Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සාමය ප්‍රායෝගික කළ ආධ්‍යාත්මික විප්ලවය

වත්මන් ලෝක ජනතාව අපේ මානව සමාජය තුළ දැවෙන ප්‍රශ්නයක් ලෙස සාමය ඇති කිරීම ගැන කතා කරති.

මිනිස්සු වැඩි දෙනෙක් සාමකාමි පරිසරයක් සහ කරදර රහිත වටපිටාවක ජීවත්වන්නට වැඩි කැමැත්තක් දක්වන්නෝ ය. එහෙත් ඇතැම් අඳ බාල මිනිස්සු, ශිෂ්ටත්වයෙන් තොර පුරවැසියෝ, නායකයෝ, දේශපාලකයෝ සහ ඔවුන්ගේ අනුගාමිකයෝ අපේ මේ ගෝලීය සමාජය තුළ තැති ගන්වන සුලු බියක් සහ අනතුරක් මවාපාති.

මෙතෙකැ’යි ගණනින් කිව නොහැකි තරම් සාම සම්මන්ත්‍රණ, සාකච්ඡා, සම්මේලන, රැස්වීම් සහ සංවාද ඉමක් කොනක් නැතිව පවත්වනු ලැබේ. එහෙත් අප පතන එවන් සාමය දිනා ගැනීමෙන් අපට ලැබෙන සතුටක් හෝ සැනසුමක් පිළිබඳ සංඥාවක් හෝ ඉඟියක් හෝ අත්දකින්නට නැත.

න්‍යෂ්ටික සහ ජීව රසායන ආයුධත්, මහා පරිමාණ ලෙස විනාශකාරී ආයුධ සහ වෙනත් නොයෙක් අධිතාක්ෂණික මෙවලමුත්, මේ වනවිට දසක කීපයක් තිස්සේ ලෝකය පුරා ප්‍රධාන මාතෘකාවක් සහ ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. විවෘතව පමණක් නොව අබිරහස් ලෙසත්, ඇතැම් රටවල් ආයුධ සපයන අතර, මානව සංහතිය වනසා දැමීම සඳහා ඇතැම් රටවල් සහ ඇතැම් කණ්ඩායම් සමග අවි ගනුදෙනු කරනු ලැබේ.

මෙකී ව්‍යාපාරයට අදාළව, මානව සංහතියේ වටිනාකම බෙහෙවින් අවතක්සේරුවට ලක්ව ඇත. මනුෂ්‍යත්වය පිළිබඳ ගෞරවය වටිනාකමකින් තොරව මිහිතලයෙන් අතුරුදන් වෙමින් පවතී. මානුෂික අධ්‍යාත්මික ගුණාත්මකභාවයත්, ආචාර්යධර්ම හා ගුණධර්මත් විස්මිතාකාරයෙන් වැළලී යමින් තිබේ. අද අපේ මානව සමාජය තුළ ඒවා ධනයට හා බලයට නතුව හෝදාපාළුවට යමින් ඇත. මේ විපරීතතා අපේ සමාජය සාහසිකත්වයට හා යුද්ධයට ඇද දමා තිබේ. සාහසිකත්ව සංස්කෘතික තැති ගන්වන සුලු පරිදි වර්ධනය වෙයි. ඒ අතර සාම ශිෂ්ඨාචාර්ය සර්ව අශුභවාදී සහ බලාපොරොත්තු සුන්වන පරිදි අතුරුදන් වෙයි.

සාමයේ නාමයෙන් සිදුවන මේ ගනුදෙනු කෛරාටික ය. නින්දිත ය. අවඥා සහගත ය. එයින් අපේ මානව පවුලේ සාමාජිකයන් තුළ සිය පෞද්ගලික ව්‍යාජ න්‍යාය පත්‍රයක් සාර්ථක කර ගැනීමට අදාල නමුත්, පිළිගත නොහැකි අවුල් වියවුල් ඇති කිරීමට පෙළඹවීමක් හා දිරි ගැන්වීමක් එමගින් ඇති කරනු ලැබේ.

සැබෑ සාමය උදාකරගනු පිණිස කෙනෙකුගේ සිත තුළ අවංකකම, අව්‍යාජබව සහ සත්‍යවාදිබව විද්‍යමාන විය යුතු ය. පරම ගුරු වූ බුදුරජාණන් වහන්සේ වසර 2550 කට පමණ පෙර හතළිස් පස් වසරක් පුරා අපමණ දේශනා මගින් නිත්‍ය සාමය සාක්ෂාත් කරනු පිණිස අනුගමනය කළ යුතු පරිපූර්ණ මාර්ගය ඉතා කෙටියෙන් අවධාරණය කළ සේක.

වරක් බුදුහිමියෝ මෙසේ වදාළ සේක

න හි වේරේන වේරානි
සම්මන්තිධ කුදාචනං
අවේරේන ච සම්මන්ති
ඒස ධම්මෝ සනන්තනෝ - ධම්මපද

‘මෙලොව කිසිදා වෛරයෝ වෛරයෙන් නොසන්සිඳෙත්, අවෛරයෙන්ම (මෛත්‍රීයෙන්) සංසිඳෙත් මෙය සනාතන දහම යි’.

බුදුන් වහන්සේගේ ඉහත සඳහන් දේශනා පාඨයට අනුව, අපමණ වසර ගණනක් තිස්සේ නොගිණිය හැකි අහිංසක ජීවිත හා ඔවුන්ගේ නිවහන් විනාශ කිරීමට තුඩු දුන් සාහසිකත්වයට හා යුද්ධයට විසඳුමක් හා එහිලා ඉවරයක් නොදැකිය හැකි මූලික හේතු හා නිදානයත්, අපට තේරුම් ගත හැකි ය.

නොයෙකුත් සාකච්ඡා සහ ඊනියා සාම කතාබහ වලින් සාහසිකත්වය අවම කරන්නට හා සාමය දිනා ගන්නට මෙතෙක් කවර උපක්‍රමයකින් හෝ ක්‍රමවේදයකින් දායකත්වයක් සපයා නැත. ඒ සියල්ල කතාවට පමණක් සීමා වී ඇත.

වර්තමානයේ ගෝලීය සමාජය තුළ වැඩිතමයක් රාජ්‍ය නිලධරයන්ගේත්, සාම නියෝජිතයන්ගේත්, දේශපාලකයන්ගේත් සිත්හි ධන හා බල තණ්හාව, යටිතල න්‍යාය පත්‍රයක සහ අභිලාෂයක් බවට පත්ව ඇත.

තමන් බෞද්ධ, ක්‍රිස්තියානි හා ඒ ආදි වශයෙන් හඳුන්වා ගනිමින් බුදුන් වහන්සේගේ සහ වෙනත් ආගම් කර්තෘවරුන්ගේ් දේශනා ගීතස්වරයෙන් මන්ද බුද්ධිකයනට අර්ථකථනය කරන, ධනයට හා බලයට කෑදර වන්නාහු, මේ ජීවිත කාලයේදී සාමය, සහජීවනය සහ එක්සත්කම දිනා ගනු පිණිස අනුගමනය කරන්නට සහ පුහුණු වන්නට දයානුකම්පාවෙන් අපට අනුශාසනා කළ බුදුන් වහන්සේ සහ වෙනත් ආදී ආගමික පියවරුන්ගේ් මූලික ප්‍රතිපත්ති හා උපදෙස් විවෘතව ම සහ නොහික්මුණු ඉරියව්වෙන් යුතුව උල්ලංඝනය කරති.

බුදුන් වහන්සේ යහපත් ඵලදායක ගුණ පුහුණු කිරීමේ ආනිශංසත්, අයහපත් ඵල දෙන දුර්ගුණ වගා කිරීමේ අවාසියත් පැහැදිලි ලෙස විස්තර කළ සේක. ඕනෑ ම පුද්ගලයෙක් ගුණවත් හා දැහැමි අයකු ලෙස ඔහුගේ ආචාර සමාචාරය තමාට සහ අනුනටත් හිතකර වන සේ පැවැත්විය යුතු ය. කෙනකුගේ් ඇතැම් ක්‍රියා ඔහුට යහපත් ඵලදායක විය හැකි වුවත්, අනුනට අනර්ථදායක විය හැකි බව සඳහන් කිරීම වැදගත් ය. එබැවින් එවැනි ක්‍රියා වලින් වැළකිය යුතුªය. බුදුන් වහන්සේගේ් මේ විශිෂ්ට අවවාදය පිළිපදින්නේ්නම් කිසිවකුª සාහසිකත්වයේ හෝ යුද්ධයේ නාමයෙන් පීඩාවට පත්වන්නේ නැත.

ඇතැම් පුද්ගලයන් මෙත්තා, කරුණා, මුදිතා සහ අපේක්ෂා යන උදාර ගුණ වලින් තොරවීම කුරිරු ක්‍රියා සහ සාහසිකත්වය වඩාත් ප්‍රබලවීමට හේතු වී ඇත. බොහෝ ආගම් උන්මත්තකයන් සිය චිරන්තන දෘෂ්ටිය සහ විශ්වාසය ගැන පාරට්ටු කළත් ඔවුන්ගේ අනුගාමිකයන් අතර පවත්නා අධ්‍යාත්මික ප්‍රවීණත්වය දුර්ලභ ය. එහි ප්‍රතිඵලය වන්නේ් අනුගාමිකයන්ගේ් අධ්‍යාත්මික ප්‍රගමනය බිඳ වැටීම යි.

කෙනෙකුට තමාගේ කෝපය පාලනය කර ගැනීමට නොහැකිව, අනෙක් අය සමඟ සම්පත් බෙදාහදා ගැනීමට අසමත්වීම, මානව අයිතිවාසිකම් උල්ලංඝනය සහ සම අවස්ථා විෂයයෙහි තෘෂ්ණාව වනාහී උදාර ගුණ ඌණතාවේ ප්‍රතිඵලයෙන් අත්දකින්නට ලැබෙන ලක්ෂණ යි.

නිර්වාණය නමින් හැඳින්වෙන අද්විතීය සහ විශිෂ්ට අධ්‍යාත්මික සාමය දිනූ සත්‍යවාදී සාම සාධකයකු ලෙස අනුන් සඳහා බියෙන් තොර වටපිටාවක් ඇති කරනු සේම අධ්‍යාත්මික සාමයට එළඹෙනු පිණිස මෛත්‍රීය ප්‍රගුණ කරන්නට මාර්ගය ද බුදුන් වහන්සේ විසින් මහා පරිමාණ වශයෙන් අවධාරණය කර ඇත.

තවද බුදුන් වහන්සේ අප තුළ වාචිකව හා කායිකව පුපුරා යනු හැකි අඬදබර හා වියවුල් නිර්මාණය කරන සහ ඒවා දිරි ගන්වන අත්‍යන්ත හේතුව සහ ඒවායේ මෙහෙයුම් ජවන ශක්තිය වන්නේ තෘෂ්ණාව බව අපට පැහැදිලිව ම උගන්වා ඇත.

ඒ බව බුදුන්වහන්සේ ධම්ම පදයෙහි මුල් ම ගාථා ධර්මයෙන් හෘදයංගම ලෙස මෙසේ දක්වන සේක.

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨෙන
භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති
චක්කංව වහතෝ පදං

සිතිවිලි වලට සිත මුල්වෙයි. ඒවාට සිත ම ශ්‍රේෂ්ඨ ය. ඒවා සිතින් ම උපදී. ඉදින් යමෙක් කිළිටි සිතින් යමක් කියයි හෝ කරයි ද ගොනා පසුපස ඇදෙන රිය සක මෙන් එයින් ඔහුට දුකක් ම එළඹෙයි.

මේ අමිල වූ ගාථා ධර්මය වසර 2550 කට වඩා පුරාතන වුවත්, බුද්ධිමත් ජනතාව විසින් ඒවා සර්වකාලීනව කොතරම් ආදර්ශ සම්පන්න ද, ප්‍රායෝගිකද, අව්‍යාජ දැයි වටහාගෙන ශ්‍රේෂ්ඨත්වයෙන් පිළිගනු ලැබ ඇත.

බුදුන් වහන්සේගේ සාරාර්ථ සම්පන්න ඉගැන්වීමක් වන බ්‍රහ්ම විහාර හෙවත් සතර බඹ විහරණ ආධ්‍යාත්මික බාහිර සාමය සාක්ෂාත් කරගනු පිණිස ඕනෑ ම කෙනෙකු විසින් තමා තුළ සංවර්ධනය කළ යුතු ගෝලීය සමාජය පුරා ව්‍යාප්ත කළ යුතු මූලික සිද්ධාන්තයෝ ය.

එනම්, මෙත්තා හෙවත් මෛත්‍රීය නම් වූ විශ්ව මිත්‍රත්වය, කරුණා නම් වූ අනුන්ගේ දුකෙහිදී සිතෙහි ජනිත වන අනුකම්පාව, මුදිතා හෙවත් අනුන්ගේ් යහපත , සෞභාග්‍යය, සමෘද්ධිය ජයග්‍රහණය හා ප්‍රගතිය විෂයයෙහි සානුකම්පිත සන්තුෂ්ටිය හෝ සෝමනස්සය සහ උපේක්ඛා නම් වූ ඇති සැටියෙන් දැකීම යන සතරයි.

ඉදින් කවරෙක් හෝ කම්ම නියාමය විෂයයෙහි අවබෝධයක් ඇත්තකු වේද එය පිළිගන්නේ්ද ඔහු කවර දාකවත් කවර ආකාරයක හෝ අනර්ථදායක සිතිවිලි රෝපණය කරන්නට සහ කයින් හා වචනයෙන් අසාධාරණයක් කරන්නට ඉඩ සලසා ගන්නේ නැත.

තවද බුදුන්වහන්සේ ප්‍රඥාවන්තයන් විසින් අනුගමනය කළ හැකි ප්‍රායෝගික වශයෙන් අත්දැකිය හැකි සහ සාක්ෂාත් කළ හැකි අද්විතීය සහ විශිෂ්ට විමුක්ති මාර්ගයක් සොයාගෙන එය සංස්ථාපිත කළ සේක. නිරීක්ෂණයෙන් සහ පරීක්ෂණයෙන්, තමන්ගේ් සැඟවුණු ලැදිකම් සහ හැඟීම් පාලනය කර සිය මනස පුහුණු කරන්නට සහ දමනය කරන්නට හැක්කාහු ප්‍රඥාවන්තයන් ලෙස හඳුන්වනු ලබත්. සාහසිකත්වය මුලිනුපුටා දමා සැබෑ සාමය දිනාගත හැකි වන එකම මඟ එයයි.

වරක් ඉන්දියාවේ පළමුවැනි අගමැති පණ්ඩිත ශ්‍රී ජවහල්ලාල් නේරු මෙසේ කීය.

සාමය යනු ජාතික ඤාතිත්වය නොවේ. එය, අධ්‍යාත්මික ශික්ෂණය මගින් සාක්ෂාත්කර ගත යුතු මානසික ගිවිසුමකි. සාමය යනු හුදෙක් යුද්ධයෙන් තොරවීම නොවේ. එය ජාතික චින්තනයයි. නිත්‍ය සාමය සාක්ෂාත් වියහැකි වන්නේ් සාමකාමී ජාතියක් වෙත පමණකි.’

නේරුතුමා සිය අගමැති නිල සමය තුළ නොයෙක් වර සාමය දිනා ගන්නට ඇති එකම මඟ බුදුන් වහන්සේගේ් විමුක්ති මාර්ගය වෙතියි නිහතමානිව සහතික කර සහ ප්‍රෞඪව ප්‍රකාශ කර ඇත.

මම යළි නේරුතුමාගේ් එම ප්‍රකාශයක් මෙසේ උපුටා දක්වමි.

“අපි බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මය අනුගමනය කරමු නම්, අපි අවසාන වශයෙන් ලෝක සාමයත්, සන්හිදියාවත් දිනා ගනිමු”

තවද සර්වෝදය ව්‍යාපාරයේ සුපතල නායක ඒ. ටී. ආරියරත්න මහතා මෛත්‍රී සහගතව ක්‍රියාකරන අතර, එහිලා ජනතාව මෙහෙයවමින් හා දිරි ගන්වමින් සාමය දිනා ගන්නට දරන උත්සාහය අගය කළ යුතු ය. උපදෙස් දෙමින් පමණක් නොව ප්‍රායෝගිකව අත්හදා බලමින් සහ පතුරුවමින් ද නිත්‍ය ආධ්‍යාත්මික සාමය දිනා ගන්නේ් කෙසේදැයි උගන්වන ඔහු, අප හැම දෙනාට ම කදිම සජිවී උදාහරණයකි. මෙය හැමවිට ම නුවණැත්තන් විසින් අගය කරනු සහ පසසනු ලබන්නේ් ය.

බුදු දහමට අනුව, ඔබ වපුරන දේ ඔබ නෙළා ගන්නෙහි ය. කවර පසුබිමක් යටතේ් හෝ යමෙක් තවත් කෙනෙකු හෝ දෙයක් කෙරෙහි කෝප ගන්නා හැම විටක ම ඒ තැනැත්තා අකුසල කර්මයක් කර ගනි යි. එකල්හි නියත වශයෙන් ම එහි ප්‍රතිඵලය අනතුරුදායක වෙයි. ඔහු නිතර ම අන්‍යයන් අතර දොම්නස වගා කරන්නෙකි. එහෙත් අනෙක් අතට යමෙක් සිය සිත සාමයෙහි පිහිටුවා ඉවසීම ප්‍රගුණ කරන සමාධිගත වන්නේ් නම් ඔහු එකල්හිත්, ඉදිරියෙන් ඉදිරියටත් සාමයම අත්දකින්නෙහි ය.

ලොව පුරා සාමය පැතිරවීමට අපට හැකි එක ම මඟ එයයි. අප එක් එක් අය පළමුවෙන් තම සිත දියුණු කොට, යහපත රෝපණය කළ යුතුªය. එවිට අපට ඒ අනුව කුසල පාක්ෂිකව ක්‍රියාකළ හැකි වන්නේ ය. එකල්හි අපට සාමය උදා කර ගන්නට හැකි වන අතර, අපේ ක්‍රියා මඟින් ලොව පුරා ද සාමය ව්‍යාප්ත කරන්නට හැකිවනු ඇත.

ඔබ යුද බීජ වැපුරු කල්හි ඔබට යුද අස්වනුම ලැබෙන්නේ ය. ඉදින් ඔබ සාම බීජ වපුරන්නේ නම් ඔබට සාම අස්වනු ම ලැබෙන්නේ්ය.

අපි යළිත් ධම්මපදයකට සවන් දෙමු

න අත්ත හෙතු න පරස්ස හේතු
න පුත්ත මිච්ඡේ න ධනං න රට්ඨං
න ඉච්ඡෙය්‍ය අධම්මේන සමිද්ධිමත්තනෝ
ස සීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා

ධම්මපද - පණ්ඩිත වග්ග 08

තමා නිසා හෝ අනුන් නිසා හෝ පුතකු හෝ ධනයක් හෝ රටක් හෝ නොපතනු මැනවි. අධර්මයෙන් තමාගේ් සමෘද්ධිය නොපතනු මැනවි. එවැනි තැනැත්තේ සිල්වතකු ද නැණවතකු ද දැහැමියකු ද වන්නේ ය.

(බුදුසරණ 2007.05.10 වන දා පත්‍රයේ පළ කරන ලද පූජ්‍ය හොරොව්පොතානේ සතින්ද්‍රිය හිමියන්ගේ Buddha who guided us to inner Peace මැයෙන් වූ ලිපියේ පරිවර්තනයකි.)


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.