Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රගතිය ගෙනෙන ශික්ෂණය

බුදුරජාණන්වහන්සේගේ ධර්මය සියලු දෙනාටම සතුට හා සැපය ගෙනදෙන ප්‍රතිපදාවකි. එම ප්‍රතිපදාව මගින් නිර්වාණයටද පැමිණිය හැකි ය. එම සතුට හා සැපය ලබා ගැනීමට විශේෂ ප්‍රතිපදාවක් අවශ්‍ය නොවන අතර අවශ්‍ය වන්නේ තෙරුවන් කෙරෙහි පැහැදීමක් ඇතිකරගෙන ක්‍රියා කිරීමයි.

බුදුදහම සඳහන් කරන්නේ දුසිල්වත්ව අවුරුදු සියයක් ජීවත් වනවාට වඩා සිල්වත්ව ගත කරන එක් දවසක් වුවද උතුම් බවයි.

1. ගිහි බෞද්ධයාගේ නිත්‍ය ශීලය පංච ශීලය වුවද ‘සීලය’ යන්න ඒ තුළට පමණක් ලඝු කර දැක්විය නොහැකිය.

මන්ද යත් ශීලය යන්නෙන් හික්මීම, විනය යන අරුත්ද දෙන බැවිනි. සමාජයේ ජීවත්වන සියලු දෙනාටම විනය අවශ්‍ය වේ. විනයක් නොමැති වූ විට පුද්ගලයා සමාජය මෙන්ම රටක් වුවද පිරිහීමට ලක් වෙයි. ඒ නිසා පුද්ගලයාගේ දියුණුවට මෙන්ම රටේ දියුණුවටද විනය අවශ්‍යම අංගයකි.

පුද්ගලයකුට විනය ලබාදීම අංශ දෙකකින් සිදු කෙරේ. එක් අංශයක් නම් රටක පවතින නීති පද්ධතිය උපයෝගී කරගෙන බාහිර වශයෙන් ලබාදෙන ශික්ෂණය යි. මේ මගින් ලබාදෙන හික්මීම බොහෝ විට තාවකාලික වේ. අනෙක් අංශය නම් ආගම, සංස්කෘතිය මගින් ලබාදෙන ශික්ෂණයයි . එය ඉතා වැදගත්ය. එයට හේතුව ආගම හා සංස්කෘතිය මගින් ලබාදෙන නික්මීම පුද්ගලයා ලබා ගන්නේ අවබෝධය මත පදනම්වන බැවිනි. අධ්‍යාත්මික වශයෙන් ආගම මගින් ලබාදෙන හික්මීම මෙන්ම ඇතැම් පුද්ගලයන්ට නීතිය මගින් ලබාදෙන හික්මීමද වැදගත් ය. රටක් තුළ විනය ඇති කිරීමට නම් මේ අංශ දෙකම වැදගත් වේ.

ඕනෑම වෘත්තියක් කරන අයෙකුට විනය අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස වාහනයක් පදවන පුද්ගලයකුට විනයක් නොමැති නම් ඉන් සිදුවන්නේ විනාශයකි. රියැදුරකුට විනය ඇතිකිරීම සඳහා නීතිය මගින් කටයුතු කරන අතර ඇතැම් ආචාර ධර්මද ඔහු විසින් පිළිපැදිය යුතුය. එමෙන්ම ගුරුවරුන්ට වෛද්‍යවරුන්ට ආදී පුද්ගලයන්ටද වෙන් වූ ආචාර ධර්ම පද්ධතියක් ඇත.

මේ මගින් අපේක්ෂා කරනු ලබන්නේ විනය ගරුක බවක් තුළින් ඵලදායි සේවයකි. නමුත් අද සමාජයේ වෘත්තිකයන්ට මේ ආචාර ධර්ම පිළිබඳ අවබෝධයක් නොමැතිකම නිසා නොතික් ආසාවෙන් මුදල් පසුපස පමණක් හඹායන නිසාත් සියලු ක්ෂේත්‍රවල විනය පිරිහී ඇත. ඒ නිසා රටපුරා අසාධාරණ ලෙස වැඩ වර්ජන, උද්ඝෝෂණ, පිකටිං සිදු කිරීමට ඒ ඒ පුද්ගලයන් පෙළඹී ඇත. මේ මගින් සිදුවන්නේ රට දියුණුවීම නොව තව තවත් ආපස්සට යාම පමණි.

විනය ගරුකබව රජයේ හා පෞද්ගලික යන දෙඅංශයේම සේවකයන්ට වැදගත් වේ. ඔවුන් සේවය කරනු ලබන්නේ රටේ ජීවත්වන කෝටි දෙකකට ආසන්න වූ ජනතාව වෙනුවෙනි. කාර්යාල සේවකයෙකු නියමිත වේලාවට රාජකාරියට වාර්තා නොකරන්නේ නම් නියමිත වේලාවට පෙර වංචනික ලෙස සේවය අවසන් කරන්නේ නම් ඔහු කරන්නේ මහ සොරකමකි. කිසියම් සොරෙකු යම් පුද්ගලයෙකුගේ වස්තුවක් සොරකම් කරන්නේ නම් ඉන් පීඩාවට දුකට පත්වන්නේ වස්තුව අයිතිකරුවා පමණකි.

නමුත් කාර්යාල සේවකයෙකු වංච කරන්නේ එක් පුද්ගලයෙකුට නොව රටේ ජීවත්වන කෝටි දෙකකට ආසන්න වූ ජනතාවටය. ජනතාවගෙන්ම වැටුප් ලබමින් ජනතාවටම වංචා කිරීම මහත් වූ අකුසල කර්මයකි. මේ ආකාරයට තම පෙද්ගලික අවශ්‍යතාවයන් සඳහා ඡායා පිටපත් ගැනීම, ලිපි ද්‍රව්‍ය පරිහරණය කිරීම, දුරකතනය පාවිච්චි කිරීම, තුළින් සිදු කරන්නේ සොරකමකි. එම නිසා තමාට තමා අවංක විය යුතුය. ඔහු කරන සොරකම නිසා මේ රටේ පුද්ගලයන් දිනෙන් දිනම ණයගැතියන් වන අතර ගන්නා සැම හාල් කිලෝවකින්ම, පරිප්පු කිලෝවකින්ම බදු ගෙවනු ලබයි.

මේ නිසා විනය ගරුක බවෙන් තොර රටක් කිසි දිනෙක දියුණු නොවේ. කෙතරම් බාහිර වශයෙන් දියුණුවක් ඇති වුවද පුද්ගලයා අධ්‍යාත්මික වශයෙන් නොදියුණු නම් ඉන් ප්‍රයෝජනයක් නැත.

2. කොතරම් අධිවේගී මාර්ග, ගොඩනැගිලි ඉදිවුවත් ඒවා නිවැරැදිව පරිහරණය කිරීමට තරම් දැනුමක්, විනයක් නොමැතිනම් ඉන් ප්‍රයෝජනයක් නැත. ඔබ විනය ගරුක බවෙන් තොරව යෝගට් කෝප්ප, පොලිතින් ආදිය මහමග දමා යන්නේ නම් රට සංවර්ධනය කිරීමේ සැබෑ ප්‍රයෝජනය අපට ලැබෙන්නේ නැත. විදෙස් රටවල මේ සඳහා නීතිය ක්‍රියාත්මක වුවද අප විනය ගරුක නම් එවැනි නීති පද්ධතියක අවශ්‍ය වන්නේ නැත.

3. අප සියලු දෙනාම පරිහරණය කරන්නේ රටේ පොදු සම්පත් ය. ඒවා අයත් වන්නේ අපටයි. එමනිසා ඒවා රැක ගැනීමද අපේ යුතුකමකි.

විනය ගරුක වූ පුද්ගලයා දිනෙන් දිනම දියුණුවට පත්වෙයි. විනය ගරුක නොවූ පුද්ගලයා දිනෙන් දිනම පිරිහීමට පත් වේ. මේ ධර්මතාව රටක් වශයෙන්ද වැදගත්ය. එමනිසා අපේ දියුණුව රටේ දියුණුව ලෙස සිතා කටයුතු කළ යුතුය. දැන් ඔබට විනය ගරුක වීමෙන් කොතරම් දියුණුවක් ලැබේදැයි පැහැදිලි යැයි සිතමි. එමනිසා අපි විනය ගරුක වෙමු. එමගින් අපේ දියුණුවත් රටේ දියුණුවත් සලසා ගනිමු.

ඔබට තෙරුවන් සරණයි!

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.