Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සුනාමි විපතට සිවු වසරක් සපිරීම නිමිත්තෙනි

බුදුවදනේ සත්‍යය හෙළි කළ සුනාමියේ ජීවිත පාඩම

ලක්‍ෂ සංඛ්‍යාත ජනකායකගේ ජීවිත අහිමි කරමින් ලක්‍ෂ සංඛ්‍යාත ජනකායකට උන්හිටි තැන් අහිමි කරමින්, අප්‍රමාණ ලෙස දේපල, වස්තුව විනාශ කරලමින් දකුණු ආසියා කරයේ වූ සුනාමි ඛේදවාචකය කිසිවකුටත් අමතක නොවන්නකි. මේ සම්බන්ධයෙන් ඇතැම්හු මතුපිටින් බලමින් මහා සමුද්‍රයට දොස් නගන්නට වූහ. වෛර කරන්නට වූහ. එහෙත් ඤාණවන්තයෝ, සුනාමිය වසර දෙදහස් පන්සිය පනස් දෙකකට පෙර ශාන්ති නායක බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් වූ ශ්‍රී සද්ධර්මය යළිත් මතකයට ප්‍රබල ලෙස රැඳවීමක් සේ සැලකූහ.

ලෝකය කුමක්ද? ජීවිතය කුමක්ද? පිළිබඳව මනා වැටහීමක් සුනාමියෙන් මිනිසුන් තුළ පහළ වන්නට විය. මිනිස් ජීවිතය තණ අග පිනිබිඳු වැනි බව, සියලු සංස්කාර ධර්ම නැසෙන සුළු බව තේරුම් ගැනීමට ඉවහල් වූ සුනාමි ඛේදවාචකය තම තමන් විසින් කරන ලද වැරැදි අඩුපාඩු සකසා ගනිමින් ජීවිතය තේරුම් ගනිමින් ධර්මානුකූල ජීවිතයක් පවත්වා ගත යුතු බව අකුසල් දුරලා දැහැමි පිළිවෙතෙහි යෙදමින් අර්ථවත් මනුෂ්‍ය ජීවිතයක් ගොඩනඟා ගත යුතු බව පසක් කර දුන්නේ ය. දරුවනට මවුපියන් මවුපියනට දරුවන්, සොයුරු සොයුරියන්, ඤාති හිත මිත්‍රාදීන් මෙන්ම පරම්පරා ගණනාවක් තිස්සේ පැවැති සකලවිධ වස්තූන් සුනාමිය විසින් උදුරා ගත්තේ ධනය, බලය, නිලය, කුලය, උස් මිටිකම්, වත්පොහොසත්කම් ගැන සලකමින් නොවේ. මහ මඟ සිඟන්නාටත්, මහා මන්දිර ධන කුවේරයන්ටත් සුනාමිය සලකන්නට වූයේ එක ලෙසිනි. මේ සියල්ල ජීවිතය අවබෝධ කර දුන් අතර කළ යුතුව ඇත්තේ දුක් කඳුලැළි වගුරුවමින් ප්‍රමාද වීම නොව දුක්බර ජීවිතයට සැනසීමක් ලබා ගනුවස් ධර්මානුකූල ජීවිතයකට යොමුවීමය. සුනාමිය පසුතැවිලිවීමට කරුණක් නොවන බවත්, දුකකින් ලත් මිනිස් බව සැබෑ මිනිස් බවට පත් කර ගත යුතු බව පෙන්වන්නක් බවත් මනාව තේරුම් ගනිමින් ක්‍රියා කිරීම බෞද්ධ ලක්‍ෂණය විය යුත්තේ ‘අප්පමාදෝ අමතපදං - පමාදෝ මච්චුනෝ පදං අප්පමත්ථා න මීයන්ති - යේ පමත්තා යථා මතා’ යන බුදු වදන සිහියට නවෙමින් අප්‍රමාදව කුසල් දහමින් සැරි සැරිය යුතු බවත්, ඔවුහු ජීවිතය ජය ගන්නා බවත් දක්වමි.



සුනාමියෙන් නොවැනසුණු බුද්ධ ප්‍රතිමා

බුදුහිමියන් පෙන්වා දී වදාළේ ‘සබ්බේ සංඛාරා අනිච්චාති’ යනුවෙන් සියලුම සංස්කාරයෝ නිත්‍ය නොවන බවය . ස්ථිර නැති බව ය. පංචස්කන්ධ ලෝකය අනිත්‍යය. අනන්ත චක්‍රවැල හා අනන්ත ලෝ ධාතු සියල්ලම අවකාශ ලෝකයද මොහොතින් මොහොත බිඳී යයි. ඇතිවෙයි. පවතියි. වෙනත් දෙයක් වෙයි. කිසිදු ලෝකයක් නිත්‍ය නැත. බිඳෙයි. පලුදුවෙයි. වෙනස් වෙයි. එක ලෙස නොපවතියි. මේ සියලු ලෝක ස්වභාවය දත්තහුට සුනාමි ව්‍යසනය ගැන සිතීමට ඇත්තේ ධර්මය පරිද්දෙනි. දුක් කනගාටු වීමෙන් නොවේ.

ලෝකයෙහි සියල්ල සිදුවන්නේ කර්මයෙන් නොවේ.මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ නියාම ධර්ම පහක් පෙන්වා වදාළහ. කරන්නකු හෝ කරවන්නකු නොමැතිව ඉබේම සිදුවන්නා වූ ස්වභාවික පරිසරයේ විවිධ වෙනස්වීම් උතු නියාමයට අනුවය. එපරැදි කිසිවකුගේ සම්බන්ධයක් නොමැතිව ඇටයකින් එම පැළය ලැබීම මවුපිය ලක්‍ෂණ දරුවනට ලැබීම ආදී කරුණු සිදු වන්නේ බීජ නියාමයට අනුවය. සත්වයින් විසින් කරන ලද පින්පව් පරිදි කිසිවකුගේ සම්බන්ධතාවයක් නැතිව හොඳ නරක විපාක ගෙනදීම කර්ම නියාමයට අනුව ය. එසේම කරවන්නකු හෝ කරන්නෙකු නොමැතිව ජලය පහත් භූමිය කරා බැස යාම, ඉපදීම ඇති තැන මරණය වීම, ගසකින් ගිලිහෙන කොළය පොළොවට පතිත වීම ආදිය ධම්ම නියාමයට අනුවය. එසේම කිසිවකුගේ පිළියෙළ කිරීමක් නොමැතිව සිත් පහළ වීම, සිත් නැතිවීම ආදී සිත පිළිබඳ ස්වභාවික පැවැත්ම චිත්ත නියාමයට අනුව ය.

මේ ලෙස කිසිදු බාහිර බලපෑමකින් තොරව, කිසිවකුගේ සම්බන්ධයක් නැතිව ඉබේ සිදුවන ස්වභාවික නීති හෙවත් නියාම ධර්ම පහක් පවත්නා බව අවබෝධ කරගත යුතු වේ. සියලු දේ කර්මයෙන් සිදු නොවන බව මින් වටහා ගත හැකි ය. කර්මය ලෙස හැඳින්වෙන්නේ සිතින් සිතා සිතා මතා කරන ලද කරුණු ය. චේතනාවක් නැත්නම් එහි කර්මයක් නැත. එහෙයින් බුදුහිමි මම චේතනාව කර්මය ලෙස හඳුන්වමියි වදාළහ. උණ පවත්නා ප්‍රදේශයකට යමෙකු ගියහොත් සැලකිලිමත් නොවුනහොත් උණ වැළඳේ. එය කර්මයෙන් වූවක් ලෙස සැලකිය නොහැකි ය. සුනාමි ව්‍යසනයේ දී නොයෙක් කරුණු හේතුවෙන් බොහෝ දෙනා විපතට පත් වූහ. තමන් කරන ලද ප්‍රාණඝාතාදි අකුසල කර්ම හේතුවෙන් සමහර ජීවිත විනාශයට පත් වූ අයුරු පෙනී යයි.

පන්සිය පනස් ජාතක පොතෙහි සමුද්ද වාණිජ ජාතකය, පිරිසක් විසින් දිවයිනක් අපවිත්‍ර කරමින් දුරාචාරයෙන් වැනසූ නිසා දෙවියෝ කෝපයෙන් මුහුද ගොඩ ගැලීම් කොට ඒ පිරිස වනසාලු අයුරු පෙන්වා දෙයි.

මනරම් වූ දූපතක, සැපසේ ජීවත් වූ පුරුෂයෙක් තමන් හමුවට ආ පිරිසක් විසින් ස්ථානයේ පහසුකම් විචාළ කල්හි ‘මෙතනට වඩා නොයෙක් වලා වල ඇති තැනකුත් මනරම් වූ ස්ථානයකුත්, යක්‍ෂ, රාක්‍ෂ, භය නැති තැනකුත් වෙනත් නැත. තොප හැම කළ යුත්තක් ඇත. මෙතැන ඉතා රම්‍ය වූ සිත් කලු වූ හෙයින් දේවතාවෝ මෙහි ඇලෙති. එහෙයින් මල මුත්‍ර එළියේ නොකොට වලක් සාදා එහි කරව. එසේ කළහොත් මීට වඩා යහපත් තැනක් නැත. යනාදී ඉල්ලීමක් කරති. සියලු පිරිස ගෙවල් ගොඩ නඟා පදිංචිව අඩු පාඩු නැතිව දිවි ගෙවති. මොවුන්ගෙන් පන්සියයක් පිරිස දිවයින අපවිත්‍ර නොකරති. අනිත් පන්සියයක් පිරිස නොයෙක් තැන මල මුත්‍ර කරමින් දිවයින අපවිත්‍ර කරති. අපවිත්‍ර කිරීම පිළිබඳ කෝපයට පත් දේවතාවෝ මුහුද ගොඩලන්නට කථා කළහ. ඔවුන්ගෙන් සත්පුරුෂ දේවතාවෙක් මිනිසුනට එපුවත් දෙමින් අනිත් තැනකටම යවයි කීය. අනතුරුව පවිටු දේවතාවෙක් කලින් දේවතාවා කීයේ බොරු බවත්, මෙහිම වසන ලෙසත් කීය. අපවිත්‍ර කළ පිරිසේ නායක තෙමේ අනික් පිරිසක් නායක හට කියනුයේ පසු දේවාතාවා කීයේ ඇත්ත බවත් අපි හැම නොගොසින් ඉදිවූ බවත් ය.

අපවිත්‍ර නොකළ පිරිස නායක තම පිරිසට එක් දේවතාවෙක් යන ලෙසත්, තවත් දේවතාවෙක් නතරවන ලෙසත් කී බවත් කාගේ බස ඇත්තදැයි නොදැනෙන බවත්, අප නහින්නේ කුමටද මුහුදු යාත්‍රාවක් ඉදිකොට තබා සමුදුරු ජලය ආවොත් ඊට නැගී යන බවත්, නාවොත් මෙහිම රැඳෙන බවත් පවසමින් රුවල් නැවක් ඉදිකළහ. අපවිත්‍ර කළ පිරිස් තාලියෙ කිඹුලන් සොයන්නාසේ කිමෙක්දැයි කියමින් සිටි අතර පසළොස්වක දින සමුදුරු රළ අවුත් දන තෙක් ගැලිණි. අපවිත්‍ර නොකළ පිරිස, තමන් සෑදු රුවල් නැව් නැගී නික්මුණහ. සමුදුරු රළ උකුල, තනය, කරවට පමණ යයි යන ලෙස සත්වරක් ගලා ආයේ අපවිත්‍ර කළ පිරිස සියල්ලෝම මරුමුවට පත් වූහ.

මෙම සමුද්ද වාණිජ ජාතක කථාව මහ මුහුද ගොඩ ගැලීමට හේතුව පිරිසුදු දූපතේ වෙරළ අපිරිසුදු කිරීමයි.

සුනාමිය මිනිස් හදවත් ආගම දහම නැඹුරු කරවන්නට සමත් වූ බව පෙනී යයි. මේ නම් වෙන මොකුත් නොවේ. පෙර කරන ලද මහා අකුසල කර්ම විපාක යයි සලකන්නට වූවෝ කුසල කර්මයෙහි නිරත වන්නට වූහ. දාන, සීල ආදී පින්කම් පෙරට වඩා, දක්නට ලැබුන අතර ව්‍යසනයට පත් වූවන් කෙරෙහි මහත්වූ කරුණාව පතුරුවමින් කෑම් බීම්, ඉදුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, බේත් හේත් ආදී අත්‍යවශ්‍ය සියල්ල සපයනු පෙණින. භික්‍ෂූන් වහන්සේලා අවතැන් ජනතාවට මහත් වූ රැකවරණ සලසමින් ඔවුන් නංවාලීමට ක්‍රියා කළහ. මං සන්ධි ස්ථානයන්හි බුදු පිළිම නෙළන මිනිසා ස්වභාවික පරිසරය වනසන කල, අධර්මිෂ්ඨ වන කල ගුරුදහමින් ඈත් වන කළ ස්වභාවික විපත් සිදුවන බැව් පවසන දේශන, පොත පත බහුල විය. ‘සමුද්ද වාණිජ ජාතකය’ පෙර එතරම් නොඇසුණ නමුදු දැන් දැන් නිරන්තර ඇසෙන්නට විය. ලියැවෙන්නට විය.

සුනාමියෙන්, මෙත්තා, කරුණා, මුදිතාදි ගුණ කැටි කළ බුද්ධ ප්‍රතිමා ආපදාවෙන් තොරව නිරුපද්‍රිතව පැවති ආකාරය බුදුපියාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වයි. ඒ නොසැලුණු බුද්ධ ප්‍රතිමාවෝ කිසිවකින් නොසැලෙන ලෙසත්, සියල්ල අනියත බවත්, නොවෙනස්වන, විශ්ව සාධාරණ, සර්ව සාධාරණ නිර්මල සම්බුද්ධ ධර්මයෙහි ඇලී ගැලී ජීවිතය සාක්ෂ්‍යාත් කර ගන්නා ලෙස සිත් සතන්හි සනිටුහන් කළහ. සුනාමි ව්‍යසනය දෙස බැලිය යුත්තේ බුද්ධ දේශනාවට අනුවය. බොදු ඇසිනි, එවිට සුනාමි ව්‍යසනය පසුතැවිලිවීමට කරුණක් නොවන බව හා ජීවිතයේ යථාර්ථය තේරුම් කරලමින් ධර්මානුකූල ජීවිත ගොඩනංවාලීමට මං පෑදීමක් බව වැටහෙනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.