Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

උපැවිදි වීම් වළක්වන වගකීමෙන් කොටසක් ඔබටත්

මිනිස් සිත කාම වස්තු කෙරෙහි නිරායාසයෙන්ම ඇදී යෑම ස්වභාවයකි. එවැනි තත්ත්වයකදී පැවිදි ජීවිතයක් ගත කිරීම යනු පහසු කටයුත්තක් නොවේ. ඒ නිසා පැවිදි ජීවිතය අත හැර උපැවිදි වීම සෑම කලකම දක්නට ලැබෙන්නකි. පැවිද්ද අත හැර ගිහි බවට පත්වීම, බුදු දහමට අනුව බලන විට ජීවිතය පහත් තත්ත්වයකට ඇද දැමීමකි. එය හැඳින්වෙන්නේ ‘හීනායවත්ත’ යන වචනයෙනි. මජ්ක්‍ධිම නිකායේ භික්ඛු වර්ගයේ චාකුම සූත්‍රයේ පැවිදි බව අතහැර යෑමට හේතුවන කරුණු සතරක් සඳහන් වෙයි.

1. ඌමි භය (දිය රැළි භය)

ජාති, ජරා ව්‍යාධි මරණ ආදී දුක් දොම්නස් වලින් නිදහස් වීමේ අරමුණින් කෙනෙක් සැදැහැ සිතින් පැවිදි වෙයි. එම භික්ෂුවගේ හැසිරීම් රටාව මැනවින් පවත්වාගෙන යෑමට සෙසු භික්ෂුන්ගේ උපදෙස් ලැබේ. ඔබ මෙලෙස ගමන් කළ යුතුය. ඔබගේ අත් පා, හැසිරවීම මෙසේ කළ යුතුය. ඔබ සිවුරු පෙරවිය යුත්තේ මෙලෙසය ආදී උපදෙස් ලැබෙන විට එම භික්ෂුව මෙසේ සිතයි. ගිහි ජීවිතයේ මෙවැනි කරදර නොතිබිණි. මගේ කැමැත්තට අනුවම හැසිරුණෙමි එකල මම අනුනට උපදෙස් දුනිමි. දැන් මටත් වඩා වයසින් බාල අය මට උපදෙස් දෙති. මෙසේ සිතා කෝපයට පත් වන ඒ භික්ෂුව මහණකම අතහරියි. එය ජලයට බැස්ස තැනැත්තකු දිය රැල්ලට හසුව විනාශයට පත්වීම හා සමාන ය. ‘ඌමි භය’ යනු ක්‍රෝධය හා මානය නිසා පහත් තත්ත්වයට පත් වීම යි.

2. කුම්භීල භය

ආහාර පාන වැළඳීමේදී විකාල භෝජනයෙන් වැළකිය යුතුය. සංවර බවින් යුතුව පමණ දැන ගෙන ආහාර වැළඳිය යුතුය ආදී වශයෙන් උපදෙස් ලැබෙන විට ඇතැම් පැවිද්දෝ මෙසේ කල්පනා කරති. මා ගිහිව සිටින විට මට මෙවැනි කරදරයක් නොතිබිණි. මට සිතුණු වේලාවට සිතුණු ප්‍රමාණයට මම එකල කෑවෙමි, බීවෙමි, එහෙත් මේ පැවිදි බව දැන් එයට බාධාවකි. එසේ සිතන ඇතැම් භික්ෂූහු උපැවිදි වෙති. කෑදරකම නිසා මහණකම අතහැරීම හඳුන්වන්නේ ජලාශයකට බැස්ස කෙනකු කිඹුලන්ට හසුවීමක් ලෙසිනි.

3. ආවට්ට භය

සසර දුක් වලින් නිදහස් වීමට සිතාගෙන පැවිදි බවට පත් ඇතැම් භික්ෂූහු ඉඳුරන් සංවර කර නොගෙන ගම් නියම් ගම් වල හැසිරෙන විට පස්කම් සැප විඳින පුද්ගලයන් දකියි. ගිහි ගෙය වසන විට අපද මේ අයුරින් පස්කම් සැප වින්දෙමු. අපට බොහෝ සැප සම්පත් තිබිණි. මහණවීම නිසා ඒ සියල්ල අහිමි විය. නැවතත් ගිහි ගෙයට එළඹ පස්කම් සැප විඳීම සුදුසු යැයි සිතන එම භික්ෂූහු සිවුරු හරිති. ජලාශයට බැස්ස කෙනකු දිය සුළියකට හසුවී විපතට පත්වීම, එයට සමානය. ආවට්ට භය යනු පස්කම් සැපය යි.

4. සුසුක භය

ඇස්, කන්, නාසය ආදි පසිඳුරන් සංවර කර නොගෙන හැසිරෙන ඇතැම් පැවිද්දෝ ඇඟ පසඟ මැනවින් ආවරණය කර නොගත් කාන්තාවන් දැක රාගයෙන් මුසපත් වෙති. එයින් සිහි මුලාවට පත්වන භික්ෂූහු සිවුරු හරිති. ‘සුසුකා භය’ යනු කාන්තාවන් සඳහා යෙදු වචනයකි.

පැවිද්දකු සිවුරු හැරයෑමට බලපාන ඉහත සඳහන් හේතු ඇතැම් වර්තමාන භික්ෂු සමාජයටද අදාළ වන අවස්ථා තිබේ. අතීතයට වඩා මහණකම අත්හැරීමට බලපාන හේතු රාශියක් වර්තමානයේ දක්නට ලැබේ.

මවුපිය ඇසුරෙන් වෙන්වී පැවිදි බවට පත්වීම ළමා වයසේදීම ජීවිතයේ අභියෝගයකට මුහුණදීමකි. විශේෂ දින චර්යාවකට අනුව හැඩ ගැසීමකි. ස්වාධීනව තම කටයුතු සිදු කරන අතර දායකයන්ගේ ආගමික කටයුතුද නොපිරිහෙළා ඉටු කර දීමට සාමණේර හිමිනමකට සිදුවෙයි. ඒ සඳහා කාල නියමයක් නැත. සාමණේර හිමිවරුන්ගේ අඩු පාඩු පිළිබඳ ඒ අයගේ වයස මානසික තත්ත්වය පවා නොසලකා කරුණාවෙන් නොව කේලාම් ස්වරූපයෙන් පැවිදි ආචාර්යවරයාණන්ට පැමිණිලි කර ගුරු ගෝල සබඳකම බිඳ දමන දායකයෝද වෙති. ඔවුන් ඇතැම් විට එසේ කරන්නේ ඔවුන්ගේ පවුල් අතර තිබෙන ආරවුල් නිසාය. සාමණේර හිමිවරුන් උපැවිදි වීම හෝ උපැවිදි කිරීම එහි අවසාන ප්‍රතිඵලයයි. තම සිසු දරුවන් නිසි ලෙස තේරුම් නොගැනීම හා ඔවුන්ගේ මානසික මට්ටම ගැන කල්පනා

නොකර දායකයන්ගේ වචනයට ඇහුම්කන් දීම ඇතැම් ගුරු හිමිවරු කරන වරදකි.

මහණ දම් පුරන ගුරු ගෝල දෙදෙනා අතර තිබිය යුත්තේ පිය පුතු දෙදෙනෙකු අතර පවතින අන්දමේ සෙනෙහසකි. තම පැවිදි සිසුවා කන බොන හැටි, යන එන හැටි, සිවුරු පොරවන හැටි ආදී ඔහුගේ සෑම හැසිරීමක්ම විමසිලිමත්ව හිද ක්‍රමානුකූලව හැඩගැස්වීම ගුරුවරයාගේ වගකීමකි. ගුරුවරයා කෙරෙහි සෙනෙහස, පැහැදීම හා ගෞරවය දක්වන ශිෂ්‍යයා ශිෂ්‍යභාවයෙන් ඉවත් කිරීමේ බලයක් භික්ෂුවකට නැත. තමන් කළ වරදට ශිෂ්‍යයා සමාව ඉල්ලනවා නම් සමාව දිය යුතුය. ගුරුවරයා එයට එකඟ නොවේ නම් සුදුසු වෙනත් භික්ෂුවකගේ සහයෝගය ශිෂ්‍යයා විසින් ලබාගත යුතු වෙයි. එහෙත් පැවිදි ගුරුවරුන්ගේ වරද නිසා අකමැත්තෙන් වුවද උපැවිදි වන පිරිසක්ද වෙති. නිසි රැකවරණය හා යහපත් ජීවිතයකට අවශ්‍ය මග පෙන්වීම සෑම සාමනේර හිමි නමකටම ලැබනවාද යන්න සොයා බැලිය යුතු වෙයි. ළමා වයසේදී පැවිදි බවට පත් කිරීමට විරුද්ධව ළමා අයිතිවාසිකම් ඉදිරිපත් කරමින් සමාජය තුළ මතවාදයක් ගොඩ නගන බෞද්ධ විරෝධී ව්‍යාපාරයක්ද ඇත.වර්තමානයේ භික්ෂුව ගේ සමාජ ප්‍රතිරූපය කෙලෙසන දේශපාලන හා ආගමික ව්‍යාපාර තිබේ. භික්ෂුන් විවේචනය කරමින් තම ව්‍යාපාර පවත්වාගන යන බෞද්ධ නාමයෙන් පෙනී සිටින කණ්ඩායම් ද ඇත. බස් රථයක නියමිත අසුන නොදීම, භික්ෂූන් දුටු විට බස් රථ නොනවත්වා යම, ටෙලිනාට්‍ය හා චිත්‍රපට සඳහා භික්ෂු චරිතය සහ චීවරය යොදා ගැනීම, ඇතැම් පුවත්පත් බෞද්ධයන් තුළ භික්ෂුව කෙරෙහි පවතින ගෞරවපූර්වක ආකල්පය කෙලෙසීම, පැවිදි නායකත්වය නොපිළිගන්නා තත්ත්ව ආදිය ද මතුව තිබේ. තම ජීවිතය අනාරක්ෂිතය යන හැඟීම භික්ෂුව තුළ ඇති වී තිබේ. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සජීවී බලවේගය වර්තමානයේ වැඩ සිටින නවක භික්ෂුව යි. රටක් අර්ථයෙන් ධර්මයෙන් ගොඩ නැගීමට නම් සඟ පරපුර අත්‍යවශ්‍ය වෙයි. අත්ථධම්මානුසාසකෝ ලක්දිව බුදු සසුන තවත් අවුරුදු දහස් ගණනක් නිරුපද්‍රිතව පවත්වාගෙන යෑමේ ප්‍රධාන වගකීම භික්ෂුව සතු වෙයි. උන්වහන්සේට එම කාර්යය සිදු කළ හැකි වන්නේ ශාසනයේ කොටස් කාරයන් වන ගිහියන්ගේද අනුග්‍රහය ලැබුණු විටය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.