Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘ගායත්ති ඡන්දසො මුඛං’ ඡන්දස ගැන නොව - වේදය ගැනයි

රෝහණ සංඝ සභාවේ උපාධ්‍යාය හා ප්‍රධාන අධිකරණ නායක
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී
ගොම්බද්දල නන්දාරාම හිමි

අද අප භාවිත කරන බොහෝ සෙත් පිරිත් වලට මහායාන අදහස් මිශ්‍ර වී ඇත. ජින පඤ්ජරයේ ආකෘතියද මහායාන අදහසකි. එහි එක් තැනක ‘එත්ථන්තරේ අට්ඨනාථා භවන්ති’ කියා ගාථා පදයක් යෙදී ඇත. එහි තේරුම මේ අතරෙහි අෂ්ඨ නාථයෝද සිටිති යන්න යි. අෂ්ට නාථයින් ගැන ථෙරවාදි බුදු දහමේ ඉගැන්වීමක් නැත. එය මහායානිකයන්ගේ ඉගැන්වීමකි.

ජයමංගල ගාථාවල අසුබගණ යෙදී ඇති නිසා ශාන්තියක් ලබා ගැනීමට එය නුසුදුසු යැයි කියා අංහෙට්ටිගම මහතා බුදුසරණ පත්‍රයට සැපයූ ලිපියට මා විරුද්ධ ප්‍රතිචාරයක් දැක්වීම නිසා මේ වාදය ඇරැඹිණි. අංහෙට්ටිගම මහතාට දැන් කරකියා ගතහැකි කිසිවක් නැතිව නන් දොඩවමින් සිටියි. දැන් එම වාදය ඡන්දස් අලංකාර වාදයක් බවට පරිවර්තනය කර ගැනීමේ උත්සාහයක් ද ඇත. එසේ කරන්නට හදන්නේ් නිකම්ම නොව මා ඡන්දස් අලංකාර වලට විරුද්ධ යැයි බොරු චෝදනාවක්ද කරමිනි.

බුදුරජාණන්වහන්සේ ඡන්දසට ගරු කළහයි ඒ මහතා කියයි. උන්වහන්සේ ඡන්දසට ගරු කළ සේක් නම් රතන සූත්‍රය වැනි වැදගත් පිරිත් සූත්‍ර අසුබ යැයි කියන ‘ගණ’ වලින් ආරම්භ කළේ ඇයි? බුදුරජාණන් වහන්සේ ඡන්දස් ශාස්ත්‍රයට ගරු කළහයි ඔප්පු කිරීම සඳහා ගෙනහැර පෑ නිදසුන නම් හාස්‍ය ජනකය ය. සේල සූත්‍රයෙන් උපුටා ගත් ‘ගායත්ති ඡන්දසො මුඛං’ යන ගාථා පදයෙන් කියන්නේ ඡන්දස් ශාස්ත්‍රය ගැන නොව වේදය ගැන බව අංහෙට්ටිගම මහතාට මතක් කරදෙනු කැමැතිවෙමි. එම ගාථාර්ධයේ අදහසනම් වේදයට මුල් වන්නේ ‘ගායති’ නම් වේද මන්ත්‍රය බවයි. ගායත්‍රී නම් වේද මන්ත්‍රය ඉගෙන ගන්නේ් නැත්නම් වේදය ඉගෙන ගත නොහැකි නිසා ගායත්‍රිය වේදයෙහි මුල යැයි කී බව, සේල සූත්‍ර අටුවාවේ දැක්වෙයි. (පපඤ්ච සදක සංක) ‘ඡන්දස’ යන නම වේදය සඳහා යෙදෙන බව ඕනෑම සංස්කෘත ශබ්ද කෝෂයකින් බලාගත හැකි ය. ඡන්දස් අලංකාර වලට මා නිගා කරති යි අංහෙට්ටිගම මහතා මට චෝදනා කරයි. ඡන්දස් අලංකාර වලට නිගා කිරීමට මට කිසිම අවශ්‍යතාවක් නැත. එහෙත් ඡන්දස් ශාස්ත්‍රයේ එන ‘ගණ’ අටෙන් හතරකින් අසුබපල ලැබීමටත් හතරකින් සුබපල ලැබීමටත් හැකිවන පරිදි එයට බලයක් ආරෝපණය කළෝ කවරහුද?

පිරිතෙන් ගුණ ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ එයට බලයක් ආරෝපණය කර ඇති නිසාය. එමෙන්ම ඒ ඒ ගණවලට සුබ අසුබ පල ලබාදීමේ හැකියාවක් කවුරුන් විසින් හෝ ආරෝපණය කළ යුතු නේද? මේ ප්‍රශ්නය පසුගිය ලිපියෙන්ද මම ඇසුවෙමි. අංහෙට්ටිගම මහතා එයට පිළිතුරු වශයෙන් දේවකතා වලින් උපුටාගත් යාංහෑල්ලක් ඉදිරිපත් කර තිබේ. ඡන්දස් අලංකාර, ඡ්‍යොතිෂය ආයුර්වේදය, යනාදී විෂය දෙවියන් විසින් නිපදවන ලදැයි කියන බමුණු මතය විශ්වාස කරන මිනිසුන් මේ යුගයේත් සිටීම මහත් පුදුමයකි. අද මිනිස් මොළයෙන් නිපවූ දේ නිපදවීමටත් දෙවියන්ට හැකි ද? යන්න ප්‍රශ්නයකි. කෙසේ හෝ වේවා භාෂාවක ඇති වචන වලට අසුබ පල දෙන බලයක් යමෙක් ආරෝපණය කරයි නම්, එය අමු අමුවේම මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමකි.

බුද්ධ දේශීත පිරිත්වල අසුබ ගණ තිබුණත් එය බලනොපාන්නේ් පිරිතට බුදුරදුන්ගේ ආඥා චක්‍රය පතුරුවා ඇති නිසා යැයි අංහෙට්ටිගම මහතා කියයි. බුද්ධ දේශීත නොවූ ජිනපඤ්ඡරය ආදී සෙත් පිරිත් වල අසුබ ගණ යෙදී ඇති බව මම පෙන්නා දුනිමි. එයට අංහෙට්ටිගම මහතාගේ පිළිතුර වන්නේ, සෙත් පිරිත් රහතන් වහන්සේ විසින් රචිත නිසා එයටද ආඥ චක්‍රය පතුරවා ඇති නිසා එයින්ද අසුබ විපාක නොදෙන බවයි. සෙත් පිරිත් රචනා කර ඇත්තේ රහතන් වහන්සේ විසින්ය යන කියමන මුල් වරටම කිවේ අංහෙට්ටිගම මහතා විය හැකි ය.

අද අප භාවිත කරන බොහෝ සෙත් පිරිත් වලට මහායාන අදහස් මිශ්‍ර වී ඇත. ජින පඤ්ජරයේ ආකෘතියද මහායාන අදහසකි. එහි එක් තැනක ‘එත්ථන්තරේ අට්ඨනාථා භවන්ති’ කියා ගාථා පදයක් යෙදී ඇත. එහි තේරුම මේ අතරෙහි අෂ්ඨ නාථයෝද සිටිති යන්න යි. අෂ්ට නාථයින් ගැන ථෙරවාදි බුදුදහමේ ඉගැන්වීමක් නැත. එය මහායනි කයන්ගේ ඉගැන්වීමකි. එනිසා මහරහතන් වහන්සේ මහායාන අදහස් මිශ්‍රකර සෙත් පිරිත් රචනා කරතියි සිතිය නොහැකි ය.

තවත් ප්‍රබල සෙත් පිරිතක් වන මහා ජයමංගල ගාථා ගැන බලමු. එහි එන ‘සබ්බීතියෝ විවජ්ජන්තු’ යන ගාථාවේ තුන්වැනි පදය යෙදී ඇත්තේ ‘මාතෙ භවත්වන්තරායො’ කියා ය.

‘මාතෙ භවත්වන්තරායො’ යන ගාථා පාඨයේ පද සම්බන්ධය මෙසේය. ‘අන්තරායො තෙ මාසාවතු ‘ එවිට අන්තරායො යන කර්තෘ පදය බහු වචනයි. ‘භවතු’ යන ක්‍රියාව ඒක වචනයි. මෙවැනි ව්‍යාකරණ වැරැදි සහිත පිරිත් ගාථා රහතන්වහන්සේ විසින් ලියාවිද? මේ අනුව බලන විට සෙත් පිරිත් රහතන්වහන්සේ විසින් රචිත යැයි කීම බොරුවක් නොව මහා බේගලයකි. මෙවැනි බේලගයක් ඇද බෑවේ මගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඒ මහතාට නොහැකි නිසා ය.

තවද අංහෙට්ටිගම මහතා පුන පුනා කියන තවත් කථාවක් ඇත. එනම් ‘ස’ ගණය මුල් කරගෙන ගුත්තිලය ලිවීම නිසා වෑත්තෑවේ හිමියන් විදේශ ගතවී අමාරුවේ වැටුණු බව යි. එය කට කතාවක් නිසා එවැනි තවත් සිද්ධියක් එනම් අසුබ ගණ යෙදීම නිසා අමාරුවේ වැටුණු සිද්ධියක් කියන ලෙස මම අභියෝග කළෙමි. එයට පිළිතුරු දෙන අංහෙට්ටිගම මහතා නුවර යුගයේ හා කොළඹ යුගයේ විසූ සෙත් කවි වස් කවි ලියූ කවියන් කීප දෙනෙකුගේ නම් ලියා ඔවුන් පිළිබඳ තවත් තොරතුරු මා වෙත එවිය හැකි යැයි කියා තිබේ. මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් හැටි තමා ඒ.

සිංහල පද්‍ය වැඩි වශයෙන් ලියන්නේ මාත්‍රා ඡන්දසෙන් නොවේද? ‘සිය පින් සිරින් සරු’ යන කවියත් මාත්‍රා ඡන්දසෙන් ලියන ලද්දක් නොවේද? එම කවිය කෙසේවත් වර්ණ ඡන්දසට ඇතුළත් නැත. එම කවියේ මුල් පදයේ මාත්‍රා 9 යි. දෙවැනි පදයේ මාත්‍රා 11 තුන්වැනි පදයේ මාත්‍රා 9 යි. 4 වැනි පදයේ මාත්‍රා 15යි. අංහෙට්ටිගම මහතාණනි, ඔබ මෙතෙක් කල් වෑත්තෑවේ හිමියන්ට වද දුන්නේ මාත්‍රා ඡන්දසින් ලියූ කවියක් අල්ලාගෙන නොවේද? ‘සිය පින් සිරින් සරු’ යන කවියෙහි ඔබ කියන ‘ස’ ගණය නැති බව දැන්වත් පිළිගන්නවාද?

ජයමංගල ගාථාවල ඇතැයි කී ගණ දෝෂය ඔප්පු කර ගැනීමට බැරි බව තේරුම්ගත් අංහෙට්ටිගම මහතා ජයමංගල ගාථාවල වැරැදි ඇතැයි පෙන්වීමට යත්න දරයි. එයට සාක්ෂිකරුවකු ලෙස අතිගරු වැලිවිටියේ සෝරත නාහිමිපාණන්ද කැඳවා ඇත. උන්වහන්සේ මේ රටේ විසූ අද්විතීය පඬිවරයකු බව අවිවාදයෙන් මම පිළිගනිමි. එහෙත් උන්වහන්සේ සර්වඥවරයෙකු නොවන බව අප කවුරුත් පිළිගත යුතුය.

සෝරත නා හිමියන් ජයමංගල ගාථා ගැන ලියූ ලිපිය කොහෙන් හෝ සොයා ගෙන එය මගේ ලිපියට ඉහළින් පළ කරවා තිබුණේ ශක්‍රයා සච්චකයාට වජ්‍රායුධය පෙන්වා බිය කළාක් මෙන් මාද බිය ගැන්වීමට බව මට සිතෙයි.

අංහෙට්ටිගම මහතා ජයමංගල ගාථා වල වැරදි තැන් දෙකක් ඇතැයි පසුගිය ලිපි වලින් පෙන්වා තිබිණ. එම වැරැදි දෙකම නිවැරැදි බව මම පහදා දුනිමි. ‘කත්වාන කට්ඨ මුදරංඉව ගබ්භිනීයා’ යන ගාථා අර්ථයෙන් ද වැරදි අදහසක් දෙතියි ඒ මහතා කියයි. ‘ගබ්භිණියාපිය කට්ඨ උදරං කත්වාන’ යන පද මාලාව සිංහලට නැඟූ® විට ගැබිණියක මෙන් පෙනෙන ලෙස උදරයෙහි දර බැඳගෙන යන තේරුම ලැබෙයි. එහි එන වැරැදි අදහස කුමක්දැයි නොකියන අංහෙට්ටිගම මහතා ‘සෝරත නාහිමියන්ගේ අදහස මගේ අදහසට සමාන යැයි කියමින් සෝරත නාහිමිගේත් තමන්ගේ දැනුමත් සමාන යැයි කියා ඇත.

ඔබතුමා කියන හැටියට බුදුරජාණන් වහන්සේ ආඥ චක්‍රය පතුරුවා ඇත්තේ රතනසූත්‍රය , ධජග්ගය, මෝර පරිත්තය, ඛන්ධ පරිත්තය, ආටානාටිය යන සූත්‍ර වලට පමණකි. එසේ නම් මංගල, කරණීය ආදි සූත්‍ර වලට ආඥා චක්‍රය පතුරුවා නැති නිසා එම සූත්‍ර ආරම්භයේ අසුබ ගණ ඇත්නම් එය පල දෙනවා නොවේද? සෙත් පිරිත් දෙසීමේදී මුල් තැනක් ගන්නා මෙත්ත සුත්‍රය (කරණීය මෙත්ත) ඉතා අසුබ යැයි කියන ‘ස’ ගණයෙන් ආරම්භ කර ඇත. බොහෝ විට විදේශ ගතවන අයට පවා සෙත් පතන්නේ කරණීය මෙත්ත සූත්‍රයෙනි. එසේනම් ඒ අය ආපසු ආවේ පෙට්ටියෙන්ද?

අංහෙට්ටිගම මහතා හොඳ සෙත් කවි ලියන්නකු බව පෙනෙයි. ඒ මහතා සෙත් කවි ලියන විට නමේ යෝනිය පරීක්ෂා කර බලා ප්‍රතිවිරුද්ධ නොවන යෝනියකට සම්බන්ධ කරන බවද කියා තිබේ. මම දැනට 87 වැනි වියේ පසුවන කෙනෙකු වෙමි. අවුරුදු පනහක පමණ කාලයක සිට මමද සෙත් කවි ලියමි. හැබැයි අංහෙට්ටිගම මහතා මෙන් යෝනි පරීක්ෂාවක් නම් මම සිදු නොකරමි. එහෙත් මා ලියන සෙත්කවි වලින් ශාන්තිය ලැබුවෝ දහස් ගණනින් සිටිති.

මෙතෙක් මේ වාදය සඳහා කැරුණු සාකච්ඡාවලදී බුද්ධ දේසිත ගාථා වලටත් රහත් දේසිත ගාථා වලත් අසුබ ගණ යෙදීමේ වරදක් නැති බවත් එමෙන්ම මාත්‍රා ජන්දසින් ලියූ කවි වලද අසුබ ගණ නැති බවක් තහවුරු වී ඇත. බුදුරදුන්හෝ රහතුන් වහන්සේ අනුගමනය කළ මේ ක්‍රමය බුද්ධ ශ්‍රාවක වන අප විසින්ද අනුගමනය කිරීමේ වරදක්, මට නොපෙනෙයි. මේ වාදය සඳහා කරුණු දැක්වීම මෙතෙකින් අවසන් කරමි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.