Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිරිනිවන් සුතුරෙන් හෙළි වන අසිරිමත් ‘මිනිසා’

දීඝ නිකායේ මහා පරිනිර්වාණ සූත්‍රය කරුණු කිහිපයක් නිසා වැදගත් වේ. එම කරුණු සංක්ෂිප්ත කොට මෙසේ දැක්විය හැකි ය. එනම්,

01. බුද්ධ චරිතය පිළිබඳ ඇතැම් තොරතුරු වාර්තා වන මූලාශ්‍රයක් වශයෙන්

02. බුද්ධ ධර්මයට අයත් ඇතැම් ධර්ම කරුණු ඉදිරිපත් කෙරෙන මූලාශ්‍රයක් ලෙස (සතර මහෝපදේශ , භූමිකම්පා ඇති වීමට බලපාන හේතු, අෂ්ට විමෝක්ෂ අෂ්ට අභිභායායතන , බ්‍රහ්ම චර්යාව චිරස්ථායී වීමට හේතු වන ධර්ම, ථූපාර්භ පුද්ගලයින් , ආනන්ද හිමිගේ ආශ්චර්යාත්මක ධර්ම, මහා සුදර්ශන සූත්‍රය, බුදුරදුන්ගේ අන්තිම වචනය)

03.දේශපාලන කරුණු (සප්ත අපරිහානීය ධර්ම)

04. ඓතිහාසික සිදුවීම් (පාඨලී පුත්‍ර නගරය නිර්මාණය කිරීම, මෙම නගරය පසුකාලීනව මහා නගරයක් බවට පත් වන බවත් ගින්නෙන් දියෙන් හෝ අන්‍යෝන්‍ය භේදයෙන් විනාශ වන බවත් ප්‍රකාශ කර තිබේ. අශෝක යුගයේ මෙය අග නගරය වී ඒ යුගයේම විනාශ විය

05. ශාසන ඉතිහාසය පිළිබඳ වැදගත් තොරතුරු සඳහන් මූලාශ්‍රයක් වශයෙන් (ධර්ම සංගායනාව , ධාතු බෙදාදීම )

ආදී වශයෙනි. මේ අතරින් ඉතාමත් වැදගත් වන්නේ බුද්ධ චරිතය පිළිබඳ සූත්‍රයෙන් ඉදිරිපත් කෙරෙන කරුණුයි. සැබෑ ලෝකයට සමීප සැබෑ මානුෂික බුදු කෙනෙකුගේ චරිත ලක්ෂණ මැනවින් ඉදිරිපත් වී තිබීම ඊට හේතුවයි.

බුදු රදුන් සිය ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදය ගෙවු අයුරු කෙසේද යන්න පරිනිර්වාණ සූත්‍රයෙන් විස්තර කෙරේ. බුදුරදුන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හා අසූවක් අනු ලක්ෂණ වලින් යුක්ත බව දීඝ නිකායේ ලක්ඛණ ආදි සූත්‍රවලින් පැහැදිලි වේ. එහෙත් එබඳු අසිරිමත් අද්භූත ලක්ෂණ කවර අයුරකින්වත් පරිනිර්වාණ සූත්‍රයෙන් පැහැදිලි නොවේ. එපමණක් නොව බුදුරදුන් තුළ පැවතුණා යැයි බුදු සිරිත ඇතුළත් ග්‍රන්ථ පරිශීලනයෙන් ථේරවාදයට ඇතුළු කරගත් සර්වඥ බව, ප්‍රාතිහාර්ය බලය මෙහි අවධාරණය නො වේ.

මුල් බුදුසමයේ “අරිය පර්යේෂණ “, ‘පබ්බජ්ජා’ ආදී සූත්‍රවලින්ද ‘ මහාවග්ග පාලියේ’ විනය ග්‍රන්ථවලින්ද ප්‍රකට වන සැබෑ මිනිස් ලක්ෂණයන්ගෙන් හා ගුණාංගයන්ගෙන් යුත් සම්බුදු චරිතයේ මිනිස් ගුණාංග මෙම සූත්‍රයෙන් වඩාත් ප්‍රකට වෙයි. මඣිම නිකායේ “ද්‍රෝණ සූත්‍රය “ද්‍රෝණ බමුණා හමුවේ පළවන බුදුරදුන්ගේ මානුෂිකත්වය තව දුරටත් අර්ථවත් වන සූත්‍රයකි.

වයස්ගත මහල්ලකු යම් සේ දෙපා වාරු නැතිව ශරීර ශක්තිය නොමැතිව කටයුතු කරන්නේ ද බුදුන් වහන්සේ ද එසේ අවසාන සමය ගත කළ අයුරු මෙහි දක්වා ඇත. දිරා ගිය ගැලක් යම් සේ හරහට ලී කැබළි බැඳ ඉතා අපහසුවෙන් ප්‍රයෝජනයට ගන්නේද එපරිද්දෙන් බුදුරදුන්ද වාරුවෙන් ඉතා අපහසුවෙන් ගමන් කළ අයුරු මහා පරිනිබ්බාන සූත්‍රයෙහි මෙසේ දක්වා ඇත.

සෙය්‍යථාපි ආනන්ද ජජ්ජරසකටං
වෙක්කමිස්සකෙන යාපෙති
ඒවමෙව ඛො ආනන්ද වෙක්කමිස්සකේන
මඤ්ඤේ තථාගතස්ස කායෝ යාපෙති”

අවසන් කාලය තුළ තමා පෙර වැඩසිටි ස්ථාන පිළිබඳව දැඩි හැඟීමකින් කටයුතු කොට ඇත. සාමාන්‍ය මිනිසකුගේ ස්වභාවය හෙළි කරන මෙම සිද්ධිය තුළින් බුදුරදුන් කෙබඳු කෙනෙක් ද යන්න පැහැදිලි වේ.

රමණීයං ආනන්ද වේසාලි
රමණීයං උදේන චේතියං
රමණීයං ගෝතමක
චේතියං
රමණීයං සත්තම්භ
චේතියං “

යනුවෙන් ආනන්ද හිමියන්ට එම තැන් පිළිබඳව කළ විවරණය බුදුරදුන්ගේ සැබෑ මානුෂික ලක්ෂණ පෙන්වයි.

අවසන් කාලය තුළ සිය ශ්‍රාවකයන් පිළිබඳ ඇතිකර ගත් සෙනෙහස සැබෑ ලෝකයේ පියෙකු තම දරුවන් කෙරෙහි ඇතිකර ගත් සෙනෙහසක් සේය. මරණාසන්න මොහොතේ තම දරුවන් වටකොට ගෙන අවවාද දෙන පියෙකු සේ බුදුරදුන් පිරිනිවීමට පෙර සිය ශ්‍රාවකයන් කැඳවා ,

හාදදානි භික්ඛවේ ආමන්තයාමි වො
වයධම්මා සංඛාර අප්පමාදේන සම්පාදේත’

යනුවෙන් සියලු සංස්කාර ධර්ම අනිත්‍ය බවත් නොපමාව කුසල් දම් රැස් කරන ලෙසත් අවවාද දුන්හ.

බුදුරදුන් සිය අවසාන කාලය තුළ සාමාන්‍ය මිනිසකු මෙන්ම ගිලන් බවට, වෙහෙසට , දුර්වල බවට බදුන් වී ඇත. උපවත්තන සල් උයන බලා යනවිට කිහිප වරක්ම දැඩි වෙහෙසට පත්ව ඇත. තවත් වරෙක ක්ලාන්තව දැඩි පිපාසයෙන් “ආනන්දය , පිපාසය දැනේ. පැන් ටිකක් ගෙන එන්න “ යැයි ඉල්ලා සිටියේය. එසේම පිරිනිවන් මඤ්චකයේ සැතපීමට පෙර ආනන්ද හිමියන්ට ප්‍රකාශ කරන්නේ.

ඉංඝ මෙවං ආනන්ද
අන්තරෙන
යමකසාලානං
උත්තරසිපකං මඤ්චකං
පඤ්ඤාපෙහි
කිලන්තොස්ම ආනන්ද
නිපජ්ජිවිසාමිහි”

එනම්, ආනන්ද, උතුරු දිසාවට යොමා ඇද සකස් කරන්න. ක්ලාන්තයි ආනන්ද නිදා ගැනීමට අවශ්‍යයි” යන ප්‍රකාශය තුළ සැබෑ මිනිස් ස්වරූපය මැනවින් පිළිබිඹු වෙයි.

අතිමානුෂික ලක්ෂණ පිළිබිඹු වන අවස්ථා කිහිපයක්ද සූත්‍රයෙහි අන්තර්ගතය. බුදුහු ආයු සංස්කරණය කරද්දී මහා භූමි චලනයක් ඇති වීම එක් අවස්ථාවකි.

ඔස්සටෙඨ ච භගවතා ආයුසඬඛාරෙ
මහාභූමිචාලෙ අහොසි හිසෙනකො
සංලොමහාංසො දෙවදුන්දුභියොච
ඵලිංසු “

භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාරය හළ කෙණෙහිම බිහිසුණු වූ ලොමු ඩැහැ ගන්වන මහත් භූමි කම්පාවක් ඇති වූ බවත් නොකල් වැසි වට බවත් දෙව් බෙර පවා පැළුණු බවත් මෙයින් කියවේ.

විවිධ පිරිස් වෙත ගොස් ඒ ඒ පිරිස් වේශයෙන් සිට විවිධ භාෂාවලින් කථා කරමින් ඔවුන් පහදවා තම නියම ස්වරූපය හඳුනා ගන්නට ඉඩ නොතබා අතුරුදහන් වන බව සූත්‍රයෙහි දැක්වේ. “ආනන්දයෙනි, මා නොයෙක් සිය ගණන් බමුණු පිරිස් ගැහැවි පිරිස් මහණ පිරිස් සිව්මහරැජි පිරිස් තව්තිසා පිරිස්, මර පිරිස් බඹ පිරිස් කරා එළඹුණා දනිමි. එහිද මා විසින් හුන් විරූද කතාබස් කළ විරූද , සාකච්ඡා කළ විරූද වෙයි. එහි ඔවුන්ගේ පැහැයම් බඳු වේද මගේ පැහැයද එබඳු වෙයි. ඔවුන්ගේ කටහඬ යම්බදු වේද මගේ කටහඩද එබඳු වෙයි. එහි ඔවුනට දැහැමි කතායෙන් කරුණු දක්වමි. එය ඔවුනට ගන්වමි, එහි ඔවුන් තියුණූ කෙරෙමි. තුටු පහටු කෙරෙමි.එසේ කියන මා ඔහු “ මේ කවරෙක්ද කියා දෙවියෙක්ද නොහොත් මිනිසෙක්දැයි නොදනිති.

බුදුරදුන් වරෙක පැන් ඉල්ලා සිටිද්දී අනද හිමි කුඩා නදියක් වෙත ගියහ. මුලදී ජලය කැළඹී තිබුණ නමුදු මොහොතකින් ජලය පිරිසුදු වූ බවද එසේ වුයේ බුදුරදුන්ගේ ආනුභාවයෙන් බව සූත්‍රය දක්වා ඇත.

තවද පුක්කුස නම් මල්ල රජු පිළිගැන්වු රන්වන් මටසිළිටි වූ සිවුර පෙරවූ කල බුදුසිරුර බබළන්නට වූ බව දැක්වේ.

බුදුරදුන්ට පවන් සලමින් සිටි උපවාන තෙරුන් ඉවත් කොට දෙවියන්ට බුදුන්වැදීමට ඉඩ සලසා දුන් බවද උපවර්තන සල් උයනට උරෙන් උර ගැටි ;සාළොස් යොදුනක් දෙව් පිරිස් රැස්ව සිටි බවද දැක්වේ. සක් දෙවියන් සහ සහම්පතී මහා බ්‍රහ්මයා බුදුන්ගේ පිරිනිවීම අසා සංවේගය පළ කිරීමට ඉදිරිපත් වූ බවද සූත්‍රයේ දැක්වේ.

මේ අනුව බුදුරදුන් ස්වාභාවික මිනිස් ගති පැවතුම්, හැසිරීම් අවශ්‍යතා වලින් යුක්ත වූවා මෙන්ම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය ඉක්ම වු ආශර්චර්යවත් උතුමකු බව පැහැදිලි වෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.