Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වස්සානයෙන් පසු එළඹෙන චීවර මාසය

බදු සමයෙහි ඉගැන්වෙන නියාම ධර්ම අතරින් එක් නියාමයකි. “සෘතු නියාමය” සතුන් අතර අප කාටත් විශේෂ වන්නේ, වස්සාන සෘතුවයි. වස්සානයේ ළපටි තණපත් නිල්ල ගැසී වැඩෙමින් පවතියි. මී මැස්සෝ ද මී වද වල පැණි පුරවා ගනිති. කුරුල්ලලෝ කූඩු සාදාගෙන එක්තැන් වෙති. වියැළි කර්කශ ගතිය පහවැගොස් මුළු මහත් පරිසරයම අමුතු සුන්දරත්වයකින් ඔපවත් වෙයි. ථෙරවාදී බෞද්ධ රටවල උපසම්පදා භික්‍ෂූන් වහන්සේ වස්සාන සෘතුවෙහි වස් සමාදන් වෙති. එය බුදු හිමියන් විසින් පනවන ලද විනය ප්‍රඥප්තියකි. සංඝ සමාජයේ සියලු කටයුතු පදනම් වී ඇත්තේ යම් යම් සම්ප්‍රදාය අනුවයි. එම සම්ප්‍රදාය කඩ කරන්නවුන්ගෙන් සසුන රැක ගැනීම සඳහා නීති රීති පනවා ඇත. එම නීති රීති පැනවීමේ දී මානව නිදහස අහිමි නො කර, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සුරැකෙන පරිදි ඒවා පනවා තිබෙන අයුරු, විචාරාත්මකව බලන විට පෙනෙයි. එසේම සසුනෙහි චිරස්ථිතිය සුරැකෙන පරිදිත්, සංඝ සාමගි‍්‍රය සුරැකෙන පරිදිත් මෙම සියලු නිති රීති, කොන්දේසි ප්‍රඥප්ති පනවා ඇත.

පැවිද්ද සහ උපසම්පදාව හැරුණු විට වැදගත් සංඝ කර්මයකි. ‘උපෝසථ’ කර්මය, වස්සාන සමය තුළ සංඝ උපෝසථ කර්ම පිළිබඳ වැඩි අවධානයක් යොමු වෙයි. වස් ආරම්භයේ දී පොහොය සීමා මාලකයට ගොස්, සංඝයා ඉදිරියෙහි ඇවැත් දෙසා පිරිසුදුවී පාමෙක් දෙසීම, සම්ප්‍රදාය වේ. දින පහළොවකට වරක් උපෝසථ කර්මය සිදු කළ යුතු ය. භික්‍ෂූන් උදෙසා පනවන ලද ශික්‍ෂා පද එක්තැන් කළ ප්‍රාතිමෝක්ෂය නම් වූ ශික්‍ෂා පද මාලාවක් ඇත. උපෝසථ දින වලදී සංඝයා වහන්සේ එක් රැස්ව එම ප්‍රාතිමෝක්‍ෂ දේශනා කැර, එමගින් ශික්‍ෂා පද නැවත නැවතත් සිහිපත් කැර ගනිති. ඇවැත් වලට පැමිණි භික්‍ෂූන් වහන්සේලාට, තමන් වහන්සේ අතින් සිදු වූ ඇවැත් සංඝයා ඉදිරියේ ප්‍රකාශ කොට පිරිසුදු වීමේ අවස්ථාව මෙමගින් උදාවෙයි. එම වැරැදි නිවැරැදි කැර ගෙන පිරිසුදු සිල්වතකු බවට පත් වීමට අවශ්‍ය අනුශාසනා සහ උපදෙස් දීමත් දඬුවම් ලබාදීමත් සිදු වන්නේ, සංඝයාගේ ඒකමතික තීරණය අනුව ය. මෙය සංඝ සමාජය තුළ තිබෙන ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණයකි.

දීඝ නිකායේ ‘මහාගෝපකමොග්ගල්ලාන’ සූත්‍රයේ සඳහන් කථා ප්‍රවෘත්තියට අනුව වස්සකාර බමුණා ආනන්ද තෙරුන්ගෙන් බුදු සසුනෙහි චිර පැවැත්මත්, එහි ක්‍රියාකාරීත්වයත් ගැන ප්‍රශ්න කරයි. බුද්ධ ප්‍රසාදය ඇති වන අයුරින් බුදු සසුන පවත්වාගෙන යන අයුරු දැනගත් හෙතෙම, පුදුමයට පත් වෙයි. ඔහු තව දුරටත් ප්‍රශ්න කරයි. එවිට ආනන්ද හිමියෝ, වස්සකාරය, අපගේ ශාස්තෘන් වහන්සේ වැඩ නොසිටියත්, අප කිසි පිළිසරණක් නැති අනාථයන් පිරිසක් වශයෙන් නොසිතව, බුදුන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ පිළිසරණ අපට ඇත යනුවෙන් ප්‍රකාශ කළහ. සංඝ කර්මවලදී ඔවුනොවුන්ගේ සිත් රිදවීම්, කලකිරීම්, වාද බේද නොමැතිව ඒ ඒ අවස්ථා අනුව කටයුතු කිරීම පිණිස, ධර්මය විසින් හැඩගස්වා ඇත. එය ශාස්ත්‍රයේ චිර පැවැත්මට ද සමගියට ඉවහල්වී ඇත. වස් පවාරණය ද එවැනි සංඝ කර්මයකි. වස් විසීම තුන් මාසයකින් නිමාවට පත් වෙයි. ඉදිරි මාසය, චීවර මාසය වශයෙන් හැඳින්වෙයි. වස් වසන ලද භික්‍ෂුව, වස් අවසානයේ සංඝයා මධ්‍යයට එළඹ, ඇවැත් දෙසා, පිරිසුදු බවට පත් වී, වැඩිහිටි තෙරුන් ඉදිරියේ උක්කුටිකයෙන් හිඳ දොහොත් මුදුන් තබා, සංභන්තේ පවාරේම්, දිට්ඨෙනවා, සුතෙනවා, පරිසංඛායවා, වදතුමං භන්තේ සංඝෝ උපාදාය පස්සන්තො පටිකරිස්මාමි යනුවෙන්, ‘ස්වාමීනි, මාවිසින් කරන ලද වරදක් දැකීමක්, ඇසීමක් හෝ සැකයක් හෝ ඇත්නම් මා කෙරෙහි අනුකම්පා කැර එය ප්‍රකාශ කරනු මැනවි’ යනුවෙන් පැවරීමක් කරයි. උන්වහන්සේගේ වරදක් නොමැති නම්, මහා සංඝයා තුෂ්ණිම්භාවයෙන් සිටිති. මෙම පවාරණය කිරීම මහා පවාරණය, අඤ්ඤමඤ්ඤ පවාරණය, පුග්ගල පවාරණය වශයෙන් ආකාර කිහිපයකින් සිදුවෙයි. මහා පවාරණයෙන් පවාරණය කළ භික්‍ෂුවක් කඨින චීවරයක් ලැබීමට සුදුසු වෙයි. කඨින චීවර පුජාව අට මහා කුසලයන්ගෙන් පළමුවැන්න වෙයි. ඒ නිසාම බෞද්ධ පින්වත්හු ඒ සඳහා විශේෂ උනන්දුවක් දක්වති.

කඨිනය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? මෙම වචනයේ අර්ථය ගත් විට හැඩි දැඩි, කඨෝර, ශක්තිමත්, වැනි තේරුමක් ගෙන දෙයි. මහමෙර සෙලවුණත්, මහ පොළව කම්පිත වුණත්, වජ්ර පර්වතය සිඳ බිඳ දැමුවත් කඨින පූජාවෙන් ලබන ආනිසංශ නොසිඳෙයි. ආනන්තරිය පාපයකට හැර, වෙනත් අකුසලයකට හෝ කුසලයකට යටපත් කළ නොහැකි නිසා ද කඨිනය නමින් හැඳින්වෙයි. දේවෙනවා, මනුස්සේනවා, පඤ්චන්නංවා සහ ධම්මිකානං අඤ්ඤතරෙන දින්නං වට්ටති’ යනුවෙන් දෙවියකු, මනුෂ්‍යයකු, භික්‍ෂුවක, භික්‍ෂුණියක, සාමණේරයකු, සාමණේරියක, ශිෂ්‍යමානවකයකු යන අය විසින් දෙන වස්ත්‍රයම කඨිනය සඳහා සුදුසු වෙයි. කඨිනය සඳහා චීවරයක් හෝ වස්ත්‍රයක් පිදිය හැකි ය. වස්ත්‍රයක් නම් එදිනම සිවුරක් මසා, අධිෂ්ඨාන කළ යුතු බැවින් අරුණට පෙර පූජා කළ යුතු වෙයි. චීවරයක් නම්, ‘ඉමං කඨින චීවරං භික්‍ඛු සංඝස්ස දෙම’ යනුවෙනුත් වස්ත්‍රයක් නම්, ‘ඉමං කඨින දුස්සං’ යනු වෙනුත් කියා සඟ සතු කැර, පූජා කළ යුතු ය.

‘න නිමිත්ත තථෙන අත්ථානං
හෝති කඨිනං,
න පරිකථා කථෙන
අත්ථානංහෝති කඨිනං...’

යනුවෙන් ‘මහාවග්ගපාලියෙහි’ සඳහන් පරිදි, මෙම වස්ත්‍ර වර්ගය හොඳය, මෙම සිවුර කඨිනයකට සුදුසු ය. ආදිය ප්‍රකාශ කිරීමෙන් ලැබූ සිව්රුත්, කඨින පූජාව වටිනා පින්කමකි වෙන අවුරුදු වල නම් මේ කාලයට කඨින පින්කම් කරනවා, මේ අවුරුද්දේ එයට සූදානමක් නැහැ වගෙයි. ආදී ලෙස සඳහන් කිරීමෙන් උපදවා ගත් සිවුරක් කඨිනයට නොසුදුසු ය. කඨිනය මව්පියන්ට වුව පවසා ලබා ගැනීම නොසුදුසු ය. ව්‍යංගයෙන් වත් නොකියා ඉල්ලීමක් හෝ නොකැරම අහසින් කඩා වැටුණක් මෙන් ලැබුණු වස්ත්‍රයම, කඨිනයට සුදුසු වෙයි. කඨින පින්කම සංවිධානය කළ යුතු වන්නේ ද, දායක දායිකාවන් විසිනි. එහෙත් මෙකල ඇතැම් විහාරස්ථානවල වස් විසූ භික්‍ෂූන් වහන්සේම කඨින පින්කම සංවිධානය කරති. කඨින පෙරහරෙහි ද ගමන් කරති. අනෙක් විහාරස්ථාන වලට වඩා, තමන්ගේ කඨින පින්කම උත්කර්ෂවත් අයුරින් කිරීමට උත්සාහ කරති. මේවා කොතෙක් දුරට විනයානුකූල දැයි විමසීම සුදුසුය. මෙහි දී ජනතාවට අනවශ්‍ය පීඩනයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීම, වඩාත් සුදුසු ය.

කඨිනයට මූලය, උපසම්පදා භික්‍ෂූන් වහන්සේම වෙති. කඨිනයට ‘වස්තුව‘ නම් දෙපට, තනිපට, අඳනය යන තුන් සිවුරෙන් එකකි. බෝම, කෝසෙය්‍ය, කප්පාස, සාන, භංග, කම්බල යන වස්ත්‍ර, කඨිනයට භූමියයි. සිවුරෙහි පැහැය පිළිබඳ විවිධ මතවාද ඇත. ඇතැම් භික්‍ෂූන් වහන්සේ තද රත් පැහැයත්, තද කහ පැහැයත්, තැඹිලි වර්ණයත්, දුඹුරු වර්ණයත් තෝරාගෙන සිටිති. ඇතැම්හු තද කළු පැහැයෙන් යුතු චීවර පෙරවනු දැකිය හැකි ය. ඒ අතර චීවරයෙහි පැහැය අනුව සිල්වත්කම්, දුසිල්වත්කම්, කුලවත්කම්, මනින දායක පිරිසක් ද බිහිව ඇත. එහෙත් වඩා විනයානුකූල වන්නේ කුමන පැහැය ද යන්න, සැළකිය යුතු ය. නිල්, කහ, රතු, මදටිය, කළු, ඉදුණු කොළ වල පැහැය, පත්තෑයන්ගේ පිටෙහි පැහැය යන වර්ණ නොසුදුසු ය. එවැනි චීවර ඇත්නම් එම පැහැය වෙනස් කැර ගත යුතු ය. වෙනස් කිරීම අපහසු නම්, ඇතිරිලි වැනි දෑ සඳහා ප්‍රයෝජනයට ගත යුතු ය. චීවරයේ පැහැය මිශ්‍ර වර්ණයෙන් තිබිය යුතු ය. කළු, රතු, කහ පැහැ මිශ්‍රවීමෙන් ඇතිවන පැහැය නුග ගසේ, පොතු තම්බා ගැනීමෙන් ලබා ගත හැකි ය. එම පැහැය වඩාත් උචිත වෙයි. එම පැයැය නිසා චීවරය ඉක්මනින් කිළිටි නොවෙයි. නිතර පඬු පෙවීම අවශ්‍ය නොවේ. අලංකාරය නිසා ඇතිවන තෘෂ්ණාදී කෙළෙස් ද එසේ කළ විට ඇති නොවේ. දුරට නොපෙනෙන බැවින් අන්තරාය ද අඩු වෙයි. මැසි මදුරුවන්ට අප්‍රිය වර්ණයක් බැවින්, එබඳු උවදුරු ද ඇති නොවෙයි. චීවරය පඬු පෙවීම සඳහා ගත යුතු වන්නේ, මූලරජන, ඛන්ධරජනං, තචරජනං, පත්තරජනං පුප්ඵ රජනං, ඵලරජනං, යනුවෙන් දැක් වූ පරිදි මුල් කඳ, පොතු, කොළ, මල්, ගෙඩි යන කොටස් ය.

චීවර අතරින් උතුම් චීවරය වන්නේ, කඨින චීවරයයි. එය පිදීම අට මහා කුසල කර්ම වලට ද අයත් වෙයි. එහි ඇත්තේ මූල්‍යමය වටිනාකමට වඩා, විනයානුකූල වටිනාකමකි. කඨිනයක් ලබා ගත හැකි වන්නේ වස් වැසූ, වස් ඡේදනය නොවූ, මහා පවාරණයෙන් පවාරණය කළ භික්‍ෂුවකට පමණකි. එසේම කඨිනයක් පිදිය හැකි වන්නේ වර්ෂයක දී, එක් ස්ථානයක එකක් පමණකි.සේදීම නූල් ගසා කඩ වෙන් කිරීම, කැපීම, මැසීම, පඬු පෙවීම, කප් බින්දු තැබීම යන කෘත්‍ය සිදු කොට එදිනම කඨිනත්ථාරය කළ යුතු ය.

1. පක්කමන්තිකා 2. නිට්ඨානන්තිකා 3. සන්නිට්ඨානන්තිකා 4. නාසන්තිකා 5. සවනන්තික, 6. ආසාවච්ඡේදිකා, 7. සීමාතික්කංතිකා, 8. සහුබ්හාරං යන කරුණු පිළිබඳ නොදන්නා භික්‍ෂුව කඨින චීවරයක් ලැබීමට සුදුස්සකු නොවෙයි. විහාරයෙහි වසන භික්‍ෂුවකට නොදන්වා බැහැර යෑමට හැකි වීම, අධිෂ්ඨාන කැර ගත් තුන් සිවුරෙන් වෙන්ව රාත්‍රිය ඉක්මවීමට හැකි වීම, ගණ භෝජන වැළඳීමෙන් වන ඇවැතීන් නිදහස් වීම, දස දිනකට වඩා අතිරේක චීවර දැරීමෙන් සිදු වන ඇවැතින් නිදහස් වීම, විහාරයට ලැබෙන වස්ත්‍ර, චීවර ආදියට හිමිකරුවකු වීම වැනි වරප්‍රසාද, කඨිනය ලද භික්‍ෂුවකට හිමි වේ. මෙම වරප්‍රසාද ලබා ගත හැකි වන්නේ, කඨින චීවරය ලැබූ දිනයේ සිට හේමන්ත සෘතුවේ අවසන් දිනය මැදින් මස පුර පසළොස්වක දිනය දක්වා පමණකි. චීවරයකට නියමිත ප්‍රමාණයක් ද ඇත. එය බුදු හිමියන්ගේ චීවරයට වඩා කුඩා විය යුතු ය. එනම් දිගින් සුගත් වියතින් නවයකට සහ පළලින් හයකට වඩා අඩු විය යුතු ය. සුගත් වියත යනු වඩු රියන් එකහමාරකි. ඒ අනුව එවැනි විශාල චීවරයක් දැරීමට අද කිසිවකුට අවශ්‍ය වේයැයි සිතිය නොහැකි ය. ඉතා කුඩා සිවුරුවලින් ‘සුපට්ටිච්ඡන්න, පරිමණ්ඩල, ශික්‍ෂාපද රැකීම, අපහසු ය.

එබැවින් තම තමන්ගේ ශරීර ප්‍රමාණය අනුව චීවරය සකස් කැර ගැනීම වඩාත් උචිත ය. පස් කඩ, සත්කඩ, පසළොස් කඩ, අසූ කඩ, වශයෙන් සිවුරු කඩ කපා මසා ගනිති. අලංකාරය පිණිස කිසි මැස්මක් නොකළ යුතු ය. ඇතැම් භික්‍ෂූන් වහන්සේ අලංකාර ලෙස රැළි ගන්වා චීවර මසා ගනිති. එහෙත් එය විනයානුකූල නොවේ.
චීවරයෙහි මහා බලයක් ඇත. චණ්ඩාශෝක නමින් පෙර දී හැඳින් වූ ධර්මාශෝක රජතුමා එසේ දැහැමියකු බවට පත් වූයේ චීවරයක් දැරූ සාමණේර නමක් දැකීමෙනි. එය චීවරයට එක් වූ ආධ්‍යාත්මික බලයයි. ගැමුණු කුමරු සහ තිස්ස කුමරු අතර සටනක් ඇති වන්නට ගිය අවස්ථාවේ භික්‍ෂූන් වහන්සේ පන්සිය නමක් වැඩම කර එය සන්සිඳවීමට කටයුතු කැරිණි. ගැමුණු කුමරු පැවසුවේ ඔබ වහන්සේ වැඩම කළේ කුමටද චීවරයක් සත් හැවිරිදි සාමණේර නමක් පැමිණියේ නම්, අප අතර සටනක් ඇති නොවන්නේය, යනුවෙනි. එයින් ද පෙනෙන්නේ චීවරයේ ඇති අසීමිත බලයයි. චීවරය දරන භික්‍ෂුව සිංහරාජයකු මෙන් එඩිතරය, ස්වර්ණ හංසයකු මෙන් නිදහස් ය.
රාගාදී කෙලෙස් කසට තිබෙන, ඉන්ද්‍රිය දමනයෙන් සහ වාග් ශක්තියෙන් තොර වූවෝ චීවරය දැරීමට සුදුසු නොවෙති. බිඳුණු සිල් ඇති, දුස්සීලයෙකි යි ප්‍රසිද්ධ වූ අසංවර වූ, පස්කම් සැපතෙහි ගිජු වූ පැවිද්දෝ චීවරයට සුදුසු නොවෙති. නොසන්සුන් සිත් ඇති, මානාධික, නුවණ නැති පුද්ගලයා, සුදු වස්ත්‍රයකට පමණක් සුදුසුවෙයි. නොසන්සුන් සිතක් තිබෙන චපල ගති ඇති පැවිද්දා කඨින චීවරයක් හෝ කුමන චීවරයක් දැරුවද හෙතෙම සිංහ සමක් පෙරවූ වඳුරකුට සමාන බව බුදු හිමියෝ දෙසූහ. යමෙක් කෙලෙස් කසට දුරු කළේ ද ශීලයෙන් යුක්ත වේද, ඉන්ද්‍රිය දමනයෙන් හා සත්‍යයෙන් යුක්ත වේද, හෙතෙම චීවරයට සුදුස්සකු වෙයි.
චීවරයක් පරිභෝග කළ යුතු වන්නේ ලස්සන වීමට, සමාජයේ උසස් අයකු ලෙස පෙනී සිටීමට නොවේ. එසේම චීවරයට මුවා වෙමින් එයට නොගැළපෙන කටයුතු කිරීමට නොවේ. එවැනි අදහස් ඇතිව චීවරය දරයි නම් තණ්හාව, මානය, සක්කාය දිට්ඨිය වර්ධනය වෙයි. එසේ නම් චීවරය දැරිය යුතු වන්නේ සීතල උණුසුම නැති කැර ගැනීමටත්, මැසි මදුරුවන්ගෙන් ආරක්‍ෂා වීමටත්, ලජ්ජා ස්ථාන වසා ගැනීමටත්, සසුනෙහි පිරිසුදු සිල්වතකු වශයෙන් කටයුතු කරමින් අප්‍රමාදීවැ නිවන ලබා ගැනීම උදෙසා බවත්, චීවර මාසය තුළ සිත්හි දරා ගැනීම බෙහෙවින් වැදගත් වෙයි. කඨින චීවර පූජා කරන දායක දායිකාවන්ටද විපුල ඵල අත් වෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.