ශික්‍ෂා පදවලම
එල්ලී සිටිය යුතු ද?
රාජකීය පණ්ඩිත
ඔලිදළුවේ සිරිවිභුති හිමි
ශික්‍ෂාපද වල එල්ලී සිටීම බුදු
වදනට අනුව සීලබ්බත පරාමාසයකි. ශීලය යනු මධ්‍යස්ථ විය යුත්තක් මිස
අන්තගාමී විය යුත්තක් නොවේ.විනයො නාම සාසනස්ස ආයු යන මේ ප්‍රකාශය
මහාකාශ්‍යප තෙරුන් ඇතුළු තෙරවරුන්ගේ ප්‍රකාශයක් ලෙස සංගීති වාර්තාව ලෙස
දක්වන චුල්ල වග්ගය සඳහන් නොකරයි.
භික්‍ෂූන් වහන්සේට මුදල් භාවිතය අකැපැයි මැයෙන් බුදුසරණ 2008 දෙසැම්බර්
05 වනදා පත්‍රයේ පළ වූ ආර්.ඇම්. ආරියසේන මහතාගේ ලිපිය සම්බන්ධයෙනි.
බුදු දහම යනු ප්‍රතිපදාවකි. පිළිපැදීම තුළින් ඵල නෙළාගත හැකි දහමකි.
යායුතු මාර්ගයකි. බුදුරදුන් දේශනා කළ දහම පිළිබඳව විවිධ සූත්‍ර දේශනා
අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වන්නේ අධිෂ්ඨානය පෙරටු කොට ලබාගත යුතු
විමුක්තියක් බව ය. සංසාර සාගරයෙන් එතෙර වීම පිණිස බුදු දහම පරිහරණය කළ
යුතු බව බුදුරදුන් අවධාරණය කරති. එහෙත් ඉහත ලිපිය කියවීමේදී පෙනී යන
කරුණු වන්නේ එය එතෙර වීම සඳහා පාවිච්චි කළ යුතු බුදු දහම නමැති පහුර කර
තබාගෙන යන්නෙකුගේ ප්‍රකාශයක් බවය. මේ දහම එතෙර වීම පිණිස මිස ග්‍රහණය
පිණිස නොවේය යැයි අලගද්දූපම සූත්‍රයේ බුදුරදුන් අවධාරණය කර තිබියදීත්
මේ අයුරින් බුදු දහම වැරැදි ලෙස ග්‍රහණය කර ගැනීම සුදුසු නොවේ. එම
ලිපියේ සඳහන් එක් ප්‍රකාශයක් මෙසේ ය. ශික්‍ෂා පද කැඩීම නිවන් මඟ
ඇහිරීමකි.
පියාපත් කඩා දැමීමකි. මෙහිදී මා පැහැදිලි කරන්නේ ශික්‍ෂාපද කැඩීම යහපත්
ය යන්න නොවන බව අවධාරණය කරමි. සිකපද රැකිය යුතු ය
. එහෙත් බුදු වදනට අනුව සික පද වූවද ප්‍රමාණාත්මකව ග්‍රහණය කරගැනීම
බෞද්ධයෙකුට නොවටී යන්න පෙන්වා දීමයි. ඉහත ලිපියේ සිකපද පිළිබඳව
ආදානග්‍රාහී ලෙස දැඩිව කථාබහ කර තිබේ. එහෙත් මෙහිදී එක් වැදගත් කරුණක්
සිහිපත් කරනු කැමැත්තෙමි. බුදුරදුන් බුදු වී වසර විස්සක් ගතවන තුරු
භික්‍ෂූන් වහන්සේලා හික්මවා ගනු ලැබුවේ ඕවාද ප්‍රාතිමෝක්ෂයෙනි. එය
සිකපද මාලාවක් නොවේ. සිකපද නොමැතිව බුදු සසුන වසර විස්සක් පැවතුණි.
එකදු සික පදයක් හෝ නොමැතිව අප්‍රමාණ රහතන් වහන්සේලා බිහිවූයේ කෙසේද?
ඉහත ලිපියේ අදහසට අනුව එම වසර විස්ස තුළ බිහි වූ රහතන් වහන්සේලා
ප්‍රධාන සියලු භික්‍ෂූහු කිසිදු සීලයක් නැති හුදෙක් සිවුරු පොරවාගත්
පිරිසකි. බුදු වී පිරිනිවන් පානා තෙක්ම පරමාදර්ශී වූ බුදුරදුන් කෝටියක්
සංවරශීලයෙන් යුතු උපසම්පදාව ලැබූ බව කිසිවිටෙක සඳහන් වී තිබේද? වසර
විස්සක් බුදුසසුන පැවතුනේ සික පද රහිතව බව ශික්‍ෂාපද කිසිදු විටෙක
නොවෙනස් විය යුතු යැයි, ප්‍රකාශ කරන අය අමතක නොකළ යුතු ය. සික පද
පිළිබඳව කථාකිරීමේදී සැලකිලිමත් විය යුතු වඩාත් වැදගත් කරුණ වන්නේ
දෙව්දත් තෙරුන්ගේ පංචවරයයි. එනම්,
ජීවිතාන්තය දක්වාම භික්‍ෂූන් අරණ්‍යවාසී විය යුතු ය.
ජීවිතාන්තය දක්වාම භික්‍ෂූන් වෘක්‍ෂමූලික විය යුතු ය.
ජීවිතාන්තය දක්වාම භික්‍ෂූන් පාංශුකූලික විය යුතු ය.
ජීවිතාන්තය දක්වාම භික්‍ෂූන් ධූතාංගධාරී විය යුතු ය.
ජීවිතාන්තය දක්වාම භික්‍ෂූන් මාංශ පරිභෝජනයෙන් වැළකිය යුතු ය.
දෙව්දත් තෙරුන් ඉල්ලූ මේ සික පද බුදුරදුන් ප්‍රතික්‍ෂේප කළහ. මේ සික පද
දෙස බැලීමේ දී ඒවා වඩාත් ප්‍රතිපත්ති ගරුක වඩාත් සිල්වත් භික්‍ෂු
සමාජයකට කෙතරම් වැදගත්ද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. මස්,
මාළු නොවළඳන ගස් මුල් වල වසන විහාරාධිපතිකම් නොකර ධුතාංග දහතුන වැනි
දුෂ්කර කරුණු පිළිපදින පාංශුකූල සිවුරු හෙවත් මළ සිරුරු ඔතා දැමූ
වස්ත්‍ර වලින් කළ සිවුරු පොරවන පිණ්ඩපාතයෙන් යැපෙන භික්‍ෂුව අහෝ එම
චිත්‍රය පවා කෙතරම් සිල්වත්ද? කෙතරම් මනස්කාන්තද? එහෙත් බුදුරදුන් එය
ප්‍රතික්‍ෂේප කළහ. ඉහත ලිපියේ කියවෙන අයුරින් බැලුවහොත් එම භික්‍ෂුව
නිර්මාණය වීම වැළැක්වූවේ බුදුරදුන් ය. මන්ද මෙම සිකපද නොපැණවූ නිසා ය.
බුදුරදුන් ඒවා අනුමත නොකළේ වඩාත් සිල්වත් භික්‍ෂුවක් බිහිවීම
වැළැක්වීමට නොවේ. කාලයට දේශයට පරිසරයට ගැළපෙන පරිදි බුදු දහමේ සමහර
දේශනා වෙනස් විය යුතු නිසා ය. එසේ වෙනස් වීම බුදු දහමේ උන්නතියට
රුකුලක් ය. මෙම ප්‍රතික්‍ෂේප කිරීම තුළින් පැහැදිලි වන්නේ බුදුරදුන්
සිකපද වල එල්ලී සිටීම පි‍්‍රය නොකළ බවයි. ශීත රටවල සිටින භික්‍ෂූන්
වහන්සේලා ශීත කබා හැඳීම වරදක් නොවන්නේ පරිසරයට අනුවය. එය වරදක් වූවද
වෙනත් පිළියමක් නැත.
භද්දාලි හා කීටාගිරි වැනි සූත්‍රවල විකාල භෝජන සික පදය ගැන සඳහන් වේ.
වසර විස්සකට පසුව එම සික පදය පනවන තෙක් භික්‍ෂූන්ට වැළඳීමේ නියමිත
කාලයක් නොවී ය. බුද්ධිමතුන් ඒවා සිහියෙන් යුක්තව කියවිය යුතු ය. වසර
විස්සක් වන තෙක් අවේලාවේ වැළඳු භික්‍ෂූහු රහත් වූ බව පිළිගන්නට සිදුවේ.
සැරියුත් මුගලන් ආදී අනන්ත අප්‍රමාණ පිිරිසක් රහත්හු බිහිවූහ. වඩාත්
සිනා උපදවන සුළු කාරණය වන්නේ කකචූපම සූත්‍රයේ දී බුදුරදුන් කරන
ප්‍රකාශයයි. මුල් යුගයේ සිටි භික්‍ෂූන් වහන්සේලා තම සිත සතුටු කළ බවත්
වර්තමාන භික්‍ෂූහු එසේ නොවන බවත් උන්වහන්සේ සඳහන් කරති. බුදුරදුන් මේ
වර්ණනා කරන්නේ සික පද පනවන්නට පෙර සිටි භික්‍ෂූන් පිළිබඳව ය. සිකපද පැන
වූ පසු ඒවා රැකි භික්‍ෂූන් පිළිබඳව බුදුරදුන් කතා කරන්නේ සංවේගයෙනි.
ඉහත ලිපියට අනුව ලොකුම වැරැදිකාරයා බුදුරදුන් බව පෙනේ. මන්ද සිකපද
නොරැකි භික්‍ෂූන් අගය කළ නිසා ය. බ්‍රහ්මජාල සාමඤ්ඤඵල වැනිසූත්‍ර දෙස
බලන විට පෙනී යන වැදගත් කරුණ නම් අනෙක් ආගමික ශ්‍රාවකයන් පරිබ්‍රාජකයන්
ආදී බොහෝ ආගමිකයන් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට වඩා සික පද රැක තිබෙන බව
ය. එහෙත් බුදුරදුන් ඒවා සීලබ්බත පරාමාස යැයි බැහැර කළහ. ශික්‍ෂාපද වල
එල්ලී සිටීම බුදු වදනට අනුව සීලබ්බත පරාමාසයකි. ශීලය යනු මධ්‍යස්ථ විය
යුත්තක් මිස අන්තගාමී විය යුත්තක් නොවේ.පැහැදිලිව කිවහොත් එම ලිපිය
ආරම්භ කිරීම පවා කර තිබෙන්නේ බුද්ධ වචනයකින් නොවේ. විනයො නාම සාසනස්ස
ආයු යන මේ ප්‍රකාශය මහාකාශ්‍යප තෙරුන් ඇතුළු තෙරවරුන්ගේ ප්‍රකාශයක් ලෙස
සංගීති වාර්තාව ලෙස දක්වන චුල්ල වග්ගය සඳහන් නොකරයි. එය සඳහන් වන්නේ
අනුරපුර යුගයේදී බුද්ධඝෝෂ හිමියන් විසින් ලියන ලද සමන්තපාසාදිකා
බාහිරනිදානවණ්ණනාවේය. එය බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයක් නොව පසුකාලීනව
එකතු කරන ලද්දකි. එම ලිපියේ සඳහන් අදහස් කෙතරම් අන්තගාමීද යන්න එයින්ම
පැහැදිලි වේ. එක්තරා පුදුමාකාර කරුණක් ද එම ලිපියේ දක්නට ලැබේ.
පිරිනිවන් මඤ්චකයේ බුදුවදනට අනඳ හිමියන් නිහඬව සිටියේ අඩුකළ යුතු
ශික්‍ෂාපද නොමැති බව උන්වහන්සේට වැටහුණු නිසා ය. දුරදිග පෙනුණු නිසා ය.
තම ලිපියේ අදහස් තහවුරු කිරීම සඳහා මුසාවාද පවා පාවිච්චි කර තිබේ.
පරිනිර්වාණ අවස්ථාවේ අනඳ හිමියන් දැඩි ශෝකයෙන් සිටි බව ප්‍රකට කරුණකි.
පුදුමය වන්නේ බුදුරදුන්ගේ බුද්ධඥානයට වඩා දුරක් අනඳ හිමියන්ට පෙනීමය.
එම ප්‍රකාශය බුද්ධත්වය පවා අභියෝගයට ලක් කරයි. බුදුන්ගේ පරිනිවණෙන්
ශෝකයට පත්ව සිටි අනඳ හිමිට බුදුරදුන්ට වඩා දුරදිග දැකිය හැකි ද? එවන්
බුද්ධිහීන ප්‍රකාශය ගැන ඇතිවන්නේ කනගාටුවකි. කුඩා අනුකුඩා සිකපද ගැන
චුල්ලවග්ග පාලියේ පංචසතිකක්ඛන්ධකයේ අනඳ තෙරුන්ගේ වචනය මෙසේ දැක්වේ. අහං
ඛෝ භන්තේ අසතියා භගවන්තං න පුච්ඡි - ස්වාමීනී මම අසිහිය නිසා
බුදුරදුන්ගෙන් නොවිචාළෙමි යැයි අනඳ හිමි පැහැදිලි කරයි. එසේ තිබියදීත්
මනඞකල්පිතයක් අනඳ හිමිට සිතුණු දෙයක් ලෙස දැක්වීම කනගාටුදායකය.
බුදුරජාණන් වහන්සේ තරම් නම්‍යශීලී ශාස්තෘවරයෙකු තවත් නැති තරම්ය.
මුලින් පැනවූ ශික්‍ෂාපද යම් යම් හේතු මත පසුව වෙනස් කළ අවස්ථා ඕනෑ තරම්
විනය පිටකය තුළ දැකිය හැකි ය. එසේ තිබියදීත් ඉහත ලිපියේ මෙසේ දක්වා
තිබීම විමතියට කරුණකි. එතුමෝ අත්හැරීමට සිදුවන පැනවීම් නොකරති. වැරැදි
යැයි වදාළ දෙය වැරැදිමය. මෙම ප්‍රකාශය පැහැදිලිවම බුදුරදුන් පිළිබඳව
වරදවා වටහා ගැනීමකි. මුලින් පනවා පසුව වෙනස් කළ සික පද ඕනෑ තරම් තිබෙන
අතර උදාහරණ ලෙස මෙසේ දැක්විය හැකි ය. පාචිත්තිය පාළි භික්‍ඛු විභංගය
භික්‍ඛුණුපස්ස ශික්‍ෂාපදය ඒවා අතරින් එකකි. එයට අනුව භික්‍ෂූණීන්
වහන්සේ නමකට අවවාද දීම සඳහා මෙහෙණවරට යාම භික්‍ෂුවකට නුසුදුසු ය. එහෙත්
මෙහණක් ගිලන්වූයේ නම් යාමේ වරදක් නැත. ඉහත ලිපියට අනුව ශික්‍ෂාපදයක්
කිසිදු විටෙක වෙනස් නොවිය යුතු අතර බුදුරදුන් එසේ කරන්නේ ද නැත. එසේනම්
මේ කර තිබෙන්නේ කුමක්ද? අවස්ථානුකූලව මුලින් පැනවූ සික පදය බුදුරදුන්ම
වෙනස් කළහ. එනිසා වගකීමකින් තොර මෙවැනි ප්‍රකාශ කිරීමේ දී සැළකිළිමත්
විය යුතු ය. බුදුරජාණන් වහන්සේ සිකපද පණවා ඇත්තේ යම් යම් හේතුමතය. එම
සමහර හේතු වර්තමානයේ කිසිදු සමාජයක දක්නට නැත.
රථවාහන පැදවීම පිළිබඳව කතා කිරීමේදී එම ශික්‍ෂාපදය බුදුරදුන් පණවා
තිබෙන්නේ අසුන් ආදී සතුන් විසින් අදිනු ලබන රථයක ගමන් නොකළ යුතු ය
යනුවෙනි. වර්තමානයේ බුදුරදුන් නැත. වර්තමානයේ ඇති වාහන පැදවීම පිළිබඳව
සිකපදයක් බුදුරදුන් දේශනා කර නැත. එහෙත් යම් භික්‍ෂුවක් රියක්
පැදවුවහොත් එය වරදකි. එය වරදක් ලෙස තීරණය කරන්නේ කවර නිර්ණායක මතද?
කෙසේ සාධක ඉදිරිපත් කළත් ශික්‍ෂාපද බිඳින්නට සිදුවීම අනුමතතනොකළ හැකි
බව ඉහත ලිපියේ සඳහන් වේ.
එසේ නම් සික පදයකින් තහනම් කර නැති බැවින් භික්‍ෂුවක් රියක් පැදවීම
වරදක් නොවිය යුතු ය. බුදුරදුන් නැති යුගයේ රිය පැදවීම වැරැදිබව අප
සියල්ලෝම තීරණය කරන්නේ විනය පිටකය අනුව නොව පරිසරය සමාජය වැනි විවිධ
සාධක ඔස්සේ ය. රථයක නැඟයාම සම්බන්ධව බුදුරදුන් දේශනා කර ඇති සික පදය
පිළිපදින්නේ නම් අද භික්‍ෂූන් වහන්සේලාට බස් රථයක නැගී යා නොහැකි ය.
.එසේ වූ විට භික්‍ෂූන් වහන්සේට සිදුවන්නේ සමාජය අතහැර වනගතවීමට හෝ ගෙදර
යාමට ය. එවිට වැරැදිකරුවන් වන්නේ එවැනි භික්‍ෂු නෙරපීම් වලට පාර
කපන්නවුන් ය. බ්‍රහ්මජාල සූත්‍රයේ තිරශ්චීන විද්‍යා ගණයට දමා ඇති අංග
අතර කාවෙය්‍යං යනුවෙන් දැක්වේ.
බුදුරදුන් කාව්‍ය ශාස්ත්‍රය භික්‍ෂූන්ට තහනම් කරති. එසේ බැලුවහොත්
බුදුගුණඅලංකාරය, ගුත්තිල කාව්‍යය, සැළිලිහිණිය වැනි කාව්‍ය ග්‍රන්ථ
විනය විරෝධී ක්‍රියා ලෙස සළකා තහනම් කළ යුතු ය. බ්‍රහ්මජාල සූත්‍රයේ
මහාශීල කොටසේ සන්තිකම්මං භූරිකම්මං යනුවෙන් තිරශ්චීන විද්‍යාව පිළිබඳව
දැක්වේ. සන්තිකම්ම යනු සෙත් ශාන්තිය පිණිස සිදු කරන ක්‍රියාවන් ය.
පිරිත් දේශනා බෝධිපූජා ද මේ ගණයට වැටේ. භුරිකම්ම යනු බාර ඔප්පු
කිරීමයි. මේ අනුව බලන විට අනුරපුර ජය ශ්‍රී මහා බෝධියට බාරයක් ඔප්පු
කිරීම වරදකි. පිරිත යනු වරදකි. එහෙත් ඒවා නොකර සිටීම බුදු සසුනේ
පරිහාණිය ළඟා කරවන්නකි. ඒවා නොකෙරෙන කළ ජනයා බුදු දහමෙන් ඈත්වීම
නොවැළැක්විය හැකි ය. එවිට පාපකර්මය වන්නේ සික පද ආදානග්‍රාහී ලෙස ගෙන
තර්ක කරන විචාර බුද්ධියෙන් තොර අයට ය. එහි සඳහන් තවත් කරුණක් මෙසේ
නිවැරැදි කළ යුතු ය. සංඝ සහ භික්‍ෂු සංඝ යන්න අවබෝධයෙන් තොරව එහි දක්වා
තිබේ. සුපටිපන්නෝ ගාථාව සංඝයා වඳින ගාථාව මිස භික්‍ෂු සංඝයා පමණක් වඳින
ගාථාව නොවේ. චත්තාරී පුරිසයුගානි යනු ද සංඝයා මිස භික්‍ෂු සංඝයා පමණක්
නොවේ. සංඝ යනු භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන සියල්ලන්ටම භාවිත
කරන පොදු නාමයයි. එම සංඝයා කොටස් දෙකකි. ශ්‍රාවක සංඝ හා පෘථග්ජන සංඝයි.
ශ්‍රාවක සංඝ යනු සතරමග සතරපල පැමිණි සිවුවනක් පිරිසයි. පෘථ යනු
වෙන්වුණු යන අර්ථයයි.
මඟඵල නොපැමිණි ආර්ය ජනයාගෙන් වෙන්වුණු සිවුවණක් පිරිස පෘථග්ජන සංඝයායි.
සුපටිපන්නෝ ගාථාවෙන් වඳින්නේ ඉහත කී ශ්‍රාවක සංඝයා මිස පෘථග්ජන සංඝයා
නොවේ. එකී ගුණ ඇත්තේ ද ශ්‍රාවක සංඝයාට පමණි. ඉහත ලිපිය ලියා ඇත්තේ එය
නොදැන ය. අවසාන වශයෙන් මෙසේ කිව හැකි ය. ගිහියෝ පවා රහත් වූ බව මඟඵල
ලැබූ බව අප දන්නා කරුණකි. ඒ හුදු පන්සිල් පමණක් රැකීමෙන් බව අමතක නොකළ
යුතු ය. මගේ මුල් ලිපියෙන් මා උත්සාහ කළේ සික පද වෙනස් කළ යුතුය යන්න
පවසන්නට නොවේ.
කාලානුරූපීව සමහර සික පද ඉබේම බිඳ වැටෙන බව පෙන්වීමට ය. සික පද වල ඇති
වටිනාකම ප්‍රතික්‍ෂේප කරන්නට මා උත්සාහ නොකළ බව අවධාරණය කරමි. ඇස්
ඉදිරියේ පෙනෙන සත්‍යය මුහුණ දෙන්නට අපට සිදු වේ.
චීවරය තුළ රැඳී සිටීමේ දී භික්‍ෂූන් වහන්සේ නමක් අත්විඳින අත්දැකීම්
මහණ වන්නට අකමැති වූ කාමභෝගී දිවියට ලොල් වූ ගිහි අය දන්නේ නම් ඒ
ස්වල්ප දෙනෙකි. මහත්මයාණෙනි, ඔය තරම් දායක සභාවෙන් රජයෙන් ගිහි
පින්වතුන්ගෙන් විසැඳුම් ලැබෙන්නේ නම් විහාරස්ථාන රාශියක් වැසී තිබෙන්නේ
මන්ද? සික පද වෙනස් කළ යුතු නැත. ඒවා එසේම තිබේවා! සමාජයට නොගැළපෙන සික
පද ඉබේම බිඳී යාම කවරෙකුටත් වැළැක්විය නොහැකි ය. න්‍යාය කෙසේ වූවත්
ප්‍රායෝගික සත්‍ය වන්නේ එයයි. |