Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දුටු දේ අනුව යෑම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ නිර්මාතෘ හා අධ්‍යක්ෂක අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියන්ගේ 95 වන ජන්ම දිනය නිමිත්තෙනි

අම්පිටියේ ශ්‍රී රාහුල නා හිමි
1967 වෙසක් සිරිසර

මැති ඇමතිවරුද, දේශපාලඥයෝ ද ප්‍රභූවරු ද ගුරුවරු ද , මවුපියෝ ද ශ්‍රේෂ්ඨ සේ සම්මත ය හ. ඒ ඒ උතුමන් තමනට අයත් කාර්යය හරි හැටියට නොකළහොත් එයින් මුළු ලෝකයටම මහා අනර්ථයක් වනවා පමණක් නොව, ඔවුන්ගේ යුතුකම් පැහැර හැරීමෙන් නින්දාවට හා ශාපයට ඔව්හු ලක් වෙති.

ගුන්නං වෙ තරමානානං -
උජුං ගච්ඡති පුඞ්ගවො
සබ්බා තා උජුං ගච්ඡන්ති
නෙත්තෙ උජුගතෙ සති
ඒවමෙව මනුස්සේසු
යෝ හෝති සෙට්ඨ
සම්ම තිකා
සෝචේව ධම්මං චරති
පගේව ඉතරා පජා
සබ්බං රට්ඨං සුඛං සේති
රාජා චේ හොති ධම්මිකො

යන්නා වූ ගවයන් අතුරෙන් ප්‍රධාන ගවයා ඍජුව ගියහොත් සෙසු ගවයෝ ද ඍජු ව යති. එමෙන් ම මනුෂ්‍යයන් අතුරෙහි ශ්‍රේෂ්ඨ සම්මත වූ යමෙක් වේද ඔහු ධර්මයෙහි හැසිරෙන්නේ නම් අනෙක් ජනයා ගැන කියනු ම කිම? ඉදින් යම් රටක රජා ධර්මික වේ නම්, ඒ මුළු රට ම සුවසේ කල් යවයි යනු, මෙහි භාවයයි.

ෂ්මානුගතිය නම්, අනුන්ගෙන් දුටු දේ හෝ ඇසූදේ හෝ අනුව යෑම යි. යහපත් අයහපත් දේ අනුගමනය කිරීමෙන් මේ දෘෂ්ටානුගතියද හොඳ නරක කියා කොටස් දෙකකට බෙදෙයි. බොහෝ සෙයින් අනුන් කරන හැටියට කරන්නෝ, තිරිසනුන් හා දුබලයෝ ය. යම් මිනිසකු වඳුරකු ළඟට ගොස් නහය කැසුවහොත්, ඌ ද එය කරයි හිස සෙලෙව්වොත් එය ද කරනවාට කිසිම සැකයෙක් නැත. පක්‍ෂීන් හා තිරිසන් සතුන් ද කරන්නන් වාලේ කිරීමට කථා කරන්නන් වාලේ කථා කිරීමට කැමැති වන බව, පත්පොත් වලින් හා නොයෙක් ස්ථානයන්හි හැසිරීමෙන් අපට දැකගත හැකිය.

පෙර අශ්වයකු බලාගත් එක් කකුලක කොර බවක් ඇති මිනිසෙක් සිටියේ ය. හෙතෙම දිනපතාම මේ නිරෝග අශ්වයාගේ ලණුව අතින් ගෙන කොර ගහමින් ඌට පෙරාතුව ගමන් කළේය. නොබෝ කළකින් අශ්වයාද, මගේ ස්වාමියා යන හැටි උගන්වයි සිතා කොර ගහන්නට පටන් ගත්තේ ය. අශ්වයා අයිති රජතුමා හේතුව වටහාගෙන ඒ තනතුරෙන් කොරා ඉවත් කොට නිරෝගී මනුෂ්‍යයකුට අශ්වයා, බලාගන්නට දුන් කල්හි, ඒ තිරිසන් සතා යළිත් ප්‍රකෘති ස්වභාවයට පැමිණියේය. මේ නයින් පිරික්සා බලන විට ඇසු දේ හෝ දුටු දේ හෝ අනුව, අන්ධව යෑම, මූඪ තිරිසන් බවක් නොහොත් නුවණ අඩු දුබලයන්ගේ ස්වභාවයක් සේ හැඟෙයි. මහිලා මුඛ ජාතකයද මෙයට තවත් සාධකයෙකි.

මහත්ම ගුණැති, ධෛය්‍ය¡ සම්පන්න නුවණැත්තෝ නම් කාගේ වුවත් නරක ගති සිරිත් නොපිළිගනිති. ඔව්හු හිමාලය මෙන් නිශ්චලව ස්ථීර ව, යහපත් ගති සිරිත් සිය සිත් සතන්හි පුරුදු පුහුණු කැරැ ගැනීමට වැර වඩති. සාමාන්‍ය මනුෂ්‍යයා නිතරම තමනට වඩා ඉහළින් සිටින අයගේ ගති පැවැතුම් විමැසීමක් නැතිව ආදර්ශයට ගනියි. එයින් ඔහුට වන්නේ මහත් පිරිහීමකි. මේ ලෝකය නමැති සමාජයේ පැවිද්දෝද, රජවරුද මැති ඇමතිවරුද, දේශපාලඥයෝ ද ප්‍රභූවරු ද ගුරුවරු ද , මවුපියෝ ද ශ්‍රේෂ්ඨ සේ සම්මත ය හ. ඒ ඒ උතුමන් තමනට අයත් කාර්යය හරි හැටියට නොකළහොත් එයින් මුළු ලෝකයටම මහා අනර්ථයක් වනවා පමණක් නොව, ඔවුන්ගේ යුතුකම් පැහැර හැරීමෙන් නින්දාවට හා ශාපයට ඔව්හු ලක් වෙති.

පළමු කොට ශ්‍රේෂ්ඨ සම්මත සංඛ්‍යාවෙහි ලා ගිනිය යුතු මවුපියන් ගැන අපි කල්පනා කර බලමු. කාරුණික පියකු මත්පැනින් තොර ව සූදු ක්‍රීඩා ආදී ජීවිතය කාලකණ්ණි කරන අපරාධවලින් හා චණ්ඩ පරුෂ නොහික්මුණු ගතිවලින් වැළැකී තමන්ගේ පවුලට සෙත සලසන්නකු විය යුතු ය. එසේ නොවන්නේ

නම් ඒ පියා නිසා ඔහුගේ අඹුදරුවනට පී‍්‍රතියක් සතුටක් සැනසිල්ලක් ඇති වන්නේ ම නැත. ඔහුගේ දූ දරුවෝ ද ඔහු අනුව ගොස් දෙලෝ දියුණුව වනසා ගෙන දුකට ලක් වෙති. නරක ලෙස හැසිරෙන පියා ඔහුට පමණක් අවැඩ කැර ගන්නේ නොවේ. මුළු පවුලට ද ඔහු අවැඩ ම කරයි. පියා කරන හැටියටම කිරීම , බොහෝ පුතුන්ගේ සිරිතයි. ලෝක ඉතිහාසය දෙස බලන විට පියවරුන් මැරූ අජාසත් ආදි රජවරුන් තමන්ගේම පුතුන්ගෙන් මැරුම් කෑ බව පෙනෙයි. පෙර ලංකාවේ විසූ පොහොසතකු තමා ගේ මහලු පියාට පල්ල සිදුරු වූ කුරුණියකට කා ඉතිරි වු රොඩු ආහාර දුන් නිසා ඒ පොහොසතාගේ පුතාද තමාගේ පියාගේ පසු කළෙක දී එසේ සලකනු අටියෙන්, ඒ සිදුරු වු කුරුණිය සඟවා තිබූ කතාව බොහෝ දෙනා දනිති. කරුණු මෙසේ බැවින් හොඳ පියවරු ශ්‍රද්ධාවත් සිල්වත් ගුණවත් බෞද්ධයන්ව තමාගේ දරුවනට උතුම් ආදර්ශ දෙත්වා!

උදාර චරිතයක් ඇති, උගත් සිල්වත් ගුණවත් මවුවරු තමාගේ දූ දරුවන් යහපත් ලෙස තැනීමෙන් සිය රටටත් මුළු ලෝකයටත් විශාල සේවයක් කරති. දුශ්ශීල නරක ස්ත්‍රීහු මවු තනතුරට නුසුදුසුය. මහ එළදෙන අනුගමනය කිරීම ඇගේ පැටවුන්ගේ සිරිත වෙයි. රටක දියුණුව බොහෝ සෙයින් රඳා පවතින්නේ යහපත් ලෙස වැඩුණා වූ උගත් නැණවත් ශාන්ත දාන්ත මවුවරුන් මතය. මෙකල ලක්දිව මවුවරුන්ගේ සිල්වත් ගුණවත් කම් අඩු වී තිබෙන්නේ ඔවුන් හට කුඩා කාලයේ සිට ම ආගමික, අධ්‍යාපනයක් නො ලැබීම නිසා ය. මිසදිටු පාසල් වලදි අපේ බෞද්ධ ගෑනු ලමයිනට බුද්ධාගම ගැනවත්, ගුණධර්ම ගැනවත්, බෞද්ධ සිරිත් විරිත් ගැනවත් ඉගෙනීමට නොලැබීම සංවේගයට කරුණකි. අපේ බෞද්ධ මෑණිවරුන් හොඳට බුද්ධාගම ඉගෙනගෙන සිල්වත් ව ගුණවත් ව වෙසෙමින් දූ දරු පිරිසට ආගම ධර්මය කියා දී ඔවුන් නොමගින් වළක්වා සුමඟ යැවිය යුතුය. ගුණ ධර්මයන්හි පිහිටු විය යුතුය. දරුවන් තුළ ශ්‍රද්ධා, ශීල, කරුණා, මෛත්‍රී ආදි ගුණ ධර්ම ඇති කළ යුතුය.

පාසල් ගුරු මහත්වරුන් විසින් ද බොහෝ ඉවැසිල්ලෙන් ශීලාචාර ලෙස ශිෂ්‍යයන් හික්ම විය යුතුය. උපදේශයට අවවාදයට වඩා ආදර්ශයය උතුම් බව සෑම අවස්ථාවන් හි දීම මෙනෙහි කටයුතු ය. ශිෂ්ට සුවිනීත දයාබර ගුරු දේශයකුගෙන් ශිෂ්‍යයනට බොහෝ දේ ඉගෙන ගන්න තිබේ.

බෞද්ධ ගුරුවරුන් විසින් හැම මොහොතක් පාසා ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙලොව දියුණුව සැලසෙන පරිදි කටයුතු කිරීමට සිතට ගත හොත් මැනවි. ගුරුවරුන්ගේ පළමු යුතුකම නම් ‘සුවිනීතං විතෙන්ති’යි සිඟාලෝවාද සූත්‍රයේ වදාළ පරිදි තමන් වෙතට පැමිණෙන සිසු පිරිස මනාකොට හික්මවීම යි. හෙවත් හොඳ හැටි තැනීමයි. දෙ වන අංකයේ තිබෙන්නේ මනා කොට ඉගැන්වීමයි. මෙසේ බලන විට ගුරුවරුන්ගේ ශ්‍රේෂ්ට ම යුතුකම නම් සිසුන් අයහපතින් මුදා යහපතෙහි යොදා සුමඟ යෑවීමය. මෙසේ කිරීම බාල පරපුරට කරන අනුග්‍රහයකි. ලොකුම සංග්‍රහයකි.

ගම් මුලාදෑනිවරුන් හා ඊට උසස් නිලධරයන් විසින් තමන් රාජකාරිය කරන ගමට පළාතට ශාපයක් නොවන පරිදි ඡන්දයෙන් , ද්වේෂයෙන් , භයෙන් හා මෝහයෙන් අගතියට නොයා අවංක සේවයක් කිරීමට සිතට ගත යුතු ය. ගමක් පළාතක් දියුණු වන්නේ ඒ ගම පළාත දියුණු කරන අටියෙන් ඒ ඒ නිලදරුවන් උනන්දුවෙන් සේවය කළහොත් පමණකි. ගැමියන් පළාත් වාසීන් සුඛිත මුදිත කරන අපේක්‍ෂාවක් ඔවුන් තුළ තිබුණහොත් පමණකි. ආත්මාර්ථකාමී නිලධරයන්ගෙන් ගමට වැඩක් නම් නොවන්නේය. රාජකාරියද පරාර්ථ චර්යාවක් වන සේ’ පින්කමක් වන සේ කළ හැකි ය.

රාජ්‍ය පාලකයෝ, නම් රජවරුය. මැති ඇමැතිවරුය. රජයේ වග කිව යුතු උසස් නිලධාරීහු ය. ඔවුන් විසින් පක්‍ෂ භේද, පළාත් භේද, ආගම් භේද, ජාති භේද කුළ භේද අත්හැර දමා ජනයාගේ යහපතටත් රටේ ආර්ථික අධ්‍යාපනික සෞඛ්‍ය හා සදාචාර අභිවෘද්ධියටත් සේවය කිරීම මැනවි. පක්‍ෂවලට බෙදී කුලල් කා ගැනීම විශාල ජාතික පරිහානියකි. රටේ හා ආගමේ සංවර්ධනයට ලොකුම බාධාවකි.

බුද්ධ පුත්‍ර වූ භික්‍ෂූන් වහන්සේ මුළු බෞද්ධ ලෝකයාගේම පොදු වස්තුවකි. ගිහි ජන නායකයාද සිංහල වර්ගයාගේ සහ රටේ පොදු වස්තුවකි. එබැවින් මොවුන් වර්ග වලට කොටස් වලට නොකැඩී නොබෙදී පොදුවේ රට දැය සමය නගා සිටුවන්නට සිතට ගත යුතුය. ස්වදේශපේ‍්‍රමීන් විය යුතුය. ජාති හිතෛෂීන් විය යුතුය. ශාසනස්ථි කාමීන් ව ආදර්ශවත් ව ජීවිත ගත කළ යුතු ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.