Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරජුන් දුටු රාජ්‍ය සම්භවය

රාජ්‍ය සම්භවය පිළිබඳ බෞද්ධ ආකල්පය සෙවීමට ප්‍රථම සමාජය පිළිබඳ බෞද්ධ ආකල්පය සොයා බැලීම වැදගත් ය. එහිදී අපට පෙනී යන්නේ් සමාජ සම්මුතිවාදීන්ගේ අදහස බෙහෙවින් සමාන වූ අදහසක් බෞද්ධ ඉගැන්වීම් වල දක්නට ලැබෙන බවයි. දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය මේ පිළිබඳව කරුණු දක්වමින් සමාජ සම්මුති න්‍යායක් ඉදිරිපත් කර තිබේ. බටහිර පඩිවරුන් අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන මෙම සම්මුති න්‍යායයන් ඉතා අගේ කොට වර්ණනා කර ඇත. ඊට හේතුව තත්කාලින වේද ග්‍රන්ථ සහ බ්‍රාහ්මණ ඉගැන්වීම් වල සමාජයේ උත්පත්තිය සහ පැවැත්ම පිළිබඳව ඉදිරිපත් කරන ලද්දේ දේව සංකල්ප පිළිබඳ න්‍යායයක් බැවිනි.

අග්ගඤ්ඤ සූත්‍රයේ පැහැදිලිවම සමාජ සම්භවය පිළිබඳ අදහසක් දක්වමින් මෙසේ සඳහන් කර තිබේ. එහි දැක්වෙන අන්දමට ස්වභාවිකව ධාන්‍ය වැවුණු යුගයක් විය. මිනිස්සු ඉතා සතුටුව සාමකාමිව ධාන්‍ය පරිභෝජනය කරමින් ජීවත් වූහ. කල් යාමේදී එක්තරා ‘තණ්හා’ අධික පුද්ගලයෙකු තම පරිභෝජනයට පමණක් නොව, රැස්කර ගැනීමටද ධන්‍ය නෙලා ගැනීමට පටන්ගත් විට ඒවා ක්‍රමයෙන් අතුරුදහන් වීමට පටන් ගත්තේ ය. මෙහිදී බියට පත්වූ මිනිසුන් සාකච්ඡා කොට සම්මුතියකට එළඹුණහ. එම ස්වභාවික සම්මුතිය නම් ධාන්‍ය වැවුණු භූ®මිය ඔවුනොවුන් අතර ‘පෞද්ගලිකව’ බෙදා ගැනීමට ගත් තීරණය මිනිසුන් සම්මුතියකට එළඹුණ මුල්ම අවස්ථාවයි.

අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් ආකාරයට සම්මුති දෙකක් ඇති විය.

1. සමාජ සම්මුතිය
2. පාලන සම්මුතිය

මේ ආකාරයේම සම්මුති 2 ක් ‘ජෝන් ලොග්’ ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳව කරුණු දක්වන ජෝන් ලොග් සහ රෑසෝ ‘ප්‍රකෘති තත්ත්වයේ ජීවත් වූ මිනිසා සමාජයක් වශයෙන් ජීවත් වීමට සම්මුතියක් ඇතිකර ගන්නේ් ඔවුන් එකිනෙකා ඇන කොටා ගත් නිසා නොව පැවති අවිනිශ්චිතතාවය නිසයි. ‘කාල් මාක්ස්’ දක්වන පරිදි ‘දේපල පිළිබඳ පෞද්ගලික අයිතියක් නොතිබූ යුගයේ මිනිසා සාමකාමීව ජීවත් විය. මාක්ස් සමාජ සම්මුති න්‍යායය නොපිළිගත්තත් වර්තමාන සමාජයට කලින් පැවති ආදි කල්පිත කොමියුනිස්ට් සමාජයක් ගැන සඳහන් කර තිබේ. ‘හොබිස්’ කියා සිටියේ ප්‍රකෘති සමාජයේ බලවතා විසින් දුබලයා පෙලු යුගයක් වූ බැවින් පුද්ගලයන් එකතු වී සාකච්ඡා කොට සම්මුතියක් තුලින් සමාජය බිහිකර ගත් බවයි. සමාජයක් ඇති වූයේ කෙසේද යන්න මෙයින් පැහැදිලි වූ අතර පාලන සම්මුතියක් ඇතිවූයේ කෙසේද කියා විමසීම ඊළඟට වැදගත් වේ.

දෙවැනි සම්මුතිය වූ පාලන සම්මුතිය ඇතිවන්නේ් කාලයක් ඇවෑමෙන් ය. එය ඇතිකර ගැනීම ජනතාව පෙළඹුණේ ධාන්‍යභූමිය පෞද්ගලිකව පරිභෝජනය කිරීමට බෙදා ගත් පසුව ඇති වූ සමාජයීය විෂමතා නිසයි. අග්ගඤ්ඤ සූත්‍රයේ මේ පිළිබඳව මෙසේ සඳහන් වේ. එනම් ‘එන්න අපි කුඹුරු බෙදා ගනිමු. ඒවා වැට කඩොලු බැඳ වෙන් කොට ගනිමු. මෙසේ ඔව්හු කෙත්වතු කොටස් වලට බෙදා ගෙන ඒවා වටා වැඩකඩොලු බැඳ ගත්හ. ගිජුකම් සහිත කෙනෙක් තමන්ට අයත් කුඹුරු කොටස් රැකබලා ගන්නා ගමන් වෙන අයට අයත් කුඹුරු සොරා පවරා ගෙන ඒවා වටා වැටකඩොලු බැඳ ගත්හ. සෙස්සෝ ඔහු අල්ලා වටකරගෙන ඔහුට මෙසේ කීහ. ‘සුභාද්‍රාණෙනි, ඔබ විසින් ඔබට අයත් කුඹුරු කොටස රැකබලා ගන්නා ගමන්ම වෙන කෙනෙකුට අයත් කොටසද පවරා ගැනීමෙන් ඔබ විසින් සත්‍ය වශයෙන්ම වරදක් කරන ලදී. සුභද්‍රයාණෙනි, මින් මත්තේ එවැනි වරදක් නොකරන්න. එසේය ස්වාමිනියි ඔහු පිළිවඳන් දුන්නේ්ය. එහෙත් දෙවන වාරයේදීත් හෙතෙම එවැන්නක්ම කළේය. තෙවන වාරයේදීත් එවැන්නක්ම කළේය. යලිත් සෙස්සෝ ඔහු අල්වාගෙන ඔහුට පෙර පරිදිම උපදෙස් දුන්හ. ඇතැම්හු ඔවුනට පහර දුන්හ. ඇතැම්හු කැට කැබලිති වලින් ඔහුට පහර දුන්හ. ඇතැම්හු ඔහුට මුගුරින් පහර දුන්හ. සොරකම ලොව පහළ වූයේ එසේය. දෝෂාරෝපණ මුසාවාද, දඬුවම් ද ඒ ආකාරයෙන්ම ලොව පහළ විය.

මෙහි සඳහන් ආකාරයට එක්තරා ‘තෘෂ්ණාධික’ පුද්ගලයෙකු තම භූ®මියේදී ධාන්‍ය පරිභෝජනය කරන ගමන් අසල්වැසියාගේ භූමියෙන්ද ධාන්‍ය සොරාගත් බව පෙනී යයි. එහිදී මිනිසුන් ඔහු අල්ලා ඔහුට ගරහා එබඳු දේ නැවත නොකිරීමට අවවාද කළේය. නමුත් ඔහු එසේ නොකළේ යැයි බොරු කියා නැවතත් එය කිරීම නිසා මිනිසුන් ඔහුට දණ්ඩයෙන්, මුගුරෙන් පහර දුන්හ. පෞද්ගලික දේපල ක්‍රමය ඇති වූයේ ‘මේ සමාජ විෂම ක්‍රියාවන් නිසා බව‘ අග්ගඤ්ඤ සූත්‍රයේ එන විස්තරයෙන් පෙනේ. මේ බව රූසෝ, කාල් මාක්ස් වැනි චින්තකයෝද පිළිගනිති. ඔවුන් දක්වන අන්දමට පෞද්ගලික දේපල ක්‍රමය නිසා සමාජයේ රණ්ඩු දබර, කෝලාහල ඇතුළු සියලු දුශ්චරිත සිදුවිය.

මිනිසුන්ගේ දේපල ක්‍රමය රැක බලා ගන්නටත් අවශ්‍ය තැනදී සාධාරණ වූත්, විධිමත්වූත්, මිනිස් වරදට බිය ගන්නා වූත් දඬුවම් පැමිණවීමත් මේ සමාජ සම්මුතිය ප්‍රමාණවත් නොවේ යැයි සිතු ඔවුහු ඉක්බිතිව පාලන සම්මුතියක් ඇතිකර ගත්හ. ඒ පාලන සම්මුතිය මෙසේ විවරණය වෙයි.

මෙසේ ඒ මිනිස්සු යලි එක් රැස් වූහ. එක් රැස්ව මෙසේ සිය දොම්නස පළකොට සිටියහ. අපේ නරක ගති ප්‍රකාශයට පත්වී සොරකම්, දොස් පැවරීමේ ගතිය, මුසාවාදය සහ දඬුවම් පැමිණවීමේ සිරිතක් ලොව පහළ විණි. ඒ නිසා අප විසින් කෝපයට නිසි තැනදී කෝප වන දොස් පැවරිය යුතු දේට දොස් පවරන, නෙරපිය යුතු තැනැත්තන් නෙරපාලන කෙනෙකු තෝරා පත්කර ගත මනා නොවේද? අප ඔහුට ඒ සඳහා අපේ සහළින් කොටසක් දෙන්නෙමු.

මෙසේ සිතූ ඔවුහු ඉක්බිතිව ඒ මිනිසුන් ඔවුන් අතරින් ඉතාම විශිෂ්ඨ රූප ශෝභා සම්පන්න වූත් ඉතාම සිත්ගන්නා සුළුවූත්, ඉතාම ගන්නා සුළු වූත් එසේම දක්ෂවූත් තැනැත්තා වෙත එළඹියහ. එළඹ ඔහුට මෙසේ කීහ. ‘සුභද්‍රාණෙනි මේ අසන්න, කෝපය නිසි තැනදී කෝපවන්න, දොස් දැකිය යුතු තැනදී දොස් දකින්න. නෙරපාලිය යතු තැනදී නෙරපාලන්න. අපි ඔබට සහලින් කොටස බැගින් දෙන්නෙමු. ඔහුද එයට එකඟ වූයේය. මිනිසුන් ඔහුට සහළින් කොටස බැගින් දුන්හ. මහා සම්මත යන්නෙන් හැඳින්වෙන්නේ් මහා ජනයා විසින් සම්මතයෙන් තෝරාගන්නා ලද ඒ තැනැත්තාටය. මෙසේ ලොව පළමුවෙන්ම පහළ වූ තැනැත්තා මහා සම්මතය. ඛත්තිය යන්නෙත් අදහස් කළේ කෙත්වතු හිමියා යන්නයි. පාලකයා වචනාර්ථ ඇති ක්‍ෂත්‍රීය නම් පදය ලොව පහල වූ අනිත් පදය වන්නේය. පසු කාලීනය රජ යැයි හැඳින්වූයේ ඔහුටය. මෙසේ ලොව පහල වූ දෙවැනි පදය ‘රජ’ නමින් හැඳින්වෙයි.

සමාජ සම්මුතියෙන් පාලන සම්මුතියේත් ප්‍රභවය ගැන බෞද්ධ විග්‍රහය ඉහතින් සඳහන් විණි. මේ අනුව අපට පැහැදිලි වන්නේ් රාජ්‍ය සම්භවය ඇති වන්නේ පෞද්ගලික දේපල ක්‍රමය නිසා බවයි. ආදි කල්පිත සමාජයේ හා පාලක නීතිරීති නොතිබුණේ එම සමාජයේ ගැටුම් කෝලාහල නොතිබුණ නිසයි. ශ්‍රම සූරාකෑම්, ගැටුම්, කෝලාහල ඇතිවන්නේ සමාජයීය බේද ඇතිවන්නේ පෞද්ගලික දේපල ක්‍රමය නිසයි. අග්ගඤ්ඤ සූත්‍රය දක්වන පරිදි සමාජ ක්‍රමය බිඳ දමන දුසිරිත් නිසා එනම් සොරකම්, බොරුකීම, ගැරහීම කොලාහල නිසා පාලන ක්‍රමය ඇති වූ බව පිළිගනී. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව පාලකයා අර්ථ, තුනකින් හඳුන්වයි. ක්‍ෂත්‍රීය, මහා සම්මත, හා රාජ්‍ය පාලකයා වශයෙනි. මහා සම්මත යන්නෙන් ඔහු හැඳින්වූයේ ජනතාව විසින් තෝරාපත් කර ගත් නිසයි. මේ අදහස භාරතීය චින්තනයේ අපට දක්නට ලැබෙන්නේ් මෙම බෞද්ධ ඉගැන්වීම් වලදී පමණි. වේද බ්‍රාහ්මණ සහ හින්දු ඉගැන්වීම් පාලි සූත්‍ර වලට පැරැණි නමුත් එම ග්‍රන්ථ වල මෙම සමාජ සම්මුති ආදිය දක්නට නොලැබේ. හින්දුන්ගේ් සම්භාවනීය කෘතියක් වන සෟග් වේදයේ 10 වැනි මණ්ඩලයේ පුරුෂ සුක්තයේ රාජ්‍ය සම්භවය පිළිබඳ මෙසේ සඳහන් වේ.

ක්ෂත්‍රියන්ට පාලකයින්ට රට පාලනය පවරන ලද්දේ නිර්මාණ කරන ලද්දේ ජනතාව නොව දෙවියන් විසිනි. එසේම එවක පැවති දැඩි පංති විෂමතාවන් සහිත සමාජය බිහිකරන ලද්දේ දෙවියන් විසිනි. මෙයින් පෙනී යන්නේ රාජ්‍ය සහ සමාජය ජනතාවගේ නිර්මාණයක් නොව දෙවියන්ගේ නිර්මාණයක් බවයි.

Dante, King, fomes, Robert Filmer වැනි චින්තකයින් රාජ්‍යයේ උත්පත්තිය පිළිබඳව ඉදිරිපත් කර ඇත්තේ එවැනි අදහසකි. ඔවුන් කියා සිටියේ පාලකයා හා නීති ක්‍රමය දෙවියන්ගේ නිර්මාණයක් බවයි. මේ නිසා යම් හෙයකින් පාලකයා කෲර වුවහොත් ඔහු ජනතාව තලා පෙලා රට පාලනය කළහොත් ඔහුට විරුද්ධව නැගිසිටීමට ජනතාවට බලයක් නොමැත. මන්ද යත් ජනතාව සහ පාලකයා අතර සම්බන්ධයක් නොමැති හෙයින් පාලකයා වග කියන්නේ ජනතාවට නොව දෙවියන් වහන්සේටය. මේ නිසා කුරිරු පාලකයන්ගෙන් මිදීමට ඇති එකම ක්‍රමය දෙවියන්ට කන්නලව් කිරීම පමණි. ඒ අනුව පාලකයන් වෙනස් කිරීම බලයෙන් පහ කිරීම, බලයක් ජනතාවට නොමැත.

Dante, King, fomes, Robert Filmer වැනි යුරෝපීය චින්තකයින්ගේ් රාජ්‍යයේ උපත හා සමාජයේ උත්පත්තිය ප්‍රතිකේෂ්ප කරන සමාජ සම්මුතිවාදීන් ආඥාදායක රාජාණ්ඩු ක්‍රමය පෙරලා දමා ජනතාවට වග කියන ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ලද පාලකයින් ලවා රට පාලනය කරවා ගැනීමයි. මෙය යුරෝපිය චින්තකයින්ගේ අදහසක් ලෙස සැලකීම විශාල වරදකි. රාජ්‍ය හා සමාජ සම්භවය පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදි අදහසක් බෞද්ධ ඉගැන්වීම්වල තිබූ බව ඔවුන් නොදැන සිටින්නට ඇත. ඒ නිසයි ජෝන් ලොග් එහි නිර්මාතෘවරයා ලෙස පිළිගෙන ඇත්තේ. කෙසේ වුවද ජෝන් ලෝග්ගේ මෙම අදහස හඳුන්වා ඇත්තේ ව්‍යාවස්ථානුකූල පාලකයා වශයෙනි. ඉන් අදහස් කලේ පාලකයා පොදු නීතියකට යටත්ව පාලනය කළ යුතු බවයි. එනිසා පාලකයාට හිතුමතේ රට පාලනය කළ නොහැක. සමාජ සම්මුතියේ ජීවන ආරක්ෂාව, නිදහස, පී‍්‍රතිය දේපොල අයිතිය ගරු කිරීම හා ඒවා පැහැර නොගැනීම පිළිබඳ සංකල්පය බෞද්ධ සම්මුතියේ දැක්වෙන රාජ්‍ය සංකල්පයට බෙහෙවින් සමානය.

අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වන අන්දමට පාලකයා ‘රජ’ නමින් හඳුන්වන්නේ් ඔහු ධර්මයට යටත්ව රට පාලනය කරන නිසයි. මේ අදහස පැහැදිලි කරන තවත් සූත්‍ර දෙකකි. චක්කවත්ති සීහනාද හා කූට දන්ත සූත්‍ර පාලකයකු තුල තිබිය යුතු අත්‍යාවශ්‍ය ගුණාංග ලෙස පංච සීලය රැකීම හා ධර්මයට අනුව රට පාලනය කිරීම එහි දක්නට ලැබේ. චක්කවත්තී සීහනාද සූත්‍රයේ එන වැදගත් අදහසක් නම් රජකම තමන්ට ලැබුණු දායාදයක් හැටියට පාලකයා නොසැලකිය යුතු බව ‘දායජජ’ පියාගෙන් පුතුට ලැබුණු දායාදයක් හැටියට නොව ‘දිනා ගත යුතු වර්ධනය කර ගත යුතු’ තත්ත්වයක් ලෙස එහි දක්වා තිබේ. මේ විග්‍රහය කර ඇත්තේ රජුගේ මාළිගාවේ තිබුණු චක්කරත්නය අතුරුදන් වීමෙන් කලබලයට පත් වුණු රජ පුරෝහිත බමුණන්ගෙන් විමසූ විටයි. මෙම කරුණු සැලකිල්ලට ගත් විට බෞද්ධ විග්‍රහයට අනුව සමාජයේ රජයේ පාලකයාගේ් යන සංකල්පයන් පිළිබඳ මෙබඳු ලක්ෂණ දැකිය හැකිය.

01. සමාජය මෙන්ම රාජ්‍යය, දේව නිර්මාණයක් නොව, ජනතාවගේ නිර්මාණයක් වීම

02. ජෝන් ලෝග්ගේ සමාජ සම්මුතියේ අන්තර් ගත වූ අන්දමට මෙන්ම බෞද්ධ සමාජ සම්මුති 2 ක් දක්නට ලැබීම.

03. ‘පාලකයා’ ජනතාව විසින් තෝරා පත් කලා පමණක් නොව එම පාලනය යම්කිසි පිළිගත් නීතියකට යටත්වීම. අනුව රට පාලනය කළ යුතුය.

බටහිර චින්තනයේ මෙය ‘සාමුහික නීතිය’ ලෙස සැලකේ. බෞද්ධ ග්‍රන්ථවල “ධම්ම” සංකල්පය නමින් එය හැඳින්වේ.

ධර්මයට ජනතාව පමණක් නොව පාලකයෝද එකසේ යටත් විය යුතුය. අපගේ පැරැණි ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට පාලකයන් නිතරම දස රාජ ධර්මයට අනුව රට පාලනය කළ යුතු බවයි. දසරාජ ධර්මයට පටහැනිව රට පාලනය කළ අවස්ථාවලදී ජනතාවගේ අප්‍රසාදය හා කෝපයට පාලකයන් ලක් වූ අවස්ථා ගැන පදමානවක, කුස, සච්චංකිර සූතසෝම වැනි ජාතක කථා වලින් පෙනේ. මෙතෙක් දක්වන ලද්දේ රාජ්‍ය සම්භවය පිළිබඳ හා සමාජය පිළිබඳ බෞද්ධ විග්‍රහය සහ බටහිර පඩිවරුන්ගේ අදහස්ය. ඊළඟට අවශ්‍ය වන්නේ සුබ සාධක රජයක පැවතිය යුතු ලක්ෂණයන් සොයා බැලීමයි.

සුබ සාධක රාජ්‍යයක ප්‍රතිපත්ති මොනවාද කියා විමසීමේදී එහි ලක්ෂණයන් වශයෙන් කරුණු කිහිපයක් දැක්විය හැකිය. බුදු සමය මානව අයිතිවාසිකම් පිළිබඳව කරුණු දක්වන්නේ හුදු නීතියට වඩා මානව භක්තියට නැඹුරුවය. එසේම උසස් පෙලේ අය විසින් පනවනු ලබන නීති රීති කෙරේ බුදු සමය එතරම් පැහැදීමක් නැත. ඒ පිළිබඳ බෞද්ධ මතය වන්නේ නීතියට පදනම් විය යුත්තේ ආචාර ධර්මයට අනුව යුක්ති සහගත දේය. එපමණක් ද නොවේ. මහජනයාගේ අනුමැතියද නීතිරීති වලට අවශ්‍ය වේ. උදාරතම පාලන ක්‍රමය වශයෙන් දක්වන්නේ ජන සම්මත වාදයයි. එය පවත්වන්නේ ජනතාවගේ ලෞකික හා අධ්‍යාත්මික සුබ සිද්ධිය උදෙසා ය. දේශපාලනික ආගමික හා පෞද්ගලික නිදහස මෙන්ම ආර්ථික ආරක්ෂාවත් රැකී රක්ෂාවන් පහසුවක් සැලසෙන ආකාරයට එම සුබ සාධක ලක්ෂණ යුක්ත විය යුතුය.

අපරදිග රටවල විමුක්තිවාදී අදහස් තහවුරු කළ දර්ශනයක් ප්‍රකාශ කළේ රජකු සතු එකම නීත්‍යානුකූල අයිතිය නම් නීතිය රීතිය ආරක්ෂා කිරීම බවයි. නවීන රාජ්‍යයක තිබිය යුතු ලක්ෂණයක් දක්වන ඩබ්.පිඩ්මන් මෙසේ විග්‍රහ කර ඇත. ඒවා නම්,

1.ආරක්ෂකයා වශයෙන් කටයුතු කිරීම
2.සමාජ සේවා ඉටු කිරීම
3.කාර්මික ව්‍යාපාර පාලනය
4.ආර්ථික කටයුතු හසුරුවීම
5.විනිශ්චය


රජය සතු යුතුකම් බෞද්ධ විග්‍රහයට අනුව

1.ආරක්ෂකයා වශයෙන් කටයුතු කිරීම
2.සමාජ සේවා ඉටු කිරීම
3.ආර්ථික කටයුතු හසුරුවීම
4.ධාර්මික දිවි පෙවෙත දියුණු කිරීම

මේවා කළ යුත්තේ බලයෙන් නොව කරුණු කියා දීමෙනි. රජයේ ප්‍රතිපත්ති ධර්මය මත පදනම් කොටගෙන කටයුතු කිරීමෙනි. එමෙන්ම අධ්‍යාත්මික ගුණ වගාව හීනවූ අවස්ථාවක එය ඇති කිරීමට කටයුතු කළ යුතුය. මානව සබඳතාවය ඇති විය යුත්තේ නීතියට බිය වීමෙන් නොව, ආත්මාර්ථකාමීත්වයෙන් තොරව පරාර්ථකාමීත්වයෙන් යුක්ත වූ කරුණාව හා ප්‍රඥාවෙන් යුතුවය. අශෝක රජු සුබ සාධක ප්‍රතිපත්ති වශයෙන් අනුගමනය කළේ මේවා බව සඳහන් වේ.

රාජ්‍ය පාලනයේදී වැදගත් වන ලක්ෂණ කිහිපයක් වජ්ජ රජ දරුවන්ගේ රාජ්‍ය පාලන ධර්මයේ අඩංගුවේ. ඒවා සප්ත අපරිහානිය ධර්ම, තමන් වහන්සේ භික්ෂූන්ට කියා දුන් බව බුදුරදුන් මෙහිදී දේශනා කළහ. මහා පරිනිබ්බාණ සූත්‍රයේ මේ පිළිබඳ විස්තර දක්වා තිබේ. මෙම කරුණු සුබ සාධක රාජ්‍යයක තිබිය යුතු ලක්ෂණයන්ය. මේවා ගරු කරන රාජ්‍යතන්ත්‍ර බුදුන් වහන්සේ අගේ කොට දක්වා ඇත. මෙම ලක්ෂණයන් රට වැසියාගේ ආර්ථික හා සදාචාර අංශයන් වර්ධනය කරන අතර සුබ සාධක ලක්ෂණයන්ගෙන්ද යුක්තය. දැහැමි රජු පිළිබඳ දක්වන බුදු සමය ඔහුගේ් පාලන මෙසේ විය යුතු යැයි සඳහන් කර තිබේ. රට වැසියා නොපෙලන ගතිය, අයුක්තිය, අසාධාරණය පිටු දැක යුක්තිය හා සාධාරණත්වය මත පිහිටා ක්‍රියාත්මක වන ගතිය මූලික වශයෙන් ගැනෙන අතර එබදු රජු සිවුපා සතුන් වෙතද ධාර්මික රක්ෂාවරණය සැලසිය යුතු යැයි එහි සඳහන් වේ. එසේම රජු නීති රීති ආරක්ෂා කරන අතරම රටවැසි ජනතාවගේ ආර්ථික හා අධ්‍යාත්මික අභිවර්ධනයට ශ්‍රමය හා කාලය කැප කළ යුතුය.

චක්කවත්ති සිහානාද සූත්‍රයේ බෞද්ධ රජකු කළ යුතු සක්විති වත් 4ක් දක්වා තිබේ. මේවා ආරක්ෂා කළ සක්විති රජවරු බොහෝ කාලයක් රට වැසියා දැහැමින් සෙමෙන් පාලනය කළ බව සඳහන් වේ. බෞද්ධ විග්‍රහයට අනුව එම සක්විති වත් මෙසේය.

1.දැහැමින් සෙමෙන් රට පාලනය කකිරීම.
2.ජීවිත සුරක්ෂිතතාව සහතික කිරීම
3.ආර්ථික සුරක්ෂිතතාව ඇති කිරීම
4.විශාරදයන්ගේ උපදෙස් ලබා ගැනීම

කලින් සඳහන් කළ පරිදි බෞද්ධ රජෙකුගේ පාලනයේදී මිනිසුන්ට පමණක් නොව එම දේශයේ සිව්පා සතුන්ටද රැකවරණය සැපයිය යුතුය. ජනතාවගේ පැවැත්මට සිවුපා වෘක්ෂලතා ආදියේ පැවැත්ම අත්‍යාවශ්‍ය බව ඉන් ගම්‍ය වේ. ජනතා පැවැත්ම සඳහා පරිසර රක්ෂණයද බුදු දහම අවධාරණය කරයි.

රටක පරිපාලනය එක් කෙනෙකුට දෙන්නෙකුට කළ නොහැකි නිසාත්, කලින් කලට උද්ගතවන ප්‍රශ්නයන් හිදී ඒ සඳහා විශේෂඥයින්ගේ උපදෙස් රජයකට අවශ්‍ය වේ. එම නිසා රජයේ යුතුකම වන්නේ් ඒ විෂයයන්ගේ දැනුම ලබා ගැනීමය. මෙම මූල ධර්ම සතර ධාර්මික, වූත් යහපත් වූත් රාජ්‍යයකට අත්‍යවශ්‍ය ලක්ෂණයන් වේ.

රජවරුන් අනුගමනය කළ යුතු මූල ධර්ම දහයක් බුදු සමයේ දැක්වේ. ඒවා දශරාජ ධර්ම නමින් ඉගැන්වේ. පාලකයෙකු වෙත තිබිය යුතු මෙම ගුණ ධර්ම බෞද්ධ පාලකයෙකුගේ ගුණාංගවේ. දානය ,ශීලය, පරිත්‍යාගය, මෘදු බව, තපස , මිතු දම, ඉවසීම, අවිහිංසාව, ක්‍ෂාන්තිය, අවිරෝධතාව යනාදි දශරාජ ධර්ම වශයෙන් දැක්විය හැක. මීට අමතරව රටක පාලකයෙකු සතර අගතියෙන් තොර විය යුතුයයි දැක්වේ. ඒවා නම් ජන්දා, දෝසා භයා, මෝහා යනුවෙනි. බෞද්ධ ඉගැන්වීමට අනුව රරටක් පාලනය කළ යුත්තේ ජනතා සුබ සෙත සලසනු සඳහා ය. ඊට අවශ්‍ය කරුණු සතරක් බුදු සමය පෙන්වා දෙයි. දානය, පි‍්‍රය වචනය, අර්ථචර්යාව, සාමානාත්මතාවය යනු ඒ සතරයි. රටක ප්‍රධානියෙකු තුළ මෙම ගුණාංග තිබීම අනිවාර්යය බව මෙමගින් අපට පෙන්වා දෙයි. පාලකයෙකු මෙවැනි ගුණාංග වලින් යුක්ත නම් යහපත් පාලන තන්ත්‍රය ක්‍රියාත්මක වේ යැයි කිව හැකි ය.

ඉහත සඳහන් කළ බෞද්ධ රජෙකු තුළ ලක්ෂණ ගැන කථා කරන විට මෙවැනි ගුණාංග වලින් යුක්ත රජෙකු වශයෙන් ඉන්දියාවේ සිටි අශෝක පෙන්වා දිය හැකිය. ඒ බව ඔහුගේ ශිලා ලිපිවලින් පැහැදිලි වෙයි. අශෝක රජු පිහිටු වූ අංක 6 ගිරි ලිපියේ මෙසේ සඳහන් වේ.

“මහජන සුබ සිද්ධිය සඳහා අප්‍රතිහත ධෛර්යෙන් කටයුතු කිරීමේදී මම කිසි විටෙක තෘප්තියට නොපැමිණෙමි. සියලු ලෝකයාගේ යහපත සඳහා වැඩ කිරීම මගේ බලවත්ම යුතුකම යැයි මම සිතමි. නොපසු බස්නා උත්සාහයත් නිතරම වැඩ කිරීමත් එම අදහස මුල් කොට ගෙන කටයුතු කිරීමත් මාගේ යුතුකම කොට සලකමි.

“සියළු ලෝකයාගේ යහපත පිණිස වැඩ කිරීමට වඩා ශ්‍රේෂ්ඨ කර්තව්‍යක් මට වෙන නැත්තේය. මා කුමන උත්සාහයක් ගත්තත්, ඒ ගත්තේ සියලු සත්ත්වයන්ටම ඇති ණයෙන් මිදීමටය. මෙලොවදී ඔවුන් සැපවත් කිරීමටය. පරලොවදී ඔවුනට ස්වර්ගය ලබා දීමටය.

මෙම කරුණු අභ්‍යන්තර දියුණුව සැලසීමත් අශෝක රජුගේ කාර්යන් කොට සලකා ඇති බවයි. අශෝක රජු තම ජනතාව දෙස බැලුවේ පියෙකුගේ ආදරණීය බැල්මෙන් බව සියළුම මිනිස්සු මාගේ දරුවෝ යැයි කාලිංග ගිරිලිපි අංක 2 සඳහන් වේ. ආගමික අවිරෝධතාව ගැන සඳහන් වන ගිරි ලිපි අංක 12 හි මෙසේ සඳහන් වේ. “ඇත්ත වශයෙන්ම අන්‍ය ආගම්වලටද අප සැම ගරු බුහුමන් කළ යුත්තෝය. මෙසේ කරන තැනැත්තා තම ආගම ද දියුණු කරයි. අන්‍ය ආගමටද උපකාර කරයි. එසේම වෙනස් ලෙස කටයුතු කරන්නා , තම ආගමටද හානි කරයි. යමෙක් තමාගේ ආගමට ඇති භක්තිය නිසා අපි අපේ ආගම උසස් කොට දක්වමු. යන අදහසින් තම ආගමිකයන් පසසයිද අන්‍ය ආගමිකයන්ට ගරහයිද එය සුදුසු නොවේ.

බෞද්ධ දේශපාලන දර්ශනයක් නැති බවත්, එය කිසිම දිනක ක්‍රියාත්මක විද නැති බවත් බටහිර උගතුන්ගේ අදහසයි. මේ පිළිබඳ මැක්ස් වේබර් පඩිවරයා මෙසේ සඳහන් කොට තිබේ. ලංකාවේ රජු විසින් කරවන ලද මහා වැව් කර්මාන්ත පරමාර්ථ වශයෙන් හුදෙක්ම ආර්ථික අරමුණු සහිත වේ. ඒවායේ අදහස වූයේ සුබ සාධක ලක්ෂණ දියුණුව සහ අයබදු ගෙවන සංඛ්‍යාව දියුණු කිරීමත් ය.

මේ අදහස මහාචාර්ය කේ.ඇන්.ජයතිලක මහතා ප්‍රතික්ෂේප කරයි. ඒ බව ඔහුගේ සමාජ නීතිය හා මානව අයිතිය පිළිබඳ බෞද්ධ මතය යන කෘතියෙහි සඳහන් කොට තිබේ.

ඔහු එම සිද්ධිය මෙසේ දක්වා ඇත. අශෝක අධිරාජ්‍යයා විසින්ම හුදෙක්ම කරන ලද්දේ බුදු සමයෙහි සඳහන් දේශපාලන ධර්ම අනුගමනය කරන්නට යත්න දැරීම බව දක්නට අපොහොසත් වීම නිසා වේබර් වැරැදි මග ගියේය.

සිංහල රජ දරුවෝත් නිතැතින්ම එම උදාර අදහස ලදහයි නොසිතීමෙන්ද වේබර් වැරැදි මග ගියේය. ලංකාවේ ඉතිහාසය ලිවීමේදී සිංහල රජ දරුවකු විසින් පවසන ලදැයි මෙවැනි දේශයක “අහසින් වට වැසි බිඳකට හෝ මිනිසාට මෙහෙයක් නොකොට මුහුදට ගලා යන්නට ඉඩ දිය යුතු නොවේ” මහ ජනයාගේ සුබ සිද්ධිය නොතකා තමන් සතුදේ භුක්ති විඳිමින් සුඛෝපභෝගී දිවි පෙවතක් ගත කිරීම මා වැන්නෙකුට සුදුසු නොවේ ය යනුවෙන් දැක්වෙන මෙම පාඨය අතිශයින්ම වැදගත් වේ. නීති ගරුක පාලකයන් සඳහා අත්තිවාරම ඉන් තහවුරු වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.