Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු සමය අගය කරන චින්තන නිදහස

නිදහස් චින්තනය හා විමර්ශනය බෙහෙවින් අගය කළ බුදුන්වහන්සේ බුද්ධියට අනුව ක්‍රියා කිරීම ඉතා අගය කොට ඇත. ඒ බව වීමංසන, අරිය පරියේසන, බ්‍රහ්මජාල, කාලාම, මහා පරිනිබ්බාන, චංකී, මහා වෙදල්හ, මහා තණ්හාසංඛය ආදී ඉතා ප්‍රසිද්ධ සූත්‍ර දේශනා දෙස අවධානය යොමු කිරීමේදී මැනවින් සනාථ වෙයි.

මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයා ලෙස අප ගෞතම බුදුපියාණන් වහන්සේ පිදුම් ලබන බවට විවාදයක් නොමැත. මිනිසාට නිදහසේ සිතන්නට හා විමර්ශනයෙහි යෙදෙන්නට දහම තුළින් ඉගැන්වීම නිසා බුදුන් වහන්සේ නිදහස් චින්තකයකු බව මැනවින් පැහැදිලි වෙයි.

‘නා චින්තයන්තෝ පුරිසෝ විසේසමධිගච්ඡති’ යන උතුම් බුද්ධ දේශනාවට අනුව අලුතින් යමක් සිතන පුද්ගලයා තුළ විශේෂයක් දැකිය හැකි අතර, එසේ නොසිතන්නාට දියුණුව කරා ගමන් කළ නොහැකි බව බුදු හිමියන්ගේ් ඉගැන්වීමයි. නිදහස් චින්තනය හා විමර්ශනය බෙහෙවින් අගය කළ බුදුන්වහන්සේ බුද්ධියට අනුව ක්‍රියා කිරීම ඉතා අගය කොට ඇත. ඒ බව වීමංසන, අරිය පරියේසන, බ්‍රහ්මජාල, තාලාම, මහා පරිනිබ්බාන, චංකී, මහා වෙදල්හ, මහා තණ්නාසංඛය ආදී ඉතා ප්‍රසිද්ධ සූත්‍ර දේශනා දෙස අවධානය යොමු කිරීමේදී මැනවින් සනාථ වෙයි. ක්‍රි. පූ. 6 වන සියවස තුළ බ්‍රාහ්මණ ආධිපත්‍යය හමුවේ මිනිසුන්ට සිතීමේ හා විමර්ශනය කිරීමේ නිදහස බමුණන් විසින් අහිමිකර තිබූ කාලවකවානුවක දී අප ගෞතම බුදු හිමියන් එම නිදහස පුද්ගලයාට කිසි පැකිලීමකින් තොරව උදාකර දුන්හ.

කොසොල් රට කේස පුත්‍ර ග්‍රාමයේ කාලාමයන් උදෙසා දේශිත කාලාම සූත්‍රය මගින් චින්තන හා විමර්ශන නිදහස පිළිබඳ මනාව කරුණු දක්වා ඇති අයුරු ඉතා ප්‍රශංසනීය ය.

එහි සඳහන් පරිදි කරුණු 10 කි. ඒවා නම්,

1. හා අනුස්සවෙන - (යමෙකුගෙන් ඇසූ පරිදි)
2. මා පරම්පරාය - (සම්ප්‍රදායට අනුරූප වූ පමණින්)
3. මා ඉතිකිරාය - (මෙය මෙසේ යැයි කී පමණින්)
4. මා පිටක සම්පදානේන - (පොත පතෙහි සඳහන් වූ පමණින්)
5. මා තක්ක හේතු (තර්කයට ගැළපෙන පමණින්)
6. මා නය හේතු - (න්‍යායානුකූ®ල වූ පමණින්
7. මා ආකාර පරිවිතක්කේන – (බාහිරව හොඳ යැයි පෙනුණ පමණින්)
8. මා දිට්ඨි තිජ්ඣානඛන්තිය - (දෘෂ්ටියට යෝග්‍ය වූ පමණින්)
9. මා බබ්භරූපතාය (ආධිපත්‍යයට අනුරූප වූ පමණින්)
10. මා සමණෝ ගරූහි (තම ගුරුවරයා වූ පමණින්)

ඉහත සඳහන් කරුණු දෙස අවධානය යොමු කර බැලීමේ දී යමක් පිළිබඳ බුද්ධියට අනුව විමසා අවසාන තීරණයකට එළඹීම සඳහා ලබා දී ඇති චින්තන නිදහස පැහැදිලි ය.

එසේම ‘එහි පස්සිකෝ’ යන පාඨයට අනුව දහම පිළිබඳ විමසිලිමත්ව ගවේෂණ කොට එය සත්‍ය නම් පමණක් ඒ අනුව කටයුතු කරන ලෙස දේශනා කොට ඇත.

මජ්ඣිම නිකායේ වීමංසන සූත්‍රයට අනුව බුදුරදුන්, සම්මා සම්බුද්ධද? ධර්මය ස්වක්ඛාතද?, සංඝයා - සුපටිපන්න ද? යනාදී වශයෙන් විමසා බලා ඉහත ලක්ෂණ වලින් යුක්ත බව තමන්ට වලංගුයිනම් පමණක් තෙරුවන් සරණ ගොස් ඒ අනුව කටයුතු කරන ලෙස උගන්වා ඇත.

ඒ අනුව ද විමසා බැලීමේදී අප ගෞතම බුදුපියාණන් වහන්සේ චින්තන හා විමර්ශන නිදහස කොතරම් දුරට අගය කොට ඇද්ද යන්න මැනවින් පැහැදිලි වේ. එසේම සූත්‍ර පිටකයෙහි සඳහන් ‘’සතර මහාපදේශ’ දෙස අවධානය යොමු කිරීම ද ඉතා වැදගත් ය.

1. බුද්ධාපදේශ - බුදු රදුන් ගැන සිතා
2. සංඝාපදේශ - භික්ෂූන් ගැන සිතා
3. සම්බහුලත්ථෙරාපදේශ - බොහෝ අනුගාමිකයන් සිටින භික්ෂුවක් කී නිසා
4. ඒකත්ථෙරාපදේශ - ව්‍යක්ත බහුශ්‍රැත භික්ෂුවක් කී නිසා

ආදී වශයෙන් සඳහන් වන පරිදි කිසිවක් අවිචාරශීලිව පිළි නොගත යුතු අතර, විමසා බැලීම ඉතා වැදගත් ය. එසේම මේ පිළිබඳ විනය පිටකයේ සමන්තපාසාදිකාවේ මනා විග්‍රහයක් කරුණු 4ක් ඔස්සේ මැනවින් පෙන්වා දී ඇත.

1. සුත්ත - (සූත්‍ර පිටකයේ ඉගැන්වීම් වලට අනුව)
2. සුත්තානුලෝම ( අටුවා ග්‍රන්ථයන්හි සඳහන් කරුණු අනුව
3. ආචරියවාද (තම ගුරු කුලයට අනුරූපීව)
4. අත්තනෝ මති (තම අදහසට අනුව විමසා බලා තීරණ ගත යුතුය)

ඉහත සඳහන් විග්‍රහයෙහි සඳහන් වන අවසාන කරුණ වශයෙන් පෙන්වා දෙන ‘අත්තනෝමති’ යන්නට අනුව තම අදහසට අනුව විමසා බලා අවසාන තීරණයකට එළැඹිය යුතු අතර අනෙක් කරුණු ඔස්සේ යමින් ක්‍රියා කිරීම මගින් නිවැරැදි තීරණයකට යොමුවිය නොහැකි බව දහමෙහි පෙන්වා දී ඇත.

මේ අයුරින් චින්තන හා විමර්ශන නිදහස අගය කරන බුදුදහම, පුද්ගලයාට නිදහසේ සිතා අවසාන නිගමනයකට එළැඹීම සඳහා කටයුතු කිරීම මගින් ශ්‍රාවකයා තවදුරටත් බුදු සමය කෙරෙහි ප්‍රසාදයට පත් වන බව ‘උපාලි ගහපති’ සූත්‍රය අවධාරණය කරයි.

අප සම්මා සම්බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණයට ආසන්න වූ විට ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්ගෙන් තමන් වහන්සේ වසර 45ක් පුරා දේශනා කරන ලද දහමෙහි යම් නොපැහැදිලි තැනක් තිබේනම් විමසන ලෙස පැවසූ බව දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් වේ.

මෙතෙක් ලොව පහළ වූ ශාස්තෘවරුන් අතර අග්‍රස්ථානය හිමි වන අප ගෞතම ලොවුතුරා බුදුපියාණන් වහන්සේ, මග්ගවිදු, මග්ගකෝවිදෝ, මග්ගඤ්ඤු ආදී පර්යාය වචන මගින් හඳුන්වා ඇත්තේ ද උන්වහන්සේ සතුව පැවැති උතුම් ශාස්තෘ ලක්ෂණ නිසා ය.

චින්තනයට හා විමර්ශනයට කිසි බාධාවකින් තොරව නිදහස හිමිකර දෙනු ලබන බුදු සමය, ලොව චින්තන විප්ලවයන් ඇති කළ වටිනා දර්ශනයකි.

මේ ආකාරයෙන් විමසා බැලීමේදී බෞද්ධයාගේ අවසාන පරමාර්ථය වන ‘නිවන’ සාක්ෂාත් කර ගතහැකි වන්නේ ද තම බුද්ධියට අනුව මැනවින් ක්‍රියා කිරීම මගින් බව බුද්ධ දේශනාව අනුව තවදුරටත් තහවුරු වෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.