Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පස්වග මහණුන්ගේ ධර්ම දූත සේවාව

‘තථාගතප්පවේදිතො ධම්ම විනයෝ භික්ඛවේ විවටො විරොචති, නො පරිච්ඡන්නො....’

මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම, විනය විවෘතව තිබෙන තරමට, ප්‍රචාරය වූ තරමට බැබළෙයි. වැසී තිබෙන තරමට නොබබළයි.

(අං. නි. තික නිපාත)

මෛත්‍රී බෝධිසත්වයන් විවරණ ලැබීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුහාමුදුරුවන් උරුවෙල් දනව්වට වැඩීම, අග සවු සැරියුත් මහරහතන් වහන්සේ තම මෑණියන්ගේ් නිවසේදී පිරිනිවන් පෑම, පසුවස් පවාරණය, කඨින චීවර පූජාව කළහැකි අවසන් දිනය වීම, මෛත්‍රී බෝධිසත්ත්වයන් ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතින් පැවිදි බිමට පත්වීම, ප්‍රථම ධර්ම දූත හැට නම ධර්ම ප්‍රචාරයෙහි යෙදවීම වැනි කරුණුවලින් පූජනීයත්වයට ගෞරවනීයත්වයට, සම්භාවනීයත්වයට පත් පොහෝ දිනයක් ලෙස ඉල් පුර පසළොස්වක පොහෝ දිනය සැලකිය හැකි ය.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවිතය වනාහි ලොව අසමාන වූ මහා චරිතයකි. සම්බුද්ධ ජීවිතය පුරා ගැබ්ව එන මහාගුණ සමුදාය ලොව වෙනත් කිසි මනුෂ්‍යයකුගේ් ජීවිත කථාව තුළින් දැකිය නොහැකි දෙයකි. වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ ලෞකික හා ලෝකෝත්තර වූ උදාර ගුණ සමුදායකින් සම්බුදු සිරිත සපිරී ඇත. බුදුරජාණන් වහන්සේගේ් උත්සාහය වූයේ තමන් වහන්සේ දැන හඳුනාගත් උතුම් තත්ත්වයෙහි යථා ස්වභාවය හා සංසිඳීම අන් සත්ත්වයන්ටද වටහාදී ඔවුන්ද සසර දුකින් මුදවාලීමට ය. මේ කාර්ය සාඵල්‍යයෙහි අනුපම හා අමරණීය සේවයක් පස්වග තවුසන්ගෙන් සිදු විය.

බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනයේදී කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජී යන තවුසන්ට දහම් දෙසීමෙන් පසු ප්‍රථමයෙන්ම ධර්මාවබෝධය ලබා ගත්තේ කොණ්ඩඤ්ඤ තවුසා ය. ඔහු බුදුපියාණන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පදාව ඉල්ලා සිටි හෙයින් ‘එව මහණ’ (ඒහි භික්ඛු...) යනුවෙන් කරන ලද ප්‍රකාශයම පැවිද්ද හා උපසම්පදාව විය. සෙසු තවුසන්ද එසේ ඉල්ලා සිටි හෙයින් ‘එව මහණෙනි’ (ඒථ භික්ඛවේ) යන කැඳවීමේ ප්‍රකාශයම ඔවුන්ගේද පැවිද්ද සහ උපසම්පදාව විය. තවුසන් වශයෙන් හෙවත් ශ්‍රමණ ජීවිත ගත කරමින් සිටි මේ පස්දෙනා බුදුරජාණන් වහන්සේගේ් අනුගාමිකයන් බවට පත් වූයේ මඟඵල ලැබීමෙන් අනතුරුව ය. බුද්ධ ශාසනයෙහි පැවිදි උපසපන් බව ලද පළමු ශ්‍රාවකයෝ මොවුහුය. මේ පස් දෙනා රූපාදී පඤ්චස්කන්ධ ධර්මයන්ගේ් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ විවරණය කෙරෙන අනන්ත ලක්ඛණ ධර්මදේශනාව ශ්‍රවණය කිරීමෙන් සකල ආශ්‍රව ධර්ම ප්‍රහීණ කිරීමෙන් නිර්වාණය සාක්ෂාත් කර ගත්හ.

සීඝ්‍ර ජනප්‍රියතාවක්

බුදුරජාණන්වහන්සේ පීඩා රහිත, උවදුරු රහිත ක්ෂේම භූමියට මඟ පෙන්වමින් දහම් මඟට යොමුකළ පුද්ගලයෙකි යස කුල පුත්‍රයා. ඔහු පළමුව ශ්‍රද්ධාව ජනිත කොට දහම් ඇසීමෙන් ඇතිවන දෙයක් තුළ නැතිවීමේ ස්වභාවය විද්‍යාමාන වන බව අවබෝධ කොට ගෙන දහම් ඇස පහළ කරගෙන ඉසිපතනාරාමයෙහිම රැඳී සිටියේ ය. සිය පුතු සොයා පැමිණි පියාට බුදුරජාණන්වහන්සේ දහම් දෙසද්දී එයට සවන් යොමුකළ යසකුල පුතු සියලු ආශ්‍රව ක්ෂය කිරීමෙන් විමුක්තිය ලබා ගත්තේ ය. යසගේ් පැවිද්ද පිළිබඳ පුවත පැතිර ගිය වේලාවෙහි විමල, සුබාහු, පුණ්ණජී, ගවම්පති, යන ගිහි සහායකයන් සිව් දෙනාද ඔහු සොයා එහි පැමිණ දහම් අසා පැවිදිව අරහත් භාවයට පත් වූහ. ඉන් පසු මේ කුල පුත්‍රයන් පස් දෙනාගේ හිතවතුන් පනස් දෙනෙක්ද එහි පැමිණ සිය මිතුරන් ගිය මඟම ගමන් කළහ. මේ නිසා ඉතා ඉක්මනින් රහතන් වහන්සේ හැට නමකගෙන් සමන්විත ශිෂ්‍ය පිරිසක් බුදුරජාණන් වහන්සේට විය. උන් වහන්සේ මේ හැටනම ධර්ම ප්‍රචාරක සේවාවෙහි යෙද වූහ.

දඹදිව මධ්‍ය දේශය වටා විවිධ පෙදෙස්වල සැරිසැරූ මහරහතන් වහන්සේ සැටනම දහම් පණිවිඩය දස දෙස පතළ කළහ. බුදුරජාණන් වහන්සේ ද රජගහ නුවරින් සිය ධර්මදූත චාරිකාව ආරම්භ කළහ. බුද්ධ ධර්මය ඉතා ඉක්මනින් ජනපි‍්‍රය වූ බව පාලි මූලාශ්‍රයන්හි පැහැදිලිව දක්වා තිබේ.

අසන්නන්ගේ මානුෂිකත්වය, ඔවුන්ගේ් කායික සුව පහසුකම් වැනි දෑ සැලකිල්ලට ගෙන ඔවුන්ගේ ආගමික හා දාර්ශනික පසුබිමට ගැලපෙන සේ දහම් දෙසීිමට ඔවුහු සමත් වූහ. පරසිත් දැනීමේ නුවණ මෙන්ම ප්‍රශ්න කිරීම මඟින්ද අසන්නන්ගේ තත්ත්වය තේරුම් ගත් බව පෙනේ.

දුකෙන් පෙළෙන මිනිස් පරපුරට සුවසෙත සලසා දීමේ අභිලාෂයෙන් ඒ සැට නම අමතා ධර්ම චාරිකාවෙහි හැසිරෙන ලෙස දන්වා වදාළේ එවන් කාර්යභාරයන් සඳහා ඒ සැට නමගේ් යෝග්‍යතාව ඉතා හොඳින් පිරික්සා බැලීමෙනි. ප්‍රථමයෙන් ආත්මාවලෝකනය කොට සෙසු පිරිස දෙස බලන භාග්‍යවතුන් වහන්සේ සියලු දෙනම සසර බැමි වලින් මිදී ඇති බව පෙන්වා දෙති. ‘මහණෙනි මම සියලු දෙවි මිනිස් බැමිවලින් මිදුණෙමි වෙමි. තොපිද සියලු බැමිවලින් මිදුණාහ. දෙවි මිනිස් සමාජයේ හිතවැඩ පිණිස චාරිකාවෙහි යන ලෙසත්, දෙදෙනෙකු එක මඟකින් නො ගොස් සැට මඟකින් යන ලෙසත් දේශනා කරන ලද්දේ පූර්ණ සේවාවක් වහා ඉටුකරලීමේ හැකියාව හා අවශ්‍යතාව සලකා බැලීමෙනි.

බුදුරජාණන් වහන්සේත් සමඟ සැට නමක් වූ රහතන් වහන්සේ බරණැසින් නික්ම ඒ ඒ පළාත්වල සැරිසරමින් තමන් අවබෝධ කර ගත් ධර්මය ශ්‍රවණාහිලාෂී සමාජයට දේශනා කරමින් ඉදිරියටම ගමන් කළහ. බුදුරජාණන් වහන්සේ භද්දවග්ගිය කුමාරවරුන් තිස් දෙනාටද ධර්මාවබෝධය ලබා දී ඔවුන් සමග උරුවෙල් දනව්වට වැඩම කොට එහි ගිනි පිදීමෙහි යෙදුණ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප, යන තිදෙනාගේ හා දහසක් වූ ඔවුන්ගේ ශ්‍රාවක පිරිස්වල පැවැති මිසදිටු අදහස් බිඳ දමා බෞද්ධ මාර්ගයට ඇතුළු කර ගෙන එකී විශාල පිරිසද සමග රජගහනුවරට වැඩම කළහ. සෙසු හැට නමද බුද්ධ ධර්මය කෙරෙහි ප්‍රසාදයට පත් වන්නවුන් බුදුරජාණන් වහන්සේ වෙත යොමු කරමින් ස්වකීය ධර්මදූත චාරිකාවෙහි නිරත වූහ. උන් වහන්සේගේ සේවාව පිළිබඳ පැහැදිලි නිදසුනක් වනුයේ කෝලිත - උපතිස්ස දෙදෙනාගේ් පැවිද්දයි.

ධර්මදූත මෙහෙයෙහි යෙදුණ අස්සජී තෙරණුවන් දිනක් උපතිස්ස පිරිවැජියාට හමු විය. දෙදෙනා අතර සිදු වූ සංවාදයේදී තමන් වෘද්ධ ශ්‍රාවකයෙකු බව ද ආධුනික භික්ෂුවක් බවද ඒ හෙයින්ම ධර්මය විස්තර වශයෙන් කීම අපහසු බව ද දැන්වූහ. එහෙත් තමන් දන්නා ධර්මය ඉතා සැකෙවින් ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටි කල්හි, අස්සජී තෙරුණුවෝ මෙසේ වදාළහ.

‘හේතුවෙන් හටගන්නා ධර්මයන්ගේ ඒ හේතුව තථාගතයන් වහන්සේ වදාළහ. එවන් හේතුන්ගේ නිරෝධයද ඒ මහා ශ්‍රමණයන් වහන්සේ ප්‍රකාශ කළහ. මෙය ඇසූ වේලාවෙහිම උපතිස්ස පරිවැජියාට ඇතිවීම හා නැතිවීම පිළිබඳ දහම් ඇස පහළ විය. සෝවාන් ඵලයට පත්විය. ඉක්බිතිව සිය කළණ මිත් කෝලිත පිරිවැජියා සොයා ගොස් ඔහුට මේ පුවත සැළ කෙළේය. ඔහුද ඒ ආකාරයෙන්ම ධර්මය අවබෝධ කර ගත්තේය.

වගකීමට අවශ්‍ය ගුණාංග

යහළුවන් දෙදෙන ස්වකීය ආචාර්ය සංජය පිරිවැජියා වෙත ගොස් බුදුරජාණන් වහන්සේ වෙත යෑමට ඇරයුම් කළ ද, එයට කැමැති නොවුයෙන් ඒ දෙදෙන දෙසිය පනහක් පිරිවැජි පිරිසද සමග ගොස් පැවිද්ද ලබා ගත්හ.

මෙසේ පැවිදි බව ලබාගත් ප්‍රාරම්භක භික්ෂු පිරිස සියලු දෙනාම පාහේ ධර්මය සොයා ගමන් කළ කිං කුසලගවේසී පිරිසක් විය. නැතහොත් කම්සැප විඳීමෙන් කලකිරීමට පත්ව සිටි අය වූහ.

එහෙයින්ම ඔවුන්ගේ පැවිද්ද අභිනිෂ්ක්‍රමණයෙක් විය. පරමාර්ථ සාධනය සඳහා උත්සාවන්තව ඔවුහු එය කෙරෙහිම නැඹුරුව නොබෝ කලකින් කෙලෙසුන් නසා නිර්වාණාවබෝධය කළහ.

අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාව පස්වග තවුසන් උදෙසාම දේසිත සූත්‍ර දේශනාවකි. එමඟින් බුදුහාමුදුරුවෝ සමකාලීන සමාජයේ න්‍යෂ්ටික බලවේගය බවට පත්ව තිබූ සමකාලීන ආත්මවාදය ප්‍රතික්ෂේප කළහ. අනිත්‍ය වූද, දුක්සහගත වූ ද, පංචස්කන්ධය හැර හැම කල්හිම නොවෙනස් වන ආත්මයක් නැත යන අනාත්මවාදී සංකල්පය එමගින් ලොවට හෙළි කළ හ. ප්‍රථම ධර්මදූත කණ්ඩායම අමතා බුදුරජාණන් වහන්සේ කරන ලද ප්‍රකාශය තුළ ධර්මදූත මෙහෙයක තිබිය යුතු මූලික ලක්ෂණ ඇතුළත්ය. එනම් සර්ව සත්ව හිතවාදීව මෙම කාර්යය කළයුතු බවත් වැඩි දෙනෙකුට මෙහෙයක් වන අයුරින් පුළුල් ක්ෂේත්‍රයක් අසුවන සේ දෙදෙනෙකු එක මගකින් නොයා යුතු බවත්, අනවශ්‍ය විස්තරවලින් තොරව ප්‍රයෝජනවත් සේ දහම් දෙසන ලෙසත්, එම ශ්‍රාවක පිරිසට පැහැදිලි කොට ඔවුනට එම වගකීම පැවැරු සේක. ශ්‍රාවකයන් වහන්සේ ද තම වගකීම මැනවින් ඉටු කළහ. ඒ පිළිබඳ ශාසන ඉතිහාසයෙහි එන විවිධ වාර්තා අපට සාක්ෂි සපයයි. සත්‍ය ගවේෂණයෙහි යෙදී සිටි කෝලිත - උපතිස්ස පිරිවැජියන් දෙදෙනා සංජය පිරිවැජියාගේ ශ්‍රාවකයන් දෙදෙනෙකි. එම දෙදෙනා බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වූයේ මේ මුල්ම බුද්ධ ශ්‍රාවකයකු වූ අස්සජී තෙරුන් දැක උන් වහන්සේ සමග කළ සාකච්ඡාවකින් පසුව ය. එසේම දක්ෂණාපථ අවන්ති ප්‍රදේශයෙහි ධර්ම ප්‍රචාරයෙහි යෙදී සිටි මහා කාත්‍යායන තෙරුන් වහන්සේ සිය ජීවිත කාලයෙන් වැඩි කාලයක්ම බුදුරජාණන් වහන්සේ විසින් දේසිත ලුහුඬු දහම් පද පැහැදිලි කරමින් ධර්ම ප්‍රචාරයෙහි යෙදුණු තෙර නමකි.

උදේනියෙහි උන්වහන්සේ විසින් බෞද්ධ මධ්‍යස්ථානයක් ඇති කරන ලද බවත් සෝණකුටිකණ්ණ නමැති ධනවත් බමුණාගේ් පුත්‍රයා සහ තවත් ඒ ප්‍රදේශයෙහි බහුණන් කීප දෙනෙකු කාත්‍යායන හිමියන් නිසා බුදු සමය වැළඳගත් බවත් වාර්තා වේ.

විශේෂයෙන්ම බුදුහාමුදුරුවන්ගේ් මුල්ම අනුගාමිකයන් පස් දෙනා සමකාලීන භාරතයේ වේද හා අනෙක් බ්‍රාහ්මණ ශාස්ත්‍ර පිළිබඳ හසල දැනුමක් ලබා සිටි අය වූ අතර ඒ නිසාම මුළු මහත් භාරතයම පුරාමත් වෙනත් අසල්වැසි රටවලත් කෙටි කාල පරාසයක් තුළ ධර්මය පැතිරෙන්නට විය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.