දහම් දැනුමෙන්
අපරාධ පිටුදකිමු - නුගේගොඩ පුන්න හිමි
සාකච්ඡා කළේ
පි‍්‍රයංකා කුරුගල
ලජ්ජාව හා බිය නිසා තමයි මේ ලෝකයේ අම්මා , තාත්තා, නංගී, අක්කා, අයියා,
මල්ලී, කියා පිරිසක් බිහි වන්නේ. මේ ආකාරයේ ඥාතී සම්බන්ධතා තිරිසන්
ලෝකයේ දකින්නට ලැබෙන්නේ නෑ. ඔවුන් මවු පිය දූ දරුවන් හඳුනන්නේ නෑ. ඒත්
මිනිස් ධර්මතා මෙයට වෙනස්.
පුද්ගලයකුගේ ජීවිතයේ ක්‍රියාශීලි, ආවේගශීලි මෙන්ම අතිශය නිර්මාණශීලි
අවධිය තරුණ වියයි. මෙම අවධිය තමන්ටත් අනුන්ටත් ඉතාමත්ම යහපත් අයුරින්
ගත කළ හැකි නම් එය මුළු මහත් ලොවටම ඉමහත් සෙතකි. එසේ යහපත්ව ගත කළ හැකි
ආකාරය බුදු දහමේ මැනවින් පෙන්වා දී තිබේ.
මේ පිළිබඳ තුම්බෝවිල ඉසිවර අරණ වාසි නුගේගොඩ පුන්න ස්වාමීන් වහන්සේ සමඟ
පැවැත්වුණු සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ දහම් ලිපියක් මෙහි පළ
කරමු.
දිනක් මා වැඩ සිටි ආරාමයට තරුණ පුතකු පැමිණියා. ඔහු සිටියේ ශෝකයෙන්
බරිත සසල පෙනුමකින් යුතුවයි. දැඩි පසුතැවිල්ලක් වේදනාවක් මේ තරුණයාගේ
වතේ ඇදී තිබුණා . කරුණූ විමසා බැලිමේ දී හද කම්පා කරවන කතා පුවතක් ඔහු
පැවසුවේය. ඒ අනුව ඔහුගේ පියා ඔහු අතින් මිය ගිය බව කීවේය. එය සිදු වී
තිබෙන්නේ පියා මත්පැන් බී මවට කරදර හිරිහැර කරන්නට පහර දෙන්නට වූ
අවස්ථාවකයි. එම තත්ත්වය බලා සිටීමට බැරි තැන ඉන් මව බේරා ගැනීමට මේ
තරුණ දරුවා ඉදිරිපත් වුණා. එහෙත් එය කෙළවර වූයේ ඔහු විසින් පියාට මෝල්
ගසෙක් දමා ගැසීමෙන් අනතුරුවයි.
ඔහු දිවුරා ප්‍රකාශ කෙළේ කිසිසේත්ම පියා මැරීමේ චේතනාවක් නොවු බවයි.
නමුත් මෙතැන ජීවිතයක් තිබුණා. එය නැති වුණා. ඒ මොහුගේ පියාගේ්
ජීවිතයයි. චේතනාවක් යනු ඉතා ක්‍ෂණිකව පහළ වන නැති වන දෙයක්. ඒ ගැන කාට
ද හරියටම කියන්නට පුළුවන්. අපට වත් ඔහුට වත් එය නිවැරැදිව කියන්නට බෑ.
මෙහිදී ‘පව‘ යන්න හඳුනා ගැනීම වැදගත් යැයි සිතෙනවා. මුලින් කිව්වා මෙන්
ලජ්ජාව හා බිය නොමැති වීමෙන් හටගන්නා වූ එකම දෙය තමයි පාපය. ලජ්ජාව හා
බිය නිසා තමයි මේ ලෝකයේ අම්මා , තාත්තා, නංගී, අක්කා, අයියා, මල්ලී,
කියා පිරිසක් බිහි වන්නේ. මේ ආකාරයේ ඥාතී සම්බන්ධතා තිරිසන් ලෝකයේ
දකින්නට ලැබෙන්නේ නෑ. ඔවුන් මවු පිය දූ දරුවන් හඳුනන්නේ නෑ. ඒත් මිනිස්
ධර්මතා මෙයට වෙනස්. දේව ධර්මයට අනුව ඉදිරියට යා යුතු සමාජයක එම තත්ත්වය
වෙනස් වූ සැනින් මහා අවාසනාවන්ත පාප කර්ම වලට මිනිසුන් පෙළඹෙනවා.
ධර්මයට අනුව මේ පාප කර්ම කොටස් කැර වෙන් වෙන් වශයෙන් හඳුනා ගෙන අවබෝධ
කැර ගැනීම ඉතාමත්ම වැදගත් කරුණක් . ධර්මය අනුව පාප කර්ම කොටස් දෙකකට
බෙදනවා. ඒවා නම් මහා සාවද්‍ය පාප කර්ම හා අල්ප සාවද්‍ය පාප කර්මයි. මේ
කුමන හෝ පාප කර්මයක් කිරීමට මූලික වශයෙන් රාග, ද්වේශ, මෝහ යන චේතනා
මුල් වනවා. මේවා කෙටියෙන් පැහැදිලි කළොත් රාගය යනු රූප, ශබ්ද, ගන්ධ,
රස, ස්පර්ෂ, යන කාම අරමුණු කෙරෙහි ඇතිවන ආශාවයි. ද්වේෂය යනු අපි‍්‍රය
අමනාප වූ රූප, ශබ්ද , ගන්ධ රස ස්පර්ෂ කෙරෙහි ඇතිවන ගැටීමයි. චතුරාර්ය
සත්‍ය පිළිබඳව තිබෙන අනවබෝධය මෝහය නැතිනම් මුලාව ලෙස හඳුන්වන්නට
පුළුවන්. රාගය හා ද්වේෂය වටහා ගන්නට බැරිකමක් නෑ. එහෙත් මෝඩකම නම්
කෙනෙකුට වටහා ගන්නට අපහසුයි. මේ සඳහා සතිපට්ඨානයේ සිහිය ඇති කැර ගන්නට
අවශ්‍යයි. මේ ලෝකයේ කොතනක හෝ ඇතිවන ඕනෑම ගැටුමක මුල සොයා බැලුවොත් මේ
කියන කාරණා තුනෙන් එකක් ළඟ නතර වන බව ඔබටම වටහා ගන්නට පුළුවන්.
මහා සාවද්‍ය හා අල්ප සාවද්‍ය පාප කර්ම වෙනවෙනම හඳුනා ගැනීම වැදගත්
වෙනවා. මහා සාවද්‍ය පාප කර්මවලට අයිති වනුයේ අප මුලින් සඳහන් කරන ලද
ආනන්තරිය පාප කර්ම ආර්ය උපවාද එමෙන්ම නියත මිත්‍යා දෘෂ්ටිය කියන අකුසල
කර්ම, අල්ප සාවද්‍ය පාප කර්මවලට අයත් වන්නේ මෙන්න මේ ආකාරයේ අකුසල
කර්මයි. කෙනෙකුට හිතෙනවා සතෙක් මරන්න . එහෙත් එම තැනැත්තා එකී ද්වේශ
සහගත චේතනාව යටපත් කැර ගන්නවා. සතා මරන්නේ නැතිව මෙහි දී චේතනාව නිසා
අකුසලයක් පහළ වෙනවා. එහෙත් ඒක අල්ප සාවද්‍ය අකුසලයක් .
අපි මෙහෙම සිතමු . ප්‍රාණ ඝාතයක් සම්පූර්ණ වීමට කරුණු පහක් අවශ්‍යයි.
සතකු සිටීම සතකු බව දැන ගැනීම මැරීමට චේතනාව , මැරීමට උපක්‍රමය, මැරීම
මේ මුල් අවස්ථාවලින්ද ඉදිරියට නොපැමිණීමෙන් ඝාතනය සම්පූර්ණ නොවී නතර
වෙනවා. මේ අනුව ප්‍රාණඝාතයක් සිදු කිරීමට සිතීම පවා අකුසලයක් වන බව ඔබට
පැහැදිලි වනවා ඇති.
එමෙන්ම මෙය ධර්මයේ ඉතාමත්ම හොඳට පැහැදිලි කර දෙනවා.
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි
චේතයිත්වා කම්මං කරෝති
කායේන වාචාය මනසා “
මහණෙනි චේතනාව කර්මය යැයි දේශනා කරමි. චේතනාවක් පහළ කොට කර්ම සිදු
කරයි. මෙසේ කර්ම සිදු කරනුයේ කයින්, වචනයෙන් හෝ සිතෙනි
මෙහිදී අප මුලින්ම ආනන්තරිය පාප කර්මය පැහැදිලි කැර ගැනීම වැදගත් යැයි
සිතෙනවා. වර්තමාන සමාජයේ බොහෝ දෙනකුට සිතෙන්නට පුළුවන් ආනන්තරිය පාප
කර්මයක් නම් කිසිදා තමාගේ අතින් සිදු නොවන බව . එහෙත් සීලා දී ගුණ ධර්ම
පුරුදු පුහුණ නොකරන ඕනෑම අයකු අතින් මෙබඳු අකුසල කර්ම සිදු වන්නට ඉඩ කඩ
තිබෙනවා.
ඇතැම් බටහිර රටක වේදනාවෙන් පීඩිත අයකු ඉතා ඉක්මනින් මරණයට පත් කොට
ඔවුන් මේ ජීවිතයෙන් මුදාලීමට සුදුසු යැයි සම්මත කැර තිබෙනවා. එබඳු
විටෙක පවුලේ දූ දරුවන්ගේ අනුමැතියෙන් මවකට හෝ පියකුට මරණය අත් කැර දීමට
කටයුතු යෙදෙන අවස්ථා පිළිබඳව අප අසා තිබෙනවා.
දරුවන් කාර්ය බහුල විය හැකියි. ඔවුනට දිවා රෑ නොතකා තම මව හෝ පියාට
උපස්ථාන කිරීමට අපහසු විය හැකියි. මෙබඳු විටෙක නීති ප්‍රකාරව ඔවුනට
මරණය ළඟා කැර දීම නුසුදුසු බව සිතෙන්නට පුළුවන්. නමුත් මෙය සුළුවෙන්
සිතීම කිසිසේත් සුදුසු නෑ. මෙබඳු අවස්ථාවක ස්ථිරවම ආනන්තරිය පාප කර්මය
සිදුවෙනවා. කවුරුන් හෝ මැදිහත්ව මේ අවස්ථාව මඟ හැරියහොත් එවිට ආනන්තරිය
පාප කර්මය සිදුවන්නේ නෑ. යහපත් දරුවන් සිතිය යුත්තේ මාපියන් තව මොහොතක්
හෝ ජීවත් කරවීම පිළිබඳවයි.
උදාහරණයක් ගත්තොත් දරුවකු පියකුව තල්ලුකරනවා. එවිට එම පියා කොතනක හෝ
වැදී තැල්මක් හට ගන්නවා. නමුත් එම තැල්ම හේතුවෙන් මරණයක් සිදුවෙන්නේ
නෑ. අවශ්‍ය ප්‍රතිකාර කිරීමෙන් සුවපත් වෙනවා. අනතුරුව ඉතා දිගු කලකට
පසු එදා ඇති වු තැල්ම අමතක වෙන්නට පුළුවන්. නමුත් වසර විස්සකට (20) පමණ
පසුව මේ තැල්ම හේතුකොට පියා මරණයට පත්වනවා. එවිට එම දරුවාට ආනන්තරිය
පාප කර්මය සිදුවනවා.
වර්තමාන සමාජයේ තරුණ දූවරුන් පියවරුන් අතින් අතවරයට ලක් වන අවස්ථා
අසන්නට ලැබෙනවා. මෙහි දී ඇතැම් විට මෙබඳු පියවරුන් තමන්ගේ දරුවන් අතින්
ඝාතනයට ලක්වෙනවා. මෙහි දී මුළු මහත් සමාජයම පවා එම ඝාතනය නිවැරැදි යැයි
සාධාරණීය කරණය කිරීමට පෙළඹෙනවා. මේ තත්ත්වය නිසාම මෙබදු ආනන්තරිය පාප
කර්ම දියණිවරුන් විසින් දිගින් දිගටම කැර ගැනීමට ඉඩ කඩ සැහැල්ලු බව ලබා
දෙනවා.
මය ඉතාම බරපතල වරදක්. මෙවිට අනිවාර්යයෙන්ම එම දියණියට ආනන්තරිය පාප
කර්මය සිදුවනවා. පියාට තම දියණියට අතවර කිරීමේ පාප කර්මය සිදුවනවා.
මෙබඳු අවස්ථා උපක්‍රමශීලිව වළක්වා ගත හැකිනම් එය ඉතාම උතුම්.
කුඩා දරුවනට මුල සිටම මවුපිය අගය වටහාදීම ඉතාම වැදගත්. මවුපියන් තම
තමන් ලද මවුපිය පදවි පිළිබඳ අවබෝධය ලබා ගැනීමද සමාජයේ සාරධර්ම සුරැකිව
යහපත්ව පවත්වාගෙන යාමට ඉතා වැදගත් වනවා. මේ බව වගකීම් උසුලන තරුණ සමාජය
අවබෝධ කොට යුතුයි. දේවධර්මය ආරක්‍ෂා වන කළ මෙබඳු අවාසනාවන්ත අකුසල කර්ම
සිදුවන්නේ නැහැ .
|