අමතක නොකළ යුතු
නිමක් නැති ණයකරුවා
රත්නපුර මුද්දුව ශ්‍රී සුමන මහ පිරිවෙනෙහි ආචාර්ය, ශාස්ත්‍රවේදී
වේරහැර ධම්මරතන හිමි
වයෝවෘද්ධ භාවයට පත් වීම හෙවත් වැඩිහිටියන් බවට පත් වීම කාලයත් සමඟ සිදු
වන ක්‍රියාවලියකි. මෙලොව උපන් සෑම සත්ත්වයකුටම වයස්ගත වීමට සිදුවේ. එය
වළක්වාලිය නොහැකි ධර්මතාවක් බව අවබෝධ කිරීම වැදගත් ය. මේ වන විට ලෝකයේ
වැඩිහිටි දිනයක් නම් කර ඇත. ඒ ඔක්තෝබර් 1 වැනි දායි. මේ දින වකවානු
අවශ්‍ය වන්නේ සංස්කෘතිය පිළිබඳ ගැටලු ඇති අයටයි. සිංහල බෞද්ධයනට ඒ සඳහා
වෙනම දිනයක් අවශ්‍ය නොවේ. ලංකාවට බුදු දහම පැමිණි දා සිටම බොහෝ කාලයක්
වැඩිහිටියන්ට ගරු කළ උපස්ථාන කළ ගුණ ගරුක සමාජයක් අප රට තුළ පැවතිණි.
බටහිර ජාතීන් මෙරටට පැමිණි පසු ඇති වූ සංස්කෘතික විෂමතා බහුල වීමත් සමඟ
අප රටේ වැඩිහිටි පරපුරට ‘කණකොකා’ හැඬුවේ යැයි කීම නිවැරැදි වේ. උපන්
සෑම මිනිසෙක්ම වයස්ගත භාවයට පත්වේ. මේ නිසා ඒ වෙනුවෙන් නම් කර දිනයක්
වෙන් කිරීම යුක්ත නොවේ. අප සාරධර්ම වලින් සැකසී ඇති සමාජයකට හිමිකම්
කීවද අවිචාරවත් සංස්කෘතික අංග සමඟ මිශ්‍රණය වීම තුළින් විකලාංග වලින්
යුක්ත සංස්කෘතියක් දැන් අපට හිමිවීම පිළිබඳ අප කනගාටු විය යුතුව ඇත.
බුදුසමය දෙගුරුන්ට ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙයි. ලාංකික සමාජයේද
මවුපියන්ට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. දූ දරුවන්ට මවුපියන් පූජනීය
ලෙස සිතීමට හුරු කර ඇත. ලංකා ඉතිහාසයේ මවුපියන් මුල් කොට රාජ්‍ය ගෙන
ගිය රජ දරුවන් අතර මඪඪඪ වැනි අග්බෝ රජතුමා ඉතා වැදගත් ආදර්ශයක් ලාංකික
සමාජය වෙත ලබා දෙයි. තම මෑණියන්ට අග්බෝ රජතුමා සියතින්ම ඇප උපස්ථාන
සිදු කර පසුව ඔටුන්න පැළඳ රාජ සභාව වෙත ගමන් ගත් බව සඳහන් වේ. මව මූලික
කර ගෙන යුද බිම ජය ගත් පාලකයා වන්නේ දුටුගැමුණු රජතුමාය. එතුමා යුද්ධය
ජය ගත්තේ තම මව රාජ පුරෝහිත තනතුරේ තබා ගනිමින් ඇයගේ අත්දැකීම් සහිත
උපදෙස් මනා කොට අනුගමනය කිරීමෙනි.
මේ අනුව ලක් රජ දරුවන් රට වැසියාට ආදර්ශයක් දී ඇත. මවුපිය උපස්ථානය හා
ගරු කිරීම පිළිබඳව මේ තත්ත්වය වර්තමානයේ ඉතා අභාග්‍ය සම්පන්න ය. මිල
මුදලින් හා තාන්න මාන්න වලින් හිස උදුම්මා ගෙන සැපවත් ජීවිත ගත කරන
සමහර පුද්ගලයෝ මවුපියන් වයසට ගිය පසු මහලු නිවාස වලට හෝ මහ මගට ඇද
දමති. මෙය ඉතා පහත් වසල ගතියකි. මෙලොවට තමන් ජනිත කර බොහෝ දුක් විඳ ඇති
දැඩි කරන ලද මවුපියන්ට බැරි වූ විට සැලකීම උතුම් මංගල කරුණකි. එම
පුද්ගලයා උත්තම අයෙකි. මිනිසුන් අතර ;ශ්‍ර්ෂ්ට මිනිසෙකි. දිනපතාම
මවුපිය උපස්ථානය සිදු කිරීම කළ යුතු බව සිහිපත් කර ගන්න. ඔබ දිනපතා
මවට, පියාට වඳින්නේ නම් ඒ බුදුරදුන්ට වැන්දා හා සම වන්නේ ය. මවට පියාට
ආහාර පාන, වස්ත්‍රාභරණ, බෙහෙත් හා උපස්ථාන කරන්නේ නම් එය බුදු රදුන්
වහන්සේට කරන උපස්ථානයක් වන්නේය. ඒ මන්ද අප බුදු පියාණන් මව්පියන්ට ඉහළම
සම්මානනීය නාමය ප්‍රදානය කරනු ලැබු හෙයිනි. එනම් ‘ගෙහේ බුද්ධො’ ගෙදර
බුදුන් යන්නයි. ගෙන් ගෙට සිටින ඒ බුදුවරුන්ට සලකන දරුවන්ට වැරැදීම්
වන්නේ නැත. වැඩිහිටි ඔබ සතුව ඉතා වැදගත් දෙයක් ඇත. ‘පුබ්බාචරියාති
වුච්චරේ’ යන මේ බුදු වදනට අනුගත වෙමින් පූර්ව ගුරුවරයා වශයෙන් තම
දරුවන්ට යහපත් දෙය පුරුදු පුහුණු කිරීම ඉතාම වැදගත් ය. එසේ නැති වූ විට
ඔවුන් ඔබට සලකන්නේ නැත. ඔබ ගොඩ නගාගත් ගේදොර වතු පිටි පවා අහිමිව අන්ත
දුක්ඛිත තත්ත්වයට පත් වන්නේ තම දරුවන්ට අසත් පුරුෂ ගති ගුණ හුරු පුරුදු
කිරීම මගිනි. පරාභව සුත්‍රයේදී යමක් කමක් තමන්ට තිබියදීත් මවුපියන්ට
නොසලකා සිටීම පිරිහීමේ කරුණක් ලෙස පෙන්වා දී තිබේ. එය සමාජ ගත ගැටලු
නිර්මාණය කිරීමකි. මේ නිසා වැඩිහිටියන්ට සැලකීම ඉතාම වැදගත්ය. පරාභව
සුත්‍රයේ
යො මාතරංවා පිතරංවා
ජිණ්නකං ගත යොබ්බනං
පහුසන්තෝන භරතී
තං පරාභවතෝ මුඛං
යනුවෙන් වයස්ගත මවුපියන්ට නොසැලකීම පිරිහීමට පත් වී පසුතැවීමට හේතුවක්
බව මෙලොව සැප සම්පත් පරිභෝජනය කළ ද එවන්අසත් පුරුෂයන් අපාගත වීම
වැළැක්විය හැකි වන්නේ නැත. වරක් සුද්ධෝදන මහ රජතුමා රාහුල කුමරු පැවිදි
කළ බව අසා දරාගත නොහැකි දාරක සෙනෙහසින් යුතුව හඬමින් බුදුරදුන්ට
ප්‍රකාශ කර සිටියේ මවුපිය සෙනෙහස කොතරම් ගැඹුරට විහිදී පැතිර ගිය එකක්ද
යන්න පිළිබඳයි. හම සිඳ මස් සිඳ නහර ඇට මිදුලු සිඳගෙන දරු සෙනෙහස කිඳා
බැස ඇති අයුරු ඉතා හොඳින් පෙන්වා දී තිබේ. තම පියාට ගරු කළ බුදුරදුන්
පියතුමාගේ ඉල්ලීම පරිදි මවුපිය අවසරය නොලද දරුවන් පැවිදි නොකරන මෙන්
භික්ෂූන්ට නීතියක් පනවා වදාළහ. වැඩිහිටි ඉල්ලීමට බුදුරදුන් නිතර
කන්දුන් බවත්, ඒවාට ගරු කළ බවත් මේ අනුව හොඳින් පැහැදිලි වෙයි. තම
පියාගේ අවසාන කාලයේ පියතුමාට සැනසිලි වදන් කථා කරමින් පියාට නිවනේ අමා
දොර විවර කරමින් ධර්මය නමැති කිරි පොවන ලදී. මාතෘ දිව්‍ය රාජයාට ද
ධර්මය නැමැති කිරි පොවා සෝවාන් ඵලයට පත් කොට එම මවුපිය ණය ගෙවා දමන
ලදී. ලොව මෙතෙක් පහළ වූ ශාස්තෘන් අතර මවුපිය ගුණ මහිමය ඉතා ඉහළින්
වර්ණනා කර ලොවට එහි අගය වටහා දුන්නේ අප තිලෝගුරු බුදුරදුන්මය.
වර්තමානයේ සමහර දරුවෝ තම මව්පියන් විවිධ අයුරින් වධ හිංසාවලට ලක් කරති.
මවුපියන් ඝාතනය කරති. එවන් පාපීෂ්ඨ නීච පුද්ගලයන් අවීචී මහා නිරයේ
උපදින බවත් කල්ප ගණන් අනන්ත දුක් විඳීමට සිදුවන බවත් පෙන්වා දෙමින්
මේවා කුමන ආකාරයකින්වත් සිදු නොකළ යුතු පාපී ක්‍රියා බවත් දේශනා කර ඇත.
අජාසත් පීතෘ ඝාතක පාපකර්මය සිදු කර ගත් අයෙකි. ඔහු තවමත් අපායේ
පැසෙන්නේ ය. මේ නිසා මහා සාවද්‍ය පාප කර්ම වශයෙන් ගැනෙන ආනන්තරිය පාප
කර්මයන්ට ලක් නොවිය යුතු ය. මව, පියා මැරීම බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම
රහතුන් ඝාතනය හා සංඝ භේදය යන මේ කරුණුවලට ලක් නොවී තම ජීවිතය සාරධර්ම
මත ගොඩනඟා ගෙන ජීවත් වීම වැදගත් ය.
මවුපිය ගුරුවර වැඩිහිටියන්ට ගරු සැලකිලි දැක්වීම කළ යුතුම දෙයකි. අප
පළාතේ එක් විහාරස්ථානයක් අසළ වයස හැත්තෑපහක් පමණ වන මවක් ත්‍රීරෝද
රථයකින් ගෙනත් බස්සවා මවට ඕනෑම දිශාවකට යන්නයි. කියා ගිය පුතෙක්
පිළිබඳව තොරතුරු අපට ආරංචි විය. මෙවන් අධම පහත් නීච පුද්ගලයන් සමාජයට
නරක ආදර්ශයක් ලබා දෙයි. ‘ද්වින් නාහං භික්ඛවේ න සුප්පති කාරංවාදාමි කාත
මේ ද්වේ මාතුච්චපිතුච්ච’ යන කාරුණික බුදු වදනින් මවුපිය වටිනාකමට දිය
හැකි මිලක් හෝ වස්තුවක් නොමැති බව පෙන්වා දී ඇත. මේ නිසා තම බල
පුළුවන්කාරකම හෝ වත් පොහොසත් කමට වඩා තම මවුපියන් වටිනා බව හොඳින් සිතට
ගන්න. ලෝක වාසී සත්වයන්ට සම්මා සම්බුදු වරයකු පහළ වීමට මූල බීජය මනස
තුළ රෝපණය කරන ලද්දේ මවක විසින් බව ඔබට මතක් කර දෙමි. ‘මාතුපෝසක’
ජාතකය එය ඔබට පෙන්වා දෙයි. මවත් සමඟ ගමන් ගත් නැව මුහුදු බත් වූ විට
දියේ ගිලී මිය යාමට පෙර තම මව කර මත තබා මහත් වූ වීර්යයෙන් ගොඩට පිහිනා
ආ වේලාවේ, මව තම පුතුට පළමු විවරණය ලබා දුන්නේ ‘මගේ පුතාට බුදුබව
ලැබේවා’ යනුවෙනි. මේ බුදු බව යන වචනය එදා එම තරුණයාගේ මනසට තදින්ම කා
වැදී ගිය අතර, ඒ පිළිබඳ විමසමින් ඒ සඳහා අවශ්‍ය කරුණු ගවේෂණය කර බුද්ධ
කාරක ධර්ම හෙවත් දස පාරමිතා පිපිරීමට මූලාරම්භ කරමින් බුද්ධාංකුර මූල
බීජය ස්ථාපිත කරන ලද්දේ මව විසින් ය. මේ නිසා ලොවුතුරු බුද්ධ රාජ්‍යයට
පත් වූ පසු මවුපිය ගුණ මහිමය අමතක නොකර ලෝකයාට එහි වටිනා බව වඩාත්
තහවුරු කර දුන් සේක. මවුපියන් පූර්ව දිග දිශාව නමින් සිඟාලෝවාද
සූත්‍රයේ සදහන් කර ඇත. ‘මාතා පිතා දිසා පුබ්බා’ පෙරදිගින් සූර්යයා උදා
වෙයි. ලෝකයේ ගණ අඳුර දුරු කරමින් සූර්යායාලෝකය ලබා දෙමින් දහවල් බිය
දුරු කර ලෝකයටම අවශ්‍ය ජීව ශක්තිය ලබා දෙයි. මේ සූර්යයා මෙන්ම
මවුපියන්ද දරුවාට ජීව ශක්තියක් දෙමින් ජීවිතාලෝකය සලසසයි. තම කුස සිටින
දරුවා දැකීමට ඇති දැඩි මෙත් සිත මව තුළ නිරන්තරම රැඳී පවතී. මේ නිසා
සෑම මවක්ම ගැබිණි අවස්ථාවේදී පන්සිල් සමාදන්වීම, බණ පිරිත් ශ්‍රවණය
කිරීම, පැරැණි කළ සිදු කළ හොඳ සිරිත් ය. පැරැණි කළ මවුවරු පන්සිල්
ගැනීමේ දී තමාටත් තම දරුවන්ටත් යනුවෙන් දෙවරක් පන්සිල් ගත්හ. වර්තමානයේ
ගැබිණි මාතාවෝද පන්සිල් ගනිමින් අංගුලිමාල පිරිත් ශ්‍රවණය කරති. එය
බොහෝ විට උපදින දරුවා සමාජ හිතකාමී ගුණ ධර්මයට බර වූ අයෙකු වීමට
හේතුවක් වනු ඇත අපට වෙනම වැඩිහිටි දින අවශ්‍ය නැත. වෘද්ධ භාවයට පත්
මවුපියන් සුරැකීමට බෞද්ධ ජනයාට බුදු දහම මගින් උගන්වා දී තිබේ. මේ නිසා
සත් පුරුෂයන් ලෙස ජීවත් වීම වැදගත් ය. අපට ඇති ඉතා වටිනා ආදර්ශ ගෙන දෙන
ග්‍රන්ථය නම්, ජාතක පොතයි මේ ජාතක කථා තුළින් මවුපිය උපස්ථානය ඉතා
මැනවින් පෙන්වා දී තිබේ. මාතුපෝසක ජාතකය, සීලවනාගරාජ ජාතකය, සාම ජාතකය,
වැනි තවත් ජාතක කතා රැසක් මවුපිය උපස්ථානයේ අගය ලොවට පෙන්වා දෙයි. කුඩා
කළ පටන් ම දරුවන්ට මවුපිය ගුරුවරු ආදී වැඩිහිටි අයට කන්දීම, අවනත වීම,
කීකරුව සිටීම, හුරු කළ යුතුයි. මවුපියන්ට ගාථා කියා වැඳීම පුරුදු කළ
යුතුයි. එම ගාථාවලින් ළමයා තුළ තම මවපියා තමන් වෙනුවෙන් කොපමණ වෙහෙස
මහන්සි වෙනවාද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දෙයි. මේ නිසා
මවුපියන්ට සැලකීම ඉතා වටිනා උතුම් ගුණයක් බව අවබෝධ කර දී අප රට තුළ
නැවතත් ගුණයට බර වැඩිහිටි අවවාද පිළිගන්නා හොඳ මගට පිළිපන් දරුවන්
පිරිසක් බිහි කිරීම අද දවසේ ජීවත් වන වැඩිහිටි ඔබ සතු පරම යුතුකම බව
සිතට ගෙන කටයුතු කරන්න. ඔබට දැන් වැඩිහිටි උපකාරය පිළිබඳ යම් අවබෝධයක්
ලබා ගෙන ඇතැයි සිතමි. තම මව පියාට පමණක් නොව කවර තරමේ වැඩිහිටි අයකු හෝ
අසරණ වී සිටින විට, ඔහුට පිහිට වීමට අමතරක නොකරන්න. එයින් ඔබට පින්
සිදු කරගත හැකි බව සිහිපත් කරමි. ජීවිතය පුරාම කෙස් පැසෙන තුරු දරුවන්
වෙනුවෙන්ම කාලය කැප කරන මවුපියවරුන්ට සැලකීම පිළිබඳ පැරැණි ජන කවියාද
අපට සිහිපත් කරවයි. කවිය සමාජයට අපූර්ව සිහි ගැන්වීමකි. කවියාට කවි බස
බස මගින් සමාජයට දිය හැකි උපදෙස් ඉහළ ය. මේ නිසා කවිය භාවිතා කොට
සමාජයේ මවුපිය වැඩිහිටි ආදීනට ගරු කළ යුතු අයුරු ඉගැන්විය යුතු අපේ
පැරැණි ජනකවියා තම සහෝදරයා මවට කරනු ලබන වෙනස්කම් බලා සිටිය නොහැකි තන
මෙවන් කවියකින් මල්ලීට උපදෙස් දෙයි.
මල්ලියෙ ඔහොම නොකරන් අපෙ අම්මාට
දෙතනේ කිරි දුන්නෙත් අප දෙදෙනාට
තියෙන දෙයක් දුන්නෙත් අප දෙදෙනාට
බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට
මේ කවිය මගින් බුදු දහමින් මවුපියෝ ගෙදර බුදුන් බව මනා කොට සිහිපත්
කරයි. එමෙන්ම මහලු කල කිසිවක් කර ගත නොහැකි මවක් තම පුතාගෙන් උපකාර
බලාපොරොත්තුව පුතුගේ නිවසට ගිය විට පුතු මවට සලකන්නේ ඉතාම අවමානනීය
අයුරිනි. මෙයින් සිතට නැගුණු දුක, ජන කවියා මෙසේ ගෙනහැර දක්වයි.
බඩගිනි වෙලා මා ගිය කළ පුතුගෙ ගෙට
මැනලා වී පතක් දුන්නයි මල්ලකට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට
මේ මව තම පුතුට මැනලා කිරි නොදුන් බවත් තම පුතා මවට වී පතක් මැනලා දුන්
බවත්, එහි සනිටුහන් වෙයි. කුහක ගුණමතු ගති ගුණවලින් පිරි එවන් අසත්
පුරුෂයන් කවියා උපහාසයට ලක් කරයි. මේ අනුව අප ලාංකීය සමාජය තුළ මවුපිය
වැඩිහිටි උපස්ථානය ඉහළින්ම අගය කරන අතරම එය ශිෂ්ට ලෝකයාගේ ගෞරවයට
පාත්‍ර වන පිළිවෙතක් වෙයි. එවන් සුජාත ගුණ ධර්ම ඇති දරුවන් හදා වඩා
ගැනීමට සෑම මවුපියවරුම උත්සාහ කළ යුතුයි. අතිජාත, අනුජාත යන දරුවන්
වර්ණනා කරනු ලබන අතර, අවජාත දරුවා දරුවා පිළිබඳ අප්‍රසාදය පළ කැරේ.
අවජාත යනු ගුණයෙන් මැරුණු, බාල ගති ගුණ ඇති අය ය. මේ නිසා බෞද්ධයන්
මෙන්ම අන්‍ය ආගමික පිරිස් ද මවුපිය උපකාරය සිදු කළ යුතුයි. එය සමාජගත
ගැටලුවක් වීමට ඉඩ නොතැබිය යුතුයි. එවිට අප රට ධර්මද්වීපය යැයි
විරුදාවලිය ලැබීමටත් සුදුසු වනු ඇත. ඔබ සෑම මේ ලිපිය බලන විට තම මවට
පියාට උපකාර කර මෛත්‍රී බුදුන් දැක නිවන් පසක් කිරීමේ භාග්‍ය වන්තයෙකු
වන මෙන් ශාසන පෙර දැරිව සිහිපත් කරමි.
ඔබ සැමට
සම්මා
සම්බුදු සරණයි. |