Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය

පංච සීලයෙහි දෙවැන්න ‘අදත්තාදාන ‘ නමින් හැඳින්වෙන පාපක්‍රියාවකි.’අදින්නාදාන’ යන පාලි වැකියෙහි එන පරිදි ‘අදින්න ‘ යනු නො දුන් යන අර්ථයයි. නොදුන් දෙයක් ගැනීම පාපිෂ්ට ක්‍රියාවක් මෙන්ම සදාචාර බවින් තොර අසීලාචාර ක්‍රියාවකි. ‘දීයතීති’ දානං “දීම” “පරිත්‍යාගය “ පිනකි. එය සදාචාර සද්ගුණයකි. මෙම සද්ගුණය පිළිබඳව පෙළ දහමෙහි විචිත්‍ර වූ දේශනා ඇතුළත් ව ඇත. ආමිස දාන ප්‍රතිපත්ති දාන ධර්ම දාන සප්පුරිස දාන ආදි වශයෙන් විවිධ වූ විස්තර ඇතුළත්ව ඇත. මේවා අතරින් එක්තැනක බුදුරජාණන් වහන්සේ ජළංග සමන්නාගතා දක්ඛිණා ‘ යනු වෙන් සුවිශේෂ වූ දානමය පුණ්‍ය ක්‍රියාවක් සඳහන් කරයි. එය පැහැදිලි කරන්න.

පිළිතුර

(අං.නි.4 පිටුවට )

ඉධ භික්ඛවෙ දායකස්ස තීණංගා නි හොන්ති පටිග්ගාහකානං තීණා ගෙනානි හොන්ති

මහණෙනි! “ජළංග සමන්නාගත” යනු දායක පක්ෂයෙහි අංග තුනකුත් පිළිගන්නා වූ (ප්‍රතිග්ග්‍රාහක) පක්ෂයෙහි අංග තුනකුත් එක්තැන්ව කරන දානයයි. ඒ සය වැදෑරුම් දානමය පුණ්‍ය ක්‍රියාවෙහි දායක පක්ෂය ‘පුබ්බේව දනා සුමනෝ ආරම්භයෙහි ම සතුටු සිත් ඇත්තෙකු විය යුත්තාසේම දන්දෙන අවස්ථාවෙහි දීද ‘දදං චිත්තං පසාදයේ - සොම්නස් ඇත්තෙකු විය යුතුයි. අවසානය දත් වා අත්තමනෝහොති දන්දී සතුටු සිත් ඇතිවෙයි.

ප්‍රතිග්ග්‍රාහකයන්ගේ ද අංග තුනක් සම්පූර්ණ විය යුතුය. ප්‍රතිග්‍රාහකයෝ තෘෂ්ණා රාගයෙන් වෙන්විය යුතුය. දොස හා මෝහ යන දුර්ගුණයන් ගෙන් වෙන් විය යුතුයි. මෙ බඳු පින්කමක විපාක ප්‍රතිලාභයන් ද බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. ප්‍රඤ්ඤභිසන්දං පුණ්‍ය ප්‍රවාහයක කුසලයන් උල්පතෙකි. සුව ගෙන දෙන්නකි. ඉෂ්ට මනාප සැප සඳහාම හේතුවන පින්කමක එහි විපාක ගණනය මෙතකැයි නිම කළ නොහැකි වේ.

ප්‍රශ්නය

මෙම පාලි පාඨය කාලීන වශයෙන් ඉතාමත් වැදගත් තොරතුරක් අනාවරණය වෙයි. කියවන්න “කො පන භන්තෙ හේතු - කො පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතීති.

ස්වාමීනි! යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවිකල්හි ශාසන සද්ධර්මය චිරස්ථායි වේ නම් ඒ හේතු ප්‍රත්‍ය කවරේද? වර්තමානික බුදු දහමෙහි චිරස්ථිතිය (පැවැත්ම) සඳහා පෙළ දහමෙහි එන මෙබඳු තොරතුරු හා දේශනා බොදුනුවන් ධර්ම සාකච්ඡාවලදී භාවිත කළ යුතුය. පැහැදිලි කරන්න.

පිළිතුර

බෞද්ධයන් අතර උපෝෂිත (පොහෝ දින) දිනයන්හි ධර්ම සාකච්ඡා මණ්ඩපයෙහි මෙබදු දේශනා පිළිබඳව සාකච්ඡා කළ යුතුය. බොහෝ විට සාකච්ඡා කෙරෙන්නේ දෙව්දත් පංච වර යාචනය අවිහිංසා වාදී බව වැනි සරළ දේ පමණකි. මෙම සූත්‍ර දේසනාවෙහි ඇති සටහන පොහෝ දින සාකච්ඡාවකට ඉතාම සුදුසු ධර්ම මාතෘකාවකි. තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් සද්ධර්මය චිරස්ථායි වීමට නම් සිව්වණක් පිරිස ශාස්තෘවරයන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි සඟරුවන කෙරෙහි ගෞරවයෙන් පළමුතැන්හිලා සැලකිය යුතුය. ශික්‍ෂාවන්හි මෙන්ම සීලයෙහි අප්‍රමාදීව ගෞරව සහිතව එහි ප්‍රධාන බව සලකා කටයුතු කළ යුතුය.

ප්‍රශ්නය

සත්‍යය නම් ඇත්තටම පවතින දෙයයි. එමෙන්ම බොරු කළ නොහැකිය යන තේරුමයි. බුදු දහමෙහි සත්වයා හා සම්බන්ධ සත්‍ය හතරක් ගැන ඉගැන්වෙයි. ‘රෝහිතස්ස’ සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. මේ බඹයක් පමණ වූ සංඥා සහිත මනස සහිත ශරීරයෙහිම මම ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධ ප්‍රතිපදාවත් පණවමි” මේ සූත්‍ර පාඨයෙහි “ලෝක” යන්නෙන් අදහස් වන්නේ දුකයි. පෙළ දහමෙහි දුක පිළිබඳව විවිධ නිර්වචනයන් විවරණය කරමින් දුක පිළිබඳ දේශනා පිළිවෙල පැහැදිලි කරන්න .

පිළිතුර

ලෝකය පිහිටා ඇත්තේ දුක මතය. එහෙයින් එය පිළිකුල්ය. ලෝකයේ කිසිම හරයක් නොමැත. එහෙයින් එය හිස්ය. එහෙයින් දුක්ඛ නම් පිළිකුල් ජනක හා හිස් බවයි. සාමාන්‍ය මිනිසුන් දකින ලෞකික සැප හුදෙක් ආශාවන් සංසිඳවීම සඳහා පමණකි.

ආශා කරන දෙය ලබාගත් වහාම එය කෙරේ ආශාව අඩු වී යයි. එහෙයින් ආශාවෝ අතෘප්තිකර වෙති. සියලු සත්වයෝම ජාතිය ජරාව ව්‍යාධිය හා මරණය උරුම කර ගත්තෝ වෙති. මෙම සතර වැදෑරුම් දුක් සහගත තත්වයන් ගෙන් තොර වූ කිසිවෙක් නොවෙති.

සුන් වූ බලාපොරොත්තුව දුකකි. අප පි‍්‍රය කරන පුද්ගලයන් හෝ දේ, සමග එක් වන්නට අපි කිසිවෙක් කැමැති නොවෙමු. එමෙන්ම අප පි‍්‍රයකරන රුචිකරන පුද්ගලයන්ගෙන් හෝ ද්‍රව්‍ය වලින් දුරස් වන්නටද අපි කැමැති නොවෙමු.

අං.4 ඉණ සූත්‍ර .118 පිටු)

දුක පිළිබඳව ප්‍රායෝගිකව වෙනත් විවරණයක් දක්නට ලැබෙයි. “මහණෙනි! ලොව දිළිඳුබව දක්නට ලැබෙයි. “මහණෙනි! ලොව දිළිඳුබව කාමභෝගීනට දුකය. ණය ගැනීම එය දිනෙන් දින වැඩිවීමද (පොලිය ) නියමිත දිනට ණය ගෙවීමට නොහැකි වීම ද දුකයි. ඒ පිළිබඳ පිරිස්මැද අවමානයට ලක්වීමද දුකකි.

නියම සැපත ඇත්තේ අප සිත් තුළය.

ප්‍රශ්නය

අනගාරික පැවිදි දිවිය සතු බල සතක් බව දේශනා පාලියෙහි දක්නට ලැබෙයි. ඒ මොනවාදැයි පැහැදිලි කරන්න.

පිළිතුර

සත්තිමානි භික්ඛවෙ බලානි
මහණකම සතු බල සතකි එනම්
සද්ධා බලය - විරිය බලය- හිරිබලය - ඔත්තප්ප බලය- සතිබලය- සමාධි බලය- පඤ්ඤා බලය

එතෙහි බලවා භික්ඛු සුඛං ජීවති පණ්ඩිතො මේ බල සතින් යුත් පණ්ඩිත මහණ සුවසේ කල්ගත කරයි.

ප්‍රශ්නය

අනගාරික ප්‍රතිපදාව ජීවිතය කොට ගත් භික්ෂූන් වහන්සේගේ ජීවන රටාව ආධ්‍යාත්මික සදාචාරාත්මක හා මානව හිතවාදී ප්‍රායෝගික අගයට මුල් තැන දෙමින් සංවිධානය වී ඇත. ඒ සදහා පුරන පිළිවෙත් අතර ‘ගමික වත හා වැසිකිළි වත - යන අංග දෙකකි. මෙයින් දෙවැන්නට සඳහන් කළ “වැසිකිළි වත “ පැවිදි ගිහි ඕනෑම සාමාජිකයෙකුට අද පවා ප්‍රයෝජනවත් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර

වැසිකිළිය යනු බොහෝ විට පොදු පරිභෝජනයට වෙන් වු ස්ථානයකි. සාමාන්‍ය ජීවිතයෙහි දී පනවා ගත් සම්මතයන් වැසිකිළිය ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවෙහි දී නොසලකා හැර පැමිණි පිළිවෙළ අනුගමනය කළ හැකිය.

සාමාන්‍ය පිළිවෙත්වල දී (වෘද්ධා පචායන) වැඩිහිටි අයට මුල් තැන දී සඟ මහලු පිළිවෙළ හෙවත් පැවිදි ජීවිතයෙහි දි උපසපන් වීමෙන් වස් විසීම ගණනය කිරීමෙනි.

සඟමහලු පිළිවෙළ සකස් ව ඒ අනුව ශාසනික සම්ප්‍රදාය සකස් වී ඇත.

එහෙත් වැසිකිළි වත නමින් සඳහන් වන එම සම්ප්‍රදායන් මෙහි දී අනුගමනය කිරීම යුක්ති සහගත නොවන බැවින් අවශ්‍යතාවයට හා පැමිණි පිළිවෙළට අනුගමනය කිරීම විශේෂිතය.

ප්‍රශ්නය

අනුන්ගේ දුක දැක එය බැහැර කරනු රිසිව සාධූන්ගේ සිත්හි ඇතිවන කම්පනය දෙවන බ්‍රහ්ම විහාරය ලෙස හඳුන්වා ඇත. බුදුසමයට අනුව අනුකම්පා දයා යන වචන ඊට සමාන්තර ව යෙදෙන බව පෙන්වා දී ඇත. පෙළ දහමෙහි පිළිවෙළට සමගාමී ව පැහැදිලි කරන්න.

පිළිතුර

මෛත්‍රියට සව්සතුන් (සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා) අරමුණු වන අතර දුකට පත් සත්වයා (දුක්ඛප්පත්තාච නිද්දුක්ඛා) එයින් මුදවාලීමට කරුණාව ඒකාන්ත අරමුණ වේ.

සම්මා සංකප්ප (යහපත් කල්පනාව) ගොඩනගන ලද අව්‍යාපාද අවිහිංසා සංකල්ප තුළ කරුණාව දයාව අනුකම්පාව ගැබ් වෙයි.

මෛත්‍රිය තමා සමාන කොට අන් අය කෙරෙහි ද හිත මිතුරු ආකල්පයක් ඇති කරන අතර මෛත්‍රිය කළ යුත්තේ මවක් එකම පුතු රකින ලෙසයි.

මෙයින් බුදු සමය අවධාරණය කරන්නේ කිසිම ප්‍රතිලාභයක් හෝ ප්‍රතිදානයක් අරමුණු කර ගෙන හිත මිතුරු ආකල්පය නොපැවැත්විය යුතු බවයි. එය ආදරය හෝ පේ‍්‍රමය නොවේ. පේ‍්‍රමය ශෝකයත් බියත් ඇති කරයි. (පෙමතෝ ජායතී සොකෝ පෙමතො ජායති භයං ) එම නිසා එය බැහැර ලිය යුතු බව බුද්ධ දේශනාවයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.