නිවනට මඟ කියන අනිත්‍යතා දර්ශනය
බද්දේගම ඉසිපතනාරාමවාසී
ගා/ක්‍රිස්තුදේව පිරිමි මහා විද්‍යාලයේ ආචාර්ය
බද්දේගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, අධ්‍යාපනවේදී, ශාස්ත්‍රපති
බලගොඩ සිරිනිවාස හිමි
මේ ශරීරය තමන්වත් අන් කෙනකුවත් සාදන්නේ නැත.
වෙනත් ඊශ්වර නිර්මාණයක් ද නොවේ. හේතු ඵල වාදීව මෙය ගොඩනැඟී ඇත. සංසාරික
වශයෙන් ගොඩ නඟා ගනු ලබන කුසලාකුසල ශක්තීන්ගේ ප්‍රතිඵලයක් වශයෙන්
පංචස්කන්දය ගොඩ නැගෙමින් පවතී. එකී හේතු ප්‍රත්‍ය අවසන් වීමත් සමඟ
පංචස්කන්ධයේ නිරුද්ධ වීම ද සිදු වෙයි.
බුදුදහමෙහි වැදගත් ඉගැන්වීම් අතර ත්‍රිලක්‍ෂණය ප්‍රධාන තැනක් ගනියි.
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනු එයයි. මෙය ඉතා ගැඹුරු, එසේම එකවර විෂය නොවන
ඉගැන්වීමකි. දේව නිර්මාණවාදී ඉගැන්වීම් වලට හා ආත්ම සංකල්ප මතධාරීන්ගේ
අදහස්වල සාවද්‍යතාව මෙම ත්‍රිලක්‍ෂණ ඉගැන්වීමෙන් පැහැදිලි කැරෙයි.
ජීවිතයේ යථාර්ථය තේරුම් ගත හැකි වන්නේ ත්‍රිලක්‍ෂණය මනාව උගතහොත්
පමණකි. අද මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ ත්‍රිලක්‍ෂණ
ධර්මවලින් පළමු ලක්‍ෂණය වන අනිත්‍යතාව ගැන ඔබේ අවධානය යොමු කිරීමටයි.
මිනිසා වනාහි නාම රූප ධර්ම හෙවත් ස්කන්ධ පංචකයකි. රූප ස්කන්ධය ‘රූප’
වශයෙනුත් වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ හතර ‘නාම’ වශයෙනුත්
දහමෙහි දැක්වෙයි. මිනිසා යනු මෙලෙස නාමරූප ධර්මවලින් සැදුම්ලත් ස්කන්ධ
පංචකයකි. මෙම ස්කන්ධ පංචකය හැර මිනිසා තුළ සත්ව, පුද්ගල ස්වභාවයක් නැති
බව, සංයුක්ත නිකායේ රථ විනීත සූත්‍ර දේශනාවෙහි සඳහන් වෙයි.
“යථාහි අංග සම්භාරො
හොති සදදො රථො ඉති
එවං ඛෙනදසු සන්තෙසු
හොති සතෙතාති සම්මුති”
පැරැණි කාලයෙහි පැවැති වාහනය අශ්ව කරත්තය යි. එය සෑදී ඇත්තේ රෝද දෙක,
වියගහ, බොස්ගෙඩිය, ගරාදී ආදිය එකතු වීමෙන් සක් යන අදහස ද එසේම ය.
සම්මුති වශයෙන් ස්කන්ධ සංයෝගයෙන් සත්ව යන නම ව්‍යවහාර කැරෙයි. පරමාර්ථ
වශයෙන් හා යථා තත්ත්වයෙන් විද්‍යාමාන වන කිසිවක් නොමැත. රථය යැයි
කියනුයේ ඉහත කී පරිදි රෝදය ආදී අංග එක්වීමටයි. එසේම මිනිසා යැයි ගත් කළ
රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන අංග පහෙන් සැදුම් ලත් එකකි. මේ
නිසා ස්කන්ධ පංචකයක් මිස සත්ව පුද්ගල වශයෙන් ගත හැකි කිසිවක් නොමැති බව
අවධාරණය කොට ඇත. මේ අනුව මිනිසා පුද්ගල සංකල්පයෙන් සත්ව සංකල්පයෙන්
හඳුන්වනවාට වඩා එහි යථාර්ථය නිරූපණය කැරෙන නාමරූප පුංජයක් යනුවෙන්
හැඳින්වීම ඉතා නිවැරැදි වෙයි.එය නාමරූප පුංජයක් මිස දේව නිර්මාණයක් හෝ
සදාකාලික බලවේගයක් නිසා හටගත් කෙනකු නොවන බව බුදු දහම අවධාරණය කරයි.
“නයිදං අත්ත කතං බිම්බං
නයිදං පර කතං අගං
හේතුං පටිච්ච සම්භූතං
හේතු භංගා නිරුජ්ජතී”
මේ ශරීරය තමන්වත් අන් කෙනකුවත් සාදන්නේ නැත. වෙනත් ඊශ්වර නිර්මාණයක් ද
නොවේ. හේතු ඵල වාදීව මෙය ගොඩනැඟී ඇත. සංසාරික වශයෙන් ගොඩ නඟා ගනු ලබන
කුසලාකුසල ශක්තීන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් මෙය ගොඩනැඟී ඇත. එකී හේතු
ප්‍රත්‍ය අවසන් වීමත් සමඟ පංචස්කන්ධයේ නිරුද්ධ වීම ද සිදු වෙයි. උපත
යනු කුසලාකුසල ශක්තීන්ට අනුරූපව ස්කන්ධ පංචකයේ හට ගැනීමයි. විපත යනු එම
ස්කන්ධ පංචකය බිඳී යෑමයි.
මෙම රූප ස්කන්ධය පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූත ලක්‍ෂණවලින්
යුක්ත යි. පඨවි යනු රූපයේ පවතින තද ගති යයි. ආපෝ යනු වැගිරෙන ගතිය යි.
වායෝ යනු පිම්බෙන හැකිලෙන ගතිය යි. තේජෝ ධාතු යනු රූපස්කන්ධයේ ඇති උෂ්ණ
ස්වභාවයයි. (උන්හ ලක්‍ෂණං) මෙසේ රූපස්කන්ධය සැකැසී ඇති අතර, ඒ නිසාම
මොහොතින් මොහොත එය වෙනස් වෙමින් පවතියි. වේදනායනු වින්දනය කිරීමයි.
‘සුඛං ච දුක්ඛංච අදුක්ඛම සුඛං ච යන්නෙන් විග්‍රහ වන්නේ මෙම විඳීමෙහි
ප්‍රභේද තුනක් ඇති බව යි. දුක් විඳීම, සැප විඳීම හා උපේක්‍ෂා හෙවත්
මධ්‍යස්ථ වින්දනයයි. ඒ අනුව මේ තුන් ආකාර වින්දන පංචස්කන්ධය තුළ
විද්‍යාමාන වෙයි. එසේම එම විඳ ගැනීම් මොහොතින් මොහොත වෙනස් වෙමින් පවති
යි.
සංඥා යනු සංජානනය හෙවත් හඳුනා ගැනීමේ ස්වභාවය යි. මිනිසා තුළ මේ සංඥා
ස්කන්ධය නිතර පවතින අතර, එය ද මොහොතින් මොහොත වෙනස් වෙමින් පවතින බව
කිව යුතු ය.
ඊළඟට සඳහන් වන්නේ සංඛාර ස්කන්ධය ගැනයි. ‘සංඛාර’ යනු රැස් කිරීම යි.
මිනිසා අවිද්‍යා තෘෂ්ණා මුල් කරගෙන සංස්කාර එක් රැස් කරයි. සංස්කාර,
පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙඤ්ජාභි සංඛාර වශයෙන් කෙටස් තුනකට
බෙදෙයි. පුඤ්ඤාභි සංඛාර යනු කුසල් රැස් කිරීම යි. අපුඤ්ඤාභි සංඛාර යනු
අකුසල් හෙවත් පව් රැස් කිරීම යි. ආනෙඤ්ජාභි සංඛාර යනු රූපාවචර අරූපාවචර
ධ්‍යාන දියුණු කර ගැනීම යි. මෙකී පින් පව් සහ ධ්‍යාන බල රැස් කර ගනු
ලබන්නේ මිනිසාගේ කාය, වාග් මනඞ යන ආයතන මුල් කර ගෙනයි. ඒ අනුව සත්වයාගේ
සසර පැවැත්මට හේතු වන මේ කාය සංඛාර, වචී සංඛාර, හා මනෝ සංඛාර, ක්‍ෂණයක්
ක්‍ෂණයක් පාසා වෙනස් වෙමින් පවතියි.
මිනිසාගේ විඤ්ඤාණස්කන්ධය ද සත්වයාගේ මේ සංස්කාර ප්‍රභවයේ දී මුල් වෙයි.
විඤ්ඤාණය යනු සිතයි. චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන යන ඉන්ද්‍රියයන්
මඟින් බාහිර ලෝකය ග්‍රහණය කිරීම එමඟින් සිදු කරයි. ‘චක්ඛුං ච පටිච්ච
රූපෙ ච උප්පජ්ජති, චක්ඛු විඤ්ඤාමිතං, නිම්මිතං සංඝති ඵස්සෝ, ඇසත්,
රූපයත් ගැටීමෙන් චක්ඛු විඤ්ඤාණයත්, මේ තුනේම ප්‍රතිඵලයක් ලෙස ස්පර්ශය
ලැබෙන බවත් උගන්වා ඇත. මෙසේ සෝත, ඝාණ, ජිව්හා, කාය, මන, යන විඤ්ඤාණ ද
උපදියි. මේ සියල්ල පංචස්කන්ධය මුල් වී උපදින බව ද පෙනෙයි.
මෙකී ස්කන්ධ පංචකය නිත්‍ය, ස්ථිර සාර ස්වභාවයෙන් යුක්ත නොවේ. එය
අනිත්‍ය, දුක්ඛ අනාත්ම යන ලක්‍ෂණත්‍රයට යටත් ය. බුදුවරු ලොව පහළ වන්නේ
මේ ලක්‍ෂණත්‍රය ලොවට හෙළි කිරීමටයි.
නහි සීලවතං හොතු
උප්පජ්ජන්ති තථාගතා
අට්ඨකබරා නීති පදා
සම්බුදෙධන පකාසිතා”
මිනිසා ශීලාදී ගුණ ධර්මවල පිහිටුවීමේ පරමාර්ථයෙන්ම පමණක් තථාගතවරු ලොව
පහළ නොවෙති. අකුරු අටකින් හා පද තුනකින් යුත් ත්‍රිලක්‍ෂණය ලොවට
පැහැදිලි කර දීමට උන්වහන්සේ පහළ වන බව ඉහත ගාථා ධර්මයෙන් පැහැදිලි
වෙයි. මිනිසා සම්බන්ධ පංචස්කන්ධය තුළ අනිත්‍ය ලක්‍ෂණය මොහොතක් පාසා
ක්‍රියාත්මක වෙයි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංචකයම
අනිත්‍ය බව මජ්ඣිම නිකායේ අලගද්දූපම සූත්‍රයේ දී මනාව පෙන්වා දී ඇත.
“රූපං අනිච්චං වේදනා අනිච්චා, සංඥා, අනිච්චා, සංඛාරා, අනිච්චා,
විඤ්ඤාණං, අනිච්චන්ති යනුවෙන් මෙකී පංචස්කන්ධයම අනිත්‍ය බව, ස්ථිර සාර
නැති බව දහමෙහි දැක්වෙයි. මුලින් සඳහන් කළ පරිදි මිනිසා යනු ස්කන්ධ
පංචකයට අයත් නාම රූප සන්තතියකි. නාම ධර්ම වශයෙන් ක්‍රියාත්මක වන වේදනා
සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ධර්ම හතර අනිත්‍ය යි. සිතක පහළ වන සිතිවිලි
උප්පාද, ඨිති, භංග යන අවස්ථා තුනකින් යුක්ත වෙයි. උප්පාද යනු සිතිවිලි
පහළ වීම යි. ඨිති යනු එහි පැවැත්මයි. භංග යනු විනාශය යි. මෙසේ සිතිවිලි
ඇතිවෙමින් පවතිමින්, නැති වෙමින්, නැවත, නැවත එම ක්‍රියාදාමයම දිගටම
ක්‍රියාත්මක වෙයි. ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස් වෙමින් පවතියි. මෙය
එහි අනිත්‍ය ලක්‍ෂණයයි. වේදනා, සංඥා, සංඛාර යන නාම ධර්මවලද අනිත්‍ය
ලක්‍ෂණය විද්‍යාමාන වෙයි.
මිනිස් ජීවිතයම සංඛත ධර්මයකි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් නිසා මිනිසා
ඇතුළු ජීව අජීව ලෝකයම සංඛත හෙවත් සංඛාර යනුවෙන් හැඳින්වෙයි. ‘තීනිමාන
භික්ඛවේ සංඛතස්ස සංඛත ලක්‍ඛනා, කතමානි තීනි? උප්පාදෝ පඤ්ඤායති වයො
පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤතත්ථං පඤ්ඤායති’ මින් පෙන්වා දෙන්නේ සංඛත ධර්මවල
අනිත්‍ය ලක්‍ෂණය යි. එසේම ‘සබ්බේ සංඛාරා අනිච්චා, අනිච්චා වත සංඛාරා’
යනාදී ඉගැන්වීම් තුළින් ද පැහැදිලි කර දෙන්නේ සියල්ල නිත්‍ය නොවන බව
යි. ‘වය ධම්මා සංඛාරා’ යන්නෙන් ද මේ බව හෙළි කොට ඇත. දම්සක් පැවතුම්
සූත්‍රයේ දී යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධං ධම්මං යනුවෙන් ද
පැහැදිලි කොට ඇත්තේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා සියලු ධර්ම නිරුද්ධ
වන බව යි. ඉන් ද පැහැදිලි වන්නේ මෙකී අනිත්‍ය ලක්‍ෂණය යි. බටහිර ලෝකයේ
පහළ වූ තාක්‍ෂණවාදීන් ද ලොව ඇති වන සියලු දෑ මොහොතක් මොහොතක් පාසා
වෙනස් වන බවද උගන්වා ඇත. ගී‍්‍රක දාර්ශනිකයන් අතරද හෙරක් ලයිටස්
දාර්ශනිකයා පවසන අයුරු ගලන ගඟකට එක් මිනිසකුට බැසිය හැක්කේ එක් වරක්
පමණකි යන දාර්ශනික අදහසින් ද කියැවෙන්නේ මෙම අනිත්‍යතාවය. ලොව ඇති ජීවි
අජීවී සියල්ල අනිත්‍ය බව දැනගෙන සියල්ලෙන් යථා ස්වභාවය වටහා ගැනීමට
හැකියාව ඇති වුවහොත් එය නිවන් මඟට හේතු වන බව සබ්බේ සංඛාරා අනිච්චා යදා
පඤ්ඤාය පස්සති, අථනිබ්බින්දතී දුක්‍ඛා එස මගෙගා විසුද්ධියා, යන
ගාථාවෙන් මනාව පැහැදිලි වෙයි.
එම නිසා පින්වත ඔබත් ලොව ඇති සියල්ලෙහි යථාස්වභාවය මනාව වටහා ගන්න.
සියල්ල අනිත්‍ය බව වටහා ගෙන සියල්ලෙහි කළ කිරී සියලු දුක් නසා නිවන්
මඟට පිවිසීමට උත්සුක වන්න. |