ධර්ම සන්නිවේදනය
ඵල දරන පිළිවෙත්
සුජිත් නිශාන්ත හේවගේ
බුදු දහම බෙහෙවින් ප්‍රඥාව හා බැඳී පවතින දහමකි. මිනිසුන්ගේ ප්‍රඥාව
අවදි කිරීම මඟින් මිනිසෙකුහට යා හැකි අති ශ්‍රේෂ්ඨතම ස්ථානය කරා ගෙන
යෑමේ ක්‍රමික ප්‍රතිපදාවක් බුදු දහමින් ඉදිරිපත් වී තිබේ. බුදුන්
වහන්සේගේ ඉගැන්වීම් සකස්ව ඇත්තේ නිවැරැදි අනුපිළිවෙළ අනුව බුද්ධියට හා
හදවතට ආමන්ත්‍රණය කරන අයුරිනි. එහි කිසිදු භාවාතිශය හැඟීම්, දැනවීම්,
හාස්‍යෝත්පාදක ලක්‍ෂණ හෝ චිත්ත ආවේග ඇවිළවීමක් මේ නිසා සපුරාම නොවේ.
එම නිසා බුදුන් වහන්සේගේ ඉගැන්වීම් මිනිසුන් වෙතට ඉදිරිපත් කරන්නා වූ
පිළිවෙළ තුළ ගැබ් විය යුතු වන්නේ ද ධර්ම සන්නිවේදනය ක්‍රියාවලියෙහිලා
බුදුරදුන් අනුදත් ක්‍රියා මාර්ගයම ය. වර්තමානයෙහි ධර්ම සන්නිවේදන
ක්‍රියාවලිය පවත්වාගෙන යනු ලබන්නේ, බුදුන් වහන්සේ ධරමාන කාලයෙහි හෝ ඒ
ආසන්න කාල වකවානුව තුළ මෙන් භික්‍ෂූන් වහන්සේ විසින් ම පමණක් නොවේ.
ගිහි පැවිදි දෙපක්ෂය විසින් ම තම තමන්ගේ නැණ පමණින් එකී කටයුත්ත ඉටු
කරනු දක්නට ලැබේ. සන්නිවේදන මාධ්‍ය මඟින් ද ධර්ම සන්නිවේදනයෙහිලා
අවශ්‍ය විද්‍යාත්මක හා තාක්‍ෂණික පහසුකම් සපයනු විද්‍යාමාන වේ.
භික්‍ෂූන් වහන්සේ පමණක් ධර්ම සන්නිවේදනයෙහි නියැළුණු කාල වකවානු තුළ
ධර්ම සන්නිවේදනයෙහිලා කිසියම් ප්‍රමිතියක් හා ඇති කර ගත යුතු සන්නිවේදන
කුසලතා මේවා යැයි ත්‍රිපිටක ධර්ම අධ්‍යයන මගින්ම පෙන්වා දීමේ
ක්‍රමානුකූල බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායයක්, බටහිර අධ්‍යාපන සංකල්පයන්හි
ආධිපත්‍යය සාමයික මෙන්ම සංස්කෘතික වශයෙන් මෙරටට සංක්‍රමණය වීමට මත්තෙන්
අප සතුව පැවතිණි. මෙරට පැවැති දේශීය අධ්‍යාපන රටාව තුළ පුද්ගලයකුගේ
ආධ්‍යාත්මිත හික්මීම, මානසික සංහිඳියාව, ධර්මානුකූල පැවැත්ම අධ්‍යාපනය
ලබන ලද විෂයයන් හා සමගාමීව ලබාදීමට පුරුදු පුහුණු කරවන ලදී.
එකල විෂය සැකසී පැවැතියේ ද මෙරට දේශීය සංස්කෘතියට හා ජීවන පැවැත්මට
මෙන්ම ධර්මානුකූල ආකල්පවලින් කටයුතු කිරීමට අවශ්‍ය කුසලතා ලබා දෙන
ආකාරයෙනි. විශේෂයෙන්ම බෞද්ධ ආරාමික අධ්‍යාපන රටාව තුළ භික්‍ෂූන්
වහන්සේට ලබාදෙන ලද අධ්‍යාපනයෙහි සැකැස්ම, සම්පූර්ණයෙන්ම පැවිදි ජීවිතයට
අදාළ කෘත්‍යයන්ට අදාළව, අනුලෝමව පැවතිණි. විශේෂයෙන්ම ත්‍රිපිටක
අධ්‍යයනය හා ආරාමික ජීවිතයට අදාළ සියලු කාර්යයන්හි මනා පරිචයක් ලැබෙන
ආකාරයට, බෞද්ධ අධ්‍යාපන ක්‍රමවේදය සකස්ව පැවතිණි.
බුදුරදුන් ධර්මාන කාලයෙහි උන්වහන්සේගේ ඉගැන්වීම් සන්නිවේදනය කිරීම
අරමුණු කොට බුදුරදුන් විසින්ම පිළිගත් ප්‍රමිතියක් නිර්දේශව පැවතිණි.
තත් යුගයෙහි බුදුරදුන් විසින්ම අනුදැන වදාළ පරිදි සාර්ථක ධර්ම
සන්නිවේදනයක අන්තර්ගත විය යුතු යම් යම් ලක්‍ෂණ පිළිබඳ නිර්දේශ රාශියක්,
සාධනීය බවෙහි නිර්ණායක ලෙස දක්වා තිබේ. ධර්ම සන්නිවේදනයෙහි ගැබ් විය
යුතු සාධනීය ලක්‍ෂණ පිළිබඳ සලකා බැලීමේ දී, යහපත් ධර්ම සන්නිවේදනයක පහත
දැක්වෙන කරුණු අන්තර්ගත විය යුතු බව අවධාරණය කර තිබේ.
1. මනා අනුපිළිවෙළින් ධර්ම සන්නිවේදනයෙහි යෙදිය යුතු ය. (අ.නි. 3,
දුක්කර ධම්ම දේශනා සුත්ත)
2. මාතෘකාවට අදාළ විෂය කරුණු විග්‍රහාත්මක ලෙස විශ්ලේෂණය කළ යුතු ය.
3. පුද්ගල හා සමාජ හිතකර දේ පමණක් ධර්ම කරුණු ලෙස සන්නිවේදනය කළ යුතු
ය.
4. කිසි පෞද්ගලික ප්‍රතිලාභයකින් තොර ධර්ම සන්නිවේදනයක් විය යුතු ය.
5. කිසිවකුගේ පෞද්ගලික තරාතිරම ඉස්මතු නොවන ධර්ම සන්නිවේදනයක් විය යුතු
ය.
ඉහත කරුණු පිළිබඳ සැලකිල්ල යොමු කිරීමේ දී හැඟෙන්නේ සාම්ප්‍රදායික ධර්ම
සන්නිවේදන ක්‍රියාවලිය තුළ ගැබ්වන සංශ්ලේෂණ හා විශ්ලේෂණ ශාස්ත්‍රීය
සංකල්ප අධ්‍යයන රටාවයි. නූතන අධ්‍යාපන රටාවෙහි ද මීට සමාන ලක්‍ෂණ
විද්‍යාමාන ය. විශේෂයෙන්ම බුදු දහමෙහි අන්තර්ගත ගැඹුරු අධ්‍යාපන සංකල්ප
සන්නිවේදනයෙහි දී බුදුරදුන් විසින් අනුදත් ශාස්ත්‍රීය ක්‍රියා පටිපාටිය
වනුයේ දන්නා ප්‍රස්තුතයන්ගෙන් නොදන්නා ප්‍රස්තුවලටත්, තාර්කික සංජානනය
ඇසුරින් අතාර්කික සංජානනයටත්, සංයුක්ත සංකල්ප වලින් වියුක්ත සංකල්ප
වලටත් යනාදී වශයෙන් අනුක්‍රමයෙන් ක්‍රමානුකූල අවබෝධය ඇති වන පරිදි ධර්ම
සංකල්ප සන්නිවේදනය කිරීමයි. මේ යටතේ සන්නිවේදනය සිදු කරන භාෂා මාධ්‍යය
පවා ඒ සඳහා වඩාත් උචිත හා වඩා වැඩි ශ්‍රාවක පිරිසක් ග්‍රහණය කරගත හැකි
ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ වුව බුදුරදුන් විසින් ස්වකීය
උපදේශ මනාව ඉදිරිපත් කර තිබේ.එහි දී භාෂාවෙහි ශාස්ත්‍රීය බව හුවා
දැක්වීමට වඩා පහසුවෙන් අර්ථාවබෝධයට පහසුවන පරිදි ඒ ඒ ප්‍රදේශවල
ප්‍රාදේශීය භාෂා හා ව්‍යවහාර පවා භාවිතා කිරීමට භික්‍ෂූන් වහන්සේට
අවසරය ලබා දී තිබේ. දැනට ත්‍රිපිටක ග්‍රන්ථාරූඪව ඇති මගධ දේශය මුල් කොට
බිහි වූ ව්‍යවහාරික ප්‍රාකෘත භාෂා ගණයට අයත් පාලි භාෂාවට එකල කටවහරෙහි
පැවැති විවිධ භාෂා ව්‍යවහාරය හා ව්‍යාකරණ රටා එක් වී ඇත්තේ මේ නිසා ය.
මෙකී පාලි භාෂාවට නිශ්චිත වර්ණමාලාවක් පවා නොමැත්තේ එය හුදෙක් ලිඛිතව
නොව, කටවහරෙහි පමණක් පැවතුණු බැවිනි.
ධර්ම සන්නිවේදනයෙහි දී සිදු කරන්නේ සාරධර්ම පිළිබඳ සිතන්නට හා ක්‍රියා
කරන්නට මිනිස් සිත් සතන් යොමු කරවීමයි. සාරධර්ම ස්වකීය ආධ්‍යාත්මය තුළ
අන්තර්ගතව ඇති තැනැත්තා තුළ ඒ පිළිබඳ කිසිදු මච්ඡරිය ස්වභාවයක් හට
නොගනියි. ඒ තමන් තුළ ධර්ම සන්නිවේදනයෙන් විස්තර කෙරෙන සාරධර්ම
අන්තර්ගතව ඇති බැවිනි. ශ්‍රද්ධාව නැත්තන්හට ශ්‍රද්ධාව පිළිබඳව ද,
දුශ්ශීලයාහට ශීලය පිළිබඳව ද, නූගතා හට උගතුන් පිළිබඳව ද, මසුරු
තැනැත්තන්හට ත්‍යාගශීලීත්වය පිළිබඳව ද, දුශ්ප්‍රාඥයින්හට ප්‍රාඥයින්
පිළිබඳව ද කථාබහ පි‍්‍රය නොඋපදවන හා ගැටීම් සහිත බව ඇති කරන ධර්ම
සන්නිවේදන වන බව බුදුරදුන් විසින් පැහැදිලි කර දී ඇත. එසේම එවන් දේ
සන්නිවේදනය කිරීමේ දී ඔවුන් කිපීමට ද, විරෝධය පළ කිරීමට ද, තද පරුෂ
ස්වභාවයට ද පෙළඹෙන අතර එවැනි අවස්ථාවල දී ඔවුහු කෝපයෙන්, ද්වේෂයෙන් හා
නොසතුටෙන් යුක්ත ප්‍රතිචාර දැක්වීමට පවා පෙළඹෙන බව පෙන්වා දී තිබේ. එසේ
වීමට හේතු ලෙස බුදු හිමියන් විසින් දක්වනු ලබනුයේ ධර්ම සන්නිවේදනයෙන්
ඉදිරිපත් කරනු ලබන ගුණ ධර්ම ඔවුන් තමා තුළ නොදකින බව හා ඒ හේතුකොටගෙන
පී‍්‍රතිය හා ප්‍රමුදිත භාවය හටගනු නොලබන බැවින් තමා තුළ නොමැති ගුණ
ධර්ම පැවසීම නිසා එයින් ඔවුන් හට චිත්තාභ්‍යන්තර ගතව මානසික ගැටීමට
මුහුණදීමට සිදුවීම නිසයි. මේ හේතු නිසා ධර්ම සන්නිවේදනයෙහි දී හුදෙක්
පුද්ගලයන් සතුටු කරවීම පිණිස එකී දේශනාව මෙහෙයවීමට වඩා දේශනාවෙන්
කියවෙන ධර්ම කරුණු අර්ථ සම්පන්නව ශ්‍රාවකයා කෙරෙහි අනුකම්පාව පෙරදැරිව
පැවසීම වැදගත් වන බව පැහැදිලි වේ. (අ.ගු 3, දුක්කථා සුත්ත)
නියමාකාරයෙන් ධර්ම සන්නිවේදනයෙහි දී ධර්ම සන්නිවේදකයා තුළ තිබිය යුතු
යම් යම් ලක්‍ෂණ පිළිබඳ ද බුදු හිමියන් විසින් පෙන්වා දී තිබේ. පුද්ගල
පෞරුෂය ධර්ම සන්නිවේදන ක්‍රියාවලියෙහි දී ධනාත්මක ලක්‍ෂණයක් ලෙස භාවිතා
වේ. පහත සඳහන් කරුණු සහිතව ධර්ම සන්නිවේදන ග්‍රහණය කරගැනීම, මාර්ගඵල
අවබෝධයකට බාධාකාරී බව බුදුරදුන් පැහැදිලි කර දී තිබේ.
1. ධර්ම සන්නිවේදනයට පරිභව කිරිම, (අංගුත්තර නිකාය 3, අනෙකග්ග චිත්ත
සුත්ත)
2. ධර්ම සන්නිවේදකයාට පරිභව කිරීම
3. වික්ෂිප්ත සිත් ඇතිව සන්නිවේදනය කරන ලද ධර්මයට සවන් දීම.
4. එකඟ නොවූ සිත් ඇති ව, නුවණ රහිතව මෙනෙහි කිරීම.
5. තමන්ට පරිභව කර ගැනීම
6. කෛරාටික, කෙළ තොලු හා දුෂ්ප්‍රාඥ බවින් යුක්ත ධර්ම සන්නිවේදන.
7. නොදන්නා දෙයෙහි දන්නෙමැයි සංඥා ඇති බව (අ.ගු, දුප්පඤ්ඤ සුත්ත)
8. ගුණමකු වූයේ ගුණමකු බවින් මඬිනා ලද සිත් ඇතිව ධර්මය ඇසීම.
9. හෙළා දකින සිතින්, සිදුරු සොයමින් දහම් ඇසීම.
10. ධර්ම සන්නිවේදකයා කෙරෙහි ගැටීම සහිත සිතින් පසුවීම
11. ක්‍රෝධ බහුලව ධර්ම ශ්‍රවණය (අ.ගු, ඤාතමානි සුත්ත)
12. සකස්කොට මැනවින් ග්‍රහණය කර නොගැනීම.
13. සකස්කොට මැනවින් සන්නිවේදනය නොකිරීම.
14. සකස්කොට මැනවින් මතකයෙහි තැන්පත් කොට තබා නොගැනීම.
15. ධර්මයෙහි අර්ථය, විචාර පූර්වකව සකස් කොට මැනවින් නුවණින් නොවිමසීම.
16. ධර්මයට අනුලෝමව මනා ලෙස නොහැසිරීම. (අ.ගු.3, පඨම සද්ධම්මන්තරධාන
සුත්ත)
17. සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉති වූත්තක, ජාතක, අබ්භුත
ධර්ම හා වෙදල්ල ලෙස නවංග වශයෙන් ධර්මය මනාකොට නොහැදැරීම.
18. තමන් අසන හා මතක තබා ගන්නා ලද ධර්ම විස්තර සහිතව අන්‍යයන්හට
නොදෙසීම.
19. තමන් අසන හා මතක තබා ගන්නා ලද ධර්ම විස්තර සහිතව අන්‍යයන් ලවා
ප්‍රගුණ නොකරවීම
20. තමන් අසන හා මතක තබා ගන්නා ලද ධර්ම විස්තර සහිතව සජ්ඣායනා නොකරවීම.
21. අසන හා මතක තබා ගන්නා ලද, ධර්ම සිතින් කල්පනා නොකිරීම.
22. අසන හා මතක තබා ගන්නා ලද, ධර්ම සිතින් නොසෙවීම. (දුතිය
සද්ධම්මන්තරධාන සුත්ත)
23. අසන හා මතක තබා ගන්නා ලද, ධර්ම සිතින් සලකා නොබැලීම.
24. නොමනා කොට ගන්නා ලද සූත්‍රාන්තය නපුරු කොට බහණ පද ව්‍යාඤ්ජනවලින්
පිරිවැහීම.
25. අයහපත් කොට බහණ ලද පද ව්‍යඤ්ජන නිසා අර්ථය දුරවබෝධ වීම.
26. නපුරු වචන අන්තර්ගත ධර්ම සන්නිවේදන
27. අත්තනෝමතය නුසුදුසු සේ අන්තර්ගත කිරීම. (අං.ගු 3, තතිය
සද්ධමන්තරධාන සුත්ත)
28. අනුශාසනය යහපත් කොට පිළිනොගැනීම.
29.සකස්කොට ක්‍රමානුකූලව ධර්මය දේශනා නොකිරීම.
30. ප්‍රත්‍ය බහුලතාවයෙහි හා ලාභ සත්කාරයෙහි ගිජු බවින් දහම් දෙසීම. හත 1 සිට 15 දක්වා වූ කරුණු අනුව පෙන්නුම් කරනු ලබන්නේ ධර්ම
සන්නිවේදකයා මෙන්ම ශ්‍රාවකයා ද මනා මානසික සූදානමකින් පසුවිය යුතු
බවයි. එසේම මෙම දෙපක්‍ෂය විසින්ම අන්‍යෝන්‍ය වශයෙන් විශ්වාසයකින් හා
අවබෝධයකින් එකිනෙකා කෙරෙහි මිත්‍රශීලී ආකල්පයකින් කටයුතු කිරීමේ
වැදගත්කම ද මෙහි දී පෙන්වා දෙනු ලබයි. යම් යම් අයගේ පෞද්ගලික රුචි
අරුචිකම් විවිධ විය හැකි යි. එහෙත් එකී පෞද්ගලික රුචි අරුචිකම් පෙරට
ගෙන එයින් දහම් මඟ අපවිත්‍ර කිරීම නුසුදුසු ය. එසේම සද්ධර්මයේ නාමයෙන්
තමාගේ අදහස් කියාපෑමද නුසුදුසු ය. ඕනෑම ප්‍රස්තුතයකට අදාළව ශාස්ත්‍රීය
විග්‍රහය පළමුව දක්වා, ඉන් අනතුරුව අත්තනෝමතය දක්වන පිළිවෙළක් විධිමත්
පර්යේෂණායත්මක අධ්‍යයන ක්‍රමය තුළ අන්තර්ගතව ඇත. එය ජනපි‍්‍රය බව හෝ
හාස්‍යොත්පාදක බව ලෙස වරදවා ගත යුතු නොවේ. ජනපි‍්‍රය බව හැම විටකම
නිවැරදි බවට නිර්ණායකය නොවන බව ධර්ම කරුණු වලට ස්වකීය විග්‍රහ ඉදිරිපත්
කිරීමේ දී සිහි තබා ගැනීම වැදගත් ය. එය මෙහි 24, 25, 26 හා 27 වන කරුණු
අනුව මනා පැහැදිලි වේ.
ධර්ම සන්නිවේදනය අර්ථ සම්පන්න වීමට බලපාන වැදගත්ම ලක්‍ෂණය වනුයේ විචාර
පූර්වක චින්තනයෙන් යුක්තව ශ්‍රවණය කිරීමයි. එසේම තමන් විසින්ම තමන්ගේ
සිත් සතන්හිලා ධර්ම කරුණු ප්‍රත්‍යවේෂණයයි. නූතන අධ්‍යාපන මනෝ
විද්‍යාවේ ද ධාරණය සම්බන්ධයෙන් වන තාවකාලික හෙවත් කෙටිකාලික මතක,
ස්ථාවර මතක හෙවත් දීර්ඝ කාලීන මතක බවට පරිවර්තනය වීමට බලපාන සාධක අතර
පූර්වක බව හා ප්‍රත්‍යවේෂණය හෙවත් නැවත නැවත සිතා බැලීම, සාධක සේ දක්වා
ඇත. කිසියම් සංකල්පයක් ස්වකීය බවට පත්වන්නේ ඒ පිළිබඳ ලබන විචාර පූර්වක
අවබෝධය අනුව ය. බුදු දහමෙහි මේ කරුණ පච්චත්තං වේදිතබ්බං සේ දැක්වේ.
අනුමාන ඥානය ප්‍රත්‍යක්‍ෂ ඥානය බවට පත්වීමේ මුල්ම පියවර ද මේ විචාර
පූර්වක චින්තනයයි.
විචාර පූර්වක චින්තනය නිසා කිසිවක් අධානග්‍රාහීව පිළිගැනීම වැළකෙයි.
බුදු දහමෙහි ‘අතාර්කික’ යන්න ඥානෝපාදයයක් ලෙස නොදැක්වෙයි. එය
දැක්වෙන්නේ ප්‍රත්‍යක්‍ෂය විස්තර කිරීම සඳහා පමණකි. ප්‍රත්‍යක්‍ෂයේ දී
තාර්කික බව තව දුරටත් අවශ්‍ය නොවන්නේ අදාළ ප්‍රස්තුතය පිළිබඳ පූර්ණ
අවබෝධය තාර්කික බවින් ලබනවාට වඩා පැහැදිලි හා ස්ථාවර ලෙසම ඒ වන විට ලබා
අවසන්ව ඇති හෙයිනි. සෝතාපත්ති මාර්ගඵල ඥානය ලැබූ උතුමා තුළ නිර්වාණ
ධාතුව පිළිබඳ සුළු ප්‍රත්‍යක්‍ෂ ඥානයක් හා විශාල අනුමාන තාර්කික ඥානයක්
අන්තර්ගත වන අතර, අර්හත් ඵලය ලද උතුමා අතීන්ද්‍රීය ප්‍රත්‍යක්‍ෂයෙන්
පරිපූර්ණව නිර්වාණ ධාතුව අවබෝධ කරගනු ලබන හෙයින් ඒ උතුමා තුළ නිර්වාණ
ධාතුව පිළිබඳ ඇත්තේ අතාර්කික ප්‍රත්‍යක්‍ෂ ඤාණයක් බව පැවසිය හැකි ය.
තාර්කික බව විචාර පූර්වක චින්තනය වන අතර, විචාර පූර්වක බවින්
ප්‍රත්‍යක්‍ෂය කරා යෑම සඳහා ධර්ම සන්නිවේදනය මාධ්‍යයක් කරගනු ලැබීම
බුදුරදුන් විසින් අනුදැන වදාරා තිබේ. එම නිසා ධර්ම සන්නිවේදනයෙහි
පරමාර්ථය මිනිසා විචාර පූර්වක බවින් ඈත් කිරීම නොව ඔහුගේ විචාර පූර්වක
ස්වභාවය අවදි කිරීම බව, පැහැදිලිවම දැක්විය යුතුව ඇත. |