දේව කතා පුරාණය
නාරාවිල පැට්රික්
ආගම් බිහිවීම පිළිබඳ ඓතිහාසික පසුබිම අවබෝධ කැර ගැනීම පිණිස දේවකතා
පුරාණය හැදෑරීම අවශ්‍ය ය. එහෙත් අප සමාජයේ බහුතරයකට අවස්ථාව ඇත්තේ
භාරතීය දේව පුරාණ ගැන හැදෑරීමට පමණි. ග්ලොරියර් මල්ටිමීඩියා විශ්වකෝෂය
ඇසුරින් නාරාවිල පැට්රික් විසින් ලියන ලද මේ ලිපි පෙළ ඒ අඩුව
පිරිමසාලයි. මෙහි පළමු කොටස ඉල් පුර පසළොස්වක පොහොය දා (නොවැම්බර් 12 )
පළ විය. අද දින මෙහි පහත පළ කැරෙනුයේ දෙවන කොටසයි.
මිසපොතේනියානු පුරාණ දේවකතා - මිසපොතේමියාවේ ආගම හා සංස්කෘතිය, වසර
4000 කට වැඩි අවධියක් පුරා නොකැඩී ආවකි. මේ දිගු අතීතයේ හැම යුගයකින් ම
වාගේ පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යාත්මක මෙවලම් ලද හැකි ය.
මිසපොතේමියානු සංස්කෘතික ඉතිහාසය පුරා එකකට පසු එකක් විවරණවලින් ආගම හා
දේවකතා පුරාණය යටපත් වී යයි. මේ දේවකතා පුරාණය ප්‍රධාන අංග තුනකට බෙදිය
හැකි ය. ක්‍රි.පූ. ප්‍රථම ලේඛන හා භාෂණ යුගය, ක්‍රි.පූ. තුන්වැනි
සහස්‍රකයේ, දෙවැනි උර් රජ පෙළපත් සමයේ සිට ක්‍රී.පූ. 19 වැනි සියවසේ
පැරණි බැබිලෝනියානු යුගයේ පටන් ගැනීම දක්වා යුගය සහ හත් වැනි සියවසේ
ඇසිරියානු බැබිලෝනියානු සංස්කෘතියේ අවසානය වන තුරු පැරණි බැබිලෝනියානු
යුගය යනු යි.
කෝර්කිල්ඩ් ජේකබ්සන් ඔහුගේ ලේඛනයන්හි, මිසපොතේමියානු ආගමික අත්දැකීමේ
චිරස්ථායි සහ ව්‍යාප්ත මූලික කරුණකට අවධානය යොමු කර ඇත. එනම්, බාහිර
ලෝකයේ විශේෂතා තුළ දිව්‍යත්වය හඳුනා ගැනීමට දිරි ගැන්වීමක් යනුයි. මේ
අවස්ථා හෝ ස්වරූප, මිසපොතේමියාවේ විශේෂ භූගෝලීය ප්‍රදේශ හා ඓතිහාසික
යුග සමඟ විවිධ වෙයි. කෙසේ වෙතත් ඉඳුරා ම අග්නිදිග වගුරුබිම්හි දෙවිවරු,
ඒ ප්‍රදේශයේ ආධිපත්‍යය පැතිර වූ අකාඩියන්, ඇමොරයිට් සහ ඇසිරියන් යන
සෙමිටික් ජාතීන් විසින් පිදීමට තෝරා ගෙන තිබිණ.
දුමුසි - අබිසු, වගුරුබිම් පෙදෙස්වලට අරක්ගත් සුමේරියානු දෙවියෙකි.
ඔහුගේ නමෙහි අරුත වන්නේ “මවුකුස පත්ලේ සිටින දරුවා පණ ගන්වන්නා” යනුයි.
ඔහු සාමාන්‍යයෙන් සශ්‍රීකත්වයේ දෙවියා ලෙස පෙනී සිටී. ඔහුගේ සොහොයුරිය
වන ගෙෂතීනන්නා මිදිපල තුළ පිහිටි ශක්තියයි. දුමුසි අබ්සුගේ දෙව්
මෙහෙසිය ඉනන්නා ය. ආදිතම යුගයේ ඉනන්නා ‘ඉඳි ගබඩාව‘ සංකේතවත් කරයි.
දුමුසි, ඉනන්නා සහ ගෙෂ්තිනන්නා සේම දුමුසිගේ මවු වන දුක්තරා සහ
ඉනන්නාගේ සොහොයුරිය හා පාතාල ලෝකයේ දෙවඟන වන ඉරෙෂ්කිගල් ආදීහු නොයෙක්
දේවකතා චක්‍ර සහ දේවකතා නාට්‍යයන්හි කැපී පෙනෙන්නෝ ය. ඔවුන් දහස්
ගණනින් සැදී දෙවියන්ගෙන් යුක්තව විශ්ව දේව සමූහයෙන් සුළු කොටසක්
නියෝජනය කරතත්, ආදී යුගයේ ආගම තුළ චරිත ගන්වන සහ ආධිපත්‍යය පවත්වන මේ
දේවගණයා, සශ්‍රීකත්වයේ පාලනය පිළිබඳ සංකේතයට උදාහරණ ලෙස සේවාව කරති.
දුමුසි හෙවත් සෙම්ටික් තමුස් පුරාණ දේවකතාවක සහ ඇදහිල්ලක කේන්ද්‍රයයි.
ඔහුගෙන් වසන්තයේ දකින්නට ලැබෙන ඉඳිගසේ ශක්තිය පිළිිබිඹු කරන්නා සේ
පෙනෙන සශ්‍රීකත්වය සංකේතවත් කැරෙයි. ඉනන්නා සමඟ දුමුසිගේ ආවාහය හා ඇසුර
පිළිබඳ සම්බෝග රූපක, දුමුසිගේ මරණය විෂයයෙහි ශෝකාන්තය හා වැලපීම සහ
ඔහුගේ සොහොයුරිය හා මව ඔහු ගැන පළ කරන භක්තිය හා පාතාල ලෝකයේ සොයා
බැලීමක් මේ දේවකතාවේ එක කොටසකි. මිසපොතේමියානු ආගම, දුමුසි පිළිබඳ
කතාවේ සහ ඇදහිල්ලේ සොබාදහම් ආකෘතිය තුළ, දිව්‍යමය පවිත්‍රත්වය සහ
ප්‍රත්‍යක්‍ෂ භාවය හමුවීමත් සමග මිනිසා තුළ ආවේණික හිංසා පීඩාදියට
පත්විය හැකි හෝ පත් කළ හැකි බවට විස්තර තොරතුරු සපයයි.
ඉහත දැක්වෙන මධ්‍යතන යුගයේ දී දේවකතා චක්‍රය සශ්‍රීකත්ව අරමුණට
මුල්තැන් දී ඉදිරියට ගෙන යනු ලැබේ. එහෙත් එසේ කැරෙන්නේ සන්සුන්
නිශ්ශබ්ද ස්වරූපයෙනි. මේ දේවකතා තුළ අවධාරණය කෙරෙන්නේ පාලකයාගේ සම්භවය,
අභිලාෂය හා ආධිපත්‍යයයි. ඓතිහාසිකව ගත් කළ මේ සංකල්ප මිසපොතේමියාවේ පෞර
රාජ්‍ය අතර සාමූහික සංවිධානයේ භාවිතයට අනුරූප වෙයි. පැහැදිලි මෙවුන්දම්
ආලිංගනයෙන් සශ්‍රීකත්වය සංකේත කිරීම, එක්තරා විශ්ව අභිලාෂයකට මාරු
කැරෙයි. එනම් ගංගා ගලා යන්නට මෙහෙයවන අහස් ගිගුරුම සහිත කුණාටුවේ
සාහසිකත්වය හා ශක්තියටයි. කුණාටුවේ ප්‍රභවය ‘ලෝඩ් වින්ඩ්’ අරුත දෙන
‘එනලිල්’ ය. කුණාටුවේ ශක්තිය ලෙස ඔහු, මානව සංහතියට අර්ථදායක නායකත්වය
ගත් කාර්යෝපදේශක විධායකයෙකි.
අන්තරීක්ෂ බලය හෙවත් විශ්වදේව සමූහයාගේ ශ්‍රේෂ්ඨතම අධිකාරී ශක්තිය අනු
ය. අනුගේ බිරිඳ හෙවත් පොළොව ය. ඔවුන්ගේ සමවායෙන් ගස්, බට සහ වෙනත් ශාක
ජාතීහු උපන්හ. අනු, එන්කිගේ පියා ය. එන්කි ගංගා, වැස්ස හා වගුරු බිම්හි
ජලයේ ශුද්ධාත්ම භාවය සචේතනික කරයි. එන්කිකි, ටයිගී‍්‍රස් හා යුප්‍රටීස්
ගංගා සමග අනන්‍ය කර ඇත. ඔහුගේ නම ‘පසට අධිපතියා’ යනුවෙන් අර්ථ ගන්වා
තිබේ.
එකී අර්ථයට අදාළ නම තුළ පස මඟින් පල දරන්නට සලස්වන මිහිරි ජලයේ
ශක්තියක් අවශ්‍යතාවක් අදහස් කරනු ලැබේ. එපරිදි එන්කි සහ මනුෂ්‍ය
ශුක්‍රාණුවක් අතර ඇති සාදෘශ්‍යය දැක්වේ. මැට්ටෙහි මුහුණුවරින් පස හා
ජලය මගින් එන්කිගේ ක්‍රියාකාරීත්වයෙන් ව්‍යුත්පන්න ගුප්තාර්ථ හේතුවෙන්
එන්කි නිර්මාණය කරන සහ නොයෙක් ආකෘති ස්වරූපය ගන්වන දෙවියෙක් ද වෙයි. ඒ
නිසා ඔහු නිර්මාණකරුවෙක් හෙවත් විශ්වකර්මයෙකි. ඇතැම් විට ඔහු මුල්
සැලැස්ම හෝ සම්භව ආකෘතිය ලෙස අර්ථ ගන්වනු ලැබේ.
මෙකී මධ්‍යතන යුගයේදී ඉනන්නාගේ (සෙමිටික් නම් ඉශ්තාර්) ආකෘතිය වෙනස්
වෙයි. ඕ තොමෝ ඉඳිගබඩාව හා දුමුසිගේ මෙහෙසිය පිළිබඳ සංකේතය එසේ ම තබා
ගන්නා අතර යුද දෙවඟනට, වර්ෂාවේ ශක්තියට, සැඳෑ හා උදා තරුවට සහ නගර
ශෝභිනියට ද සංකේතයක් වෙයි. ඇය හා බැඳි සංකේත විවිධත්වය ඇගේ අනන්‍යත්වයේ
තවත් සංකේතයක්, එනම් මාතෘ දෙවඟන බවට ද පත් වෙයි. මේ යුගයේ දී දෙවිවරු
පැහැදිලි ආකෘතීන්ගෙන් පෙරමුණට එති. ඔවුන් එසේ එන්නේ වෙනත් දෙවිවරුන් හා
මිනිසුන් ද සමඟ තනි තනිව හා අන්‍යොන්‍ය ලෙසින් ද ක්‍රියා කරමින් සිය
බලය වේගවත් ශක්තියක් බවට පත් කරමිනි. දේවකතාවේ අදාළත්වය පවතින්නේ විශ්ව
නියාමය සමඟ ය. දෙවිවරු මේ සන්දර්භය තුළ තුමු ම එහි කොටසක් ලෙස පෙරමුණට
එත්.
පශ්චාත් ඇසිරියානු, බැබිලෝනියානු යුගයේ දී, බරපතළ වගකීම් සහිත කාරියක්
ලෙස මැවිල්ලේ පිළිවෙළ හෙළි වන විට, මානව සංහතියේ ඥාතීත්වය කෙරෙහි,
අවධානයේ වැදගත් වෙනස්වීමක් දක්නට ලැබේ. මේ යුගයේ දී “එන්‍යුමා එලිෂ්”සහ
“ගිල්ගමෙෂ්” නම් මහා දේව වීරකාව්‍ය බිහිවෙයි. එන්‍යුමා එලීෂ් දේව
වීරකාව්‍යය, දෙවියන්ගේ උත්පත්ති කතාව හා ඒ දෙවියන්ගේ ප්‍රාග් සම්භවයෙන්
මානව සංහතිය බිහි වූයේ කෙසේ ද යන කතාපුවත ඉදිරිපත් කරයි. කතාවේ වීරයා
මුර්දුක් ය.
දෙවියන්ගේ උපත සිදු වන්නේ මිහිකුස තුළ පිරිසුදු ජලය හෙවත් අප්සු සහ
මුහුදේ ලවණ ජලය හෙවත් තයමත් මිශ්‍රවීමෙනි. මේ මිශ්‍රණයෙන් ලහ්මු සහ
ලහමු උපදිති. ඔවුන්ගේ සමවායෙන් අන්ෂර්’ සහ කිෂර් උපදිති. ඔවුන්
දෙදෙනාගේ දරුවා අනු ය. අනු අහස් දෙවියා. අනු සිය ප්‍රතිරූපයෙන්
‘නුදිම්මුද්’ හෝ ‘ ඉයා’ හෙවත් පෘථිවි දෙවියා වෙයි. තයමත් සහ අප්සු
විශ්‍රාම සුවයෙන් පසුවෙති. ඒ අතර ඔවුන්ගේ දරුවෝ ඔබ මොබ සැරි සරති.
ඔවුන්ගේ නොයෙක් හැසිරීම් වලින් දෙව්ලොව පුරාහඬ පැතිරයයි. එයින් අප්සුට
නොයෙක් බාධා ඇති වෙයි. තයමත් තම දරුවන්ගේ පැත්ත ගෙන අප්සුගේ කෝපය
සන්සිඳුවන්නට යත්න දරයි. සිය සේවකයා වන ‘මුම්මු’ විසින් කලබලකාර දරු
පරපුර සන්සුන් කරන ලෙස තරයේ කියන්නට පෙළඹෙන තුරු අප්සු ඉවසා සිටින්නට
නැඹුරු වෙයි. ඒ අතර පහර දීමක් බලාපොරොත්තුවෙන් ඉයා, අප්සු වෙත මායාකාර
මන්ත්‍රයක් ජප කරයි. ඉක්බිති අප්සු නින්දට වැටී සිටින අතර ඉයා ඔහු මරා
දමයි. අනතුරුව ඉයා, අප්සුගේ සොහොන මත නිවහනක් තනා සිය බිරිඳ Qදම්කිනා’
සමඟ දිවි ගෙවයි. මුර්දුක් ඔවුන්ගේ කුළුඳුල් පුතා ය.
කතාපුවතේ පසු පස හරියේදී තරුණ දෙවිවරු පිරිසක් අප්සුගේ ඝාතකයන්ගෙන් පළි
ගන්නට කුමන්ත්‍රණය කරති. ඔවුහු ඒ සඳහා තමන් මෙහෙයවන්නට තයමත්ගේ දෙවන
සැමියා වන කින්ගු තෝරා ගනිති. විරුද්ධ පක්‍ෂයේ අනෙක් දෙවිවරු රැස්ව,
තයමක් හා කින්ගුගේ බළ සෙනහට පිළිමල්ව සටන් කරන්නට සිය නායකයා ලෙස
මුර්දුක් තෝරා ගනිති. මුර්දුක් දුටු මතින් කින්ගු බියපත් වෙයි. එහෙත්
පසුබට නොවූ තයමත්, මුර්දුක් සමඟ සටන් වදී. එහිදී මුර්දුක්, තයමක් මරා
ඇගේ සිරුර දෙපළු කර,එක් කොටසකින් අහසත්, අනෙක් කොටසින් පොළොවත් නිමවයි.
ඉක්බිති විශ්වයේ අනෙක් කොටස් ද නිමවා, විශ්වය පාලනය කරන්නට අනෙක්
දෙවිවරුනට පවරා දෙයි.
මේ දේවකතාවේදී විශ්ව සම්භවයට අලුත් පදනමක් දී ඇත. එය බිහිවන්නේ
වැඩිහිටි දෙවිවරුන්ගේ නිරෝධ සුවය බිඳ දැමූ තරුණ දෙවිවරුන්ගේ
ව්‍යායාමයෙනි. මේ කතාවේ අන්තර්ගත දෘෂ්ටිය වන්නේ ශෝකාන්තය හා හිංසන
පිළිවෙතයි. අලුත් ලෝකය බිහිව ඇත්තේ, ලේ උරුමක්කාරයන්ගේ පද්ධතියේ දෙටු
සාමාජිකයන් ඝාතනය කිරීමෙනි.
ගීල්ගමෙෂ් වීර කාව්‍යය බෙහෙවින් සැලකිල්ලට ලක්ව ඇත්තේ උරුකක් නගරයේ
පාලක ගිල්ගමෙෂ් පිළිබඳ කතාපුවතේ ඉදිරිපත් කර ඇති පරිදි, පෞර රාජ්‍යයේ
ජනතාවට මුහුණ පාන්නට සිදු වී ඇති වියවුල් හේතුවෙනි. ගිල්ගමෙෂ්
උරුක්පුරයේ තරුණ, ශක්ති සම්පන්න සහ මවිතකර ලෙස බුද්ධිමත් පාලකයා ය.
සත්තකින් ඔහු විශිෂ්ට ය. මිනිසුන් අතර ඔහුට සමානයෙක් නැත. ඔහු තමා සමඟ
කරට කර එන්නට කිසිවකු නැති හෙයින් නගරයේ නොයෙක් අවුල් ඇති කරයි.
එහෙයින් උරුක් ජනතාවට තමනට සාමකාමී පරිසරයක් උදා කර ගනු පිණිස
ගිල්ගමෙෂ්ට කරට කර සිටිය හැකියකු මවන ලෙස බැගෑපත්ව දෙවියන් යදිති.
දෙවියෝ එන්කිඩුගේ ආකෘතියෙන් ගිල්ගමෙෂ්ට ප්‍රතිමල්ලයකු මවමින් උරුක්
නුවරුන්ගේ ඉල්ලීම ඉටු කරති. එන්කිඩු ශක්තියෙන්, තාරුණ්‍යයෙන් සහ
බුද්ධියෙන් ගිල්ගමෙෂ්ට සමාන වෙයි. එහෙත් එන්කිඩු උරුක් වැසියෙක් නොවේ.
හෙතෙම වන වැසි අශිෂ්ටයෙකි. ඔහුගේ සගයෝ වන සිවුපාවෝ ය.
ගිල්ගමෙෂ්ට, එන්කිඩු ගැන අසන්නට ලැබෙයි. ඔහු එන්කිඩු උරුක් නුවරට
ගෙන්වා ගැනීමට පොළඹවා ගන්නට මං සොයයි. ඉක්බිති එන්කිඩු නොමඟ යවා අත්
අඩංගුවට ගන්නට දිරි ගන්වනු පිණිස උගුල් අටවන්නෙක් ද, ගණිකාවක්ද වනයට
යවනු ලබත්. ගණිකාව එන්කිඩු නොමඟ යවා ඔහු සමඟ දිවා දින හයක් සහ රෑ දින
හතක් ගත කරයි. ඉකිබිති කලින් සිය සගයන්ව සිටි සිවුපාවුන් තමන් අත්හැර
ගොස් සිටින බවත් ඔවුන් සමග කතා කරන්නට තමන් වෙත වූ හැකියාව අහිමි වී
ඇති බවත් එන්කිඩු දැන ගනී.
එවිට ගණිකාව ඔහුට සිය මිත්‍රත්වය ප්‍රදානය කරයි. ඔහුට ඇඳුම් දෙයි.
ඔවුහු කෙමෙන් උරුක්පුරය වෙත පිය නඟති. ඔවුන් එහි පැමිණෙන විට
ගිල්ගමෙෂ්ගේ විවාහ උත්සවය පැවැත්වෙමින් තිබේ. එහිදී එන්කිඩු සහ
ගිල්ගමෙෂ් දෙදෙනා පොරයක් අල්ලති. එයින් එන්කිඩු ජයගනී. එහෙත් මේ
ජයග්‍රහණයේදී තමා හා කරට කර සටන් කරන්නට හැකි අයකු සිටින බව වටහා ගනී.
එමගින් දෙදෙනා අතර දැඩි මිත්‍රත්වයක් ජනිත වෙයි.
ඉක්බිති එන්කිඩු සහ ගිල්ගමෙෂ් දෙදෙනා හුවාවා නම් යෝධයා හෝ රකුසා විනාශ
කරන්නට මහ වනයට යති. එහි සිට ආපසු උරුක් වෙත එන විට ගිල්ගමෙෂ්, අනු නම්
අන්තරීක්ෂාධිපති (අහස් දෙවියා) දෙවියාගේ දුව වූ ඉෂ්තාර් විසින් වරදට
පොළඹවනු ලබයි. ඕ විවාහය පතා ගිලගමෙෂ්ට අත දෙයි. එය පිළිකෙව් කරන
ගිල්ගමෙෂ් ඇගේ නොමනා පැවතුම් සහ ස්වාමිපුරුෂයකු රැක බලා ගන්නට ඇති
නොහැකියාව ගැන අවමන් කරයි. කෝපයට පත් ඉෂ්තාර්, ගිල්ගමෙෂ්ගෙන් පළි ගන්නට
යත්න දරයි. ඕ උරුක්පුරය විනාශ කරන්නට දිව්‍ය වෘෂභයාවයි. එහෙත් ගිලගමෙෂ්
හරික වෘෂභයා මරා දමයි.
පසුව ගිලන් වූ එන්කිඩු කලකින් මරණයට පත් වෙයි. මිහි මත සියලු දේ ජයගත්
ගිල්ගමෙෂ්ට සිය මරණයට පෙර තමා අසරණ වූ බවක් වැටහෙයි. ඉක්බිති,
උත්තපිෂ්තිම්, නම් වූ සිය මී මුත්තකු අමරණීය විය හැකි බලය ගැන දනිති යි
ආසා ඔහු සොයන්නට පිටත් වෙයි. නොයෙක් දුක්, කරදර, අතවර ආදියට මුහුණ දුන්
ගිල්ගමෙෂ් ඈත දිවයිනක ජීවත් වන මී මුත්තාගේ නිවහනට එයි. මහා ජලගැල්මට
අසුව නොමැරී බේරුණු එක ම තැනැත්තා උත්නපිෂ්කිම් පමණි. ඔහු මිහි පත්ලේ
මිහිරි ජලයේ හෙවත් අප්සු තුළ වැවෙන, අමරණීය ජීවිතය ලබා ගත හැකි, කටු
සහිත පැළෑටියක් ගැන ගිල්ගමෙෂ්ට කියයි.
අප්සු තුළට කිම්ද ගිය ගිල්ගමෙෂ් පැළෑටිය සොයා ගනී. එහෙත් ඔහු ආපසු එන
ගමනේ දී සර්පයෙක් පැළෑටිය කා දමයි. එහෙයින් මිනිස්සු අමරණීයත්වය
ලබන්නාහු නොවෙති. එය ලබන්නාහු සර්පයෝ ය. එන්‍යුමා එලිෂ් සහ ගිල්ගමෙෂ්
යන මේ පුරාණෝක්ති දෙකෙහි ම දැක්වෙන්නේ මානව සංහතියේ පැවැත්ම තුළ
ප්‍රමුඛත්වය ලැබෙන්නේ මරණයට බවයි. එන්‍යුමා එලිෂ්හි මරණය නම්, අලුත්
විශ්වකට මංපාදන නිර්මාණාත්මක ශක්තියයි. ගිල්ගමෙෂ්හි මරණය යනු මනුෂ්‍ය
ජීවිතයේ සර්වව්‍යාපී අනිවාර්ය ඉරණමයි. තව ද කතා වස්තු දෙක තුළට මරණය
ගැන දක්නට ලැබෙන්නේ එය මානව පැවැත්මේ පරම අන්තය වන බවයි.
ඊජීප්තියානු දේවකතා පුරාණය – මතකයට නොනැඟිය හැකි කලක පටන් ඊජීප්තුව
භූමි ප්‍රදේශ දෙකක් ලෙස හඳුනා ගනු ලැබ ඇත. එනම් කාන්තාරයක් බඳු රතුබිම
හෙවත් ඉහළ ඊජීප්තුව හා සරු පසින් යුත් කළුබිම හෙවත් පහළ ඊජීප්තුව
යනුයි. අද පවා ඊජිප්තියානු ජනගහණයෙන් 99% ක් ජීවත් වන්නේ කළුබිම් පෙදෙස
හෙවත් පහළ ඊජිප්තුවේ ය. මේ ද්විත්ව භූමියේ වැදගත්කම භූගෝලීය හා ප්‍රජා
විද්‍යාත්මක තත්ත්වය ඉක්මවා යන්නක් විය. එය පුරාතන ඊජිප්තියානුවන්ගේ
සංස්කෘතියේ ඉතා ඈත ආරම්භයේ දීම මූලික පදනම් හේතූක කරුණක් වෙයි. එය
ඔවුන්ගේ ආගම හා පුරාණ දේව කතා තුළ පැහැදිලි විවරණයක් ලෙස දක්නට ලැබේ.
පුරාතන ඊජිප්තියානු සංස්කෘතිය, පුරාණ දේවකතාව හා ආගම, ස්ථාවර එකමුතුවක්
තුළ ඇතුළත් රිද්මයානුකූල ව්‍යුහයක් සමඟ වූ ද්විත්වයක් ලෙස පැහැදිලි කළ
හැකි ය. පුරාතන ඊජිප්තු සංස්කෘතිය වැඩුණේ මිසපොතේමියාවට වෙනස්
ආකාරයෙනි. මිසපොතේමියානු සංස්කෘතිය වැඩුණේ ගංගා දෙක ඉවුරු ඔස්සේ බලවත්
පෞර රාජ්‍ය කීපයක් ඇසුරු කර ගෙන ය. ඊජීප්තුවට තිබුණේ කැපී පෙනෙන එක්
වැදගත් ගඟක් වන නයිල් ය.
එහි ඉවුරු දෙපස එක පෙළට කුඩා ගම් වැඩී ගියේ ය. මේ එක් එක් ගැමි සමාජයක්
එයට ආවේණික දේවකතා පුරාණයක් ප්‍රකට කළේ ය. එහෙත් මේ දේවකතා පුරාණෝක්ති,
ගැමි සමාජ තුළ ආතතියක් ඇති කළේ නැත.
පුරතන ඊජීප්තුවේ නම්‍යතාව වූයේ එක්සත්කම හා ස්ථාවර දැනුම වෙත මිස
විරෝධය සහ අවිනිශ්චිතතාව වෙත නොවේ. පැරණි ඓතිහාසික හා ප්‍රාදේශීක
සම්ප්‍රදායයන් කෙරෙහි සැලකිල්ලක් දක්වන අතර මේ ආකල්පයට උදාහරණ සපයන
කෘතියක් නම් ශවාකා පර්වතයේ වාර්තා කර ඇති මෙම්පීස් දේව ධර්මයයි.
මේම්පියානු දේවධර්මයෙන් ඉදිරිපත් කැරෙන්නේ ක්‍රි.පූ. 3000 පමණේ දී
මෙම්පීස්හි අලුත් අගනුවරක් ඉදි කරවූ මේනස්ගේ ඉගැන්වීම් ය. මේ දේව
ධර්මයේ සියලු ප්‍රාදේශීය හා ඉහත දැක්වුණු දේවකතා පුරාණයේ ‘තාහ් දෙවියන්
තුළ තමන්ගේ දේව ධර්මය හා බැඳුණු අරමුණු වෙත ගෙන එනු ලබත්.
මේ ශාඛාකා කෘතිය, ලෝකයේ සදාතනික ආඥාව තුළ ක්‍රියා සන්තතියක් ලෙස
ඊජීප්තු දේශයේ එක්සත්කම හා විශ්ව නිර්මාණය විස්තර කැරෙන විශ්ව
විද්‍යාවක් වේ.
තාග් දෙවියෝ සිතෙහි පැවති හැඟීම් අනුව හැම දෙයක් ම මවා ඉක්බිති ඒ
සියල්ල සිය උච්චාරණයෙන් ප්‍රකාශ කරති. එනම්, සිය බසින් නම් කරති. ඒ
අනුව විශ්වය, ජීවීන්, සාධාරණත්වය, සුන්දරත්වය සහ අන් සියලු දේ මවා නම්
කරනු ලැබී ය. දෙවියන් මවනු ලැබුවේත් ඒ හැටියෙන්ම ය.
පළමුවෙන් තාහ් දෙවියන්ගේ සිතෙහි සංකල්ප ලෙස ජනිත වූ ඒවා ලෝකයේ ද්‍රව්‍ය
ආකෘති බවට පත් විය. එනම්, පාෂාණ, ලෝහ දැව ආදිය තාහ් විසින් මවනු ලැබුවේ
ඒ ආකාරයෙනි.
මෙම්පියානු දේව ධර්මය, හර්මෝපොලිස්හි මැවිල්ලේ දැක්වෙන්නාක් වැනි පැරණි
ප්‍රාදේශීය මත පිළිගනී. ඒවායින් අති පුරාණ ජල්ලිය ජනාවාස කළ මහා
පෙරළියේ ආදි කාල්පිත ජීවීන් අටදෙනාගෙන් සිදු කරන ලද මැවිල්ලේ
ක්‍රියාමාර්ගය විස්තර කැරෙයි. එහි පිරිමි හතරදෙනා මැඬියෝ ය. ගැහැනු
හතරදෙනා නෑයින්නෝ ය. ඔවුහු යුගළ හතරකි. නුන් සහ නවුනෙත් යුගළ, ආදි
කල්පිත ද්‍රව්‍යය හා අවකාශයයි. කුක් සහ කවුකෙත් සීමා රහිත සහ විශාල බව
යි. හුහ් සහ හවුහෙත් අන්ධකාරය හා ගුප්තභාවයයි. අමොන් සහ අමවුනෙත්
සැඟවුණු සහ වැසුණු අයයි. මේ අට විසින් හිරු ජනිත කැරේ. මේවා මෙම්පියානු
දේවධර්මයේ කාහ් දෙවියන් කෙරෙන් ඔහු විසින්ම ජනිත කරනු ලබති යි කියනු
ලැබේ.
මෙම්පියානු දේවකතා පුරාණයේ තවත් දේවකතා කොටසක්, හෝරස් සහ සෙත් යන
දිව්‍යයන් පිළිබඳ පැරණි විෂය ධාරාවෙන් උපුටා ගෙන ඇත. මේ දෙවිවරු දෙදෙනා
ඊජිප්තුවේ ආධිපත්‍යය සඳහා සටන් වදිති.
මෙහිදී ගෙබ් හෙවත් පෘථිවිශ්වර ලෙස සැලකෙන තවත් දෙවියෙක් අතරමැදියා ලෙස
ක්‍රියා කරයි. ගෙබ් පළමුවෙන් රට දෙකට කොට ඔවුන් දෙදෙනා අතර බෙදා දෙයි.
ඉක්බිති යළි සිය අදහස් වෙනස් කර මුළු රටම හෝරස්ට පවරයි. මෙම්පියානු
දේවධර්මයෙහි මේනස් නමැති පාරාවෝ, හෝරස්ට අනන්‍ය ලෙස හඳුනා ගෙන ඇත. එසේ
ම එහිදී ගෙබ්, තාහ් දෙවියාට සමජාත ලෙස සලකා තිබේ.
එහෙත් තවත් දේවකතා සන්දර්භයක ගෙබ් පෘථිවිශක්ති වන අතර පරමාධිපති ද
වෙයි. ඔහු ප්‍රථම නිර්මාණාත්මක මැවිල්ලට සංකේතය වන අති පුරාණ පෘථිවි
ස්කන්ධයයි. ඊජීප්තියානුනට අනුව පාථිවි දෙවියා ස්ත්‍රී දේවතාවියකට වඩා
පුරුෂ දේවතාවකු ලෙස සැලකේ.
පැරණි දේවකතා රාජ්‍යයේ අතුම් හෝ අතෙන් හෙවත් හිරු නිතර ම ප්‍රථම
මැවුම්කරුවා ලෙස පෙනී සිටී. ඔහු තමාගෙන් ම ෂු හෙවත් වායුවත්, තෙෆේනුත්
හෙවත් තෙතමනයක් මවයි. පසුව ඒ දෙක පිළිවෙළින් ගෙබ් සහ නුත් හෙවත්
පොළොවත්, අහසත් නිර්මාණය කරයි. ඔසිරිස්, අයිසිස්, සෙත් හා නෙප්තිස්,
ගෙබ් සහ නුත්ගේ දරුවෝ ය. මෙසේ ෂු, තෙෆේනුත්, ගෙබ් සහ නුත් යන පළමු වැනි
දිව්‍යයෝ හතරදෙනා විශ්වය සංස්ථාපනය කරති. ඔසිරිස්, අයිසිස්, සෙත් සහ
නෙප්තිස් නම් හතරදෙනා මිනිසුන් හා විශ්වය අතර මැදිහත්කරුවෝ ය. ඔසිරිස්
මළ රජුට සංකේතයකි. ඔසිරිස්ගෙන් පසු සජීවී පාලකයා ලෙස හෝරස්ගේ ආකෘතියෙන්
එම පදවියට පත් වූයේත් ඔසිරිස් මය.
ඔසිරිස්ගේ මෙහෙසිය වූවා අයිසිස් ය. සෙත් විසින් කපා කොටා ඔසිරිස් ඝාතනය
කැරණි. ඉක්බිති අයිසීස් විසින් ඔසිරිස්ගේ කැබලි එක් කොට සකස් කරන ලදී.
එමඟින් ඔසිරිස්ට අමරණීයත්වය ලබා දෙමිණ. මේ කාරියේදී ඇගේ උපකාරිකාව වූවා
නෙප්තිස් ය. නෙප්තිස්, සෙත්ගේ මෙහෙසියයි. හෝරස්, ඔසිරිස්ගේත්,
අයිසිස්ගේත් පුතා ය. අන්තිමට හෝරස්, සෙත් පරදවයි. සෙත්, නිර්මාණ
විරෝධත්වයට හෝ ක්‍රම විරෝධත්වයට සංකේතයකි. සෙත් ඉහළ ඊජීප්තුවේ
කාන්තාරයට ඥාතීත්වයක් දක්වයි. වලාකුළු දෙවියකු ලෙස ඔහු ඇතැම් හෙවත්
හිරුට සතුරු ය.
ඊජිප්තියානු දේවකතා පුරාණයට භ්‍රමණ කේන්ද්‍රය සේ පෙනෙන්නේ ඥාතිත්වය
වුවත්, ප්‍රධාන දේවකතා පුරාණෝක්තික තේමාව වන්නේ විශ්ව නිර්මාණය,
ප්‍රජනනය, නව ජීවනය සහ ඉහළ හා පහළ ඊජිප්තු දෙකෙහි එක්සත්කමයි. ලෞකික
පාරාවෝ මේ ක්‍රියා සන්තතියට සංකේතයක් පමණි.
මේ ක්‍රියා සන්තතීයේ පසුබිමේ පිටිහි ශක්ති හිරු, පොළොව හා වෙසෙසින්
සතුන් අතර ගව සම්පත තුළ වෙතියි විස්තර කරනු ලැබේ.
භාෂාව හා ශක්තිය පිළිබඳ සංකේත ඕනෑ ම විටක එකකින් අනිකට පරිවර්තනය කළ
හැකි වෙයි. උදාහරණයක් ලෙස හිරු, ගව පට්ටියට සංකේත කරණයක් තුළ හෝ පොළොව,
හිරුට සංකේතකරණයක් තුළ හෝ විස්තර කළ හැකි ය. අලුත් දේවකතා රාජ්‍යයේ
දේවධර්මය තුළ, පරමාධිපති දෙවියා වූයේ අමොන් රි ය. ඔහු තීබානු හා
හර්මොපොලියානු මැවුම්කාර දෙවියා සමඟ හිරුදෙවි රාගේ (අතුම්ගේ පදවියේ
හිමිකරු) තදාත්මිකරණයකි. |