Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රතිමා පුරාණය

බුදුන් වහන්සේ කුසිනාරාවේ මල්ල රජවරුන්ගේ සල් උයනේදී ක්‍රි.පූ. 477 දී පමණ පරිනිර්වාන ගත වූ සේක. උන් වහන්සේගේ

ධාතුන් වහන්සේ රජවරුන් අතරද ඒ අවට නොයෙකුත් නගරවල බෙදූ බවත් මෙම ධාතුන් වහන්සේ නිදන්කොට ස්ථූප 8 ක් රජගහ වේසාලි, කපිල වස්තු, අත්තකජ්ජා, රාම ග්‍රාම , වේතදීප, පාවාසග, කුසිනාරා නගරවල ගොඩ නැගූ බවත් බෞද්ධ සාහිත්‍යයේ එයි.

ක්‍රි.පූ. 264 , 222 දී දඹදිව රජකල අශෝක රජතුමා ඔහුගේ රාජධානියේ නොයෙකුත් ස්ථාන වල ස්ථූප 84,000 ක් ගොඩ නැගූ බව එම රජතුමාගේම සෙල් ලිපියක සදහන් වේ. එකල බුදුන් වහන්සේ සිහිවීම සඳහා මෙසේ ස්ථූප , චෛත්‍ය යන නම් වලින් ධාතු නිදන් කොට දාගැබ් ඉදි කළහ.

ඊට පසු කලෙක මිලින්ද ප්‍රශ්නයෙහි එන පරිදි බුදුන් වහන්සේගේ සිරිපා සටහන පමණක් සේසතකින් ආවරණය කර තිබෙන සේ ගල් තලාවක් මත මූර්තිමත් කොට එයට වන්දනා මාන කළ බවත් සඳහන් වේ. පුරාණ ඉන්දියාවේ බුදුන් වහන්සේගේ ධර්මකාය ඒ අයුරින්ම නිරූපණය නොකර මෙසේ වන්දනා මාන කල බව භාරත් සාංචි ආදි තැන්වල නටබුන් වලින් පෙනේ. භාරත්වල මූර්ති සටහනක සිංහාසනයක් ඉදිරිපිට දනින් වැටී සිටින සැදැහැවතෙක් පෙන්වයි. එහි පසෙක ඇති ශිලා ලේඛනයේ “බුදුන් වහන්සේට ගෞරව දක්වයි “ යනුවෙන් සඳහන් කර ඇත. පුරාණ බෞද්ධ බැතිමත්හු බුදුන් වහන්සේට ඇති භක්තිය නිසාත් උන්වහන්සේට ගරු කිරීමක් වශයෙන්ද බෞද්ධ ප්‍රතිමා නෙළීමට මැලි වූ බවක් පෙනේ.

මධ්‍යම භාරතයේ දේශීය ශිල්ප සම්ප්‍රදායයන් ලෙස පිළිගෙන තිබූ කැටයම් කලාවෙහිද බුදුන් වහන්සේ මූර්තිමත් නොකැරිණි. එසේ දැක්විය යුතු තරන භාරුත් - බුද්ධගයා සාංචි කලා ශිල්ප නිතරම ධර්ම චක්‍රය , බෝධිය ,චෛත්‍ය, තිරන්ත මුද්‍රාව , සිරි පා යුවල, ඡත්‍රය , ආසනයක් වැනි සංකේත යෙදීමෙන් බුදුන් වහන්සේ මුර්තිමත් කැරිණි. එම ශිල්ප සම්ප්‍රදායෙහි බුදුන් වහන්සේ අතිඋත්තම මහා පුරුෂයෙක් නිසා එතුමන්ට ගරු කිරීම පිණිස රූපාකාරයට නොනැන්වී යයි බොහෝ කලා විචාරකයෝ කල්පනා කරති.

මෞර්ය කලා ශිල්ප ක්‍රමයේද ඉතා හොඳීන් කැපී පෙනෙන්නේද දර්ශනීය ලෙස නෙළු ඇතා, සිංහයා, අශ්වයා යන සතුන්ගේ රූප හා ධර්මචක්‍ර මුද්‍රාවයි. ඇත් රූපයෙන් බුදුරදුන්ගේ උපතත් , සිංහයාගෙන් ශාක්‍ය සිංහ වංශයත්, අශ්වයාගෙන් අභිනිෂ්ක්‍රමණයත්, ධර්මචක්‍ර මුද්‍රාවෙන් බරණැස ඉසිපතනයේ දම්සක් පැවතුම් සූත්‍රය දෙසූ ආකාරයත් දක්වා ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. මේ සමගම බුදුන් වහන්සේගේ පරිනිර්වානය පෙන්වීමට ස්ථූපය තැනූ බව ඔවුන්ගේ අදහසයි.

රණශූරයකු මෙන්ම දක්‍ෂ පාලකයකු වූ මෞර්ය පරපුරේ කාර්යක්‍ෂම නරේන්ද්‍රයා වූ අශෝක රජු බුදු සමය වැළද ගෙන බොහෝ වෙහෙර විහාර තැනූ බව ඉතිහාසය අපට පෙන්වා දෙයි. කැටයම් කලාවේ උසස්තම කෘතිය වූ සාංචි ස්ථූපය සෑදවුයේ මේ රජු දවසය. මේ කැටයම්වලද බුදුරුව ඇතුළත් නොවිණි. මේ අනුව දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් හෙබි උන්වහන්සේගේ රුව නෙළා දැක්වීම කෙබදු ආකාරයකින් කළ හැක්කක්දැයි ඔවුන් තුළ ඉමහත් සැකයක් පැවති බව අපට සිතිය හැකිය.

ඉන්දියාවට පැමිණි විදේශීය උවදුරු නිසා එම කැටයම් වලට ගී‍්‍රක පර්සියානුන්ගේ කලා ශෛලියේ ආභාෂය ලැබූ බව පෙනෙන්නට ඇත. ආචාර්ය ජේ.පී.වෝල්ගේ මතය අනුව ක්‍රි.පූ. 50 දී ප්‍රථම බුදුරුව නෙළන ලද බව පවසන මුත් එය පිළිගැනීමට සාක්‍ෂි සෑහෙන තරම් නොමැත. එහෙත් තවත් පුරා විද්‍යාඥයන් පිරිසක් හෙළිකරන පරිදි 6 වන සියවසේ බුදුරදුන් ගේ පහළ වීම සිදු වුවද, පළමුවන ශත වර්ෂයේදී බෞද්ධ සංකේත යෙදීම පිළිමයකට පරිවර්තනය කළ බව පිළිගැනීමට හැකි වී ඇත.

ධර්මාශෝක රජතුමා පසු භාරතයේ පහළ වූ විශිෂ්ට නරේශ්වරයානම් කණිෂ්ක රජුය. සර්වාස්තවාදි බෞද්ධයකු වූ මොහු විශාල සේවාවක් කළේය. බෞද්ධ කටයුතු වලට නව පණක් දුන් මෙතුමා අශෝක රජු මෙන් ධර්මානුකූ®ලව බුදු රුව නෙලීමේ නිරත වූ බවක් නොපෙනේ. ඔහුගේ රාජධානියට අයත් පංජාප් ප්‍රදේශයේ තැනවූ ගන්ධාර බුදු පිළිමය බෞද්ධ ප්‍රතිමා කලාවේ විශේෂ වූ නවතම නිර්මාණයකි. බුදුරුව නිමාව මිනිස් රුවක ආකාරයෙන් නෙළීමේ ගෞරවය මුලින්ම හිමිවන්නේ ක්‍රි.පූ. 1 වන සියවස අවසාන භාගයේදී පමණ බිහිවූ මේ ගන්ධාර කලා ශිල්ප ක්‍රමයට බව පැරැණි බුදු පිළිම අනුව සොයාගෙන ඇත. එම ගන්ධාර ප්‍රතිමා මේ රජතුමා විසින් ගී‍්‍රක මූර්ති ශිල්පීන් ලවා නිර්මාණය කරන ලදැයිද සදහන් වේ. මේවායෙහි සදහන් කල යුතු ලක්‍ෂණ ඇත.

නාසයටම සම්බන්ධ වූ වක්‍රාකාරයට නැමුණූ ඇසි , බැම නාසය තොල්, රැලි වලින් ගහන කෙස් කළඹ, රැලි වලින් යුත් සියුම්ව පෙනෙන සිවුර මේ විශේෂ ලක්‍ෂණයි. මේ අනුව ප්‍රථම වරට ගන්ධාර ශිල්පියා බුදුන් වහන්සේගේ රූපය උත්තරීතර මනුෂ්‍ය රූපයක් ආකාරයකින් නෙලා දක්වා ඇති බව පෙනී යයි.

ගී‍්‍රක ගන්ධාර ශෛලියේ නිමැවුණ එම බෞද්ධ ප්‍රතිමා කලාවට භාරතයේ ජාතික ලක්‍ෂණ එක්වූයේ මදුරාදේශයේ කලා ශිල්පීන් අතිනි. බුදු පිළිමය පළමු වරට නෙළීමේ ගෞරවය ගන්ධාර කලා කරුවාට හිමි වුවද, ක්‍රමානුකූල අංගසම්පූර්ණ බුදු පිළිමය නෙළීමේ කීර්තිය හිමිවන්නේ මදුරා කලා ශිල්පියාට බව විශේෂයෙන් සඳහන් කල යුතුය. මදුරාපුරයේම නෙලූ භාරතීය දේශීය ලක්‍ෂණ ගැබ්වූ බුදු පිළිම සාරානාත් , සාංචි, කෝසම්බි යන පෙදෙස් වලින් සොයා ගෙන ඇත.

එම කාලයේ බුදුරූවල විශේෂ ලක්‍ෂණය නම් ඌර්ණ රෝම ධාතුව හා බුදු පිළිමයේ හිස පිටුපසින් යොදා ඇති සියුම් කැටයමින් හෙබි රශ්මි මාලාවයි. බුදුන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණ දේශීය සම්ප්‍රදායටම අනුකූ®ලව නෙළා ඇති මෙම බුදු පිළිම වලින් අධ්‍යාත්මික හැඟීම් මතු කර දැක්වීමට ගත් උත්සාහයද විශේෂයෙන් සඳහන් කල යුතුය. එසේම මේ පිළිම වල දක්නට ලැබෙන ප්‍රාණවත්, ප්‍රබෝධමත් ගතිය නිසා එක්තරා කලාත්මක විලාශයක්ද ගැබ්වී ඇත. මේ අනුව මථුරා ශිල්ප ක්‍රමය ඉන්දියානු දේශීය කලා සම්ප්‍රදායේම තවත් දියුණු පියවරක් බව කිව හැකිය.

ගන්ධාර හා මථුරා ශිල්ප ක්‍රමයන්ට පසුව ඉතාමත් අලංකාර ලෙස පිළිම තනා ඇත්තේ ගුප්ත යුගයට අයත් සාරානාත්හිය. ඉන්දීය කලාශිල්ප මෙම යුගයේ දී කලා ශිල්ප අතින් උච්චම අවස්ථාවට නැගුණා යැයි කිව හැකිය. අජන්තා එල්ලෝරා භාග් යන ලෙන් වල අලංකාර බිතු සිතුවම් ගුප්ත චිත්‍ර කලාවේ හා මූර්ති ශිල්ප කලාවේ ශ්‍රේෂ්ඨත්වය ගෙන හැර පායි. ගන්ධාර හා මථුරා කලා ශිල්පයන්හි උත්තරීතර කලා සංකලනයකි. ගුප්ත කලා ශිල්ප ක්‍රමය චූනායි නම් ප්‍රදේශයකින් ලබා ගත් වැලි හා ගල් වලින් නිම වූ මෙම පිළිම ඉන්දියාවේ අද දක්නට ලැබෙන කලාත්මක අතින් පිරිපුන් බුදු පිළිමය

ගන්ධාර කලා ශිල්පියා බුදු පිළිම නෙළන ලද්දේ ගී‍්‍රක මිථ්‍යා දෙවියකු වූ ඇපලෝ දෙවියාගේ රූපය අනුවයි. මථුරා ශිල්පියා පළමුවෙන් බෝසතුන්ගේ පිළිමය තනා පසුව ආගම් ගැන තිබූ බිය තුනී වී ගිය බැවින් බුදුන් වහන්සේගේ පිළිමය නෙළීම ඇරඹූ බව පෙනේ. මේ කලා ශිල්ප ක්‍රම 2 න් ම ආභාෂය ගත් ගුප්ත කාලීන ශිල්පියා ඉතාම සරල අන්දමින් බුදුරුව නෙලා ඇත. බාහිර පෙනුමෙන් මෙන්ම අභ්‍යන්තර ගති ගුණද ඉතා සූක්‍ෂම අන්දමින් නෙලා දැක්වූ මොවුහු ඉරියව් ආදිය දරදඬු බවින් තොරව නිදහස් නිවහල් අයුරකින් පෙන්වා තිබේ. ඒ වගේම ඉතාම දීප්තිමත් භාවයක් පෙන්නුම් කරමින් මේ පිළිම නෙළා ඇත.

බුදුන් වහන්සේගේ ශාන්ත ගතිය ධ්‍යාන ලීලාව විශිෂ්ට අන්දමින් බුදු පිළිමයේ පිළිබිඹු කොට ඇත. සාරානාත් හි දක්නට ලැබෙන බුදු පිළිම අතරින් ශ්‍රේෂ්ඨතම කලා කෘතිය ධර්ම චක්‍ර ප්‍රවර්තන ලීලාවෙන් නෙලා ඇති බුදුපිළිමයයි. මෙහි ධර්ම චක්‍ර ප්‍රවර්තන මුද්‍රාව ඒ අයුරින්ම යොදා ඇත. ‍ෙමහි දර්ශනීය අංගය ලෙස සැලකෙන්නේ එහි දක්වා ඇති ප්‍රභා මණ්ඩලයයි. මෙය ගුප්ත යුගයට අයත් බුද්ධ ප්‍රතිමා අවලෝකය කරන සෑම කෙනෙකුටම බුද්ධාලම්භන පී‍්‍රතියත් අධ්‍යාත්මික ආශ්වාදයත් ඇතිවන ලෙසටය. ඒවා නෙලා නිම කර ඇත්තේ සමාධි ගත වූ යෝගාවචරයකු වූ වැනි කලාකරුවන් බව පැහැදිලිය. මේ ප්‍රතිමා අධ්‍යාත්මික ගුණයන්ගෙන් බෞද්ධ ලෝකයේ තිබෙන මීට පෙර සාදන ලද සියලුම ප්‍රතිමාවන් අභිබවා නැගී සිටියි. බුදුන් වහන්සේගේ ශාන්ත භාවය, සමාධිය, ප්‍රඥාව, කරුණාව සරාගි ස්වභාවය යන අධ්‍යාත්මික ගුණ ආරෝපණය කර මේ ප්‍රතිමා නෙලා ඇත. බුද්ධ ප්‍රතිමාවක් නෙලා එයට කිසියම් මුද්‍රාවක් ආරූඪ කිරීමට සැලසීම මේ ප්‍රතිමා කරුවන්ගේ සම්ප්‍රදාය විය. ධ්‍යාන, විතර්ක, වරද භූ®මි, ස්පර්ශ, ධම්ම චක්ක සහ අභය යනුවෙන් මේ මුද්‍රාවෝ සය වැදෑරුම් වේ.

මෙසේ ගාන්ධාරයෙන් 1 වන ශත වර්ෂයේ ඇරඹි බුදු පිළිම තැනීම ක්‍රිස්තු වර්ෂ 5 වන සියවස පමණ වන විට අංග සම්පූර්ණ කලාත්මක පි‍්‍රයජනක බුදුපිළිමයක් වශයෙන් ගුප්ත කලාකරුවා සාරානාතයෙන් බිහි කොට ඇත. මින් පසු ඉන්දීය රජවරුන් බලයට පත්වීම නිසාත්, ඔවුන් හින්දු භක්තිකයන් වීම නිසාත් , හින්දු ආගම ඉන්දියාවේ බහු ජනතාවගේ ආගම විය. එබැවින් බෞද්ධ ප්‍රතිමා කලාව හින්දු දෙවියන්ගේ ප්‍රතිමා නෙලීම සඳහා යෙදිණ. එහෙත් ගුප්ත කලා ශිල්ප අනුව පිළිම නෙළීම ඉන්දියාවට පමණක් සීමා නොවී ලංකාව , බුරුමය, සියම, ඉන්දුනීසියාව ආදී රටවලද පැතිර ගිය බව පෙනේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.