Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉල් මස පිරිනිවි දෑගසවුවන් වහන්සේ

අන්තිම වස බේලුව ගමෙහි වාසය කළ අප තථාගතයන් වහන්සේ සැවැත්නුවරට වැඩම වූ කල්හි; දිනක් සැරියුත් මහ රහතන් වහන්සේගේ උදරාබාධය බරපතලව නැගී සිටියේය. මාරාන්තිකව පැමිණි උදරාබාධය සංසිඳුවා ගනිමින් සමවතට සමවැදි සැරියුත් තෙරණුවන්ට; තමන් වහන්සේගේ ආයුෂ තව සතියකට පමණක් සීමාවන බව පෙනී ගියේ ය. දෑගසවුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පෙර පිරිනිවන්පෑම ධර්මතාවකි. “එබැවින් පිරිනිවීමට අවසර දෙනු මැනවි”යි බුදුරදුන් හමුවේ ආයාචනය කළ සැරියුත් තෙරුන්ට, ඊට අවසර ලැබිණි.

බුද්ධ නියමය පරිදි සිවු පිරිසට ම දහම් දෙසූ සැරියුත් තෙරණුවෝ; පිරිනිවීමට සැවැත්නුවර ජේතවනාරාමයෙන් පිටව යන අවස්ථාවෙහි සුවිශාල පිරිසකගේ පසුගමන් උපහාරයෙන් පූජා ලැබීමට භාග්‍යවන්ත වූහ. එදා ඉල් මස පුර අටවක් දිනයකි. සාරක්ෂප්පකාසීනි අටුවාවේ පැවසෙන පරිදි; “මහණෙනි, ඔබලාගේ වැඩිමහලු සොහොයුරා ඔබලාගෙන් වෙන්ව යන අවසන් මොහොතේවත්, දෙටු සොහොයුරා පසුපසින් ගමන්කර උපහාර දක්වන්න”යි බුදුහු නියම කළහ. බුද්ධ නියමය පරිදි භික්ෂු සංඝරත්නය මෙන්ම භික්ෂුණීහුද උපාසක උපාසිකාවෝද සැවැත්නුවරින් නික්මෙන තෙක් උන්වහන්සේට පසු ගමන් කළහ.

පාගමනින් ම නාලක නම් බමුණුගම බලා වැඩම වූ සැරියුත් තෙරණුවන් ප්‍රධාන පන්සීයක් මහරහතන් වහන්සේ; ඉල් මස පුර පසළොස්වක් දිනයෙහි නාලක ගමේ සැරියුත් හිමි, උපන් ගෙදරට වැඩම කළහ. වයෝවෘද්ධ රූපසාරී බැමිණිය තම වැඩිමල් පුතු දැක සතුටුව, ඔහු උපන් කුටිය සකස්කර දුන්නීය. ඇයගේ සෙසු පුතුන් වූ උපසේන, රේවත හා චුතුත් දියණිවරුන් වූ චාලා, උපචාලා, සිසුපචාලාත් යන සයදෙනාම ගෞතම බුදුසසුනේ පැවිදිව මහරහත් බව ලබා නිවනින් සැනසුම ලැබුවත්, රූපසාරී බැමිණිය තවමත් මිසදිටුවම සිටියාය. මහා බ්‍රහ්මයා අදහමින් දැඩි වු මිසදිටු අදහස්වල ගැලී සිටි මෑණියන් ඉන් මුදවා ගැනීමේ අභිලාෂයෙන්ම සැරියුත් මාහිමියෝ පිරිනිවීමට සිය උපන් ගෙය තෝරාගත්හ. සත්පුරුෂයෝ මුළුමහත් දිවියම පරාර්ථය පිණිසම කැපකරති. (පරෝපකාරාය මිදං සරීරං)

එදින කත්තික පුණ්ණමී දිනයයි. එනම් ඉල් පුරපසළොස්වක් පොහෝ දිනයයි. එදින සන්ධ්‍යාවේ සැරියුත් හිමියන්ගේ උදරාබාධය (ලෝහිතපක්ඛන්දිකා රෝගය) බලවත්ව නැගී සිටියේය. චුන්ද හා අනුරුද්ධ යන මහතෙරවරු උපස්ථාන කරමින් සිටි අවස්ථාවෙහි, සතරවරම් දෙවියෝ සැරියුත් තෙරුන්ට උපස්ථානයට පැමිණියහ. ඉන්පසු ශක්‍ර දේවේන්ද්‍රයාද මහා බ්‍රහ්මයාද උපස්ථානයට පැමිණියත් ඔවුන් සැමගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ සැරියුත් මා හිමියෝ “මාගේ භික්ෂුන් වහන්සේ මට උපස්ථාන කරති. නුඹලා නොපමාව පිටව යන්න”යි වදාළහ. (සාරත්ථප්පකාසිනී අටුවාව) මෙම දෙවියන්ගේ පැමිණීම දේවතා එළි, ආලෝක දහරා ලෙස දුටු රූපසාරී බැමිණිය, මධ්‍යම රාත්‍රීයේ දී සැරියුත් තෙරුන් අසාධ්‍යව සිටින කුටියට ගොස් ඒ පිළිබඳ විමසුවාය. තමා මෙතෙක් අදහමින් සිටි මහා බ්‍රහ්මයා පවා තම පුතුට උපස්ථානයට පැමිණි බව ඇසූ ඇය, මගේ පුතාගේ ශාස්තෲන් වහන්සේ කෙතරම් ශ්‍රේෂ්ඨදැයි සිතුවාය. මෙසේ ශ්‍රද්ධාවෙහි පිහිටි ඇගේ සිත දුටු සැරියුත් මා හිමියෝ; නව අරහාදී බුදුගුණ සඳහන් ධර්මදේශනාවක් මෑණියන් සතුටු කරමින් පැවැත්වූහ. දේශනාවසානයෙහි ඇය දහසක් නයින් ප්‍රතිමණ්ඩිත උතුම් සෝවාන් ඵලයෙහි පිහිටියාය. මෙසේ තම මෑණියනුත් සසර දුකින් මුදවා ආර්ය මාර්ගයට ප්‍රවිශ්ට කරවු ඒ උතුම් සත්පුරුෂයාණෝ ඉල් පුන් පොහෝ දින රාත්‍රිය ගෙවීයත් ම අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක. (සෙය්‍යථාපි භික්ඛවෙ ජනෙත්තී එවං සාරිපුත්තො සාරිපුත්තෝ සෝතාපත්තිඵලෙ විනෙති)

රූපසාරි බැමිණියගේ ප්‍රධාන දායකත්වයෙන් සැරියුත් තෙරුන්ගේ ආදාහන උත්සවය ඉතා උසස්ව පැවැත්විණි. සත් දිනක් පුරා පැවැති පූජාවලින් අනතුරුව ශ්‍රී දේහය දර සෑයකට නංවා ආදාහනය කරවු පස්; සියලුම ධාතුන් වහන්සේ චුන්ද හිමියන් විසින් සියතින් එකතුකර පෙරහන් කඩයට එකතු කරගන්නා ලදී. ඒ ධාතු පෙරහන් කඩත්, සැරියුත් හිමිගේ පරිභෝග පිරිකරත් (පා සිවුරු) රැගෙන සැවැත්නුවරට වැඩම වූ චුන්ද හිමි ප්‍රධාන පන්සීයක් තෙරවරු; සැරියුත් මහ රහතුන්ගේ පිරිනිවීම බුදුරදුන්ට සැළ කළහ. සැරියුත් මාහිමිගේ ගුණ පැවසූ බුදුපියාණන් වහන්සේ ඒ ධාතුන් වහන්සේ රන් කරඬුවක බහා රාජානුග්‍රහයෙන් සෑයක් කරවා එහි නිධන් කර වූහ.

මේ සමයේ දී මුගලන් මහරහතන් වහන්සේ රජගහ නුවර, ඉසිගිලි පර්වතය සමීපයේ වූ කාලසිලාවෙහි වැඩ විසූහ. රජගහනුවර වැසියෝ මුගලන් මාහිමියන්ගේ සත්පුරුෂ ආශ්‍රය නිසා පින්දහම් හි වඩ වඩාත් නියැලුණහ. දිව්‍යලෝක චාරිකාවෙහි හැසිර පින්කිරීමේ ආනිසංස ජනයාට ගෙනහැර දැක්වූ මුගලන් මහ තෙරණුවෝ නිරයේ හා පර්වත චාරිකාවේ හැසිර අකුසල් කිරීමේ ආදීනව ද ප්‍රත්‍යක්ෂ ලෙසම පෙන්වා දුන්හ. මුගලන් මාහිමි නිසා රජගහ නුවර අන්‍යතීර්ථකයන්ගේ මිසදිටු ආගමික කටයුතු අඩපණ විය. ඔවුහු මුගලන් මහතෙරුන් මැරීමට තීරණය කළහ. තම ශ්‍රාවක ගෙවල්වල සම්මාදම් කරමින් කහවණු දහසක් ලබාගත් අන්‍යතීර්ථකයෝ පන්සිය දෙනෙකු, කුලියට මිනිසුන් මරණ සොර කණ්ඩායමකට එම මුදල අල්ලස් වශයෙන් දී “වහාම කාලසිලාවේ සිටින මුගලන් තෙරුන් මරා සුණුවිසුණු කරව“යි පැවසූහ. පල් සොරු දින දෙකක් කුටිය වටකරගෙන පැමිණියත් මුගලන් මහරහතන් වහන්සේ සූක්ෂම ශරීර මවාගෙන පිටතට වැඩම කළහ. තෙවැනි වර ද පල් සොරු පැමිණියහ. එවිට මෙය නොවැළැක්විය හැකි පාපකර්මයක විපාකය බව දුටු මුගලන් මහ තෙරණුවෝ, සොරුන්ට කැමැත්තක් කිරීමට ඉඩ දුන්හ. දඩු මුගුරුගෙන තදබල ලෙස මුගලන් මහ රහතන් වහන්සේට පහර දී හිසද පලා ඇට කුඩුකර (සුණුසහල් වන සේ) පරඬැල් පතක් මෙන් වු ශරීරය පඳුරක් මතට දැමූ සොරු පලා ගියහ. සෘද්ධි බලයෙන් විසිරුණු ශරීරාංග එකතු කරගත් මුගලන් තෙරණුවෝ, අහසින් සැවැත්නුවරට වැඩමවා බුදුරදුන්ගෙන් පිරිනිවීමට අවසර ගත්හ. බුදුරදුන්ගේ ඉල්ලීමෙන් භික්ෂු පිරිසට දහම් දෙසූ උන්වහන්සේ නැවත කාලසීලාවටම වැඩමවා අනුපදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවි සේක. එම පිරිනිවීම සැරියුත් පිරිනිවීමෙන් දින පහළොවකට පසුව සිදුවිය. එනම් ඉල් අව පසළොස්වක් (අමාවක) පොහෝ දින මුගලන් මහ රහතන් වහන්සේ පිරිනිවි සේක. මෙසේ අවාසනාවන්ත මරණයක්, සෘද්ධිමතුන් අතුරින් අග්‍ර වූ අග්‍රශ්‍රාවක මුගලන් මහතෙරුන්ට හිමිවීම, භික්ෂුන් වහන්සේලාගේ මවිතයට හේතු වු බැවින් භවයෙන් වැසුණු ඒ පාපකර්මය පිළිබඳ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. (ධම්මපදට්ඨ කතාව)

අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ වෙතින් අගසවු තනතුර සඳහා විවරණ ලබා සසර සැරිසරා එන සමයෙහි, බරණැස නුවර කුල පුත්‍රයෙක්ව උපස් මුගලන් තෙරණුවෝ මාපියන්ට නිසිසේ උවටැන් කළහ. පසුව විවාහ වූ ඒ කුල පුතු බිරියගේ් බසට අවනතව නිවැරදි තම දෙමාපියන් පිළිබඳව තරහ (පටිඝ) සිතින් යුක්තව ක්‍රියා කළේය. දිනක් කැලයකට ගෙනගොස් ‘පල්සොරු පහරදේ’ යැයි පවසමින් තම දෙමාපියන්ට තදබල ලෙස පහරදුන් ඒ කුල පුත්‍රයා, මාපියන්ගේ් සිරුරු පරඬැල්පත් වන සේ තලා පඳුරක් මතට දමා නිවෙසට ගොස් බිරිය හා පී‍්‍රතියෙන් විසීය. අගසවු තනතුර පතා පැමිණියත් පාපී භාර්යාවක් නිසා තමන් වහන්සේට වූ විපත්තිය මොග්ගල්ලාන ථෙරපදානයේ මෙසේ දැත්වේ.

පාපමිත්තෝපනිස්සාය - කාමරාග වසං ගතො
මාතරං පිතරඤ්චාපී - ඝාතයිං දුට්ඨමානසො

පාපමිත්‍රයන් ඇසුරෙන් කාමරාගයේ වසඟයට ගියෙමි. දුෂ්ට සිතින් මම මගේ ආදරණීය මවත් පියාත් නැසුවෙමි.

යං යං යෝනුපපජ්ජජාමී - නීරයං අථ මානුසං
පාපකම්ම සමංගිත්තා - භින්නසීසො මරාමහං

මම නිරයේ හෝ මිනිසුන් අතර හෝ යම් යම් යෝනියක (අත්බවෙක) උපදිම්ද, ඒ පාප කර්මයේ විපාක වශයෙන් හිස බිඳී මරණයට පත්වෙමි.

ඉදං පච්ඡිමකං මය්හං - චරිමො වත්තතෙ භවො
ඉධාපි එදිසං මය්හං - මරණකාලෙ භවිස්සති

මේ භවය මගේ් සසර ගමනේ අවසානය යි. අන්තිම ආත්මභාවය මම දරමි. මේ අත්බවෙහි ද මරණ කාලයේදී එම කර්ම විපාකය මා වෙත එළඹේ.

මුගලන් මහ රහතන් වහන්සේ සෘද්ධිමතුන් අතුරෙන් අග්‍ර වූහ. වමත් සවු වශයෙන් භික්ෂූ පිරිසට නායකත්වය දුන්හ. සාමාන්‍ය ජනයා වෙත පි‍්‍රය භාවයෙන් කටයුතු කළහ. ගෞතම බුදු සසුනේ් පහළ වන සියලුම භික්ෂූන් වහන්සේලා ප්‍රධාන සිවුවනක් පිරිසේම පියාණන් වහන්සේ ය. (සෙය්‍යථාපි ජාතස්ස ආපාදෙතා එවං මොග්ගලානො....මොග්ගල්ලානො උත්තමෙත්‍ථ විනේති) එබඳු උත්තම වු ගෞතම බුදු සිසුනේ දෙවැනි ශ්‍රාවක වූ මුගලන් මහරහතුන්ට අවාසනාවන්ත මරණයක් හිමිවූයේ පවිටු මිත්‍ර ඇසුර නිසයි. පවිටු තිරිසන් බිරියක් ඇසුරට පත්වීමෙන් උන්වහන්සේගේ පින්බර දිවිය වැනසී ගියේ ය. කාමරාග සංයෝජනයට වහල් වීමෙන් මේ අවාසනාවන්ත තත්ත්වය උදාවිය. කාමරාග නම් රෝගය (මානසික රෝගය) වැළඳී සිතට යහපත අයහපත තේරුම් ගත නොහැක. හොඳ නරක නොතේරේ. ලෝකපාලක ධර්මවන ලැජ්ජා, භය දෙකද කාමරාගී පුද්ගලයා කෙරෙන් දුරුවේ. ඔහු කාමරාගයට වසඟ වීමෙන් තමාට මෙලොව ජීවය ලබාදුන් දෙමාපියන් පවා නැසීමට, හැරදැමීමට යොමුවේ. තමා ලබාගත් උතුම් මනුෂ්‍ය සම්පත්තිය වනසා, අපව තිරිසන් භාවයට පමුණුවන කාමරාගයෙන් වෙන්වීමට වෙහෙසෙමු.

‘මහණෙනි! සැරියුත් මුගලන් දෙනම පිරිනිවන් පෑ කල්හි මට මේ මුළු භික්ෂූ සංඝයාම හිස්වූවාක් මෙන් පාලු වූවාක් මෙන් දැනෙයි. අඩු වූවාක් මෙන් දැනෙයි. මහණෙනි! යම් දිශාවක සැරියුත් මුගලන් දෙනම වැඩ සිටිනවා නම් මගේ ඒ පිරිස හිස් නොවෙයි. මා ඒ දිශා ගැන බැලිය යුතු ද නොවෙයි’ (සංයුක්ත නිකායේ උක්කචේල සූත්‍රය)

මෙවන් ඉල් මසෙක උක්ත උදාර චරිත දෙක අපි නැවත නැවත සිහිකරමු. එසේ සිහි කරමින් පාප මිත්‍ර ආශ්‍රයෙන් මිදී (අසේවනා ච බාලානං) සත්පුරුෂ ආශ්‍රයට යොමු වෙමු. (පණ්ඩිතානං ච සේවනා) එමෙන්ම රාගී සිතුවිලි මැඬ කාමරාගය බිඳලා විරාගී සිත් ජනනයට යොමු වෙමු. සත්පුරුෂ ඇසුරත්, විරාගී කුසල් සිත් ජනනයෙනුත් උතුම් වූ සැනසීමට වෙර දරමු. පමා නොවෙමු.

ඔබ සැමට තෙරුවන් සරණයි!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.