෙය අවබෝධකර නොගත් තැනැත්තා පංච කාමයන් තම ජීවිතයට පැමිණෙන විට ඒවා සාදරයෙන් පිළිගෙන සතුටු වෙයි. සිනාසෙයි, ඇතැම්හු තම ජීවිතය කරා පැමිණෙන කීර්ති ප්‍රශංසා ආදියට හසුවී (අත්තුක්කංසන පරවම්භනාදී ) ක්ලේසයන්ට වසඟ වූ ජීවිත ඇති කරගනිති. යමෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදියට ලොල්වී කටයුතු කරන්නේද ඔහු ගංගාවේ දියසුළියට හසුවී දැවකඳක් හා සමාන බව වටහාගත යුතුය.

තවද ගංගාවට වැටුණ දැවකඳ අරටු රහිත එකක් වුයේ නම් අතර මග විනාශයට පැමිණ එය මහා සමුද්‍රය කරා නොයන්නේය. එසේම ශාසනයට පැමිණෙන ඇතැමෙක් තම ජීවිතය තුළ සිල්වත් භාවය ඇති නොකර ගත්තේද, ඔහු දුසිල් ඇත්තෙක් වන්නේද ඔහුගේ එම ජීවිතය ඇතුළත කුණු වු දිවියක් බව දත යුතුය. ඇතමෙක් සිල් නොමැතිව තමා සිල් ඇත්තෙකු යැයි හඟවයි ද සැගවුණු ක්‍රියා ඇත්තේද, ඔහු ඇතුළත කුණු වු වැගිරෙන කෙළෙස් කසට ඇත්තෙක් යැයි තේරුම් ගත යුතුය. එය තමාගේ සංසාරික විමුක්තිය අහුරා දමන කරුණක් පමණක් නොව මරණාසන්න මොහොතේදි තම චිත්ත චික්ශිප්ත භාවයට හේතු වී මරණයෙන් පසු දුගති ප්‍රතිසන්ධිය පිණිසම හේතු වන කරුණක් බව දත යුතුය

දුස්ශීල භාවය වනාහි විදසුන් නුවණ පහළ කරගැනීමට නොහැකි ප්‍රබල සාධකයකි. මක්නිසාදයත් සීලය නැති සිත තුළ සමාධිය නූපදින්නේය. සමාධිය නැති සිත තුළ ප්‍රථමධ්‍යානාදි මහත් ගත කුසල් සිත් හා විදර්ශනා ප්‍රඥාව ද නූපදින බව වටහාගත යුතුය. බුදු සසුනෙහි අත්තිවාරම ශීලය යැයි අප සඳහන් කරනුයේ මෙකී කරුණු මුල්කර ගෙන බව නුවනැත්තන් විසින් වටහාගත යුතු කරුණකි. එම නිසා සසුනෙහි මූලික අත්තිවාරම වන ශීලය පිළිබඳව වැඩි සැලකිල්ලක් අප යොමුකරගත යුතුව ඇත.

මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත්තේ සසරින් නිදහස් වීම සඳහා පිළිවෙත් පුරන තථාගත ශ්‍රාවකයාගේ ජීවිතය තුළ හඳුනාගත යුතු ඉතා වැදගත් කරුණූ කිහිපයකි. බුදුරජාණන් වහන්සේ මෙම දේශනයෙන් පෙන්වා දෙන ලද උපමා කිහිපය ඉතා පැහැදිළිය. නිරවුල්ව, ගංගානම් නදිය උන්වහන්සේ උපමා කරන ලද්දේ ආරිය අෂ්ටාංගික මාර්ගයටය. මහා සමුද්‍රය උපමා කරන ලද්දේ අමාමහ නිවනටය. ගංගාවට වැටුන දැවකඳ වනාහි තථාගත ශ්‍රාවකයා යැයි උපමා කරන ලදී. මෙහිදී ඉතා වැදගත් කරුණක් පිළිබඳව උන්වහන්සේගේ අවධානය යාමුව ඇත.

එනම් ගංගානම් නදියට වැටෙන සියලු දේ මහා සමුද්‍රයට නොයන බවය. එසේ නම් අප වටහාගත යුතු කරුණක් ඇත. එනම් ශාසනයට පැමිණෙන සියලු දෙනා නිවනට පත් නොවන බවය. එසේ සසුනට පිළිපන් සියලු දෙනා නිවනට පත් නොවීමට හේතු සාධක මේ දෙසුමේ බුදුන් වහන්සේ මනාව පෙන්වා ඇත.

දාරුක්ඛන්ධෝපම සූත්‍රය ඇසුරිනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.