Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන නාගයෝ

අපේ බොහෝ බෞද්ධ විහාර බිතු සිතුවම්වල නම් සත්දරණ පටකින් වෙලාගත් පෙණය නගාගත් මුචලින්ද නාග රාජයා දැවැන්ත නාගයකු සේ පෙනේ. මොහු වෙනත් මිනිස් ඇසකට දක්නට ලැබුණේ ද යන්න පිළිබඳව අපට අවබෝධයක් නැත. මිනිස් වෙසින් සිටින නාගයන් මිනිසුන්ට දකින්නට ලැබුණු අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ පළමුවන වර්ෂා සෘතුව බරණැස ඉසිපතනයේ ගත කළ කාලයේ දී අපට දක්නට ලැබේ. ඒ ,ඒරක පත්‍ර නාගරාජ සමාගමය සිදු වූ අවස්ථාවේදී යි.

මාර දූවරුන් පැමිණි කතාව මුසාවක් නොවේ” යනුවෙන් 2008 නොවැම්බර් 12 දින බුදුසරණ පත්‍රයේ මවිසින් ඉදිරිපත් කළ ලිපිය (9 පිටුව) කිය වූ සමහර දෙනෙක් මා කියවූ පොත පිළිබඳව මගෙන් විමසූහ. මා විසින් කියවන ලද්දේ ආචාර්ය මන් භූරිදත්ත නමැති විසිවන සියවසේ ජීවත් වූ තෙරුන් වහන්සේ කෙනෙකුගේ යැයි සලකනු ලබන ජීවන චරිතයකි.

මන්භූරිදත්ත තෙරුන්වහන්සේ දෙවියන්, බඹුන් ආදීන් පමණක් නොව නාගයින්ද ඇසුරු කොට ඔවුනට දහම් දෙසූ බව අපට අසන්නට ලැබේ. (ඉහත සඳහන් ග්‍රන්ථයේ පිටු, 79, 84 හා 262). ඓතිහාසික යුගයට පෙර ලංකාවේ ද යක්‍ෂයන් හා නාගයන් විසූ බවක් කියනු ලැබේ. එකළ නාගයන් ලෙස සලකනු ලැබුවේ මුහුදුබඩ හා ගංගා දෝණිවල විසූ මනුෂ්‍යයන් කොටසක් බව ද කියනු ලැබේ. මන් භූරිදත්ත තෙරුන් වහන්සේ ඇසුරු කළ නාගයින් සාමාන්‍ය මිනිස් ඇසට නොපෙනෙන, දෙවියන්ට මෙන් නොපෙනී සිටීමට හැකියාවක් ඇති, සත්ත්ව කොට්ඨාසයකි. මනුෂ්‍යයන්ටත් භාවනාවේ උපචාර සමාධියට පත් වුවහොත්, දේවතාවුන්, නාගයින් හා භූතයින් ඒ ඒ ලෝක තලවලදී දක්නට හැකිවෙනු ඇතැයි කියනු ලැබේ. (83 පිටුව)

බුද්ධ චරිතයේ එන සමහර සිද්ධි අපට මේ තොරතුරු හා සංසන්දනය කළ හැකි ය. බුද්ධත්වය ලබා හය වන සතියේ දී ගෞතම බුදුරජාණන් වහන්සේ මුචලින්ද (මිදෙල්ල) වෘක්‍ෂයක් යට සතියක් විවේක සුවයෙන් ගත කළ බව කියනු ලැබේ. ධාරානිපාත වැස්සක් වසිනු ලැබූ ඒ සතිය තුළ දී එක්තරා නාගයෙක් ඔහුගේ දරණ මත බුදුරදුන් වඩා හිඳුවා, ඔහුගේ පෙණයෙන් වැසි සුළං නොවදින සේ බුදුරදුන් ආවරණය කර සිටි බව පාසලේ හා දහම් පාසලේ දී බුද්ධ ධර්ම පාඩම්වලදී අපට ඉගෙනීමට ලැබී ඇත. මා ඇතුළු අප බොහෝ දෙනකු සිතාගෙන ඇත්තේ මුචලින්ද විලෙන් පැමිණි නයෙක් බුදුරජාණන් වහන්සේට ආරක්‍ෂාව සපයා දුන් වග ය.

මේ සිද්ධිය ඛුද්දක නිකායේ උදාන පාලියේ මුචලින්ද වග්ගයේ දැක්වෙන පාඨයේ අදහස මෙසේ ය. මෙය මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක බුද්ධත්වයට පත් බුදුන් වහන්සේ උරුවෙල් දනව්වේ නේරංජරා නදී තීරයේ මිදෙල්ල ගසක් මුල විමුක්ති සුවයෙන් විසූ සේක. එකළ සත්දිනක අකල් වැස්සක් ඇති විය. එවිට මුචලින්ද නා රජ තම වාස භවනයෙන් පිටව “භාග්‍යවතුන් වහන්සේට සීතලක් නොවේවා. භාග්‍යවතුන් වහන්සේට උෂ්ණයක් නොවේවා!, භාග්‍යවතුන් වහන්සේට මැසි මදුරුවන්ගෙන්, සුළඟින්, අව්වෙන්, සර්පයන්ගෙන් කරදරයක් නොවේවා යි සිතමින් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය සන්දරණ පටකින් වෙලාගෙන මහත් වූ පෙණයක් කොට ගෙන සිටියේ ය. සතිය අවසන බුදුන් වහන්සේ සමාධියෙන් නැගී සිටි සේක. වැස්ස නැවතුණු පසු නා රජ, තමන්ගේ දරණ වැල ඉවත් කොටැ, තරුණයෙකුගේ වෙසක් මවාගෙන බුදුරදුන්ට ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටියේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ නිවන් සුවය, නොකිපෙන බව, අවිහිංසාව, කාමයන්ගෙන් ඉවත් වීම හා අස්මිමානයෙන් දුරුවීම සැපයක් බව පිළිබඳ ගාථාවන් දේශනා කළ සේක.”

ඉහත සඳහන් පාඨයෙන් දැක්වෙන නාගයා තිරිසන් නයෙක් නොව විවිධ වෙස් ගැනීමට හැකි දිව්‍යමය ස්වභාවයක් ඇති නාගරාජයකු බව පෙනේ. අපේ බොහෝ බෞද්ධ විහාර බිතු සිතුවම්වල නම් සත්දරණ පටකින් වෙලාගත් පෙණය නගාගත් මුචලින්ද නාග රාජයා දැවැන්ත නාගයකු සේ පෙනේ. මොහු වෙනත් මිනිස් ඇසකට දක්නට ලැබුණේ ද යන්න පිළිබඳව අපට අවබෝධයක් නැත.

මිනිස් වෙසින් සිටින නාගයන් මිනිසුන්ට දකින්නට ලැබුණු අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ පළමුවන වර්ෂා සෘතුව බරණැස ඉසිපතනයේ ගත කළ කාලයේ දී අපට දක්නට ලැබේ. ඒ ඒරක පත්‍ර නාගරාජ සමාගමය සිදු වූ අවස්ථාවේදී යි. බුදු රජාණන් වහන්සේ නමක් ලොව පහළ වූ වග මිනිසුන්ගෙන් අසා දැන ගැනීම සඳහා ඒරකපත්‍ර නා රජ උපක්‍රමයක් යෙදී ය. හේ අභිරූපී සිය දියණියට ගාථාවක් උගන්වා බරණැස ගංගා නදිය අසළ ඇය සිටුවා, ඇය ලවා ඒ ගාථාව ගයන්නට සැලැස් විය. ඇය ගයන ගීයට ප්‍රතිගීතයක් ගයන කෙනකුට මහත් වස්තුව සමග ඇය පාවාදෙන බවද ප්‍රසිද්ධ කරවීය. සෑම අඩමසක් පාසාම පොහෝ දිනයන්හී ඇය මේ ගීය ගැයූ අතර බොහෝ කලක් ඉක්ම ගියේ ය.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම වස් කාලය ගෙවද්දී එක් පොහෝ දිනක නා රජ දියණිය ගීය ගයන දින උදා විය. තමාගේ ගමනින් යහපතක් සිදුවන බව දුටු භාග්‍යවතුන් වහන්සේ එදින බරණැස ගංගා ඉවුරෙහි රිටිගස්හත පිහිටි තැනට වැඩි සේක. එදා ගීයක් ගයන්නට යන උත්තර නමැති මානවකයා දුටු බුදුන් වහන්සේ ඔහු කැඳවා ඔහුගේ ගීය අසා, එය වැරැදි බැවින් ඔහුට නිවැරැදි ගීයක් හා තවත් ප්‍රතිගීයකුත් ඉගැන් වූ සේක. ගීයෙහි අරුත මෙහි නොදැක් වේ. (එය බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන්ගේ ගෞතම බුද්ධ චරිතය නමැති ග්‍රන්ථයේ 52 – 54 පිටු) එම ගීතය හා ප්‍රතිගීතය ඇසූ උත්තර මානවකයා සෝවාන් විය.

අනතුරුව උත්තර මානවකයා නාග කුමරිය වෙත ගොස් ඇය ඇසූ ප්‍රශ්නවලට අදාළ ගීත ගායනා කෙළේ ය. ඒරකපත්‍ර නාග රාජයා ඒ ගාථාව බුදුවරයකුගේ විසර්ජනයක් බව දැන, උත්තර මානවකයා සමඟම බුදුන් දක්නට ගොස් දහම් ඇසූහ. ඒරකපත්‍ර නාග රාජයාත් ඔහුගේ දියණියත් මිනිස් වෙසින් සිටි නාගයෝ ය. බුදු කෙනෙකුගේ ලොව පහළ වී ඇති බව නාගයන් දැන ගත්තේ ද මිනිසුන්ගෙනි.

මිසදිටු ගත් නන්දෝපනන්ද නම් නාග රාජයකු බුදුරජාණන් වහන්සේ විසින් දමනය කළ බවක් බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වේ. ඔහු දමනය කරන ලද්දේ මුගලන් මහරහතන් වහන්සේ විසින් බව කියනු ලැබේ. (අමාවතුරේ නාග දමනය)

ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම වීමේ දී ද නාගයන්ගේ අභිවාදනයට ලක් වූ බව කියනු ලැබේ. තාමුලිප්තියේ සිට දඹකොළ පටුනට සමුදායේ නැවෙන් ගමන් ගනිද්දී නාගයෝ ශ්‍රී මහා බෝධිය ලබා ගැනීමට උත්සාහ කළහ. එහිදී බෝ රජුන් භාරව ගමන් ගත් සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ ගුරුළු වෙසක් ගෙන නයින් බිය ගැන්වූහ. අන්තිමේ දී නාගයෝ මහතෙරණියන්ට යාඥා කොට ශ්‍රී මහා බෝධිය ලබා ගෙන එය නාග භවනයට ගෙන ගොස් සතියක් ගෞරව පූජා පවත්වා දඹකොළ පටුනට ගෙන යන දිනයේ එය නැවෙහි තැන්පත් කළහ. (මහාවංශය, 19 වෙනි පරිච්ඡේදය)

මණිකණ්ඨ, චම්පෙය්‍ය, පණ්ඩරනාග, භූරිදත්ත හා විදුර වැනි ජාතක කථාවල ද නාගයන් පිළිබඳ තොරතුරු රැඳී ඇත්තේ පැරැන්නන් තුළ ප්‍රබල නාග සංකල්පයක් තිබු නිසා විය හැකි ය.

බුදුරජාණන් වහන්සේගේ අත්දැකීම් මගින් ද, බෝධි ආගමනයේ ස¼ඳහන් නාගයන්ගේ ශ්‍රී මහා බෝධි ප්‍රණාමය මගින්ද, ආචාර්ය මන් භූරිදත්ත තෙරුන් වහන්සේගේ අත්දැකීම් ඇසුරෙන්ද ‘නාගයෝ’ යන සත්ව කොට්ඨාසයක් ඇති බව අපට සිතා ගත හැකි ය. අප දකින්නේ අපගේ ලෝකතලය පමණි. සීමිත රටාවක සිටින බැවින්, අපට නොපෙනන නිසා වෙනත් ජීවීන් නැතැයි සිතා ගැනීම වැරැදිය. මිනිස් ඇසට පෙනෙන දේවල් පමණක් සත්‍යයයි සිතා ගැනීම මුළාවකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.