බුදුරදුන්ගේ
මනෝ විද්‍යාත්මක
ඉගැන්වීම් ක්‍රම
එස්. ඩබ්ලිව්. ගුණරත්න
මනසට ප්‍රමුඛත්වය දෙන බුදු දහම, මනසේ පවිත්‍රතාව විශිෂ්ට ලෙස අගය කරයි.
බෞද්ධයා බලාපොරොත්තුවන නිවන අවබෝධ කරගත හැකිවන්නේ වෙනත් දෙවියකුගේ හෝ
බ්‍රහ්මයකුගේ මැදිහත්වීමෙන් නොව, මිනිස් සිත තුළ ක්‍රියාත්මක වන
කෙලෙසුන් පහ කර මනස (සිත) දියුණු කර ගැනීමෙනි. තුන්පිටකයට අයත් අභිධර්ම
පිටකයේ සිතේ ගමන නවත්වා කෙළවර කිරීම ‘නිවන’ ලෙස අර්ථ දක්වනු ලැබ ඇත.
බුද්ධත්වය හෝ රහත්බව ලැබෙන්න්ත් මිනිස් සිත තුළම ය. එබැවින් මිනිස්
සිත උපරිම තත්ත්වයට හැඩගස්වා ගැනීමේ පවිත්‍ර මාර්ගය පෙන්වා දෙන බුදු
දහම, පූර්ණ මනෝ විද්‍යාවක් ලෙස දැක් වේ. මීට වසර 2500 කට අධික කාල
සීමාවකට පෙර, භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාළ, එම පිළිවෙත තුළ
උන්වහන්සේ ප්‍රායෝගිකව ක්‍රියාකර ඇති අන්දම, විශිෂ්ට අගැයීමකට ලක්කළ
යුතුය. තමන් වෙත පැමිණෙන සියලු දෙනාගේම මානසික හා කායික මට්ටම මැනවින්
අවබෝධ කර ගෙන ක්‍රියාකළ අන්දම බුද්ධ චරිතයේ සිදුවීම්වලින් පැහැදලි
වෙයි.
බුද්ධ ශාසනයේ පැවිදිව පූතිගත්තතිස්ස හාමුදුරුවන් වහන්සේගේ ශරීරය පුරා
විස තුවාල සෑදී ඉතා අසරණව, මහත් වූ වේදනාවකින් මිරිකි මිරිකී සිටිනු,
භාග්‍යවතුන් වහන්සේට සැළ විය. වහාම එතැනට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ,
පූතිගත්තතිස්ස හාමුදුරුවන්ට දහම් අවවාදයක් කළේ, එම තෙරුන් නාවා ශරීරය
පුරා වූ විස තුවාල ශුද්ධ කර බෙහෙත් ආලේප ගල්වා වේදනාව සංසිඳුවා සුවය
ලබාදීමෙන් පසුවය. එසේම, භාග්‍යවතුන්වහන්සේ වෙත ඉතා දුකින් පැමිණි
එක්තරා මහලු පුද්ගලයෙක් තමා සතුව තිබූ එකම වස්තුව වූ නැති වූ ගොනා ගැන
විමසීය. මේ වනවිට එම මහලු පුද්ගලයා නැති වූ තමාගේ ගොනා සොය සොයා කැලය
පීරමින් ඇවිද අධික වෙහෙසට පත්ව කුසගින්නෙන් පෙළෙන බව භාග්‍යවතුන්
වහන්සේට අවබෝධ විය. කුසගින්න සියලුම රෝග අතුරින් දරුණුම රෝගය බව වදාළ
භාග්‍යවතුන් වහන්සේ එම මහලු පුද්ගලයාට ආහාර පාන සපයා දී කුසගින්න
නිවාලූ සේක. ඉනික්බිතිව සුහද කතාබහක යෙදෙමින් ධර්මය ෙද්ශනා කළ සේක.
මවුපියන්ගෙන් දරුවාට ලැබෙන ආදරය දයාව, කුරුණාව හා සමාන ආදරයක්, දයාවක්,
කරුණාවක් ගුරුවරයාගෙන්ද ශිෂ්‍යයාට ලැබිය යුතුය. ඒ බව ‘මහණෙනි ගුරුවරයා
තම ශිෂ්‍යයා මේ මාගේ පුතාය යන හැඟීමෙන් ක්‍රියා කළ යුතුය. ශිෂ්‍යයා තම
ගුරුවරයා මේ මාගේ් පියාණන් වහන්සේය යන හැඟීමෙන් ක්‍රියාකළ යුතුය’
යනුවෙන් මහාවග්ගයේ දේශනා කර වදාළහ. ඊට ආදරය, පිළිගැනීම, ප්‍රශංසාව ආදී
මානසික අවශ්‍යතා ද ඇතුළත් වේ. භාග්‍යවතුන් වහන්සේ ගුරුවරයකු ලෙස ඒ
මැනවින් ඉටු කළහ. උන්වහන්සේ වරක් ශාක්‍ය වංශිකයන්ට දහම් දෙසීමේ කාර්යය
ආනන්ද හිමියන්ට පවරා වදාළ සේක. ධර්ම දේශනාව අවසාන වන තෙක් ඊට සවන් දුන්
භාග්‍යවතුන්වහන්සේ ‘ආනන්දය ඔබ ධර්ම දේශනා කිරීමේ කාර්යය ඉතා සාර්ථකව
විශිෂ්ට ලෙස ඉටු කළෙහිය’ යනුවෙන් ප්‍රශංසා කළ අන්දම බුදුදහමේ දැක්වේ.
තවත් වරෙක නන්දන හාමුදුරුවන් ධර්මය දේශනා කරන අවස්ථාවකදී භාග්‍යවතුන්
වහන්සේ දම්සභා මණ්ඩප පිවිසුම් දොරටුව අසල සිට ධර්ම දේශනාව අවසන්
වනතුරුම සවන් යොමු කළ සේක. තම ආදරණීය ශිෂ්‍යයාගේ ධර්ම දේශනාවේ
සාර්ථකත්වය ව්‍යක්තබව කෙරෙහි පැහැදුණු භාග්‍යවතුන්වහන්සේ සාධුකර දෙමින්
ඊට ප්‍රශංසා කළ අන්දම දැක්වේ. භාග්‍යවතුන් වහන්සේ දවස පැවිදිව සිටි
සොහොයුරන් දෙදෙනෙකි මහාපන්ථක හා චුල්ලපන්ථක යන හිමිවරු. මෙම හිමිවරුන්
වහන්සේ දෙනමම වැඩ සිටියේ එකම විහාරයක ය. බාල සොහොයුරු චුල්ලපන්ථක
හිමියන්ට මාස හතරක් ගත වී ගියත්, එක් ගාථාවක් පාඩම් කර ගත නොහැකි විය.
මෙයින් උදහසට පත් මහාපන්ථක හිමියන් විසින් චුල්ලපන්ථක හිමියන්
විහාරයෙන් පිටමං කරන ලදී. සිය වැඩිමහල් සොහොයුරු මහාපන්ථක හිමියන්ගේ
ආදරය නොලද චුල්ලපන්ථක හිමි, සිවුරු හැර දමා ගමට යෑමට සිතා ගත්හ. මේ බව
දුටු, භාග්‍යවතුන් වහන්සේ චුල්ලපන්ථක හිමියන් කැඳවා ආදරයෙන් කථා කොට
කමටහන් දී වදාළ සේක. මෙබඳු සිද්ධීන් රැසක් බුදුසිරිත තුළින් දෘශ්‍යමාන
වෙයි. තම ශිෂ්‍යයන් හිතවතුන්ට හඳුන්වාදීම ආදිය තුළින් ශිෂ්‍යයා තුළ
ආදරය දයාව කරුණාව පිළිබඳ හැඟීම් ඇතිකර පිළිගැනීම ලැබීමට ඇති මානසික
අවශ්‍යතාව සපුරාලූහ.
සමාජය විවිධ ය. විෂම ය. එහි ජීවත්වන පුද්ගලයන් විවිධ අදහස්වලින්
(නාතත්ථ කායො නාතත්ථ සංඥා) යුක්ත බව ප්‍රකාශ කළ භාග්‍යවතුන් වහන්සේ
පුද්ගල විවිධත්වය තේරුම් ගෙන අවස්ථාවෝචිතව හා ප්‍රස්තුතයට අදාළව
ක්‍රියා කළ සේක. ධර්ම අවවාද ලබා දුන්සේක. ‘මහණෙනි ස්ත්‍රියකගේ් රූපය
තරම් පුරුෂයකුගේ් සිත ඇද බැඳ තබා ගන්නා වෙනත් දෙයක් නැත’ යනුවෙන් වදාළ
භාග්‍යවතුන් වහන්සේ ප්‍රථමයෙන් ම නන්ද කුමරුන් පැවිදිබිමට ඇතුළු
කරවාලූහ. ඉන් උකටලීභාවයට පත් නන්ද හිමියන්ට ස්වල්ප කලකින් පංචස් කන්ධයේ
ඇති නිසරුබව දර්ශනය කරවීමට සලස්වා ධර්මය අවබෝධ කර ගැනීමට සැලැස්වීමේ
ගත් ක්‍රියා මාර්ගය එවැනි එක් අවස්ථාවකි. මෙය එක අතකින් පෙළඹවීමේ උපාය
මාර්ගය තුළින් නන්ද කුමරුන්ට ලබා දෙන ලද මාහැඟි අවස්ථාවක් ලෙස දැක්විය
හැකිය. පුද්ගල විවිධත්වය පිළිගත් භාග්‍යවතුන් වහන්සේ අවස්ථාවෝචිතව කළ
මනෝ විද්‍යානුකූ®ල ඉගැන්වීම් සැමගේ පැසසුමට ලක් විය. එසේම අවස්ථාවෝචිතව
දෘශ්‍යය භාවිතා කරමින් ක්‍රියා කළ අවස්ථා බොහෝ ය. ‘ඛේමා’ රාජ කුමාරිය
රූපයෙන් මත් වූ ලලනාවකි. ඇය භාග්‍යවතුන් වහන්සේ රූපයට ගරහන්නේ යැයි
උන්වහන්සේ දැකීමට යෑමට පවා මැළිවූවාය. ඇයග් සිත තේරුම් ගත්
භාග්‍යවතුන් වහන්සේ දිනක් ඇය දෙව්රම් වෙහෙරට පැමිණි අවස්ථාවක, ඇයට වඩා
සිය දහස් ගුණයෙන් ලස්සන කාන්තා රූපයක් මවා තමන් වහන්සේට පවන් සලන
දසුනක් නිර්මාණය කළ සේක. භාග්‍යවතුන් වහන්සේ රූමත් කාන්තාවන්ට නිගරු
කරන්නේ යැයි කීම මුසාවක් බව ඛේමා අවබෝධ කරගනිද්දීම අනිත්‍යය මෙනෙහි
කරවන දසුන් පෙළක් මැවිණ. අතිශය රූමත් කාන්තාව ක්‍රමයෙන් වයස්ගතව, කෙස්
සුදු වී දත් වැටී හම රැළි වැටී පිළිකුල් සහගත තත්ත්වයට පත්විණ. ඉන්
ඛේමා කුමරිය රූපයේ ඇති අනිත්‍යභාවය මැනවින් අවබෝධ කරගෙන සසුන් ගත
වූවාය.
යම් යම් චිත්ත වේගයන්ට නතු වූ පුද්ගලයන් සරණ පතා පැමිණි අවස්ථාවලදී
භාග්‍යවතුන් වහන්සේ කටයුතු කළේ, මනෝ විද්‍යාත්මක පදනමක් මත ය. වරෙක
කිසාගෝතමී නමැති කාන්තාවක් තම එකම පුතා මළ අවස්ථාවේ එම මළ සිරුරද රැගෙන
භාග්‍යවතුන්වහන්සේ වෙත පැමිණ මළ පුතාට බෙහෙත් ඉල්ලා සිටියා ය. ඒ
අවස්ථාවේ ඇය ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත හැකි තත්ත්වයක නොසිටින බව
භාග්‍යවතුන්වහන්සේට අවබෝධ විය. එබැවින් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කර
ගැනීමට සුදුසු මානසික තත්ත්වයක් ගොඩනැගීමට ක්‍රියාකළ සේක. ඒ අනුව ඇයගේ්
ආදරණීය පුතාගේ ප්‍රාණය නැවත ලබාගැනීම සඳහා ඖෂධයක් සකස් කිරීමට කිසිම
සතකු නොමළ ගෙයකින් අබ ස්වල්පයක් සොයාගෙන එන ලෙස දන්වා වදාළහ. දුක සේ
බොහෝ දුරක් ඇවිද්දත් එබඳු තැනක් සොයා ගැනීමට ඇයට නොහැකි විය. ඉන්
කිසාගෝතමියට ජීවිතය පිළිබඳ යථාර්ථය අවබෝධ විය. එසේ අවබෝධ කරගත්
කිසාගෝතමී තම ආදරණීය පුතාගේ මළ සිරුර අමු සොහොනකට දමා භාග්‍යවතුන්
වහන්සේ අබිමුවට පැමිණියා ය. එහිදී භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා ඇය
සෝවාන් ඵලයට පත් වූවා ය. කිසාගෝතමී වෙත පවරන ලද ඉටුකළ නොහැකි මේ
පැවරුම මනෝවිද්‍යාත්මක පදනමක් මත පිළියෙල වූවකි.
බෞද්ධ මනෝ විද්‍යාත්මක සංකල්ප ගැන සාකච්ඡා කිරීමේදී බුදු සිරිතේ
දැක්වෙන ආලවක දමනය අමතක කළ නොහැකි සිද්ධියකි. අහංකාරකමින් හිස උදුම් වා
ගෙන කේන්තියෙන් පසු වූ ආලවක මුලින් හැසිරුණු අන්දම භාග්‍යවතුන් වහන්සේ
ඉතා නිහතමානී ලෙස ඉවසා වදාළ සේක. ආලවකගේ අවශ්‍යතාව මත එසේ ඉතා
නිහතමානීව හැසිරුණු උන් වහන්සේ, ඒ තුළින් සත්‍යය අවබෝධ කර ගැනීමේ
අවස්ථාව ආලවකට ලබා දුන්හ. අනතුරුව පියවි සිහිය පහළ වූ ආලවක, ඉතා සුවච ව
දමනය වූ අන්දම බුදුරදුන්ගේ මනෝ විද්‍යාත්මක සංකල්පවල අගය මොනවට
කියාපායි.
පුද්ගල විවිධත්වය පිළිගත් භාග්‍යවතුන් වහන්සේ විවිධ මනෝ විද්‍යාත්මක
ක්‍රම උපයෝගි කර ගනිමින් අවස්ථාවෝචිතව සාර්ථකව කළ ඉගැන්වීම් රැසක්
දක්නට ලැබෙයි. ඉන් බිඳක් පමණකි මෙහි දැක්වූයේ.
මහා දුක් කන්දරාවක් විඳ දරා ගනිමින්, ලෝක සත්ත්වයාගේ දුක නිවාලීමට
ක්‍රියාකළ භාග්‍යවතුන් වහන්සේ ගේ මනෝ විද්‍යාත්මක සංකල්ප සර්වකාලීන
අගයකින් යුක්තය. යමෙක් ඒවා ජීවන ගමනට උපයෝගි කර ගනිමින්, සිත පාලනය කර
ගනී ද හේ මෙලොවත්, පරලොවත් ජය ගැනිමට සමත් වෙයි.
යථා අගාරං සුච්ඡන්තං
වුට්ඨි නසමති විජ්ජති
ඒවං සුභාවිතං චිත්තං
රාගො නසමති විජ්ජති (යමක වග්ගය)
හොඳින් සෙවිලි කළ ගෙය වැස්සට නොතෙමෙන්නාක් මෙන් මනාව භාවනාවට පුරුදු කළ
සිත, රාගයෙන් තෙත් නොවේ |