පිනෙන්-දහමෙන්
සිත නිවූ වස්සානය
අඹේපුස්ස ධර්ම ගවේෂණ ආශ්රමයේ
කෝට්ටේ සාසනතිලක හිමි
ධර්ම විනය උගෙන විසි වයස් පූර්ණව උපසම්පදාවට පත්වන භික්ෂූන් වහන්සේ,
බුද්ධ ශාසනයේ උරුමයකි. ශාසනය පිළිබඳ වගකීම උන්වහන්සේ සතුය. උපසපන්
භික්ෂූන් නොමැති කළ ශාසනයක්ද නැත්තේමය. ප්‍රවෘජ්‍යා භූ®මියට ප්‍රවිශ්ඨව
අධිසිල් ලැබූ භික්ෂූන්වහන්සේ විනය ශික්ෂා 227 ක් මූලිකව ගිණිය නොහැකි
තරමේ විනය නීති සමූහයකින් තම සංවරය රැක ගනිති. එසේම චීවර, පිණ්ඩපාත,
සේනාසන, ගිලාන ප්‍රත්‍යය යන සිවුපසය මූලිකව, ලැබෙන අනෙකුත් ප්‍රත්‍ය
පහසුකර්ම පරිහරණය කරන්නේ ප්‍රත්‍යවේක්ෂා කරමිනි. ඒ වාගේම ශුන්‍යාගාරාදී
විවේක ස්ථාන ඇලුම් කරමින් භාවනා වැඩීම භික්ෂූන් වහන්සේගේ මහණ දම්
පිරීමයි. ඒ සඳහා පර්යාප්ති, ප්‍රතිවේදයෙන් ශාසන ප්‍රතිපදාව සමන්විත ය.
දසධම්ම සූත්‍රය, අංගුත්තර නිකායේ ආකÿඛ්‍යෙය වැනි සූත්‍රවලින් බොහෝ
කරුණු පැහැදිලි වේ. මෙම භික්ෂූන් වහන්සේ වසරකට වරක් යෙදෙන වස්සාන සමයේ
වස් සමාදන් වීමද කළයුතබව බුදුන්වහන්සේ අනුදැන වදාළහ.
එකල දඹදිව විසූ අන්‍ය ආගමික පූජකයන් වහන්සේ වැසි සමයේ දළුලන කුඩා තෘණ
ශාක හෝ පෑගීම පාපයක් බවට ජන මතයක් ඇතිකර තම සෙනසුන් තුළට වී ව්‍රත
සමාදන්ව වැසි තුන්මාසය ගත කළහ.
බොහෝ දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස චාරිකාවේ යෙදෙන ලෙස දුන් බුදු ඔවදනට
අනුව පරාර්ථකාමී භික්ෂුන් වහන්සේ වැසි කාලය නොතකා ධර්ම චාරිකාවේ නිරත
වූහ. උන්වහන්සේ දළුලන කුඩා ශාක පවා විනාශ කර දමමින් වැසි සමයේද සංචාරයේ
යෙදෙනවා යැයි අන්‍ය භක්තිකයන්ගේ දෝෂාරෝපණයට ලක්විය. එම සිදුවීම
හේතුකොටගෙන බුදුන් වහන්සේ වස්වැසීම අනුදැන වදාළ අතර එය වඩා අර්ථවත්වීම
සඳහා වැසි තුන්මාසය තුළ බවුන් වඩා තම අධ්‍යාත්මය දියුණු කරගන්නට උපදෙස්
දුන් සේක. ඒ අනුව කටයුත කළ බොහෝ භික්ෂූන් වහන්සේ තම මුඛ්‍ය පරාමාර්ථ
සාක්ෂාත් කරගත් හ.
භික්ෂූන් වහන්සේ ඇසළ පොහොය දින උපෝසථ විනය කර්ම සිදුකොට පසුදින එනම්
ඇසළ අව පෑලවිය දින වත නිමවා බුදුන් පුදා ‘පෙරවස්’ සමාදන් වෙති.
නොවැළැක්විය හැකි කරුණක් යෙදී එදින වස් සමාදන් වන්නට නොහැකි වූ විට,
මතු එළඹෙන නිකිණි පෙහොය දින උපෝසථය කොට පසුදිනයේ සමාදන්වීම ‘පසු වස්’
සමාදානය යි. අනතුරුව ඉදිරි තුන්මසක කාලය විහාරස්ථාන සෙනසුන් තුළට වී
බවුන් වඩා අධ්‍යත්මය දියුණු කරගැනීමට ප්‍රයත්න දැරීම, වස් සමාදන්වීමේ
සැබෑ අරුතයි. අකාලික වූ සම්බුද්ධ දේශනාවට අනුව එම ප්‍රතිපදාව අදටත්
වලංගු ය. අත්‍යවශ්‍ය ශාසනික කටයුතු සඳහා අවසරගෙන විනය නීතිවලට අනුව
බැහැර යෑමට භික්ෂූන්වහන්සේට අවස්ථාව ලබාදී ඇත.
බුදුන් වහන්සේ ධරමාන කාලයේ දී වස් නිමකරන භික්ෂූන්වහන්සේගේ වැදගත්ම
කාර්ය වූයේ බුදුන් වහන්සේ බැහැදැක තමන් ලැබූ අධිගම පිළිබඳ ප්‍රකාශ
කිරීමයි. එම ගමනේ්දී භික්ෂූන් වර්ෂාවට හසු වී තෙත බරිත සිවුරු දරන්නට
වීම හේතුකොට ගෙන අතිරේක සිවුරු දැරීමට ද බුදුන්වහන්සේ අනුදැන වදාළහ.
මෙම පුණ්‍ය කර්මයේදී කඨින චීවරයට ප්‍රමුඛස්ථානයක් ලැබෙයි.
වර්තමානයේ දී වස් පින්කම අරඹයා යම් වෙනස්වීම් හා එකතුවීම් සිදුව තිබීම
ස්වභාවිකය. එහෙත් බුද්ධ කාලයේදී මෙන්ම සැදැහැවත් බෞද්ධ පින්වතුන් වස්
ආරාධනය කොට තුන් මාසය පුරා භික්ෂූන් වහන්සේට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම්
සළසා දෙති. අවසානයේ ඔවුන් හැකි උපරිම අයුරින් කඨින පින්කර්ම පවත්වා
කඨින චීවර පූජාව සිදුකර ගනිති.
බුදුන් වහන්සේ කෝසලයේ වැඩවසන සමයක වස් ආරාධනා ලැබූ භික්ෂූන් වහන්සේ
සැටනමක් සහ ප්‍රධාන දායිකාව මාර්ගඵල ලැබූ ආකාරය ධම්මපදට්ඨ කථාවේ කතා
ප්‍රවෘත්තියකින් හෙළිදරව් වෙයි. බුදුන් වහන්සේගෙන් කර්මස්ථාන ලබාගත් එම
භික්ෂූන් වහන්සේ පිරිස, වස් වැසීම පිණිස ස්ථානයක් සොයමින් එක්තරා
ගම්මානයකට, පැමිණ පිඬුපිණිස හැසිරුණේය. එගමෙහි පදිංචි ‘මාතිකමාතා’ නම්
උපාසක මාතාව විමසා කරුණු දැන, භික්ෂූන් වහන්සේට වස් ආරාධනා කළාය.
සුදුසු ආරාමයක් සකසා දුන් ඕ තොමෝ අවශ්‍ය ප්‍රත්‍ය සපයා දුන්හ. දිනක් එම
ආරාමයට පැමිණි ඇය භික්ෂූන් පෙනෙන්නට නොසිටි හෙයින් විමතියට පත්ව
විහාරගෙයි එල්ලා තිබූ ශබ්ද උපකරණය හඬ නැංවූවා ය. මද වෙලාවකින් භික්ෂූන්
වහන්සේ වෙන්ව පැමිණ අසුන් ගත්හ. එකිනෙකා අතර කතාබහක් නොවීය. ඇය ඒ
පිළිබඳ විමසුවා ය. භික්ෂූන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළෝය. ‘මාතාවෙනි’
බුදුන්වහන්සේගෙන් කර්මස්ථාන ලැබ මෙහි පැමිණි අපි කතාබහ නතරකොට වීර්ය
වඩා මහණදම් පුරන්නට තීරණය කර ගත්තෙමු. හදිසි අවස්ථාවකදී පමණක්
විහාරගෙයි එල්ලා ඇති ගෙඩියේ (සාරන ලද ලීකොට) හඬනංවා එක්වන්නට
කතිකාකරගෙන සිිටියෙමු. අප අතර අසමගියක් සිදුව නැත.
එය අසා සතුටට පත් මෙම දායිකාව මහණදම් පිරීම යනු කුමක්ද? එය අපට කළ
නොහැකිදැයි පෙරලා විමසුවාය. සීලය ආරක්ෂා කර ගනිමින් ද්වත්තිංසාකාරය
හෙවත් ශරීරයේ කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ....’ ආදී වශයෙන් ඇති කුණප
තිස්දෙක සිහිකිරීම, කමටහන් වැඩීම කයේ අනිත්‍ය ස්වභාවය දැකීම සිත එක
අරමුණක පිහිටුවාගෙන සිටීම යනාදිය මහණදම් පිරීම බව, භික්ෂූන් වහන්සේ ඇයට
පහදා දුන්හ. ද්වත්තිංසාකාරයත්, භාවනාවෙහි සිත පිහිටුවා ගැනීමත් පිළිබඳ
බොහෝ කරුණු භික්ෂූන් වහන්සේගෙන් අසා දැනගත් මාතික මාතාව අලසබව, අපහසුව
දුරලා නිතර භාවනාවෙහි යෙදුණාය. ප්‍රතිඵලය වූයේ ඇය කල් නොයවාම අනාගාමී
ඵලයට පත්වීමයි. ඒ සමගම සිව් පිළිසිඹියා හා ලෞකික අභිඥාද ලැබුහ.
මඟඵල සුව ලබා සතුටට පත් ඇය පළමුවෙන්ම කළේ ඇයට උපකාර කළ ඒ බුද්ධ
පුත්‍රයන් වහන්සේ එම ධර්ම අවබෝධය ලබා ඇත්දැයි දිවැසින් විමසීම ය. එම
භික්ෂූන් රාග, ද්වේෂ, මෝහ සහිත බවත්, විදර්ශනා මාත්‍රයක්වත් ලබානැති
බවත් දැනගත් ඕ තො මෝ මාර්ගඵල ලැබීමට උන්වහන්සේට වාසනාව නැතිදැයි සොයා
බැලුවාය.
උන්වහන්සේට ඒ සඳහා පෙර පින් ඇති බව දැනගත් ඇය අවශ්‍ය පමණ ආහාර නොලැබීම
බාධාවක් වී ඇති බවද දියැසින්ම දැන ගත්තා ය. ඇය වහාම අවශ්‍ය ආහාර දී
ප්‍රත්‍ය නොඅඩුව ලැබෙන්නට සැලැස්වූවා ය. වස්තුන් මාසය නිම වන විට එම
භික්ෂූන් වහන්සේ සියලු බාධක බිඳ උතුම් වූ රහත් ඵලයට පත්වූහ. අනතුරව
උන්වහන්සේ මාතික මාතාව කැඳවා පින් අනුමෝදන් කොට බුදුන්වහන්සේ බැහැදැක
සියලු විස්තර සැළ කළහ.
මෙම කතා ප්‍රවෘත්තියෙන් පැහැදිලි වන්නේ, පිනේ දහමේ යෙදෙන අතර සැබෑ
විමුක්තිය සොයා සදා සැනසීමට බුද්ධ කාලයේ කාන්තාවන්ට පවා තිබුණ
උනන්දුවයි. ඒ සඳහා ඔවුන් නිවැරැදි ධර්ම කරුණු අසා දැන ඒවා ප්‍රායෝගිකව
අත්හදා බලා ඇත. මජ්ඣිම නිකායේ කන්දරක සූත්‍රය, අට්ඨකනාගර සූත්‍රය ආදී
බොහෝ සූත්‍රවල ඒ පිළිබඳ තොරතුරු අන්තර්ගත ය. ථෙරවාද ශාසනය පවතින අප රටේ
සැදැහැවතුන් ද තමන් පිළිබඳ සිතා බැලීමට මෙය අවස්ථාවක් කොට ගත හැකි ය.
බොහොමයක් බෞද්ධ පින්වතුන් තුල අමූලිකා ශ්‍රද්ධාව ඇත. එහෙත් බුදුදහම අගය
කරන්නේ ආකාරවතී ශ්‍රද්ධාවයි. ගුණ දැන පැහැදීමයි. නිවැරැදිව ධර්ම කරුණු
තෝරා ගැනීමේ හැකියාව යි. ඒ සඳහා සද්ධර්ම දේශනා විකට කතා වලින් හා රංගන
විලාසයන්ගෙන් තොර විය යුතු ය. ධර්ම දේශනාව අවසානයේ ජනතාවට දැනිය යුතු
වන්නේ නිරාමිස සතුටකි. අවබෝධයකි. අචල ශ්‍රද්ධාවකි.
අට මහ කුසලයන්ගෙන් එකක් වන කඨින පින්කම පිළිබඳ ප්‍රධාන කරුණු දෙකක්
සැලකිල්ලට ගත හැකි ය. අදාළ භික්ෂූන් වහන්සේ වස් කාලය තුළ විනයානුකූලව
කටයුතු කරමින් අධ්‍යාත්මික දියුණුව සඳහා උත්සාහයක යෙදුණු සේක් ද? ගිහි
පින්වත්හු පොරොන්දු වූ ලෙස භික්ෂූන් වහන්සේට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම්
ලබාදෙමින් කටයුතු කළාහු ද?
එය එසේ නම් දෙපාර්ශ්වයම, පරම නිෂ්ඨත්ව වූ නිවන් මගට අවතීර්ණ වන්නට ගත්
එම උත්සාහය හේතුකොට ගෙන නිරාමිස සතුටින්, ශ්‍රද්ධාවෙන් ඉපිල යෑමට එය
හේතුවක් වනු ඇත. ‘හදයං පුණාතීති පුඤ්ඤං’ හඳ පිනා යෑම පිනයි. තත් කී
ආකාරයට කටයුතු කර ගිහි පැවිදි දෙපිරිසටම ඵල ලබා සැනසීම සඳහා උපදේශ ලබා
ගැනීමට හැකි අවංක ගුණවෘද්ධ, තපෝ වෘද්ධ භික්ෂූන්වහන්සේ ස්වල්පයක් දෙනාද
තවමත් මේ රටේ වැඩ සිටිති. එකලට වඩා භෞතික පහසුකම්ද අද ඇත. එහෙත් ඕනෑකම
තිබිය යුතු ය. අසිරිමත් වස්සානයේ යෙදෙන කඨින පින්කමත් සමග වසරක් තුළ
කෙරෙන සියලු පින්කම් පොදුව ගෙන බලන විට ගිහි පින්වතුන් ඒ සඳහා කරන ධනය,
ශ්‍රමය, කාලය ගිණිය නොහැකි තරම් ය. ඒ අන් කිසිවක් නිසා නොව තෙරුවන්
කෙරෙහි ඇති ශ්‍රද්ධාව නිසාම ය. ධර්මය කෙරෙහි ඇති විශ්වාසය නිසාම ය.
එහෙත් සමහර සැදැහැවතුන් ඇතිකරගන්නා ආකාරයේ පින්කම අතර මගදී ඇතිකරන්නා
ලාභ සත්කාර පිළිබඳ පෞද්ගලික සංකල්පනාවන්ට අවස්ථාව නොදීමට පරෙස්සම් විය
යුතුය.
පින්කමේ අවසානය වන කඨින පෙරහර සංවිධානය කරන විට එය හුදෙක් සංස්කෘතික
අංග රැගත් පෙරහරක් වනවාට වඩා බුදු පෙරහරක්වීමයි අර්ථවත් වන්නේ. ඒ සඳහා
සූවිසි බුදු වර්ණනා තෙරුවන් ගුණ, භක්ති ගීත, ථෙර ථෙරී ගාථා පට්ඨාන
අභිධර්මය ආදිය අලංකාරව සරසා ගත් රථවල සිට සජ්ඣායනා කරෙන පෙරහරක් විය
යුතුය. ධජ, සේසත් ඇතිව සාධු හඬ නංවමින් ගමන් කරන පෙරහරක කඨින චීවරය
රැගෙන යා යුතුය. පහන් සිත් ඇතිව ධර්ම ගෞරවයෙන් කටයුතු කර පින් අනුමෝදන්
කරගත්තෝ සියල්ලම ලැබගත්තෝ බවට පත් වෙති. |