UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කුසල සිත ගෙනෙන සෙත

 

දානාදී පින්කම් කල තැනැත්තා මෙලොවත්  සතුටු වේ. පරලොවත් සතුටු වේ.  මා විසින් මෙවන් පින්කමක් කළායයි පරලොවදී සුගතියේ ඉපිද  සැප විඳින විට බොහෝ සේ සතුටු වේ.  ලෝභ ,දෝෂ, මෝහ අකුසල මූලයන්  යටපත් කිරීමෙන් සිත, කය, වචනය යන තිදොරින් කරණ දානාදී සත්  ක්‍රියාවලට පින්කම් යැයි කියනු ලැබේ.  යහපත් සිතට අනුව වචනයත්,  ක්‍රියාවත් පවත්නේ නම් එයට අනුව ප්‍රතිඵලය ලැබීම චිත්ත නියාමය හා කර්ම නියාමයයි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ඉධ නන්දති පෙච්ච නන්දති
කත පුඤ්ඤෝ උභයත්ථ නන්දති
පුඤ්ඤං මේ කතන්තී නන්දති
භීය්‍යො නන්දති සුග්ගතිං ගතො

“සුපින්වත්නි”

සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි සුමනාදේවිය අරභයා ඉහත ගාථා ධර්මය දේශනා කර වදාළ සේක.

සැවැත්නුවර අනේපිඬු සිටු මැදුර දෙදහසක් භික්‍ෂූන් වහන්සේ දන්පැන් පූජා කරන නිත්‍ය දන්සැලක් බඳුය. එම දානමානාදී සියලු කාර්යයන් මනාව සංවිධානය කිරීමට මහා සුභද්‍රා චුල්ලසුභද්‍රා සුමනාදේවී, යන දූවරුන් තුන්දෙනාට පවරන ලදී. ඉතා ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් වීර්යයෙන් සංඝ උපස්ථානයෙහි මෙහෙවරෙහි නියුතු වූ මෙම තිදෙනාගෙන් වැඩිමහල් දෙදෙන දහම් අසා සෝවාන් වූවාය. සිටුගෙදර සංඝ උපස්ථාන යේ නිරතව දහම් අසා සෝවාන් මාර්ගඵලයට පත් සුමනාදේවිය පසු කලෙක රෝගාතුර වූවාය. ක්‍රමයෙන් උත්සන්නව ඇෙඳ් වැතිර සිටි සුමනාදේවිය ළඟට පැමිණි අනේපිඬු සිටුතුමා “ කිම? දුව සුමනා යැයි ඇමතූහ. එවිට සුමනා “ කිම බාල මලණුවෙනි! යැයි පිලිවදන් දුන්නාය. මගේ දුව රෝගාතුරව මරණ බියෙන් දොඩන්නේය යැයි සිතා කිම දුව විකාර දොඩවන්නේ දැ? යි ඇසීය. සුමනා දේවියද නැත. බාල මලනුවෙනි! කුමට බියවෙම් දැයි පිළිවදන් දුන්නාය. මෙසේ තෙවරක්ම අසන විට තෙවරක් බාල මලනුවනි කියා මොහොතකින් කලුරිය කොට තුසිත දෙව්ලොව උපන්නාය.

අනේපිඬු සිටුතුමාද සොවින් තැවි තැවි අවසන් කටයුතු කොට නිමවා බුදුරදුන් ළඟට ගොස් මෙසේ තම දියණියගේ මරණාසන්න ප්‍රවෘත්තිය ප්‍රකාශ කරමින් ශෝකය සමනය කරගත්හ. ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, මාගේ බාල දුවණිය සිහිවිකල්ව මට තෙවරක්ම බාලමලණුවෙනි! යැයි ඇමැතීය. මේ පිළිබඳව මට දැඩිශෝක සන්තාපයක් ඇත්තේ යැයි කීහ. බුදුරජාණන් වහන්සේද මේ සියල්ල බුදුනුවණින් දැක ඔබ මාර්ගඵල ලාභයෙන් බාලය සෝවාන්ය.එහෙත් ඔබේ දුව සකෘදාගාමිය. එය හැඟවීමට ඇය එසේ ප්‍රකාශ කළාය. එමෙන්ම ඇය දැන් තුසිත දෙව්ලොව ඉපිද දිව සැපත් විඳීන්නීය යි දක්වා වදාළසේක. සිටාණන්ගේ සෝදුක් සංසිඳී ගියේය. බුදුරජාණන් වහන්සේ මෙම කාරණය නිමිති කරගෙන ඉහත දැක්වූ ගාථාවෙන් පින්කිරීමේ අනුසස් පෙන්වමින් අවස්ථාවෝචිත ධර්මයක් දේශනා කළසේක. “පින්වත්නි”

දානාදී පින්කම් කල තැනැත්තා මෙලොවත් සතුටු වේ. පරලොවත් සතුටු වේ. මා විසින් මෙවන් පින්කමක් කළායයි පරලොවදී සුගතියේ ඉපිද සැප විඳින විට බොහෝ සේ සතුටු වේ. ලෝභ ,දෝෂ, මෝහ අකුසල මූලයන් යටපත් කිරීමෙන් සිත , කය, වචනය යන තිදොරින් කරණ දානාදී සත් ක්‍රියාවලට පින්කම් යැයි කියනු ලැබේ. යහපත් සිතට අනුව වචනයත්, ක්‍රියාවත් පවත්නේ නම් එයට අනුව ප්‍රතිඵලය ලැබීම චිත්ත නියාමය හා කර්ම නියාමයයි. එවැනි පින්කම් දසයක් විස්තර වේ. යහපත් හිතින් කරණ සෑම ක්‍රියාවක්ම මෙම පින්කම් ගණයට අයත්වන නමුත් ඒවා සියල්ල සංක්‍ෂේප කොට මෙසේ විස්තර කැරේ.

දානය, සීලය, .භාවනාව, පින්දීම, පින් අනුමෝදනය, වතාවත් කිරීම, වෘද්ධ පචායනය, ධර්ම දේශනා, ධර්මශ්‍රවණය, සම්මා දිට්ඨිය යන මේ දස පුණ්‍ය ක්‍රියාවන් නිතර ක්‍රියාත්මක කරන්නාගේ සන්තානයට ඉක්මනින් ලෝභාදී ක්ලේෂ ධර්මයන් ප්‍රවේශ නොවේ. එබැවින් ශ්‍රද්ධාදී කුසළ චේතනා ඇතිවීමෙන් නිරාමිස පී‍්‍රතියක් ඇතිවේ.

ලෝකයේ පවත්නා සියලු සත්භාවී ක්‍රියාවලට ධනය ප්‍රධාන වේ. පුද්ගලයා සමාජ ගත වන්නේද දානය නමැති උතුම් ක්‍රියාවෙනි. තව ලොව්තුරා බුදු බව ලබන බෝසත් උතුමන් පටන් සක්දෙවිඳුගේ දිවසැපත සක්විති රජතුමන් ආදිකොට ඇති දෙව්ලොව මනුලොව සකල සම්පත් ලබන්නට දන් පිංකම් කළ යුතු වේ.

දන්දීම සාධනීය ක්‍රියාවලියක් වශයෙන් සෝවාන්වීම දක්වා ගමන් කරණ චිත්ත ශක්තියක් ලෙස තබාගැනීමට ලෝභ , දෝෂ මෝහ යන අකුසළ මූලයන් යටපත් කරගෙන සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංඛ්‍යාරික හෙවත් නිරාමිස පී‍්‍රතියෙන් කර්මඵල විශ්වාසයෙන් ස්වයං උත්සාහයෙන් දන්දිය යුතු වේ. ආමිස දාන ධර්මදාන යනුවෙන් ප්‍රධාන දාන දෙකක් වන අතර දාන පින්කමේ ආනිශංස වශයෙන් දේවමානුෂිකාදී භවභෝග සම්පත් ලාභීවීමද භවාන්තරයේ කෙළවර නිවනින් සැනසීමේ භාග්‍යයද උදාවේ.

සික්ඛතීති සීලං යනුවෙන් දක්වා ඇති පරිදි කය වචනය හික්මවා ගැනීම සීලයයි. ප්‍රාණඝාතාදී කායික අකුසල්ද මුසාවාදාදී වාචසික අකුසල් ද වාරණ වේ. සීලය ත්‍රිවිධ ශික්ෂාව ප්‍රථමයෙන් දක්වා ඇත්තේ ශික්‍ෂණය සෑම කුසලයකටම මූලික වන බැවිනි. නිර්වාණාබෝධය දක්වා පූර්ව කුසල චේතනාවක් වශයෙන් ආරක්‍ෂා කර ගැනීම පංච සීලයේ පටන් අටසිල්, දසසිල්, උපසම්පදා සීලයට අයත් සතර සංවර සීලයද මතු පින්කම් කිරීම හා නිවන් අවබෝධය වශයෙන් ලෞකික ලෝකෝත්තර සම්පත්ති දායක වේ.

සීලය ඉතා සිහි බුද්ධියෙන් ආරක්‍ෂා කරගෙන මත්තෙහි ලෝකෝත්තර කුසල චේතනාවන්ට ප්‍රතිස්ටාධාර කරගත යුතුවේ.

අනාදිමත් කාලයක් පුරා සසර දී රැස් කරමින් ගෙනෙන ලද තණ්හාදි ක්ලේශ ධර්මයන් එක ජීවිතයකදී මොහොතකින් නැති කළ නොහැකිය. ක්‍රමයෙන් කෙලෙස් ප්‍රහීණ කිරීමට උපාය මාර්ගයක් වශයෙන් භාවනා කළ යුතුවේ. සිත භාවනාවට පුරුදු පුහුණු වූ විට ක්‍රමයෙන් ධ්‍යානාදී මාර්ගයෙන් අනිත්‍යාදිය මෙනෙහි කොට විදර්ශනා භාවනාවෙන් තණ්හාදි ක්ලේශයන් සමච්ඡේද ප්‍රහාණයෙන් උතුම් සිරිසත්දම් ප්‍රත්‍යක්‍ෂ කර ගත හැකි වෙයි.

පින් කිරීමත් පින්දීමත් අනුමෝදනයත් සමානව ක්‍රියාත්මක වේ. වෙන වෙනම චිත්තක්‍ෂණ වලදී සිදුවුවද තුන්දොරෙහි අභ්‍යාස වශයෙන් එකම අරමුණක අනුයුක්තව පවත්නා පින්කම් වේ. වත් පිළිවෙත් කරණවිට වෘද්ධපචායනයද අනිවාර්යෙන් ක්‍රියාත්මක වන්නාවූ උතුම් පින්කම්ය. විශේෂයෙන් පැවිදි ජීවිතය ප්‍රභාමත්වීමට සිවුපසය පර්යේෂණ පරිභෝජනය ආරක්‍ෂාව පරිසරයට හිතකර වීම යන කාර්යන්හිදි කාර්යයට යෝග්‍ය පරිදි චරියා ධර්මයන් පැවැත්වීම මහඟු පින්කමකි. භාග්‍යයකි. පරිසර හිතකරවීමට නම් අවට පරිසරයට අනුගතවීමේ ශික්‍ෂණය අවශ්‍යම වේ. දෙමවුපියන්, ගුරුවරුන්, පැවිදි උතුමන්, වැඩිහිටියන් ආදිතමනට සීලයෙන් ගුණයෙන් වයසින් උසස් අය සමඟ ආශ්‍රය කිරීමේදි සිතින් සමීපවුවද, ක්‍රියාවෙන් පමණට වඩා ළං නොවිය යුතුය . ගරුත්වය පූජ්‍යත්වය දෙකම සන්තානයේ තිරසාරව තැන්පත් කරණගෙන වැඳීම ,පිදීම කතාබහ කළ යුතුවේ. එයින් පින් සිතුවිලි අපමණ ජනිත වේ.

දෛනිකව තමනට වඩා ගුණ නුවණින් වඳින පුදන ගරුකරණ අයට ලැබෙන ප්‍රතිවිපාක දැක්වේ.

ධර්මය දැනීමත් දේශනා කිරීමත් එමෙන්ම ශ්‍රවණය කිරීමත් උතුම් පින්කම් වන අතර එය තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් කර්මය හා කර්ම ඵල පිළිබඳ නිවැරැදි බුද්ධියක් අත්‍යවශ්‍ය වේ. සියලුම පින්කම් කළ යුත්තේ කුසලා කුසල පිළිබඳ යථාර්ථ අවබෝධය ඇතිවිය.

බුද්ධ දේශනාව අනුව සෑම සිතකම මූලය වන්නේ කර්මඵල විශ්වාසය සංඛ්‍යාත සම්මා දිට්ඨියයි. මෙසේ පින්කම් කිරීමෙන් එහි විපාක වශයෙන් දිට්ඨධම්ම වේදනීය නම් වූ කුසල් ක්‍රියා චිත්ත වීථියේ ජවන සිත්වලින් කීපයක් මෙළොව විපාක ලැබීමටද උපපජ්ජ වේදනීය නම් වූ යළි උපදින භවයටද නැවත භාවන්තරයටද විපාක දීමට හේතු කාරකවේ. එමෙන්ම සදාකාලික නිවණින් සැනසීමටද වාසනා භාග්‍යය උදාවේ .

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 02 වනදා සඳුදා අපර භාග 05.20 ට ලබයි. 03 වන දා අඟහරුවාදා අපර භාග 03.51 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 09 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

පෙබරවාරි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]