Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිවුර

දළ හා පාංශු කූල චීවර පරිභෝග කරන වකවානුවේ ජීවක කොමාරහච්ච වෛද්‍යවරයා රජවරුන් විසින් තමන්ට තෑගි කළ වටිනා සිවෙය්‍යක රෙදි දෙකක් හා කම්බිලියක් බුදුරදුන් වෙත දෙවරකදී පිරිනැමීය . එම රෙදි පිළිගත් භාග්‍යවතුන් වහන්සේ දායකයින් විසින් දෙනු ලබන චීවර- ගෘහ චීවර පිළිගැනීමටභික්ෂූන්ට අවසර දුන්හ.

බුද්ධකාලයේ මුල්ම අවධියේ සිවුරු ලැබුයේ ක්‍රම දෙකකටය. එක් ක්‍රමයක් නම් ඒහි භික්ෂුභාවයෙන් පැවිදිවන්නන්ට ඍද්ධියෙන් සිවුරු ලැබීමය. දෙවැනි ක්‍රමය නම් පාංශු කූ®ල රෙදිකෑලි එකතුකොට සකස්කර ගැනීමය. කාශ්‍යපය, ඔබ මගේ හණ රෙද්දෙන් කළ දළ සිවුර පොරවන්නට කැමැත්තෙහිද? යනු අසා කාශ්‍යප හිමියන්ට තමන්ගේ පාංශුකූල චීවරය තථාගතයන් වහන්සේ විසින්ම කාශ්‍යප හාමුදුරුවන්ට දුන් බව සඳහන්ව ඇත. පාංශුකූල වශයෙන් ලැබෙන ලැබෙන රෙදි කෑලි විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත නිසා වර්තමානයේ මෙන් හරි හතරැස්ව දැකුම්කළු ක්‍රමානුකූලව මැසූ සිවුරු නොතිබෙන්නට ඇත.

මෙසේ දළ හා පාංශු කූල චීවර පරිභෝග කරන වකවානුවේ ජීවක කොමාරහච්ච වෛද්‍යවරයා රජවරුන් විසින් තමන්ට තෑගි කළ වටිනා සිවෙය්‍යක රෙදි දෙකක් හා කම්බිලියක් බුදුරදුන් වෙත දෙවරකදී පිරිනැමීය . එම රෙදි පිළිගත් භාග්‍යවතුන් වහන්සේ දායකයින් විසින් දෙනු ලබන චීවර- ගෘහ චීවර පිළිගැනීමට භික්ෂූන්ට අවසර දුන්හ.

“අනුජානාමි භික්ඛවේ ගහපති චීවරං යො ඉච්ඡති, පාංසුකූලිකො හොතු ගහ පති චීවරං සාදියතු “යනුවෙන් ගෘහපති චීවරය අනුදත්හ.

මෙයින් පසුව භික්ෂූන් වහන්සේට දායකයන්ගෙන් ලැබුනේ රෙදිය. මේ රෙදිවලින් සිවුරු මසාගත යුතු විය. ඒ සඳහා නීත්‍යානුකූල ක්‍රමවේදයක් අවශ්‍ය විය. එය විනයානුකූල විය යුතුය. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හිමියන් සමග දක්ෂණගිරිය බලා වැඩමවද්දී මගධඡ ක්ෂේත්‍රය දුටහ. උන්වහන්සේ ආනන්ද තෙරුන් අමතා,

“පස්ස, නො තෙවං ආනන්ද මගධ කෙඛත්තං - අච්චි බද්ධං පාලිබද්ධ මරිය බද්ධං සිංඝාටක බද්ධං උස්සහසි තවං ආනන්ද භික්ඛුනං එවරුංපානි චීවරානි සංවිදහිතුන්ති “

ආනන්දය, තෙපි සතරැස් ලියැදි බැන්දා වූ, දිගින් හා පළලින් බැදි මහ මියර ඇත්තා වූ, අතරතුර බැදි කුඩා මියර ඇත්තා වූ, බදිනා ලද සතර හන්දි ඇත්තා වු මගධ ක්ෂේත්‍රය (මගධ රජුගේ කුඹුර ) දැක්කේද, ආනන්ද තෙපි භික්ෂූන්ට මේ කුඹුර අන්දමට සිවුරු කපා මැසීමට විධාන කරන්නැයි වදාළහ.

ආනන්ද හිමියෝ රෙදි කඩ කඩ කොට කපා මගධ කුඹුර අනුරුවට මසා සර්වඥයන් වහන්සේට පෙන්වු කල්හි ඒ ක්‍රමය යහපතැයි බුදුරදුන් අනුදත්හ. මේ අනුව රෙද්දක් සිවුරක් කිරීමට එය පළමුව කඩ කඩා මැසිය යුතුය.මෙය භික්ෂු භික්ෂූණී සාමණේර සාමණේරී සික්ඛමානා යන සැම කොටසකටම එකසේ වලංගුය. බලපවත්නේය.

මෙසේ කඩ කැපූ සිවුරු පරිහරණය කිරීමේදී වරින් වර ප්‍රශ්න මතුවිය. ඒ ප්‍රශ්න විසඳීම සඳහා පනවන ලද අනුප්‍රඥප්තීන් විශාල ගණනකි.

එසේ වදාළ ශික්ෂාපද අනු ප්‍රඥප්තීන් එකතුකොට මහාවග්ග පාලියේ චීවරක්ඛන්ධක යන කොටස දක්වා ඇත. එහි සවිස්තරව දැක්වෙන පරිදි සිවුරක තිබිය යුතු අංග මෙසේය. දිග පළල, නුවා - හරස්නුවා මහ මැඩිලි කුඩා මැඩිලි වස් අත්ත - ඇළ අතු, ගෙළ පටි, කෙණ්ඩා පටි, බාහුව මත සිටින නුවා, ගණ්ඨි - පාස , කප් බින්දු ආදියයි.

මෙහි නුවා යනු සිවුර වටේටම අමුතුවෙන් අල්ලන අඟල් හයක හතක වු පටියයි. එසේ වටේටම නුවා අල්ලා තිබිය යුතුය. මහ මැඩිලි කුඩා මැඩිලි යනුවෙන් සදහන් වන්නේ මැහුම්ය. ගැබ යනුවෙන් ව්‍යවහාර වේ. මගධ කුඹුරේ නියරවල් මෙන් මේවා දිස්වේ. වස් අත්ත යනු සිවුරේ හරි මැදට එන කොටසයි. අතු යන්නෙන් ගැනෙන්නේ කෑලි යන්නයි. කෑලි පහක් දිග් අතට මූට්ටු කළ සිවුරු වහරන්නේ අතු පහේ සිවුරක් වශයෙනි. ඇළ අතු යන්නෙන් හඳුන්වන්නේ දෙපස කොටස්ය. ගෙළ පටි, මෙය පාලියෙන් දක්වන්නේ ශීවෙය්‍ය යනුවෙනි. එනම් සිවුර පෙරවූ විට ගෙලට සිටින කොටසට මහත අගලක එකහමාරක විතර පටියයි. කෙණ්ඩා පටි නම් ජඞ්ගෙය්‍ය වේ. ඒ සිවුරේ පහළ කෙළවරේ නූුවාවට උඩින් අල්ලන පටියයි.

මේ දෙකම සිවුරට මහන්නේ බෙල්ලට සිටි කොටස් ද දෙපාවල නිතර ගෑවෙන කොටසද ඉක්මනින් ගෙවෙන දිරාපත් වන නිසා සිවුර වැඩි කලක් ආරක්ෂා කිරීම සඳහාය. ගණ්ඨි පාස යනු සිවුර පෙර වූ විට එක පොටක් හුළඟට යාම නැවැත්වීම සදහා සිවුරු පටවල් දෙකම යටින් එකට ගැට ගසන නූල් දෙකයි. කප් බින්දු යනු එක් එක් සිවුරු මාරුවීම නිසා තම තමන්ට තම තමන්ගේ සිවුර හඳුනා ගැනීම සඳහා කරන සළකුණයි. සිවුරක් යනු මේ අංගවලින් සම්පූර්ණ වූ වස්ත්‍රයයි.

මෙසේ සකස් කළ සිවුරු බුදුරදුන් දවස භික්ෂූහු ගොම වලින් හා මැටිවලින් පාට කළහ. එහි දී තථාගතයන් වහන්සේ එය නවත්වා සිවුරු පඬු පෙවීම පිණිස වර්ග පහක් නියම කළහ. මුල් පඬුදැව පඬු , පොතු පඬු , කොළ පඬු , මල් පඬු පල පඬු වශයෙන් මේ සියල්ල නියම කළේ ස්වභාවික ගහ කොළ වලිනි.

පැරැණි භික්ෂූන් වහන්සේ මුල් පඬු සඳහා කොස් මුල් ද, දැව පඬු සඳහා නුග වර්ගද පොතු පඬු සඳහා කිරිපැල්ල පොතු ආදිය ද මල් පඬු සඳහා සේපාලික මල් වැනි දේද භාවිතා කළහ.

මේ අනුව සකස් කරගත් කඩ කැපු සඟල සිවුර , කඩ කැපූ උතුරු ඝන සිවුර, කඩ කැපූ අඳන භික්ෂූන් විසින් භාවිත කළ යුතුයැයි අනුදැන වදාළහ. කඩ නොකැපූ සිවුරු තහනම් කළහ.(මහාවග්ග පාලිය 2.709 ) ඉක්බිතිව පඬු පෙවීමේ ක්‍රම අනුමත කර ඇත පඬුහැළී පඬුගන්නා හැඳි, පඬු කළ පඬු ඔරු ආදිය ද අනුමත කර ඇත.

සිවුරේ පැහැය වැඩි වුවහොත් දියේ ඔබා තැබීමට ද, පඬු බින්දු බැහැර නොයන සේ පඬු පෙවීමටද නියම කර ඇත. සිවුර වේලීමට උණ දන්ඩක වැනිය යුතුය. ඉනික්බිතිව සිවුරු ගබඩා සිවුරු භාණ්ඩාගාරික , සිවුරු පිළිගන්නා, සිවුරු බෙදන්නා, ආදි තනතුරු ඇති කොට ඇත.

මේ සියල්ල ක‍ෙළ් භික්ෂු භික්ෂුණී සාමණේර, සාමණේරී, සික්ඛමානා යන සියලු කොටස් සඳහාය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.