Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - අපවත් වී වදාළ වජිරාමවාසී නාරද හිමිපාණන් විසින් බුදුදහම සහ බුදුරජාණන්වහන්සේ නම් කෘතියෙහි බෞද්ධ කර්මයෙහි සුවිශේෂ අවස්ථාවක් මෙසේ පැහැදිලි කරයි.

‘බෞද්ධ යෝ දුප්පතුන්ට කර්මය නම් අබිං දෙතියි’ ඇතැමුන් කෙඳිරි ගාන්නට පුළුවන. ඔබ දුප්පත් වී ඇත්තේ ගිය ආත්මයේ කළ අකුසල් හේතුවෙනි. අනිත් අය පොහොසත් වී ඇත්තේ පෙර කළ කුසල් නිසාය. එනිසා ලද දෙයින් සතුටුව මතු ආත්මයක පොහොසත් වන්නට පින් කරගන්න. ඔබට දැන් මේ දුක් කරදර ලැබෙන්නේ පෙර කළ පව් නිසාය. මේ ඔබේ ඉරණමයි. නිහතමානීව ඔබට ලැබෙන දුක් හිරිහැර විඳගන්න, දැන් පින්දහම් කරගන්න. මරණනින් මතු ලබන ආත්මයෙහිදී වඩා සැපවත් පී‍්‍රතිමත් ජීවිතයක ගත කරන්නට හැකිවනු ඇත. මෙවන් අදහස් බෞද්ධයන් පවසනු ඇතැයි චෝදනා කරනු ලැබුවද බෞද්ධ කර්ම වාදයෙන් මෙබඳු දෛවවාදී අදහස් ගම්‍ය නොවේ. මරණින් මතු කෙරෙන විනිශ්චයන් ගැනද බුදුදහම නොපිළිගනියි. මතු ජන්මයෙක සැප ලබාදෙන මායාවක් මගින් ධනවතුන් රකිමින් දුප්පතුන් සනසන කර්ම සංකල්පයක්. මහාකරුණික බුදුරජාණන් වහන්සේ නො ඉගැන්වූ සේක. උන්වහන්සේ තුළ එබඳු ආත්මාර්ථකාමී හෝ විෂම යම් අපේක්ෂා නො තිබිණ.

බුදු දහමට අනුව කර්මය කිසියම් උත්තරිතර, ගුප්ත බලයක් විසින් අප මත පැටවුවක් හෝ ඉරණමක් නොවන හෙයින් එය අනිවාර්ය දෙයක් ලෙස ගතයුතුª නැත. එය අපගේම ක්‍රියාවල ප්‍රතිඵලය නම් තරමක් දුරට හෝ එහි ගමන්මග වෙනස් කිරීමේ හැකියාව ද අපට තිබිය යුතුය. කෙතරම් දුරට එය වෙනස් කරනවාද යන්න තමන්ට අයත් කාර්යයකි. මෙම සටහනින් බෞද්ධ කර්මවාදී අදහස් පිළිබඳව නිවරද්‍ය මතයක් ඉදිරිපත් කොට ඇති බැවින් සසර ගමන්මග විසුද්ධි මාර්ගයක් බව සුත්‍රාගත තොරතුරු ඇසුරු කරමින් පහදා දෙන්න.

පිළිතුර - මේ සඳහා (ස.නි.) මොළිය සීවක සූත්‍රාගත පාඨයකින් ආරම්භ කරමු. ‘තත්‍ර සීවක යෙ තෙ සමණ බ්‍රාහ්මණා එවං වාදිනො එවං දිට්ඨිනො. යං කිඤ්ඤා යං පුරිස පුග්ගලො පටිසංවේදියති. සුඛං දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං පුබ්බේ කතහේතූ®ති. යංච සාමං ඤාතං තංච අතිධාවන්ති යං ච ලො කෙ සච්ච සම්මං තංච අතිධාවන්ති. තස්මා නෙසං සමණ බ්‍රාහ්මණානං මිච්ඡාති වදාමි

මොළිය සීවකට බුදුහිමියෝ මෙසේ වදාළහ. සියල්ල පෙර කර්මයෙන් සිදුවන්නේය, යන පිළිගැනීම් ඇත්තාහු. තමාට පෙනෙන දෙයක් ඉක්මවා යන අතිධාවකයකැයි ප්‍රකාශ කර නිදසුනක් වශයෙන් පුද්ගලයෙකුට වැළදෙන රෝගයක් සඳහා හේතු අටක් දැක්වූහ. එනම් පිත, සෙම, වාතය සන්නිපාතය, සෘතු විපර්යාසය, විෂම විහරණය , උපක්‍රම හා කර්ම යනුවෙනි. මෙම හේතු අටෙන් ‘කර්මය’ එකක් පමණි.

ප්‍රශ්නය - පස්කම් ආශ්වාදයෙහි ‘ප්‍රමුදිත බව‘ මෙන්ම ඒ පිළිබඳව බෞද්ධ මතය පැහැදිලි කරන්න.

පිළිතුර- (අංනි) නිබ්බේධික පරියාය සූත්‍රාගත තොරතුරු අනුව ‘ සංකප්ප රාගො පුරිසස්ස කාමො’ න තෙ කාමායානි චිත්‍රානි ලොකෙ’ සංකප්ප රාගො - පුරිසස්ස කාමො - ලෝකයෙහි විචිත්‍ර වූ අරමුණු (රූපාදී කාමවස්තූ®න්) පවතී. කාමය නම් ඒවා කෙරෙහි මිනිසාගේ සිත්හි ඇතිවන සංකල්ප රාගය යි. එනම් ඇල්මයි. ‘තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දං’ විචිත්‍ර කාම වස්තූ®න් ලොව පවතීවා එහෙත් නුවණැත්තෝ ඒ කෙරෙහි වන ඡන්ද රාගය, දුරුකරගනිත්.

ලෝක ස්වභාවය යථා පරිදි අවබෝධ කර ගැනීමට අපොහොසත් වූවෝ අරමුණෙහි ආශ්වාදයෙහි මුළාවෙමින් එහි ඇලෙමින් හෝ එය සම්පූර්ණයෙන් ම පිළිකුල් කරමින් දුකම අනුභව කරති. ‘ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙහි දී බුදුරජාණන්වහන්සේ එවැනි සාවද්‍ය මතයක පිහිටා සිටි ‘පාරාසරිය’ නම් තැනැත්තෙකුගෙ අදහස් විවේචනය කොට අරමුණෙහි ආශ්වාදය විඳිය යුතු නිවැරැදි මගද එයින් හෙළි කරති. පාරාසරිය බමුණා ගේ් අතැවැසි උත්තර මානවකයා දිනක් බුදුරදුන් හමුවෙයි. උත්තර, පාරාසරිය බමුණා සව්වනට ඉන්ද්‍රිය සංවරය (ඉන්ද්‍රිය භාවනා) ගැන උගන්වයිද? එසේය. එය කවර ආකාරයටද භවත් ගෞතමයිනි! ඇසින් රූප නොබලන ලෙස කණින් ශබ්ද නො අසන ලෙස, උගන්වයි. උත්තර මානවකය! ඔබ හරිනම් අන්ධයා මනාසේ ඉන්ද්‍රිය සංවර කරගත්තෙකි. බිහිරි අය ඉන්ද්‍රිය සංවර කරගත්තෙකි. මන්ද අන්ධයා ඇසින් රූප නොබලයි. බිහිරා කණින් ශබ්ද නො අසයි. ඒ නිසා උත්තර මානවකයා නිරුත්තර විය.

බුදුරජාණන් වහන්සේ දෙවදහ සූත්‍රයෙහිදී උපමාවක්ද ඉදිරිපත් කරමින් කරුණු පැහැදිලි කරමින් අරමුණු හා ආශ්වාදය පිළිබඳව නිවරදි ආකල්පය මෙසේ විග්‍රහ කරති. කිසියම් ස්ත්‍රියක පිළිබඳ සිත් ඇති (පටිබද්ධ චිත්තො) දැඩි ආශා ඇති (තිබ්බච්ඡන්දො) විශාල බලාපොරොත්තු ඇති (තිබ්බාපෙක්ඛො) මිනිසෙක් එම ස්ත්‍රිය වෙනත් පිරිමියකු හා සහ සම්බන්ධකම් පවත්වන බව දෑසින් දැකගන්නට ලැබුණොත් බලවත් දුක් දොම්නසට ශෝක උපායාසනයට පත්වෙයි. එම ස්ත්‍රිය කෙරෙහි වූ ඡන්දරාගය අත් හරින ඔහුට ඉන්පසු ඒ ස්ත්‍රියම පෙර පරිදි හැසිරෙනු දෑසට දුට ද කිසිදු දුකක් දොම්නසක් උපායාසයක් වෙනෙසක් ඇති නොවේ. මන්ද ඡන්ද රාගය නැති නිසාය. මේ නිසා ආර්ය ශ්‍රාවකයාගේ් චර්යාව විය යුත්තේ ‘න හෙව අනද්ධ භූතං අත්තානං දුක්ඛෙන අද්ධභාවෙති ධම්මි කංච සුඛං න පරිච්චජති. තස්මිංච සුඛෙ අනධිමුච්ජිතො හොතී’ දුකින් පීඩනයට පත් නොවූ ආත්මභාවය තවදුරටත් දුකින්ම මර්ධනය කිරීම නොව හෙතෙම දැහැමි සුවය ප්‍රතික්‍ෂේප ද නොකර ඒ දැහැමි සුවය කෙරෙහිද ලොල් නොවීම යි.

මෙසේ බුදු දහමට අනුව ආර්ය ශ්‍රාවකයා අරමුණු ප්‍රතික්ෂේප කිරීමත් ආශ්වාදයෙන් පලායාමත් ඇත්තේම නැත. මෙලොව දුකින් තොරව එසේ නොහැකි නම් හැකිතාක් දුක් අඩුකර ගනිමින් ජීවත්වීමට නම් මේ අවබෝධය ඇතිව නිවැරැදිව තමා වටා ඇති විෂය වස්තූ®න් පරිභෝග කටයුතුය.

ප්‍රශ්නය - සාමාන්‍ය පුහුදුන් ජනතාව ඉතා කඩිනමින් වැළඳගන්නා - ‘විසූක දස්සන’ සහිත ආකර්ශනීය වෙළෙඳ දැන්වීම් ආශි‍්‍රත ළාමක සිතිවිලි දහමට එල්ලවන අභියෝග වශයෙන් සලකා පුරපසළොස්වක දිනවල ධර්මශාලාව තුළ ධර්ම සාකච්ඡා සඳහා ද යොදා ගනිති.

එබඳු ‘විපරිත’ බුද්ධි ඇති (අවුල් වූ මනස්) ඇති අයගේ අවධානය සඳහා සූත්‍රාගත බුද්ධානුසාසනාවකි මේ. සුණාථ - ධාරෙථ චරාථ ධම්මේ’ අසා දැනගන්න. ධර්මය පිළිවෙතක් කර ගන්න.

පිළිතුර -

අන්ධං ච එක චක්ඛුංච ආරකා පරිවජ්ජය

ද්වි චක්ඛු පන - සේවථ සෙට්ඨං පුරිස පුග්ගලන්ති අංනි අන්ධ දිවිචක්ඛු සූත්‍ර

අන්ධයාද, එකැස් ඇත්තාද දුරින් දුර කළ යුතුය. දෑස් ඇත්තා ශ්‍රේෂ්ඨ පුරුෂ පුද්ගලයා ය. ඔහු ඇසුරු කළ යුතුය. දෑස් ඇති එවැනි පුද්ගලයෙකුගේ ගති ලක්ෂණ මෙස් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ.

‘කතමෝච භික්ඛවෙ පුග්ගලො ද්වි චක්ඛු’

ඉධ එකච්චස්ස පුග්ගලස්ස තථාරූපං චක්ඛුං හොති - යථාරූපෙන චක්ඛුනා අනධිගතං වා හොගං අධිගච්ඡෙය්‍ය තථා රූපම්විස්ස චක්ඛුහොති. යථා රූපෙන චක්ඛුනා කුසලා කුසල ධම්මේ ජානෙය්‍ය සාවජ්ජාන වජ්ජේ ධම්මේ ජානෙය්‍ය වජ්ජේ ධම්මේ ජානෙය්‍ය හීනප්පනීතෙ ධම්මේ ජානෙය්‍ය කණ්හසුක්ක සප්පටිභාගෙ ධම්මේ ජානෙය්‍ය අයං වුච්චති භික්ඛවෙ පුග්ගලෝ දිවිචක්ඛු’

මේ සූත්‍රයට අනුව එක්අයෙක් දෑසම නැති තැනැත්තාය. අන්ධො- තව අයෙක් එක් ඇසක්ඇත්තෙකි. එක චක්ඛු අනෙක් තැනැත්තා දෑසම ඇත්තාය. ද්විචක්ඛු මිනිසාට තිබිය යුතු දෑස නම් එකක් නොලත් භෝග සම්පත් ලබා ගැනීමටත්, ලද භෝග සම්පත් වැඩිදියුණු කර ගැනීමටත් දන්නා බවය. එසේම පින හා පව වරද හා නිවරද බව සාර අසාර ධර්ම පිරිසුදු හා අපිරිසුදු කාය වාග් මනෝ කර්ම දැන ගත යුතුය. වෙළෙඳ පල ලාබදායි කැසට් විසූක දස්සන ගෙදර ගෙන යන ගමන්’ මේ බඳු උතුම් සදහම් බුදු බණද ගෙදර පරිසරයට එකතුවන්නේ නම් සද්ගුණවතුන් බහුල වනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.