Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෝධි වන්දනාව සහ සංස්කෘතික ‍ප්‍රබෝධය

“බුද්ධ”, “බෝධි” යන වචන දෙක මූලිකව පවතින ආර්ය චින්තන ධාරාව පෙරදිග භාෂා රාශියකින් ලොව්තුරු රසාත්මකව ජනහදවත් තුළින් ගලාගිය ආකාරය වසර දෙදහස් ගණනක සාහිත්‍ය ඉතිහාසයෙන් ප්‍රකට වේ.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධඤාණය ප්‍රකාශනයට පත් කිරීම සඳහා ආසන්නම උපකාරය කළ මෙම වෘක්‍ෂරාජයාගේ ශාන්ත සුන්දර සෙවණ යට අති පවිත්‍ර මඳ නළ ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් ලබාගත් ධ්‍යාන සුවය නිසා මෙම විශ්වය පෙර නොසොයාගත් චතුරාර්ය සත්‍ය ඤාණාලෝකයෙන් ඒකාලෝක විය. භෞතික වස්තුවක් වශයෙන් මනුලොව වෙනත් කිසිම අචේතනික ද්‍රව්‍යයකට වඩා බෝධි වෘක්‍ෂය ගරුසරු, පුද පූජා, තුති පූජා ලබා ඇතිවාක් මෙන්ම සම්බුදු සසුන පවතිනාතාක් අපරාජිත ස්ථානය වශයෙන් ජයභූමිය වශයෙන් සඟමොක් සුව පිළිබඳ ප්‍රධානතම නිමිත්ත වශයෙන් අපමණ වන්දන මානනයට භාජනය වන්නේ ය. බෞද්ධ කලාකරුවාට, සංචාරකයාට, ශ්‍රද්ධාවන්තයාට, පුරාවිද්‍යාඥයා, හා ඉතිහාසඥයාට, ලේඛකයාට තම තමන්ගේ අභිමතාර්ථ නිදහස් චින්තන මාර්ගයන්ගෙන් ඉෂ්ට සිද්ධ කරගැනීමට ‘ජයසිරි මහ බෝධිය’ සජීවී තේමාවක් වන්නේ ය.

ආනන්ද බෝධි රෝපණය, දක්‍ෂිණ ශාඛා බෝධි රෝපණය, අෂ්ඨඵලරුහ, දෙතිස්ඵලරුහ, බෝධිරෝපණය, ධර්මාශෝක රජතුමා හා භාරත රජවරුන්, දේවානම්පියතිස්ස රජතුමන් ආදි කොට හෙළ රජදරුවන් කළ බෝධි පූජා එමෙන්ම ගිහි පැවිදි පොදු ජනතාව කළ උපහාර ඉතා ප්‍රසාද ජනක ලෙස ඓතිහාසික වාර්තා වර්ණනාත්මකව ඉදිරිපත් කොට ඇත.

බුදු දහම ලක්වැසි ජනතාවට හඳුන්වාදීම පිළිබඳ සියලු විස්තර, වර්ණනා සහිතව මහාවිහාර භික්‍ෂූන් වහන්සේ විසින් හෙළ බසින් ලියා තැන්පත් කරන ලදී. සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ජයසිරිමහ බෝසමිඳුගේ දක්‍ෂිණශාඛා බෝධිය ලක්දිවට වැඩම කර වීම එවකට සිදු වූ අමරණීය සිද්ධිය වූ නිසා එම තොරතුරු ලියා තැන්පත් කළ ඓතිහාසික, “හෙළ මහ බෝ වසක්” පැවති බවට සාධක ඇත. එමෙන්ම මහාවංශ, දීපවංශ, පුජාවලිය ආදී ග්‍රන්ථවලද විස්තර වේ. ප්‍රධාන වශයෙන් බෝධීන් වහන්සේ පිළිබඳ ග්‍රන්ථ කීපයකි.

1. හෙළ බෝවස (දැන්නොමැත)
2. ධර්ම ප්‍රදීපිකාව
3. මහාබෝධිවංශ පාලි ගැටපදය (අවිද්‍යාමානය)
4. මහාබෝධි වංශ සන්නය
5. සිංහල බෝධිවංශය

මෙම අනර්ඝ සාහිත්‍ය කෘති අතර ගුරුළුගෝමී පඬිවරයා විසින් රචිත ධර්ම ප්‍රදීපිකාව අර්ථානුරූපව අසහාය ධර්මග්‍රන්ථයක් ලෙසද කෝෂග්‍රන්ථයක් හෝ අර්ථවර්ණනා ග්‍රන්ථයක් වශයෙන්ද අතිවිශිෂ්ට වේ. ත්‍රිපිටක ග්‍රන්ථ හා කෝෂග්‍රන්ථ මෙන්ම හිතෝපදේශ, පංචතන්ත්‍ර, සාරස්වත, පානිණී ව්‍යාකරණ ආදී සංස්කෘත ග්‍රන්ථ ද මූලාශ්‍ර කරගෙන මානව හැඟීම් මතුවන සිද්ධි, දේශනා, උපදේශ උපයෝගී කරගෙන රචනා කිරීමෙන් කතුවරයාගේ විශාරද බුද්ධිය ප්‍රකට වේ.

පොළොන්නරු සමය වන විට පැවැති භාෂාරීති හා මිශ්‍ර භාෂාව පිළිබඳව දැනීමක් ලබා ගැනීම ධර්ම ප්‍රදීපිකාව අනිවාර්යයෙන් පරිශීලනය කළ යුතු වේ. පද නිරුක්ති, ආඛ්‍යාන වර්ණනා, පරිකථා, යනාදී භාෂාවක් හැසිරවීමේ දී අවශ්‍ය සියල්ල මෙහි විද්‍යාමාන වේ. එමෙන්ම ඡේදයක් පාසා සාහිත්‍යාත්මක රසය පාඨකයාගේ මනසට මතක් කරන්නේ

නාට්‍යකාර බසක් හසුරුවන්නා මෙනි. එමෙන්ම බසේ ඇති ජීවාත්මක භාවයෙන් කියන්නාගේ අවධානය නොකඩවා තහවුරු කිරීමට සමර්ථ වේ. ශාස්ත්‍රීය ඤාණයත්, ප්‍රතිභා පූර්ණත්වයත්, මානව දයාවත් උසස් නිර්මාණයකට අත්‍යාවශ්‍ය බව කතුවරයා මෙම අසහාය ග්‍රන්ථයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ඇත. සෑම පරිච්ඡේදයකින්ම ‘බුද්ධ’, ‘බෝධි’ යන වචනදෙකින් ප්‍රස්තුත අර්ථය ධර්ම මාර්ගයෙන් ප්‍රකට කිරීමට සහ අවසන චතුරාර්ය සත්‍යධර්මය අවබෝධ කිරීමේ අරමුණට යොමු කොට ඇත.

දක්‍ෂ ලේඛකයකුගේ පරිකල්පනය තුළින් පාඨකයාගේ සංයත භාවය ආරක්‍ෂා කිරීමට සමර්ථවන බව ගුරුළුගෝමීන්ගේ ධර්මප්‍රදීපිකාවේ ‘සුළු කළිඟුදා’ වැනුමෙන් ප්‍රකට වේ.

කුරුණෑගල රාජ්‍ය සමයේ විල්ගම්මුල මාහිමියන් විසින් ලියන ලද සිංහල බෝධිවංශයට මූලාශ්‍රය වූයේ පාලි මහා බෝධිවංශයයි. කවර අර්ථයකින් බෝධි නම් වීද? ඒ බෝධිය කවරකෙනකුගේ ද? කුමක් සිද්ධ කෙරේද? කවරෙකු විසින් ස්තුති කරන ලද්දේ ? කොතැන්හි පිහිටියේ ද? යන ප්‍රශ්න පහට පිළිතුරු සැපයීම් වශයෙන් පාලි බෝධිවංශය මෙන්ම සිංහල බෝධිවංශයද රචනා කොට ඇත.

බෝධිචුච්චති චතුසුමග්ගේසුඤාණං ආදී නයින් දැක් වූ පරිදි සෝවාන් ආදී සතර ආර්ය මාර්ගඵල ඤාණය බෝධිය නම් වන්නේ ය. ඒ බෝධිඤාණය ලබාගත් උත්තමයා බුද්ධ නම් වේ. එකී බෝධිය සඳහා අපබුදුරජාණන් වහන්සේ මනෝ ප්‍රණිධානය වාග්ප්‍රණිධානය, නියත විවරණ, සූවිසීවිවරණ ලබා සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් සමතිස් පාරමී දම් පුරා පංචමහා පරිත්‍යාග කොට සයාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට පංචමාරයන් දිනීමෙන් ලොව්තුරා බුදුබවටපත් වූ සේක. එවන් උතුම් තත්ත්වයක් ලබාගැනීමට බෝසත් උතුමාණන්ට සෙවණ දෙමින් උපකාර කළ වෘක්‍ෂයටද “බෝධි වෘක්‍ෂරාජ” නමින් ප්‍රකට වේ. එම උතුම් බෝධියත් බුදුබවත්, නිතරම මතක් කිරීම් මාත්‍රයද කෙදිනක හෝ බුද්ධත්වය ලබා ගැනීමේ මූලික චේතනාව වන්නේ ය. මේ නිසා ශ්‍රද්ධාවන්තයන්, චින්තකයන්, දාර්ශනිකයන් ලේඛකයන් තම තමන්ගේ බුද්ධිය අනුව බෝධිය පිළිබඳ විවිධ අදහස් ලියා ඇත.

බෝධීන් වහන්සේ පිළිබඳ ගද්‍ය පද්‍ය හා මිශ්‍ර සාහිත්‍ය කෘතිරාශියක් ලියැවී ඇති අතර ධර්මප්‍රදීපිකාව ඉන් ශ්‍රේෂ්ඨතම ග්‍රන්ථය වශයෙන් සාහිත්‍යාම්බරයේ දීප්තිමත්ව විරාජමාන වේ. ඉතිහාස ග්‍රන්ථයක් වශයෙන්, ආඛ්‍යානයක් හා චරිත කතාන්තර පොතක් මෙන්ම, ප්‍රස්තුතයට අදාළව මහා ධර්ම ග්‍රන්ථයක් ද වෙයි. ආරම්භයේ පටන් අවසානය දක්වා ලොවුතුරු රසය, ශාන්තිය ගලායන උපදේශාත්මක චේතනා ප්‍රවාහයක් සේ අක්‍ෂරයක්, පදයක්, ගාථාවක්, පරිච්ඡේදයක් පාසා රචකයාගේ පරමාර්ථයට පාඨක අවධානය අඛණ්ඩව පවත්වා ගැනීමට දක්‍ෂ පක්‍ෂ මෙය ප්‍රවීණ භාෂාවක් විද්‍යාමන පූජ්‍යතම ග්‍රන්ථයකි.

01. ලංකා ඉන්දියා ඓතිහාසික තොරතුරු දැනගැනීම
02. තෙරුවන් පිළිබඳ ශ්‍රද්ධාව වර්ධනය වීම
03. භාෂාව පෝෂණය
04. සාහිත්‍ය රස විඳීම
05. ශිෂ්ටාචාරාත්මක සිරිත් විරිත් දැනගැනීම
06. බෞද්ධ දර්ශනය දැනීම

මෙසේ විවිධාංශයෙන් විවරණය කළ හැකි නිර්මාණාත්මක ග්‍රන්ථයකි,, එය. ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ වේදවේදාන්ත නීති ශාස්ත්‍ර ආදී සියගණන් පරිශීලනය කොට ලබාගත් නැණසල මේ ග්‍රන්ථයෙන් ප්‍රකට කළ ගුරුළුගෝමී නම් වූ ඒ මහා ලේඛකයාණන් ලොවට දායාද කළ “ධර්ම ප්‍රදීපිකාව“ නම් වූ අනර්ඝ වස්තුව පරපුරෙන් පරපුරට සජීවීව මහා බෝධි පූජාව ලෙස විද්‍යාමාන වන්නේ ය.

පාලි මහා බෝධිවංශය ආශ්‍රය කරගෙන කුරුණෑගල රාජ්‍ය සමයේ විල්ගම්මුල මාහිමියන් විසින් ලියන ලද සිංහල බෝධිවංශයද සිංහල සාහිත්‍යාවලියේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් වශයෙන් උසස් විචාරයට භාජනය වේ. පාලි සිංහල සංස්කෘත යන භාෂාත්‍රයේ මිශ්‍රණයක් වූ මෙම ග්‍රන්ථයද ධර්මරසයෙන් අනූන ය.

සිංහල සාහිත්‍යාවලිය ලියලාගොස් මල්ඵල හටගෙන සාහිත්‍ය රසිකයන් නමැති බඹරුන්ට උයනක් වශයෙන් ජනමන නන්දනීය වීමට බෝධීන් වහන්සේ මාතෘකාව වීම ඟඡජඥනිසා ලාංකික ලේඛකයන්ට පුළුල් වින්‍යාසයක් මඟින් අදහස් ප්‍රකාශ කිරීමට අවකාශ උදාවිය. මේ නිසා ආධුනික රචකයන්ට ධර්ම දේශකයන්ට, ශ්‍රද්ධාවන්තයන්ට, චින්තකයන්ට ගිහි පැවිදි සෑම

දෙනාටම මෙම ග්‍රන්ථ මහඟු පිටුවහලක් විය. එමෙන්ම සිංහල, පාලි, සංස්කෘත භාෂා පෝෂණයට ද එම ලේඛකයන්ගේ ලේඛන ශක්තිය විශාල උපකාරයක් විය. ධර්ම ප්‍රදීපිකාව, හා සිංහල බෝධිවංශය මෙන්ම පාලි බෝධි වංශයද අදහස් පරමාර්ථ හා භාෂා ශෛලිය හා රචනා ශක්තිය වශයෙන් එකම මාර්ගයක ගමන් ගත් බව පැහැදිලි වේ. සංස්කෘත ව්‍යාකරණ දස ප්‍රාණ, උපමා, අලංකාර වෘත්තගන්ධ ශෛලිය, චූර්ණක ශෛලිය ආදී භාෂාවේ ශබ්ද රසය උද්දීපනය වන ආඛ්‍යාණ තැනින් තැන දක්වා ඇත. විශේෂයෙන් වදන් වැලට යොමු වන මනස භාෂා රසයෙන් කුල්මත්කොට අර්ථ රසයෙන් ලොවුතුරු හැඟීමෙන් සහන් සුවය ලබාදීමට සමත් වී ඇත.

මහාවංශ, දීපවංශ, ථූපවංශ ආදී වංශකතා ග්‍රන්ථවල මෙන්ම පූජාවලිය, ආදී ග්‍රන්ථවලද, බෝධීන් වහන්සේ පිළිබඳ විස්තර ආශ්චර්ය, අද්භූත සිද්ධීන් සම්බන්ධ කොට විස්තර දක්වා ඇත්තේ එකල දක්‍ෂිණ ශාඛා මහා බෝධිවැඩම වීම ලාංකික ජනසමාජයේ උසස් කාලපරිච්ඡේදයක් ආරම්භ වීමට ප්‍රධාන හේතුවක් වූ නිසා ය. එමෙන්ම අනුරාධපුර සමයේ බිහි වූ බෞද්ධ ශිෂ්ටාචාරය දේශපාලන වශයෙන් විශාල කරදර ඇතිවූවද ජයසිරි මහ බෝ සමිඳුගේ පිහිටෙන් දිගටම ආරක්‍ෂා පෝෂණය වූ අයුරු ද ප්‍රකට ය. සිංහල භාෂා සාහිත්‍ය ද විවිධ භාෂාවලින් පෝෂණය වී මිනිස් චින්තනයේ ගැඹුරු අදහස් විචිත‍්‍ර වචමාලාවලින් විස්තර කරන්නට ශක්තිමත් වූ ආකාරය ද සිංහල බෝධි වංශ, ධර්ම ප්‍රදීපිකාව යන ග්‍රන්ථ දෙකින් මනාව ප්‍රකට වේ.

දඹදිව ජය සිරි මහ බෝ සමිඳුගේ පටන් ආනන්ද බෝධිය දක්‍ෂිණ ශාඛා බෝධිය ආදී බෝධීන් වහන්සේට පූජාවක් වශයෙන් එතෙක් ලංකාවේ පැවැති ත්‍රිපිටක ධර්මය ප්‍රධාන සිංහල, පාලි, සංස්කෘත ත්‍රිභාෂාමය සියලු ග්‍රන්ථ පරිශීලනයෙන් නිර්මාණය කළ ධර්මප්‍රදීපිකාව එක් සමයක ලංකා සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ හටගත් සරුසාර වෘක්‍ෂරාජයෙකු වැන්න.

“මෙසේ එක් පුරුෂයක් හු අඹු නොවු යම් ස්ත්‍රියක් නැති. එක් ස්ත්‍රියක සැමි නොවූ යම් පුරුෂයෙක් නැති එක් සතක් හු කුස නොහොත් යම් සතෙක් නැති හැම සතුන් කුස නොහොත් එක් සතෙක් නැති ස්ත්‍රී නොවූ යම් පුරුෂයෙක් නැති පුරුෂ නොවූ යම් ස්ත්‍රියක් නැති මහපොළොවැ එක් සතක්හු නොහුන් තැනෙක් නොසිටි තැනෙක් නොහොත් තැනෙක් නැති. හෙව නොමළ තැනෙක් නැති, නොදුටු තැනෙක් නැත්.

මෙවන් ඡේදවලින් කතුවරයාගේ ධර්මඤාණය හා භාෂාව පිළිබඳ නිර්මාණ ශක්තිය ප්‍රකට කෙරේ. එමෙන්ම ලෝකයේ යථාර්ථය මතක් කර දෙමින් පරමාර්ථයට යොමු කිරීම ගුරුළුගෝමීන්ගේ පරම අභිලාෂය වී ඇති බව, එයින් ප්‍රකට වෙයි..

ඔබ සැමට සිරිමහ බෝ සමිඳු පිහිටයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.