Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කෙම්ජො ව්‍යවස්ථාව හා පාලන තන්ත්‍රය

ලාභ ප්‍රයෝජන තකා කටයුතු කිරීම යනු අකුසල් රැස් කිරීමකි. අනිසි ලෙස ලාභ ලබන මොහොතේ දී එය සතුට උපදවන්නක් ලෙස පෙනුණ ද ඉන් අනාගත ජීවිතයම දුකට පත්කරවන බව සිහි තබාගත යුතු ය. පක්‍ෂ වශයෙන් හෝ ජාති වශයෙන් හෝ ගෝත්‍ර වශයෙන් හෝ වෙන්ව ඔවුනොවුන් විවේචනය කරගනිමින් කටයුතු කිරීම පරිහානිකර ලක්‍ෂණයකි.

බුදුදහම තුළ ආගමික අංශයත් දාර්ශනික අංශයත් යන දෙකම දක්නට හැකි ය. මානව සමාජයට අවශ්‍ය වන්නා වූ ආර්ථික හා දේශපාලන සංස්ථා නිවැරැදි කරනුයේ ආගමික සංස්ථාව මගිනි. ආගම හා දේශපාලනය සංස්ථාවල අරමුණු හා පරමාර්ථ වෙනස් වූවද ආගම තුළින් දේශපාලනය නිවැරැදි මාවතකට ගැනීමට අවශ්‍ය කරුණු ඉදිරිපත් කර තිබේ. දීඝ නිකායේ සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන සේව්‍ය සේවක සම්බන්ධය, පාලකයා හා පාලිතයා අතර තිබිය යුතු සම්බන්ධය පිළිබඳව කරන ලද විග්‍රහයකි. බුදුදහමේ එන මේ කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ පාලකයකු වශයෙන් ක්‍රි.ව. 607 දී ජපානයේ රාජ්‍යත්වයට පත් වූ ෂෝතෝකු තයිෂි රජු හඳුන්වාදිය හැකි ය. ඔහුගේ දේශපාලන අරමුණ වූයේ පාලක පක්‍ෂයේ සම්පූර්ණ ආධිපත්‍යය යටතේ ගෝත්‍ර ආරවුල්වලින් තොර වූ එක්සත් ජාතියක් ඇති කිරීමයි. ඒ සඳහා සුදුසුම ක්‍රියාමාර්ගය වශයෙන් ප්‍රථමයෙන්ම සිදුකරන ලද්දේ ආසන්න, එකල බලවත් රටක් වශයෙන් පැවති චීනය සමග තානාපති සබඳතා ඇතිකර ගැනීමය.එහි ප්‍රතිඵලය වශයෙන් ඉතාමත් කෙටිකලදී චීන සභ්‍යත්වය ජපානයට ද ඇතුළු විය.මේ නිසා ජපානයට අනෙකුත් ආක්‍රමණශීලී රාජ්‍යවලින් බේරී සිටීමට පමණක් නොව එම රටවල් විශ්මයට පත් කිරීමට ද හැකියාව ලැබුණි.

ජපානය හා චීනය අතර වූ තානාපති සබදකම් ක්‍රියාවට නැංවූයේ ක්‍රි.ව. 607 දී ජපන් අධිරාජයා විසින් දූත පිරිසක් චීනයට යැවීමෙනි. මේ දූත පිරිසේ ප්‍රධානියා වූයේ ඔනොනො ඉමොකෝ ය. ඔහු සමග භික්‍ෂු පිරිසක් ද චීනය බලා පිටත් වූහ.ෂෝතෝකු තයිෂි ආරම්භ කළ මේ ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාවට නැංවූයේ පෙරළා සිය රටබලා පැමිණීමේ පිරිස විසිනි.

ෂෝතෝකු තයිෂි රාජ්‍ය කාලයේ ජපානය තුළ බොහෝ ප්‍රතිසංස්කරණ සිදුවිය. ඒ ප්‍රතිසංස්කරණ අතර ඉතාම වැදගත් වූයේ රාජසභා නිලතල ශ්‍රේණීන් (Guild) දෙළොසකින් යුක්ත කිරීමයි. ජපානයේ පළමුවරට ඇති වූ මේ ශ්‍රේණි ක්‍රමය ඉන් පසුව දිගටම පැවත ආයේ ය.මේ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට පෙර රාජ්‍ය සභා නිලතල දෙන ලද්දේ ඒ ඒ වංශවලින් පැවත එන්නන්ට පමණි.

මේ වැඩ පිළිවෙළ නිසා ඇති වූ ප්‍රතිඵලය වූයේ රාජ සභා ජීවිතය කෙරෙහි මහජනයා තුළ ගෞරවයක් ඇති වීමය. මෙකී තනතුරු ක්‍රමය ක්‍රි.ව. 603 දී ප්‍රකාශයට පමුණුවා ක්‍රි.ව. 605 දී ක්‍රියාවට නංවන ලදී.එසේ ක්‍රියාවට නැංවූයේ ක්‍රි.ව. 604 දී සකසන ලද නව ව්‍යවස්ථාවත් සමගය. එම ව්‍යවස්ථාව ‘කෙම්ජෝ’ නමින් හඳුන්වා තිබේ. එහි අඩංගු ව්‍යවස්ථා වගන්ති සංඛ්‍යාව දාහත කි. කෙම්ජෝ ව්‍යවස්ථාව සැකසීමේ අරමුණ වූයේ හොඳ ආණ්ඩුවක් ඇති කිරීම හා රජයේ මූලික සැලැස්ම ආරක්‍ෂා කිරීම ය.එම ව්‍යවස්ථාව වගන්ති 17 කින් සමන්විත වේ.

1. සාමග්‍රිය අගය කළ යුතු ය. නිෂ්කාෂණශීලී විරෝධය නිගරු කළ යුතු ය.

2. ත්‍රිවිධ රත්නයට හිතාධ්‍යාශයෙන් ගරු කළ යුතු ය..

3. අධිරාජ්‍යාණන්ගේ විධාන ලැබුණු විට සුපරීක්‍ෂාකාරී වී නොවරදවා අවනත වෙව්.

4.ඇමැතිවරුන් හා අධිකාරීවරුන් සිය මුඛ්‍ය ප්‍රතිපත්තිය කරගත යුත්තේ විනීත චරියාවයි.

5. තෘෂ්ණාව වලකා ගිජු කමෙන් මිදී තමන් වෙත එළඹෙන පැමිණිලි උපේක්‍ෂාවෙන් විසඳිය යුතු ය.

6. නපුර මැඩලව, සාධු ගුණයට අනුබල දෙව.

7. සෑම පුද්ගලයකුටම නියම වූ කාර්යයන් තිබිය යුතු ය.

8.ඇමැතිවරුන් හා අධිකාරීවරුන් උදය කාලයේ කල් තබා රාජ සභාවට පැමිණ පමාවී යා යුතු ය.

9. සද්භාවය යුක්ති ධර්මයේ පදනමයි.

10.කෝපයෙන් වෙන්වීමද ක්‍රෝධ බැල්මෙන් වැළකීමද කළ යුතු ය.

11. කුසලාකුසලයන් නිවැරැදි ලෙස පැහැදිලි කර ගනුව.

12. ප්‍රජාවන්ගෙන් බදු අයකර ගත යුත්තේ එක් නායකයකු පමණි.

13. පදවි පවරා දුන් පසුව සියලුම පුද්ගලයෝ ඒ ඒ කාර්යයන්හි සාවධානව නියුක්ත විය යුතු ය.

14.ඊර්ෂ්‍යා නොකරව.

15. පුද්ගලතාවයට පිටු පෑමද පොදුතාවයට හිස හැරවීමද ඇමැතිවරුන් විසින් කළ යුතු ය.

16. කල්යල් අනුරූප වූ කල්හි පමණක් මිනිසුන් රාජකාරියෙහි යෙදවිය යුතු ය.

17. වැදගත් කටයුතු පිළිබඳ තීරණ තනි පුද්ගලයකු විසින් නොගත යුතු ය..

මෙම ව්‍යවස්ථාවේ පළමු වගන්තියෙන් අවධාරණය කෙරුණේ ජාතියේ කොඳු ඇටය වශයෙන් සලකන සමගිය පිළිබඳව ය. සමගිව එකතුවීම හා සමගිව විසිරයාම සප්ත අපරිහාණිය ධර්මවල පළමු හා දෙවන කාරණාවන් ය. සංඝ සාමග්ගිය මෙන්ම පාලක පක්‍ෂය තුළත් සාමාන්‍ය ජනතාව තුළත් සමගිය තිබිය යුතු ය. සම්මෝදමාන ජාතකයේ දී ඉදිරිපත් කර ඇත්තේ ද සමගියේ ආනිසංසයන් පිළිබඳව ය. පන්තිමය වශයෙන් ගොඩනැගෙන සමාජ අසහනයට අනතුරු අගවන මෙයින් ඉහළ හා පහළ සමාජයේ වෙසෙන සියලුම දෙනා සමාදානයෙන් හා පී‍්‍රතියෙන් සිටිය යුතු බව පෙන්වා දෙයි. සමාජයේ විවිධ කොටස් අතර පැවැතිය යුතු සහජීවනය පිළිබඳ කොන්ෆියුසියස් ඉගැන්වීමට ද මෙයට එකඟ ය.

අවිරෝධතාවය ද රාජ්‍ය ධර්මයකි. විරුද්ධ නොවීම යනුවෙන් අදහස් කර ඇත්තේ සියලුම දේ ඒ ආකාරයෙන් ම පිළිගත යුතු බව නොවේ. අවශ්‍ය ව්‍යවස්ථා, නීති පැනවීමේදී තර්ක විතර්ක කළ යුතු ය. නිවැරැදි කරුණ මතුකර ගැනීමට නම් දිගින් දිගටම සාකච්ඡා කළ යුතු ය. එහෙත් ආත්මාර්ථය තකා රටේ ප්‍රගමණයට අදාළ කරුණුවලට විරුද්ධ නොවිය යුතු ය.

දෙවන වගන්තියෙන් අවධාරණය කර ඇත්තේ ත්‍රිවිධ රත්නය පිළිබඳව ය. බුද්ධ, ධම්ම, සංඝ ගුණ වටහා ගැනීමත් ඒ අනුව කටයුතු කිරීමත් මෙහි මූලික අරමුණ වී ඇත. කෙම්ජෝ ව්‍යවස්ථාව ජපානය තුළ ක්‍රියාත්මක වූ අවධිය වන විට එහි සෝගාවරුන්, මොනොනොබෙ හා නකතොම් යන ගෝත්‍රික ජනතාව එහි සිටි බව පෙනේ. බහුවාර්ගික ජනතාව වාසය කරන රටකට ද ආගමික මූලධර්ම ක්‍රියාවේ යෙදවීම අපහසු කරුණක් නොවන බව ඉන් පැහැදිලි වේ.

එක් රටක රජ විය යුත්තේ එක් පුද්ගලයෙකි. ඔහු ඒ සඳහා සුදුසුම පුද්ගලයා විය යුතු ය. එක් අයකුට වැඩි සංඛ්‍යාවක් පාලනයේ ප්‍රධාන වුවහොත් ගැටුම් ඇතිවීම වැලක්විය නොහැකි ය. එබැවින් පාලකයා ආකාශධාතුව සේ සර්වව්‍යාප්ත විය යුතු ය.

පාලිතයා පෘථිවි ධාතුව සේ නොසෙල්වී පාලකයාට සහය දිය යුතු ය. පාලකයාගේ නිවැරැදි ක්‍රියාමාර්ග අනුමත කරමින් ක්‍රියාවේ යෙදවිය යුතු ය.

කෙම්ජෝ ව්‍යවස්ථාවේ සිවුවන කාරණය වන්නේ පාලකයා විනීත චර්යායෙන් සිටිය යුතු බව ය. කාය, වාග්, මනෝ සංවරය පාලක පාලිත දෙපක්‍ෂයටම අවශ්‍ය වන්නකි.

මෙහි පස්වන කරුණින් විස්තර කරන්නේ අධිකරණය (Judiciary)සතු විය යුතු ලක්‍ෂණයකි. නඩු විභාගයේ දී මධ්‍යස්ථවීම අනිවාර්ය වූවකි. පක්‍ෂග්‍රාහී වීම තෘෂ්ණාව නිසා සිදුවන අතර ඒ තුළින් දුක ඇති කරයි. අධිකරණය ඉදිරියේ සියලු දෙනා සමාන අයිතීන් ඇත්තෝ විය යුතු ය. ලාභ ප්‍රයෝජන තකා කටයුතු කිරීම යනු අකුසල් රැස් කිරීමකි.

අනිසි ලෙස ලාභ ලබන මොහොතේ දී එය සතුට උපදවන්නක් ලෙස පෙනුනද ඉන් අනාගත ජීවිතයම දුකට පත්කරවන බව සිහිතබාගත යුතු ය. පාලක පක්‍ෂය කෙරෙහි ජනතා විශ්වාසය හා ගෞරවය රඳා පවතින්නේ වැරැද්ද, වැරැද්ද ලෙසත් නිවැරද්ද, නිවැරද්ද ලෙසත් සලකා කටයුතු කිරීමෙනුත් පමණි.

මෘදු බව දසරාජ ධර්මවලට අයත් වූවකි. රටේ පාලක පක්‍ෂය සතුවිය යුතු ප්‍රධාන සාධු ගුණයකි. නපුර යනු දුර්ගුණයකි. එබැවින් නපුර මැඩ සාධු ගුණයන් පුරුදු පුහුණු කිරීම කළ යුතු ය. අනුන් තුළ ඇති උසස් ගුණ ධර්ම නිවැරැදි ආකල්ප පැසසීම ද පිළිගැනීම ද කළ යුතු ය.

වැරැදි තැන්වලදී ඒවා නිවැරැදි කළ යුතු ය.පක්‍ෂ වශයෙන් හෝ ජාති වශයෙන් හෝ ගෝත්‍ර වශයෙන් හෝ වෙන්ව ඔවුනොවුන් විවේචනය කරගනිමින් කටයුතු කිරීම පරිහානිකර ලක්‍ෂණයකි.

දෙදෙනෙක් අතර ගැටුමක් ඇති වූ කල එතැනට පැමිණෙන තෙවැන්නා ඒ දෙදෙනා අතර ඇති ගැටුම උත්සන්න කරමින් එයින් වාසි ගැනීම සිදු කරයි. එබැවින් චාටුබස් දොඩවන්නන්ගෙන් ප්‍රවේශම් විය යුතු යි. ඔවුන් උල් ආයුධයටත් වඩා විෂ විය හැකි බැවිනි.

ඒ ඒ පුද්ගලයාගේ හැකියාවන් අනුව ඔවුනොවුන්ට අදාළ කාර්යයන් පැවැරිය යුතු ය. ඔවුන්ට භාරදෙන කාර්යයන්වල නිරවුල් භාවයද ඉතා වැදගත් ය. සෑම පුද්ගලයකුටම ප්‍රතිපත්තියක් තිබිය යුතු ය. නැතහොත් ව්‍යසනය ඇතිවිය හැකි බැවිනි. දැනුම හා බුද්ධිය යනු දෙකකි. ඉන් බුද්ධිමත්හු ඇත්තේ ඉතා අතළොස්සකි. එබැවින් සෑම විටම පාලන කාර්යය සඳහා බුද්ධිමතුන්ගේ අදහස් විමසීම වැදගත් ය.

ඒ ඒ පුද්ගලයාට අනුව අදාළ කාර්ය පැවරීමෙන් අනතුරුව ඔහුන් වැඩ කටයුතු කරන සෑම උදෑසනකම වේලාසනින් පැමිණීම පැසසිය යුත්තකි. කාර්ය හුදෙක් රැකියාවක් ලෙසම නොව රටට කරනු ලබන සේවාවක් ලෙස සැලකිය යුතු ය. පරාභව සූත්‍රයේ දී බුදුන් වහන්සේ දක්වා ඇත්තේ නියමිත කාර්යයන් ශීත, උෂ්ණ, බඩගිනි ආදී කරුණු නිසා කල්දැමීම පිරිහීමේ ලක්‍ෂණයක් වන බව ය. කෙම්ජො ව්‍යවස්ථාවේ දසවැනි අංකය යටතේ දක්වා ඇත්තේ කෝපයෙන් වෙන්වීම පිළිබඳව ය. ඛන්තිය හෙවත් ඉවසීම ථෙරවාදී සම්ප්‍රදායේ දැක්වෙන දසපාරමිතාවලින් එකකි. ක්‍ෂාන්තිවාදී ජාතකයේ දී අත්පාදිය කපද්දීත් ක්‍ෂාන්තිවාදී තාපසතුමා අපරාධය කළවුන්ටත් රජුටත් මෙත් වැඩූහ. ක්‍ෂණික කෝපය කරදරවලට මුලය. රටක සංවර්ධනය මනින මිනුම් දඬු දෙකකි.

1. භෞතික සංවර්ධනය

2. අධ්‍යාත්මික සංවර්ධනය යනුවෙනි.

සංවර්ධන ක්‍රියාවලියේදී මිනිසාගේ කායික හා මානසික ශ්‍රමයට ලැබෙන්නේ ප්‍රධාන තැනකි. එම ශ්‍රමය ලබාගත යුත්තේ ද අනුරූප කාලයන්හි පමණි. කල්යල් නොබලා කටයුතු පැවරීමෙන් අපේක්‍ෂිත ප්‍රතිඵල නොලැබී යා හැකි ය.කෙම්ජෝ ව්‍යවස්ථාවෙහි ප්‍රායෝගික හා කාලීන වටිනාකම කෙතරම්දැයි සලකා බැලිය යුතු ය. එවකට ජපානයේ රජය හැඩගැසුනේ සම්මත හෝ ලිඛිත ව්‍යවස්ථා මාලාවක් අනුව නොවේ. පාලකයාගෙන් පාලකයාටත් ප්‍රදේශයෙන් ප්‍රදේශයටත් පාලන නීති වෙනස් විය. එවැනි වකවානුවක මුළු රටම එකම නීති පද්ධතියක් යටතට ගෙන ලද්දේ කෙම්ජෝ ව්‍යවස්ථාව තුළිනි. බුදු දහමේ අඩංගු මංගල, පරාභව, කරණීයමෙත්ත, හා සිඟාලෝවාද සූත්‍රවල අඩංගු කරුණු ඒ ආකාරයෙන්ම ක්‍රියාවේ යොදවා ඇති බව පැහැදිලි වේ. විශේෂයෙන්ම සිඟාලෝවාද සූත්‍රයේ එන සේව්‍ය සේවක භූමිකාව අවශ්‍යයෙන්ම ක්‍රියාවේ යොදවා ඇත. ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති තවත් කරුණු සමහරක් රාජ්‍ය පාලන තන්ත්‍රය උදෙසාම දක්වා ඇති සප්ත අපරිහානීය ධර්ම, දස රාජ ධර්ම, සතර බ්‍රහ්ම විහරණ, දස සක්විතිවත් තුළින් ගත් ඒවා ය. මීට අමතරව කොන්ෆියුසියස් දහමේ ආචාර ධර්ම ද මෙම ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබේ. නූතනයේ සෑම රටකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබේ. රාජ්‍යයකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ඇයි? යන ප්‍රශ්නයේදී දිය හැකි පිළිතුර වන්නේ එම රටේ පාලන කටයුතු ක්‍රමානුකූලවත් නිවැරැදිවත් නිරවුල්වත් සිදු කිරීම උදෙසාය යන්නයි. රටක පවතින ප්‍රධාන ආයතන අතර ව්‍යවස්ථාදායකයට ප්‍රධාන තැන ලැබී ඇත්තේ ද ඒ නිසාම ය.

ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක වටිනාකම රඳා පවතින්නේ එහි පවතින සජීවී භාවය මතය. නිසැකයෙන්ම ව්‍යවස්ථාව ක්‍රියාවට නැංවිය යුත්තක් මිස ග්‍රන්ථ තුළ සිර වූවක් නොවිය යුතු ය. උදාහරණ වශයෙන් ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 6, 7, 8, 9, 10, 11, 30 (2), 62 (2) වගන්ති සංශෝධනය කිරීමට ජනමත විචාරණය අවශ්‍ය වේ. ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය මගින් පනතක් හෝ ගිවිසුමක් ක්‍රියාවට නැංවීමට පෙර ජනමත විචාරණය අවශ්‍ය බව දක්වා ඇත. ජපානයේ ඇති නූතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද 96 වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණය අවශ්‍ය බව දක්වා තිබේ. එය කෙම්ජො ව්‍යවස්ථාවේ එන දාහත් වැනි (17) වගන්තියට සමාන වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් දක්වන වගන්ති ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නැංවිය යුතු ය. උදාහරණ වශයෙන් රාජ්‍ය සේවය කාර්යක්‍ෂම විය යුතුය යන්න ඒ ආකාරයෙන්ම ක්‍රියාවේ ද යෙදවිය යුතු ය. කෙම්ජො ව්‍යවස්ථාව මුළුමනින්ම බුදුදහම මූලාශ්‍රය කොටගෙන සකස් කළ ප්‍රායෝගිකව ක්‍රියාවේ යොදවන ලද්දකි. එවැනි ව්‍යවස්ථාවකින් රටක සමෘද්ධිය, සෞභාග්‍ය, ඇතිවීම පුදුමයක් නොවේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.