UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෝගමුව බෝධියන්දෙණිය ශ්‍රී පූර්වාරාම මහා විහාරය

සටහන හා ඡායාරූප,

ජනක වෙත්තසිංහ

සීතාවක රාජධානිය පැවැති යුගයේ එනම්, මීට වසර 400 කට පමණ ප්‍රථමයෙන් මෙම භූමියේ බෝ වෘක්‍ෂයක් රෝපණය කළ නිසාවෙන් මෙය පුණ්‍ය භූමියක් බවට පත් විය. අක්කර දෙකක පමණ භූමියක සකලාංගයෙන්ම පරිපූර්ණ වූ කලගෙඩිහේන, අලුත්ගම, බෝගමුව බෝධියන්දෙනිය ශ්‍රී පූර්වාරම මහා විහාරය කොළඹ නුවර මාර්ගය ආසන්නයේම පිහිටා ඇත.

බෝධියන්දෙනිය ශ්‍රී පූර්වාරාම විහාරය නමින් ප්‍රකට මෙම විහාරස්ථානයට එම නම යෙදෙන්නේ මේ පැරැණි බෝධීන් වහන්සේ නිසා ය. දිගු කාලයක් පුරා අවට සැදැහැති දනන්ගේ භක්ත්‍යාදරයට පාත්‍ර වූ බෝධීන් වහන්සේ වඩා හිඳවා ලූ භූමිභාගය 1915 වසරේ දී සග සතු කර පූජා කරන ලදී.

සීනාදී සිව් කොරළයේ ප්‍රධාන සංඝනායක කොස්සින්නේ පුඤ්ඤානන්ද නා හිමි ප්‍රථම විහාරාධිපති තනතුරට පත්වීමෙන් අනතුරුව විහාරස්ථානයේ මූලාරම්භය සිදු වෙයි. අද දකින්නට ලැබෙන බුද්ධ මන්දිරයේ ඇතුල් මාලය සහිත අංගයන් ඝණ්ඨාර කුළුණත් සාදන ලද්දේ ඒ කාල පරාසය තුළදී 1931 වර්ෂයේ දී ය. මාල දෙකකින් සමන්විත මෙම විහාර මන්දිරය එතරම් සුවිසල් නොවෙතත් එය අලංකාර වූ නව ආකෘතියකින් නිමවා ඇත.

ශාන්ත රසය වෑහෙන සැතපෙන පිළිම වහන්සේ හා එවැනිම ඔත් පිළිම වහන්සේ මෙන්ම මතු බුදුවන මෛත්‍රී බෝධිසත්ව පිළිමයකින් ද සමන්විත වූ ඇතුල් මාලයේ නිර්මාණයන් සිත් බඳනා සුළුය. විහාර මන්දිරයට පසු කාලයක සම්බන්ධ කර ඇති පිට මාලයේ විචිත්‍ර වූ නිර්මාණයන් මගින් සූවිසි විවරණය සත් සතිය ආදිය පිළිබිඹු වේ. මෙහි ඇති පැරැණි ආකෘතියකින් හෙබි ධර්ම මන්දිරය ගොඩ නඟා ඇත්තේ 1965 වසරේදී උඩුවක සද්ධානන්ද හිමියන්ගේ යුගයේ දී ය. 1974 සිට 1989 දක්වා වූ යුගයේ මෙහි විහාරාධිපතිත්වයට පත් වූ දොම්පේ ධම්මරතන නාහිමි මීගමු පළාත් සහිත සීනාදී සිවු කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක වශයෙන් පිදුම් ලැබීමට සමත් වූහ.

වර්තමානයේ විහාරාධිපතිත්වය උසුලන්නේ යොංගංමුල්ලේ ඤාණරතන ස්ථවිරයන් වහන්සේ ය. විහාරස්ථානය පරිපූර්ණත්වයට පත් වීමට එතෙක් අඩුවක්ව පැවැති චෛත්‍යය ඉදිකර එහි කොත් පැළඳවීම සිදු කෙරෙන්නේ 1979 වසරේ වත්මන් විහාරාධිපතින් වහන්සේගේ කාලයේදී ය.

මෙසේ සකලාංගයන්ගෙන්ම සම්පූර්ණ වන විහාරස්ථානය තවත් ඉදිරි පියවරක් තබමින් සිඟිති දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබයි.අද මෙහි කුඩා දරු දැරියෝ 50 ක් පමණ සිටිති. රංමුතුගල මහින්ද සමාජ සේවා ආයතනාධිපති ශාස්ත්‍රාචාර්ය ශීලෝගම විමල හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් ජපානයේ පරිත්‍යාගශීලීන්ගේ ආධාරයෙන් මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය ගොඩ නැඟී තිබේ. ආගමික පරිසරයක් තුළ මෙවන් මධ්‍යස්ථානයක් ස්ථාපිතව තිබීම අවට තරුණ දෙමාපියන් මෙන්ම ඔවුන්ගේ සිඟිති දරුවන් ලද භාග්‍යයකි.

විහාරස්ථානය තුළ පවත්වාගෙන යන දහම් පාසල ද ප්‍රදේශයේ මහත් කීර්ති නාමයක් දිනා ගත් දහම් පියසක් ලෙස ප්‍රකට ය. මෙහි දහම් අධ්‍යාපනය ලබන දරු දැරියන් 1480 ක් පමණ සිටින අතර ගුරු මණ්ඩලය 46 කින් පමණ සමන්විත වෙති. ගුරු මණ්ඩලයේ සාමාජිකයින් අතර විදුහල්පතිවරු විශ්‍රාමික ගුරුවරුන් මෙන්ම ධර්මාචාර්ය සමත් අනෙකුත් ගුරු භවතුන් දහම් දැනුමෙන් පෝෂිත වීම විශේෂයකි එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙහි අධ්‍යාපනය ලබන දූ දරුවන්ට ඉතා ක්‍රමවත් ලෙස හොඳ දහම් අධ්‍යාපනයක් ලැබෙයි. විශාල සංඛ්‍යාවක් මෙහි අධ්‍යාපනය ලබන නිසා දරුවන්ට අවශ්‍ය ගොඩනැඟිලි මෙන්ම ඩෙස් පුටු හිඟකමක්ද පවතී.

ප්‍රදේශවාසීන් වෙනුවෙන් මෙම විහාරස්ථානයෙන් ඉටුවන තවත් සත්කාර්යයක් ලෙස දැනට වැඩ නිමැවී ඇති දෙමහල් පුස්තකාලය නම් කළ හැක.

මෙම වෙහෙසකර කාර්ය වෙනුවෙන් රුපියල් දෙකෝටි හැටලක්‍ෂයක් පමණ වැය වූ බව විහාරාධිපති ඥාණරතන හිමියෝ පවසති. පුස්තකාලය ඉදිකිරීමට මූල්‍ය පහසුකම් සළසා දී ඇත්තේ පුදේශයේ දායක කාරකාදීන් මෙන්ම විදේශයන්හි සේවය කරන ධන පරිත්‍යාගශීලීන් විසිනි.

එමෙන්ම මෙම පුස්තකාලය දැනට ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති විශාලම පුස්තකාලය බව විහාරාධිපතීන් වහන්සේ පවසති. පාඨකයන්ගේ ඥාණනයේ නිම්වලලු පුළුල් කර ගැනීමට සමත් ලෙස විවිධ විෂයන් යටතේ පොත් රාශියක් මෙම පුස්තකාලයෙන් පරිශීලනයට ඉඩ කඩ සළසා දීමට අපේක්‍ෂා කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය වූ සියලු පහසුකම්වලින් මෙය සමන්විතව තිබේ.

උඩුමහලේ විශාල කියවීම් ශාලාවේ එකවර 60 දෙනෙකුට පමණ පරිහරණය කිරීමේ පහසුකම් ඇති සුව පහසු වායු සමීකරණය කළ ශාලාවකි.

අභිනවයෙන් ඉදි වූ දෙමහල් පුස්තකාල ගොඩනැගිල්ල - පැරැණි බෝධීන් වහන්සේ සහ විහාර මන්දිරය

ප්‍රදේශවාසී ගිහි පැවිදි භේදයකින් තොරව කුදු මහත් පාඨකයන් වෙනුවෙන් මෙම සුවිසල් පුස්තකාල ගොඩනැඟිල්ල 2009 පෙබරවාරි මස අට (08) වන දින විවෘත වෙයි.

එදින පැවැත්වෙන උත්සව සභාවේ මූලාසනය හොබවනු ලබන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලිමිටියාවේ කුසල ධම්ම නා හිමිපාණන් වහන්සේ විසිනි. ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, මහනුවර ශ්‍රී දළදා මන්දිරයේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා හා ප්‍රදේශයේ අනෙකුත් මැති ඇමැතිවරු ඇතුළු විශේෂ අමුත්තන් රාශියක් මෙම අවස්ථාවට සහභාගී වෙති.

ගොඩනැගිලි හෝ වෙනත් භෞතික සම්පත් වලින් ආඩ්‍ය වූ පමණින් රටක් සංවර්ධනය නොවේ. යහපත් ලෝකයක් නිර්මාණය වන්නේ වර්ධනය වූ යහපත් පුළුල් මනසක් ඇති මානවයා අතිනි. හෙට ලෝකය ගොඩනඟන සිඟිති දරුවාගේ සුරක්‍ෂිත බව සළසාදීමේ මූලික පියවරේ සිට වැඩෙන දරුවාගේ මනස දහම් දැනුමෙන් පෝෂණය කරමින් සුවපත් කරමින්, බුද්ධියේ නිම්වලලු පුළුල් කිරීමට සමත් පරිසරයක් ද නිර්මාණය කරමින් ගුණ ගරුක පරිපූර්ණ මිනිසකු තනන්නට සමත් ආගමික පසුබිමක් වෙතට කැඳවන පුදබිමක සිරිය බෝදියාදෙනිය විහාරයේ දී එකවිට දැක ගැනීමට ලැබීම වාසනාවකි.

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 02 වනදා සඳුදා අපර භාග 05.20 ට ලබයි. 03 වන දා අඟහරුවාදා අපර භාග 03.51 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 09 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

පෙබරවාරි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]