නව සෑ රදුන්ගේ කොත නිරාවරණය කෙරෙන
ගල්කිස්ස සමුද්‍රාසන්න විහාරය
සටහන
එස්. වී. ඩී. කේසරලාල් ගුණසේකර -
ප්රතිපක්ෂ නායක - දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
විහාර මන්දිරයේ සූවිසි විවරණ පිළිබිඹු කරන ප්‍රතිමා |
අභිනව චෛත්‍යරාජයාණන් |
වසර එකසිය පනහකටත් වැඩි ඉතිහාසයකට හිමිකම් කියමින් බෞද්ධ ප්‍රබෝධය
වඩවාලීමට දායක වූ සමුදාසන්න විහාරය කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල
ගල්කිස්ස මහනගරසභා බල ප්‍රදේශයේ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ
පිහිටා තිබේ. මුහුදට ඉතා ආසන්නයේ පිහිටා ඇති නිසා මෙයට සමුද්‍රාසන්න
විහාරය ලෙස නම් කර ඇත.
වසර 1845 දී පොල් අතු සෙවෙලි කළ කුඩා පැලකින් ආරම්භය සටහන් කළ මෙම
විහාරය අද වන විට සකලාංගයන්ගෙන්ම සමන්විත පරිපූර්ණ විහාරස්ථානයක් බවට
පත් වී තිබේ. සංඝාවාස මන්දිරය, විහාර මන්දිරය, ධර්මශාලාව භික්‍ෂු
ගිලන්හල (රෝගාතුර භික්‍ෂූන් වහන්සේට වැඩ විසීමට සාදන ලද මෙම විශේෂ
ගොඩනැගිල්ල අද දක්නට නැතිවීම කණගාටුවකි). මෙන්ම කොත් පැළඳවීමට නියමිත
චෛත්‍යය රාජයාණන් ද විහාරස්ථානය ශොභාවන් කරලීමට දායක වෙයි.
සුවිසීවිවරණ පිළිම වහන්සේ ජීව මාන ප්‍රමාණයෙන් නිර්මාණය කර බුද්ධ
චරිතය, විවිධ ජාතක කතා, අපාය පිළිබිඹු කරන සිතුවම් සම්ප්‍රදායික මකර
තොරණ ආදී නිමැවුම් වලින් පැරැණි විහාරමන්දිරය අලංකාර වී තිබේ. ඒ
සිතුවම් අතර බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ශ්‍රී දේහය සඳුන් දර සෑය මත
ගිනිදල්වන අවස්ථාව සිතුවමට නගා තිබීම ඉතා දුර්ලභ සිතුවමක් ලෙස ප්‍රකටය.
මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා අංශාධිපති මහාචාර්ය නිමල් පී ද
සිල්වා මහතා පවසන්නේ මෙම සිතුවම අතිශය දුර්ලභ ගනයේ සිතුවමක් බවය. එහි
ඇති වටිනාකම නිසාම එහි සංරක්‍ෂණ කටයුතු විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා
අංශය මගින් සිදු කිරීම විශේෂයකි.
මෙහි විහාර සිතුවම් 1880 – 1910 න් අතර වසර තිහක කාලය තුළ නිර්මාණය කර
ඇතැයි මහාචාර්ය නිමල් පී ද සිල්වා මහතාගේ විශ්වාසයයි. නුවර යුගයෙන්
කොළඹ යුගයට මාරුවන එම යුගය ලාංකේය සිතුවම් කලාවේ සංක්‍රාන්ති කාලය ලෙස
සැළකේ. මෙම කාලය තුළ ඉන්දීය ජන කොටසක් වූ “ඔලී” නැමැති ජන කොටස
මුහුදුබඩ පළාත්හි විහාර සිතුවම් කලාවේ නියැලුණු බවට සාධක පවතී. ඒ අනුව
මෙම විහාරයේ සිතුවම් ද එම “ඔලී” නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණයන් බව
විශ්වාස කෙරේ.
ඉහත විහාරමන්දිරයේ නිර්මාණයන් මෙන්ම ඉදිකිරීම් සඳහා දායකත්වය ගෙන
කටයුතු කර ඇත්තේ එවකට කොළඹ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් වූ ඊ.ඩබ්ලිව්.
බැස්ටියන් හා විලියම් පේදිරිස් යන මහතුන් විසිනි. මූලාරම්භය එසේ වූවද
වත්මනෙහි මෙම නිර්මාණයන් නඩත්තු කරන්නේ ප්‍රදේශවාසී බොදු සැදැහැති
දායකකාරකාදීන්ගේ පිහිටෙනි.
අමරපුර සිරි ආරියවංශ සද්ධම්ම යුක්තික නිකායට අයත් විහාරස්ථානයේ සංඝ
පරම්පරාවේ මූලිකයා වන්නේ බෝධීගම ධම්මරතන හිමියන් ය. ඉන් පසු 1845 වසරේ
සිට පලහැල බුද්ධසෝම හිමියන්, අමරපුර සද්ධම්ම යුක්තික මහා නිකායේ කළුතර
පළාතේ මහානායක වූ ගිරිකොළ පඤ්ඤාසේන නා හිමියන් ගිරිකොල චන්ද්‍රනන්ද
හිමි, ගිරිකොල සෝර්ත හිමි ආදී වශයෙන් මෙම සංඝ පරම්පරාවේ සුවිශේෂී
නාමයන් විහාර ඉතිහාසයේ ලියැවෙන අතර, වර්තමානයේ මෙහි විහාරාධිපතිත්වය
දරන්නේ ගිරිකොළ නන්දන හිමියන් ය. වත්මන් විහාරාධිපතින් වහන්සේ පැරැණි
ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරමින් අලුත් ඉදිකිරීම් එක්කරමින්
විහාරස්ථානයේ පැවැත්මට, ප්‍රවර්ධනයට විශාල කාර්යයක් ඉටු කරමින් සිටිති.
එසේම ගල්කිස්ස මහ හෝටලයේ දායකත්වයෙන් වෙරළාසන්නයේ පැල්පත් වාසී
දරුදැරියන් වෙනුවෙන් ළදරු පාසැලක් පවත්වාගෙන යාමත් සිරි බුද්ධසෝම දහම්
පාසල නොකඩවා ඉදිරියට පවත්වාගෙන යාමත්, ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ද
‘බුඩිස්ට්වේ’ නම් දහම් පාසලක් මෙන්ම සමුද්‍රාසන්න විහාරස්ථ ‘සියාමි’
සුභ සාධන පදනමේ අනුග්‍රහයෙන් අගලවත්ත ගිරිකොල ග්‍රාමයේ ළදරු පාසල්
දරුවන් වෙනුවෙන් ඉංගී‍්‍රසි අධ්‍යාපනයට දොරකවුළු විවරකර දීමත් වත්මන්
විහාරාධිපතීන් වහන්සේගේ අතින් ඉටුවන සමාජ සේවාවන් ගෙන් සමහරෙකි.
විවිධ හේතූන් නිසා ඉටු කිරීමට නොහැකිවූ විහාර භූමියට මහත් අඩුවක්ව
පැවැති චෛත්‍ය රාජයාණන් වහන්සේ ගොඩ නංවා ඇත්තේ වත්මන් විහාරාධිපති
නන්දන හිමියන්ගේ අනුශාෂකත්වයෙන් ගල්කිස්ස සමුද්‍රාසන්න පාරේ ලක්‍ෂමන්
පෙරේරා මහතා හා ඔහුගේ සහෝදර සහෝදරියන්ගේ ධන පරිත්‍යාගයෙනි.
අභිනව චෛත්‍යරාජයාගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යකර්මය නොවැම්බර් මස
පහළොස් වැනි සෙනසුරාදා සවස 3.30 ට යෙදෙන සුබ මුහුර්තයෙන් අමරපුර මහා
නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත දෙවුල්දෙන ඤාණිස්සර
මාහිමිපාණන් වහන්සේ හා සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ග
මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු
කිරීමට නියමිත ය.
|
|
පැරැණි
සංඝාවාසය |
නව
විහාර මන්දරය |
[බුදුසරණ: 06-11-2008 ]
|