සිහවටුක රුව දැක ගත හැකි
රන්න කහඳාව පුරාණ විහාරය
රන්න සමූහ
බන්දුල සේනානායක
ඓතිහාසික කසාගල රජ මහ විහාරයට අනුබද්ධ විහාරස්ථානයක් වන රන්න කහඳාව
පුරාණ විහාරස්ථානය මාතර හම්බන්තොට මාර්ගයේ රන්න නගරයට ආසන්නයේ පිහිටා
ඇත. මහනුවර යුගයට අයත් මෙම විහාරස්ථානය කහඳාවේ මුදියන්සේ හෙවත් සෙනරත්
රත්නායක මුදලිතුමා විසින් ඉදිකර ශාසනයට පරිත්‍යාග කරන ලද්දකි. සංඝරාජ
සාධු චරියාවේ මේ විස්තර සඳහන් වේ. පහත රටට උපසම්පදාව ගෙන ආ සිටිනා
මළුවේ ධම්මජෝති හා වේහැල්ලේ ධම්මදින්න මහ නා හිමිවරුන් මෙහි වැඩ වාසය
කර ඇත. ධම්මජෝති ස්වාමීන් වහන්සේ මෙහිදී අපවත් වූ බවද සංඝරාජ
සාධුචරියාව සඳහන් කරයි.
පහත රට නායක පදවියත්, ශ්‍රී පාදස්ථානයේ නායක පදවියත් ඉසිලූ ශ්‍රී
ධම්මදින්න මහ නා හිමි ගේ ප්‍රධානත්වයෙන් සිදු වූ විශාල ශාසනික සේවයේ
මූලස්ථානයක් වූයේ මෙම කහඳාව පුරාණ විහාරස්ථානයයි. පසුව කසාගල හා කහඳාව
විහාරස්ථාන දෙකේම නායක පදවිය උසුලන ලද්දේ වේහැල්ලේ නා හිමියන් වහන්සේ
ය. 1890 වර්ෂයේ පමණ සිට උඩයාලේ සෝනුත්තර හිමියෝ් මෙහි විහාරාධිපති
පදවියට පත් වුන සෝනුත්තර හිමියන්ගේ මඟ පෙන්වීම මත, මාතර මහා මන්තින්ද
පිරිවෙනේ දී බැදිගම රතනපාල නායක හිමියන්ගෙන් ධර්ම ශාස්ත්‍ර ප්‍රඟුණ කළ
සෝනුත්තර හිමියන්ගේ ශිෂ්‍ය කදුරු පොකුණේ සුමනතිස්ස හිමිපාණෝ තම ගුරු
හිමි ඇවෑමෙන් කහඳාවෙ විහාරාධිපති බවට පත්වූහ. මල්වතු මහා විහාරයෙන්
අධිකරණ සංඝනායක පදවියටත්, මාතර කන්දබඩ පත්තුව ඇතුළු මාතර හම්බන්තොට
දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවියටත් පත් වූ උන්වහන්සේ 1947 වර්ෂයේදී
කසාගල රාජමහා විහාරාධිපති පදවියට ද පත් වූහ. ඉන්පසුව කහඳාව පුරාණ
විහාරාධිපති පදවියට පත්වූයේ උන්වහන්සේගේ ශිෂ්‍ය නාකළුගමුවේ උපතිස්ස
හිමිපාණන් ය.
1978 උන්වහන්සේ අපවත් වීමෙන් පසුව වර්තමාන විහාරාධිපති, ශාස්ත්‍රාචාර්ය
කුඹුක්වැවේ අරියජෝති හිමිපාණෝ මෙහි විහාරාධිපති පදවියට පත්වූහ. දැනට
අරියජෝති හිමිපාණන්ගේ ශිෂ්‍යයන් වශයෙන් රන්මුදු වැවේ දේවානන්ද,
දබරැල්ලේ මංගල, කුඹගල්ආරේ චන්දිම යන හිමිවරු මෙහි වැඩ සිටී. වර්තමාන
විහාරාධිපති කහඳාව විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රචාර්ය
පූජ්‍ය කුඹුක්වැවේ අරියජෝති හිමිපාණෝ ප්‍රදේශයේ ආගමික, ශාසනික
මෙහෙවරෙහි යෙදෙමින් ශ්‍රී ධම්මදින දහම්පාසල පවත්වාගෙනයති. උන්වහන්සේ
විසින් මහනුවර යුගයේ තිබූ පැරණි සංඝාවාසය වෙනුවට, ධාතු මන්දිරය,
පුස්තකාලය සහිත නව සංඝාවාසයක් ගොඩනඟා ඇත.
මෙහි විහාර මන්දරය මහනුවර යුගයේ බිතු සිතුවමින් අලංකාර වී ඇත.
ඇතුළුමාලයේ සමාධි බුදු පිළිම වහන්සේ නුවර යුගයේ කලා සම්ප්‍රදාය අනුව
නිර්මාණය වී ඇති අතර දෙපස පිට මාලයේ කතරගම, විෂ්ණු දේවාල ඉදිකර ඇත.
මහනුවර යුගයේ ඉදි කරන ලද මකර තොරණ සහිත මෙහිපිට මාලයේ බිත්තිවල දක්නට
ඇති සිතුවම් අතර විශේෂ සිතුවම වනුයේ “සිහවටුක” රූපය ලෙසින් හඳුන්වන මහා
රාවණ රජුගේ යයි සැළකෙන හිස් දහයකින් අත් විස්සකින් යුතු රූපයයි. මෙම
විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්මාරක ගණයට අයත්වන අතර පසුගිය
සමයේ මෙහි සියලුම සිතුවම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්‍ෂණය
කරන ලදී. මෙම විහාරස්ථානය හා සම්බන්ධ ඓතිහාසික සිද්ධස්ථානයක් වන කහඳාගල
ශ්‍රී ධම්මදින්න විහාරස්ථානයද මේ ආසන්නයේ පිහිටා ඇත.
|