ලොව ශ්‍රේෂ්ඨතම කවිය
කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ බාහිර කථිකාචාර්ය
හේමමාලි නිලාන්ගනි
කරුණාරත්න
එදා මෙදා තුර ලොව පහළ වූ කවීන් ගණන අපමණ ය. ඔවුන් අතින් ලියවුණ මෙන්ම
කියවුණ කවි ද අප්‍රමාණය. විවිධ රසභාවයන්ගෙන් යුක්ත වූ මේ කවි අතර හොඳම
කවිය කුමක්දැයි මොහොතකටවත් ඔබට සිතුණාද? සසර ගමන කෙළවර කිරීම සඳහා මීට
වසර 2551 කට පෙරාතුව, වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී මේ මිහිතලයේ
ශ්‍රේෂ්ඨතම කවියාණෝ උපත ලැබූහ.
ඒ අන් කිසිවෙකු නොව අප මහ ගෞතම බුදුරජාණන් වහන්සේ ය. මනුෂ්‍යත්වයේ
අග්‍රඵලය බුද්ධත්වයයි. ඒ සඳහා අප මහ බෝසතාණන් වහන්සේ සාරසංඛ්‍යා කල්ප
ලක්‍ෂණයක් පාරමී දම් පිරූහ. දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ
ලැබ, සූවිසි බුදුවරුන් දැක, සමතිස් දම් පෙරුම් පුරා අවසානයේ අවබෝධ කොට
ගත්තා වූ චතුරාර්ය සත්‍ය ඤාණය, අන් කිසිවක් නොව මනුෂ්‍යත්වයේ අග්‍රඵලය
වූ බුද්ධත්වයම වේ. මේ නොනවතින සසර ගමන කෙළවර කරන්නා වූ නිවැරැදි මාර්ගය
කුමක්දැයි හරිහැටි දැන අවබෝධ කර ගැනීම පී‍්‍රතියට කරුණකි. ඒ ගැඹුරු
පී‍්‍රතියේ ප්‍රබල ප්‍රකාශනය ‘ප්‍රථම උදානය’ නමින් බෞද්ධයෝ හඳුන්වති.
ලොව මෙතෙක් බිහි වූ කවි අතර ඇති ශ්‍රේෂ්ඨතම කවිය බුදුන් වහන්සේගේ
මුවින් පිටවූ මේ ‘ප්‍රථම උදානය’ බව ඕනෑම අයෙකු අවාදයෙන් යුතුව පිළිගනු
ඇත. හොඳ කවියක අවසාන අරමුණ විය යුත්තේ ප්‍රඥාව ලබා දීමයි. ආනන්දයෙන්
පටන් ගෙන ප්‍රඥාවෙන් කෙළවර වන්නේ එවැනි කවිය. ඒ අනුව සියලු හොඳ කවි
උදාන කාව්‍යයන් වන බව ඩබ්ලිව්. ඒ අබේසිංහ ශූරීන් සිය ධම්ම පද ගීතයෙහි
සඳහන් කොට ඇත. එසේ නම් ලොව ඇති හොඳම කවිය බුදුන් වහන්සේගේ මුවින් පිටවූ
ප්‍රථම උදානය ම නොවේ ද? බුදු මුවින් පිටවූ ඒ අපූරු කවිය නම්,
“ අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිම්බිසං ගහකාරක ගවේසන්තෝ දුක්ඛාජති
පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි සබ්බා තෙ ඵාසුකා භග්ගා
ගහකුටං විසංඛිතං විසංඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ජ ගා” (ධම්මපද පාලිය –
ජරාවග්ගය)
සියලු සත්වයෝ අනාදිමත් කාලයක සිට උපදිමින්, මැරෙමින් දිගින් දිගටම
කෙළවරක් නොමැති මේ සසරේ ගමන් කරති. මේ සත්වයෝ වරෙක මිනිස් ලොව මෙන්ම
තිරිසන්, ප්‍රේත, අසුර නිකාය සේම අවිවී මහ නරකය වැනි තැන්හිද ඉපිද
අනන්ත අප්‍රමාණ වූ දුක් වේදනා විඳින්නේ ය. මෙබඳු වූ දුක් වේදනාවන් ගෙන්
පිරි අනන්ත වූ මෙම සසර ගමන නවතා ලන්නට නම් නැවත නැවත ඉපදීමේ හේතුව සොයා
ගත යුතුමය. සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ නේරංජනා නදී තෙර ගයාවේ ඇසතු
බෝ රුක මුල වැඩ හිඳිමින් අනන්ත කාලයක් සසරේ පිරූ සමතිස් පෙරුමන් බෙලෙන්
හා අකලංක වූ මහා ප්‍රඥාවෙන් ද, නොසැලෙන වීර්යයෙන් ද යුක්තව, දස මාර
සේනාව පරදා, අවිද්‍යාව නමැති නොදැනුවත්කම නිසා සංස්කාර, විඤ්ඤාණ, නාම
රූප, සළායතන, ස්පර්ශ, වේදනාව, තෘෂ්ණාව, උපාධානය, භවය, ජාතිය නම් වූ
උපත, ජරා මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්සාදි හේතුඵලාදි ධර්මයන් නිසා
සත්වයා සසර දුකින් එතෙර විය නොහැකිව අපමණ දුක් වේදනා විඳින බව සොයා
ගත්හ. ඉපදීම නැමති රෝගයට ඖෂධය කුමක්දැයි සොයා ගත් බුදුන් වහන්සේ ජීවිතය
යනු ඉඳුරන්ට ඇවැසි ලෙස ඒවා පිනවමින් සසර නැවත නැවත ඉපදීම නොව, නුවණින්
විමසා බලා, අවිද්‍යාවේ තිමිර පටලය නුවණින් ඉරා දමා සියලු කෙළෙසුන් නසා
සසර ගමන කෙළවර කළ යුත්තකි. මේ අවබෝධය නිසාම උන්වහන්සේගේ හදපත්ලෙන් ම
නැගුණා වූ නිරාමිස පී‍්‍රතිය වදන් වලට මුසු වූයේ “අනේක ජාති
සංසාරං....” ආදී වශයෙනි. අමරණීය වූ මෙම වචන මිනිස් වග සතු හොඳම කවිය
වන්නේ එහි ඇති මෙම ලොව්තුරු බව නිසාමය. ලෞකිකත්වය ඉක්මවා ලොව්තුරු
මායිමෙන් ඔබ්බට විහිදුණු මෙම කවිය ලොව බිහිවුණු ශ්‍රේෂ්ඨතම කවිය
නොවේයැයි කාටනම් කිවහැකිද? මාගධි බස හෙවත් පාලි භාෂාවෙන් ලියවුණ මෙය
නූතනයේ විවිධ කවියන් විසින් රසවත්ව ප්‍රකාශ කර ඇති ආකාරය මඳක් විමසා
බැලිය යුතු ය. බුදුන් වහන්සේ ගේ ප්‍රථම උදානය ඩබ්ලිව්.ඒ.අබේසිංහ ශූරීන්
විසින් තම ධම්මපද ගීතය නමැති කෘතියෙහි සඳහන් කොට ඇත්තේ මේ අයුරිනි.
“අනේක වූ මේ සංසාරයෙහි ගෙය හදන වඩුවා සොයමින් ඇවිද්දෙමි ඒ නමුදු ඔහු
ඉතින් හමුවූයේ නැත්මැයි යළි යළිත් ඉපදීම දුක්වේය සසරේ වඩුව, තොප දුටිමි
මම යළි මේගෙය හදනු නැත පරාලද බිඳ දමා කැණි මඩල සුන් කෙළෙමි රහත් බැව්
ලදිමි මම සිත නිවන් පිවිසියේ” (ධම්මපද ගීතය – ඩබ්ලිව්.ඒ. අබේසිංහ)
ලබුහේනේගොඩ චන්දරතන හිමියන් බුදුන් වහන්සේගේ ප්‍රථම උදානය පද්‍යයට නඟා
ඇත්තේ මෙසේ ය.
“ගෙය හදලා පැනල ගිහින් හැංගි හැංගි හොරා වගේ මෙච්චර කල් බේරුණාට අද
අතටම අහුවුණා. නුඹ සොය සොය මෙපමණ කල් දුවල දුවල දුක් වින්දෙමි වඩුවා
නුඹයි ගෙය හදාපු අද අතටම අහුවුණා. ඕං.. වඩුවෝ බලා ගනින් ගෙය හදලා
අවසානයි අදින් පස්සෙ උඹට මෙතන ගෙය හදන්න ඉඩ නොතබමි
ජරස්... බරස්... පරාල ටික බිඳ දැම්මා කැණිමඩලත් සුන් කෙරුවා ගෙය ගැන
තිබූ ආසාවත් අදින් පස්සේ අවසානයි මගේ හිතට සැනසීමක් අදයි ලැබුණේ
වඩුවෝ....” (1993 - සාරදා 201 පිටුව)
බුදුන්වහන්සේ ගේ ප්‍රථම උදානය විවිධ කවියන් විසින් තම තමන්ට උචිත
අයුරින් රසවත්ව පද්‍යයට නඟා ඇති ආකාරය යථෝක්ත පද්‍ය පන්ති දෙක තුළින්
මනාව පැහැළි වේ. මෙම පද්‍යයෙහි රස භාවයන් තව තවත් තීවෘ වන්නේ එහි ඇති
ගැඹුරු අර්ථය නිසා ය. සත්වයා සසර සැරිසරන්නේ අවිද්‍යාව හෙවත් නොදැනීම
නිසා ය. ඒ බව මනාව වටහාගත් බුදුන් වහන්සේ එයට පිළියමද සොයා ගත්හ.
තමා සොයා අවබෝධ කොට ගත් ඒ ගැඹුරු දහම පද පේළි කිහිපයකට පෙරලා ප්‍රකාශ
කිරීමට උන්වහන්සේ සමත් වී ඇති ආකාරය ප්‍රථම උදානය තුළින් පිළිඹිබු වේ.
කවි සමයෙහි එන සියලු සාධු සම්මත සත්ගුණයන් මෙම කවිය තුළ ගැබ්ව ඇති
බැවන් මෙහි අරුත් විවරණය කිරීම මෙතැන් සිට සිදු වේ.
සත්වයා සසර ගමන් කරන්නේ නොදැනීමත්, ආශාවත් නිසා ය. නැවත නැවත ඉපදීම
දුකකි. එහෙත් එය දුකක් බව වටහා නොගත් මෝහයෙන් මුලා වූ සත්වයෝ පාප
කර්මයන්ට හසුව සංසාරයෙහි දිගින් දිගටම සැරිසරති. මෙසේ සත්වයා සසර
සැරිසරන්නේ අවිද්‍යාව නිසාවෙනි. ලෝකය පිළිබඳව, යථාර්ථය පිළිබඳව
නිවැරැදි අවබෝධයක් ලබා ගැනීම අවිද්‍යාව නැති කිරීමේ ඒකායන මාර්ගය වේ. ඒ
සඳහා සංසාරික පුරුද්දක් ඇවැසි වේ. එක් ආත්ම භාවයකින් එය කළ නොහැකි ය.
සසර දිගින් දිගට උපත ලබමින්ම, හොඳ නරක එනම් කුසල් අකුසල් මොනවාදැයි
වටහා ගත යුතු ය.
ගෞතම බුදුන් වහන්සේ ද චතුරාර්ය සත්‍ය ඤාණය අවබෝධ කොට ගත්තේ පන්සිය පනස්
වාරයක් විවිධ භවයන්හි උපත ලබමින් කටුක දුක් අත් විඳිමින් ය. උන්වහන්සේ
එසේ දුක් විඳ අවසානයේ අවබෝධ කොට ගත්තේ ඉපදීම නිසා ජරා, මරණ, දුක් ඇතිවන
බවකි. උන්වහන්සේ ජරා මරණ දෙකට හේතුව උපත බව අවබෝධ කර ගත් පසු එයින්
නොනැවතී භවය ඇති වීමට හේතුව සොයා බැලූහ. පෙර භවය හා එහිදී රැස් කළ කර්ම
ජාතිය ඇතිවීමට හේතුවන බවත් භවයක් ඇතිවීමට නම් යම් යම් දේ ප්‍රාර්ථනා
කරමින් දැඩිව අල්ලා ගැනීම හෙවත් උපාදානය හේතුවන බවත් තේරුම් ගත්හ.
නොයෙක් දේ ප්‍රාර්ථනා කරමින් මමය, මාගේ ය, මටම පමණි, යනුවෙන් දැඩිව
අල්ලා ගැනීමට හේතුව තෘෂ්ණාව විය. සත්වයා තුළ තාෂ්ණාව හටගන්නේ වේදනාවට
හේතුවෙනි. ඇතැම් විට එය සැප වේදනාවක් විය හැකි ය. නැතහොත් දුක්ඛ
වේදනාවක් විය හැකි ය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආයතන සය පිනවීම
හෙවත් සැප වේදනා විදීම උදෙසා ලෝක සත්වයා නිරතුරුවම වෙහෙසෙන බව
බුදුන්වහන්සේ අවබෝධ කොට ගත්හ. ඒ සඳහා කුසල හෝ අකුසල ඕනෑම ක්‍රියාවක
නිරත වීමට සත්වයා පසුබට වන්නේ නැත. මෙසේ සත්වයාගේ මනස තුළ විවිධ වේදනා
හටගන්නා වූ හේතුව සොයා බැලූ උන්වහන්සේට ඒ සඳහා ලැබුණු පිළිතුර වූයේ
සපර්ශයයි. යම් යම් අරමුණු ස්පර්ශ කිරීම නිසා වේදනාව ඇතිවන බවත් මෙම
අරමුණු හටගන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආයතනයන් රූප,ශබ්ද,
ගන්ධ, රස, ඵොට්ඨබ්බ, ධම්ම (සිතට අරමුණු වන දේ) යන අරමුණු සමග ගැටීම
හෙවත් ස්පර්ශ වීම නිසා බව වටහා ගත්හ. මෙසේ සළායතන ඇති වීමට හේතුව සිත
හා සිතිවිලි හෙවත් නාම රූප දෙක නිසා බවත්, මෙම නාම රූප හේතුවෙන්
විඤ්ඤාණය පහළ වන බවත් ප්‍රතිසන්ධි විඤ්ඤාණය ඇතිවීමට කුසලා කුසල ධර්මයන්
පිළිබඳ හරි හැටි නොදැනීම හෙවත් සංස්කාර ධර්ම හේතුවන බවත් අවසානයේ දී
බුදුන් වහන්සේ අවබෝධ කොට ගත්හ. මෙසේ සංස්කාර ඇතිවන්නේ චතුරාර්ය සත්‍යය
නිවැරැදිව හඳුනා නොගත් බැවිනි. සංසාර චක්‍රයෙහි පැවැත්ම අවිද්‍යාව
නමැති රැහැනින් බැඳි ඇති අයුරු දුටු උන්වහන්සේ එය කඩා බිඳ දමා සංසාර
චක්‍රයද සිඳ බිඳ දැමීය.
හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා සියල්ල ඇතිවීම, පැවතීම හා නැතිවීම යන
ප්‍රධාන ලක්‍ෂණයන්ට ගොදුරු වන අතර හේතූන් නසා ලීමෙන් අතිපවිත්‍ර වූ
සිතට අරමුණු වන ධර්මය නිර්වාණයයි. නිර්වාණය ජරා මරණ දෙකින් අත්මිදි ඇති
බැවින් එය අජරාමර වේ. මේසා සුවිශේෂි ගැඹුරු දහමක් අවබෝධ වූ තැනැත්තාගේ
සිත තුළ නිරාමිස පී‍්‍රතියක් හට ගැනීම අරුමයක් නොවේ. තමා විසින් අවබෝධ
කොට ගත්තා වූ ඒ ලොව්තුරු සුවය අර්ථවත් පද පෙළක් සේම ශ්‍රේෂ්ඨ ගීතයක්
බවට පත්වූයේ ද එබැවිනි. ජීවිතය නමැති ගෙය හදන තණ්හාව නමැති වඩුවා සොයා
උන්වහන්සේ බොහෝ කාලයක් සසර සැරි සැරූහ.
අවසානයේ උන්වහන්සේට වඩුවා හමුවූහ. භවය හෙවත් ජීවිතය නමැති ගෙය නිර්මාණය
කරන්නා වූ තණ්හාව නමැති වඩුවා හට උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ යළිත් නිවස
(භවය) හදන්නට ඉඩ නොදෙන බවයි. භවය කෙරෙහි පැවති ආසාව සිතින් තුරන් කොට
ඇත. එනම් ජීවිතය (භවය) නමැති නිවසෙහි ආසාව නමැති පරාල වලින් තැනූ කැණි
මඩල ද කඩා බිඳ දමා ඇත. කැණිමඩල විනාශ කළ පසු නැවත එහිදී ‘නිවස’ දැක ගත
නොහැකි ය. යළි හදන්නට නොහැකි වන සේ තණ්හාව නමැති වඩුවා ද සොයා ගෙන ඇත.
ආසාව හදවත තුළින් තුරන් කොට ඇති බැවින් තණ්හාව නමැති වඩුවාට යළි “නිවස”
හදන්නට නොහැකි ය. එබැවින් බුදුන් වහන්සේ සසර ජය ගත්තේ ය. ඒ උත්තරීතර
විජයග්‍රහණයේ උදාන ගීතය ලොව ශ්‍රේෂ්ඨතම කවිය වන්නේ එබැවිනි. |