අසමසම වෙදැදුරාණෝ
වෛද්‍යාචාර්ය
ආ. ච. මාකලන්ද
මීට වසර දෙදහස් පන්සියය පනස් දෙකකට පෙර ලොව පහළ වූ තථාගත බුදු පියාණෝ
ශ්‍රේෂ්ඨ භෙසජ්ජ ගුරු පියාණන් වහන්සේ ලෙසින් බෞද්ධ සාහිත්‍යයෙහි සක්
සුදක් ලෙස පැහැදිලි කර ඇත. සත්වයාට රෝග වැළඳෙන ආකාරය, එයට පිළියම් හා
වැළැක්විය යුතු අන්දම ආදි දෑ ගැන වදාලේ නිරෝගීකම රැක ගැනීමට ය. මේ
නිසාම අමා මෑණියන් වහන්සේ ‘ආරෝග්‍ය විච්ඡෙ පරමංචලාභි’ යනුවෙන් වදාළේ
ලොව උතුම්ම ලාභය නිරෝගිභාවය යනුවෙනි. නිරෝගීභාවයට හානි පමුණුවන සතුරන්
දෙදෙනකි. මේ දෙදෙනා නම් මානසික මෙන්ම කායික රෝගයන් ය. පෙර විසූ
සෘෂිවරුන් වහන්සේලා කායික රෝගයන්ට ඖෂධ මෙන්ම චිකිත්සාවන් ද සොයා ගත්
නමුත්, මානසික රෝගයන්ට ඖෂධ හෝ චිකිත්සාවන් සොයා ගැනීමට අපොහොසත් වුහ.
එහෙත් අපගේ ශාස්තෘන් වහන්සේ කායික මෙන්ම මානසික රෝග සඳහා ද ඖෂධ මෙන්ම
චිකිත්සාවන් පැහැදිලිව සොයා ගෙන දේශනා කළ සේක. එය බුදු වදනින්ම මෙසේය.
‘යෙ කෙචි ඔසධා ලොකේ – විජ්ජනති විවිධාපුථු - ධමමො සබ්බ සමංනථි – එතං
පීබත භකඛ වේ’
මෙහි තේරුම මෙසේ විග්‍රහ වේ. ලෝකයේ බොහෝ ඔසු ජාතින් ඇතත් ‘සද්ධර්‍මය’
වැනි වෙනත් ඔසුවක් නොමැති බැවින් එය පානය කරන්න. තවත් ග්‍රන්ථයක මෙසේ
සඳහන් කර ඇත. වෛද්‍යවරයා වා, පිත්, හා සෙම් තුළින් හට ගන්නා කායික
රෝගයන්ට විරේචන දෙති. එසේම මහණෙනි මම ආර්යය විරේචනය දෙමි. මෙම ආර්යය
විරේචනය නිසා ඉපදීම ස්වභාව කොට ඇත්තේ සදහටම එයින් මිදෙති. ජරා,
ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දොම්නස්ස හා උපායාස ස්වභාව කොට ඇති
සත්වයෝ මුළුමනින්ම මිදෙති යනුවෙන් වදාළේ රහත් ඵලයට පැමිණෙන බවය. ඒ ආර්ය
මග වෙත යොමු වීමෙන් ය.
කායික රෝග වලින් වැළකී වසර ගණනාවක් ජීවත් වුවත් මානසික රෝගයක් නොමැතිව
ජීවත් විය හැක්කේ බුදු, පසේ බුදු මහ රහතන් වහන්සේලාට පමණි. තිලෝගුරු
බුදුපියාණන් වහන්සේ සබ්බඤ්ඤුතා ඥාණයෙන් පුහුදු සත්වයන් දෙස බුදු නෙතින්
බැලූ කළ දුටුවේ සියල්ලෝම මානසික රෝගීන් බවය. සෝවාන්, සකෘදාගාමී හා
අනාගාමි උතුමන් ද සුළු වශයෙන් වුවද මෙම මානසික රෝග වලින් පෙළෙන බව පහදා
දුන් සේක.
රහත් ඵලයට එළඹෙනතුරු සියලු සත්ත්වයන් මානසික රෝගීන් බව ප්‍රකාශ කළ සේක.
මානසික රෝගයන්ට මූලික නිධාන වශයෙන් පෙන්නා දී වදාළේ ත්‍රිවිධ
ක්ලේශයන්ය.
මිනිසා තුළ විද්‍යාමාන වන මානසික රෝග දෙකකි. එයින් පළමු වැන්න උමතුවයි.
දෙවැන්න වන්නේ ක්ලේශයන්ය. මේ ක්ලේශයන් තුන් ආකාරයෙන් දක්වා තිබේ. ඒවා
නම් රාගය, ද්වේශ හා මෝහය යි. දැන් මේ ත්‍රිවිධ ක්ලේශ මොනවා දැයි සොයා
බලමු. රාගය යනු පංච ඉන්ද්‍රියන්ට අසුවන නොයෙක් දේ සඳහා තෘෂ්ණා සහගත
අරමුණු නොහොත් සිතුවිලි පහළ කර ගැනීමයි. පංච ඉන්ද්‍රියන් යනු (ඇස කන
නාසය දිව සහ ශරීරය යි) රාගය ප්‍රධාන තැන ගනු ලබන්නේ් තුරුණු වියේ දී
විෂය රස විඳීමේ ආශාව නොහොත් තෘෂ්ණාව වේ. තුරුණු වියේදී ඇති වෙන මෙම
රෝගය පාලනය කර ගැනීමට නොහැකිව සිහිමුළාවී අසරණ වී අද තරුණ සමාජයේ ජීවිත
අකල්හි විනාශ වී යන සැටි පෙනේ. මේ රෝගයට ඔසු වශයෙන් සම්මා සම්බුදු
රජාණන් වහන්සේ දී ඇත්තේ බඹසර රැක ගැනීම හා ඉවසීම ය. දෙවෙනි රාගය වන්නේ
ධනය රැස් කිරීමේ ඇල්මයි. මෙහිදී තථාගතයන් වහන්සේ වදාළේ සද්ධම්මය අනුව
එය ඉටු කර ගන්නා ලෙසය. එසේ සිදු වුහොත් මෙලොව මෙන්ම පලොව ජය ගත හැකි
බවය. එසේ නොකළහොත් මෙලොවත් පරලොවත් අපා දුක් විඳීමට සිදුවෙයි.
ඊළඟට ප්‍රසංශාව හා කීර්තිය ලබා ගැනීමට කළ යුතු නොකළ යුතු දෑ මොනවාදැයි
බුද්ධියෙන් නොවිමසා සතර අත මුදල් වියදම් කර ප්‍රසංශා කීර්තිය නොලබා
කනස්සල්ලෙන් දුක් විඳින අය අද සමාජයේ කොතෙක් සිටිති. මෙයත් මානසික
රෝගයකි. තවද පන්සලේ අර වැඩට මෙපමණ මුදලක් දුන්නා, මළ ගෙදරට මේවා අරන්
ගියා, කියමින් කීර්ති නාමයත් ප්‍රසංශාවත් ලබා ගැනීමට වෙර දරන මානසික
රෝගීන් බහුලව සිටිති. මෙය රාගයෙන් කර පින්නා ගත් රෝගය.
දෙවෙනි ක්ලේශය වන්නේ ද්වේශයයි. මෙයට වෙනත් නාමයන් වන්නේ ක්‍රෝධය හා
වෛරය යනුවෙනි. ක්‍රෝධ කිරීම අද සමාජයේ කැපී පෙනෙන මානසික රෝගයකි. ක්ලේෂ
නැමැති වෛර සිතුවිලි මෝර මෝරා හදවතේ තැන්පත් කර ගෙන පැසව පැසවා ජීවත්
වීමේදී තමාගේ දියුණුව මෙන්ම අධ්‍යාත්මයද පිරිහීමට පත් වන්නේය. මේ ද්වේශ
එක් එක් තැනැත්තන් කෙරෙහි වෙනස් ස්වරූපයෙන් ඉස්මතු වේ. අද මුළු රටේම
බහුලව කැපී පෙනෙන කරුණකි මෙය. තම තමන්ගේ අහිතවත් අය නසන්නේ කෙසේද ?
ඔවුන්ගේ දියුණුවට වැඩ කඩලු බඳින්නේ කෙසේද ? ඔවුන්ගේ ගෞරවය හා කීර්ති
නාමය කෙළසන්නේ කොයි අන්දමටද, ඔවුන් සතු වස්තුව විනාශ කර දමන්නේ කෙසේද
යනුවෙන් තුන් යම් වේලේම වෛර සිතින් කුමන්ත්‍රණය කරමින් ද්වේශයෙන් වෙලී
සිටීමෙන් නොදැනුවත්ම බව භෝග සම්පත් මෙන්ම අනාගත දියුණුවද අඩාල වීමෙන්
මානසික රෝගියකු වේ. සමහරුන්ට ස්වභාවික පැවැත්ම වෙනස් වීමෙන් රුධිර
පීඩනය, වැඩිවී හෘද රෝග, දියවැඩියාව, දද, කුෂ්ඨ හා වණ ආදිය නිසා අසරණ
තත්ත්වයට පත් වන්නේ ද්වේශ සහගත මනස නිසාය.
තුන්වැන්න මෝහය නැමති ක්ලේශයයි. මෙය මුළාව නොහොත් මෝඩකම යනුවෙන්
හඳුන්වා දී ඇත. මිනිසා වචනයෙන් ද ක්‍රියාවෙන්ද මෝඩකම් කරයි. මෙසේ
මුලාවී සිදු කරන ක්‍රියාවන් නිසා අලාභයන්ට පමණක් නොව අපකීර්තියට පත්
වෙයි. පැරැණ්නෝ මෙයට පවසන්නේ ‘පනින්ට පෙර සිතා බලන්න’ කියාය. සමාජයට
හානියක් නොවෙන සිතුවිලි ක්‍රියාවට නැගීමෙන් හා පැතිරීමෙන් ගෞරවයත් හා
කීර්තිය හිමි වීම නොවැළැක්විය හැකිය. එසේම මෙයට පටහැනිව ක්‍රියා කළොත්
ලැබෙන්නේ නින්දාව අපහාසය වැනි පහත් ප්‍රතිචාරයකි. අද සමහරු පන්සලට
කෝවිලට හා පල්ලි වලට යන්නේ වැඳුම් පිඳුම් කිරීමට නොව තම තමන්ගේ නම්
ශබ්දවාහිනියෙන් ප්‍රචාර කර ගැනීමටය. එයින් ඔවුන් ගේ උසස්කම අනික් අයට
ප්‍රකාශ කිරීමට අස්ථාවක් කර ගැනීමටය. මෝහය නමති ක්ලේශයන් ගෙන් විකෘති
වූ මනසට එදා බුදුපියාණන් වහන්සේ ප්‍රතිකාර ලබා දුන්නේ වැළඳී ඇති රෝගයේ
නිධාන තුළින්මය. මනස විකෘති වූ පටාචාරා, අංගුලිමාල කිසා ගෝතමී වැනි වූ
අය මෙයට කදිම නිදසුන්ය. එදා තිලෝගුරු බුදු පියාණෝ කදිම උපමාවකින් මෙය
විග්‍රහ කර වදාළේ පාද පතුලේ ඇනුණු උල් කටුවක් මුළුමනින්ම ඇද දැමිය
හැක්කේ ඒ වැනිම වූ උල් කටුවකින් බවය.
අද බොහෝ විද්වතුන් පිළිගෙන ඇති දෙයකි බවුන් වැඩීමෙන් කායික මෙන්ම
මානසික රෝග සුවපත් බව. අද මෙන් නොව එදා බවුන් වැඩීමට තෝරා ගත්තේ රමණීය
නිසංසල පරිසරයක ගසක් මුලය. සංකීර්ණ සමාජයක ශබ්ද බහුල ප්‍රදේශ වල නොවේ.
ගස් කොළන් සිප හමා එන සිසිල් මදනළ ඇති ගස් මුලකය. එදා සිද්ධාර්ථ
බෝසතාණෝ අජපල් නුග රුක මුලක වැඩ හිඳ බවුන් වඩන කළ සුජාතා දේවිය
කිරිපිඬු පිළිගැන්වූයේ මේ ශාන්ත පරිසරයේදීය. එසේම අද වැනි පුන් පෝය
දිනයෙහි හිමිදිරි යාමේ ලොව්තුරු බුදු සුවයට පත් වූයේ ඇසතු බෝ සෙවණේ
සිටය. වටින් පිටින් හමා එන සුළඟ ගතට වැදීමෙන් ඇති වූ සුවය බවුන් වැඩීමට
මනා රුකුලක් විය. ජීව වායුව නිසා එකම ඉරියව්වක බවුන් වැඩීමෙන් ඇති වෙන
වේදනාව මග හැරී යෑම තවත් කරුණකි. නියම පරිදි භාවනා කිරීමෙන් අධි රුධිර
පීඩනය, හා දියවැඩියා රෝගය බොහෝ දුරට සුවපත් වන බව සොයා ගෙන තිබේ.
මෙතෙක් විග්‍රහ කළේ බවුන් වැඩීමෙන්ද පිරිසිදු වාතයෙන් හා පරිසයෙන්
මානසික රෝග සුවපත් වන බව පෙන්වීමටය. එම නිසා මේවා පිරිසිදුව තබා
ගැනීමටත් විනාශ නොකිරීමටත් සියල්ලෝම උත්සහා කළ යුතු වේ.
ඊලගට කායික රෝග සඳහා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ඖෂධ හා චිකිත්සාවන්
මොනවාදැයි සොයා බලමු. එවකට පැවැති ආයුර්වේද චිකිත්සාවන් මෙන්ම ඖෂධ
පිළිගත යුතු බව භික්ෂු පරපුරට උපදෙස් දුන් සේක. වා, පිත්, හා සෙම්
කිපීමෙන් හටගන්නා රෝග නිධාන තෝරා බේරා ගෙන ඒ ඒ රෝගයට සුදුසු ඖෂධ නියම
කළ යුතු බව විනය පිටකයෙන් පැහැදිලි කර දී ඇත. අමා මෑණියන් වහන්සේ රෝගයට
පිළියම් යොදනවාට වඩා රෝග වළක්වා ගැනීමට උපදෙස් දුන් සේක. අලුයම
පිබිදීම, අවශ්‍ය මොහොතේ ස්වභාවික ක්‍රියාවන් නිසි ලෙස සිහියෙන් යුතුව
කළ යුතුය. එසේ නොවීමෙන් බඩ පුරුවා දැමීම, කුසගිනි මදබව, ආහාර අරුචිය,
හා බඩේ දැවිල්ල හට ගන්නා බව වදාළා ඇත. තථාගතයන් වහන්සේ සිරුරේ පිටත සහ
ඇතුළත පිරිසිදු භාවය ගැන සැළකිලිමත් වීමටද උපදෙස් වදාළ සේක. වැසිකිළි
ගිය විට ‘ආපත’ ප්‍රදේශය පිරිසිදු ජලයෙන් පිරිසිදු කර ගැනීම, එම ජලය
වැසිකිලි වලට ගලා නො යන සේ විශේෂ ස්ථානයකට ගොස් එම කටයුත්ත නිම කිරීම,
එම ජල භාජනයේ ජලය ඉතිරි වුව හොත් එම ජලය ඉවත් කර භාජනය මුණින් අතට හරවා
තැබීම, පොළවේ තණ කොළ මතට මල මුත්‍රා නොකිරීම ආදි සෞඛ්‍යයට හිතකර උපදෙස්
ලබා දුන් සේක. එමෙන්ම නිරෝගීභාවයට සතුරු වූ ශෝකය, කෝපය, සංතාපය, හා
වෛරය වැනි කායික මෙන්ම මානසික රෝග නිධාන වළක්වා ගැනීමට බොහෝ විනය නීති
පැනවූ සේක. කැස්ස, කිඹිහුම, ඈණුම, කඳුළු ඉනීම හා මළ මුත්‍රා වේග
නොදැරීමට ගැනද වදාළ සේක.
ආහාර වැළඳීමේදී එහි භික්‍ඛුත්වං භෝජනෙ මත්තඤ්ඤ හොති යි’ යනු වෙන් වදාළේ
මාත්‍රාශිලී භෝජනයටය. එයින් වන්නේ ආහාරය කුසට ඔරොත්තු දෙන ප්‍රමාණයෙන්
තුනෙන් කොටසකට ආහාරයත් ඉතිරි කොටසට ජලය පානය කළ යුතු බව වදාළ සේක.
රාත්‍රි කාලයේදී විකාල භෝජනයෙන් වැළකී සිටීමට අනු දැන වදාළේ නිරෝගීකම
රැක ගන්නටය. නිදි මත දුරලීමට හා බවුන් වැඩීමට උපකාර වන නිසාමය. එසේම
ප්‍රත්‍යවේක්‍ෂාවෙන් ආහාර වැළඳීමටය. පංච ඉන්ද්‍රියයන් පිනවන්ට නොව
බවුන් වඩා රහත් ඵලයට පැමිණීමටය. කෝසල රජතුමාට තිබූ නොයෙක් රෝග පීඩා
හේතු වූයේ ආහාරයට ගිජුවීම නිසාය. මෙයටද තථාගතයන් වහන්සේ රජුට දන්වා
වදාළ් ‘ලෙඩවීමට මුල රසයට ගිජුවීම’ බව පෙන්වා දී එම රෝගයෙන් රජු මුදා
සුවපත් කළ සේක. සිරුර මහත්ව වැඩෙන (තරබාරුකමට) ආහාර ගැනීමෙන් වන
තරබාරුකමට ඇවිදීමට උපදෙස් දුන් සේක. ඇවිදීමේ අනුහස් පහක් පෙන්වා දුනි.
01. බොහෝ දුර ඇවිදීමට හැකි බව 02. භාවනාවට වීරිය යෙදිය හැකි බව 03.
අතුරු අසනීප දුරු වන බව හා 04. ගත් ආහාර ක්‍රමානුකූලව දිරවීම 05.
සිතෙහි එකඟතාව දියුණු කර ගත හැකි බව මේ පස් ආකාරය නිසා සිරුරේ ඇති
වැඩිපුර මේදය අඩුවී ලේ ධාවනය නහර තුළ බාධාවකින් තොරව ගමන් කරන නිසා
හෘදයාබාධ හා අද සඳහන් කරන ‘කොරොස්ටෝල්’ වැනි ආබාධ වැළක්විය හැක. මීට
වසර දෙදහස් පන්සියය දෙකට පෙර තිලෝගුරු බුදු පියාණෝ සෞඛ්‍ය සංරක්ෂණය
සඳහා එළිමහනේ පිට්ටනිවල මුහුදු වෙරළවල පිරිසිදු වාතය ඇති ස්ථානවල නිහඬව
ව්‍යායාම් වල ;යදෙන ලෙස අනු දැන වදාළහ.
බුදුන් වහන්සේ දේශිත චිකිත්සාවන් ගැන විමසා බලමු. පාණ්ඩු රෝගයෙන්
පෙළුණු එක් භික්ෂූන් වහන්සේ නමක් බුදු නෙතට ගැටුණි. එළ මුත්‍ර මිශ්‍ර
අරළු ඔසුවක් දී සුවපත් කළ සේක. තවද මේ භික්ෂූන් වහන්සේට පංච භෙසජ්ජ
ක්‍රමයෙන් පිළියම් කළ බව පැහැදිලිව සඳහන් වේ. පංච භෙසජ්ජ ක්‍රම නම් 01.
වමනය කරවීම - මෙය සෙම් රෝග සඳහා 02. නස්නය කිරීම – උන්මාද හා අපස්මාර
රෝග වලට 03. විරේචනය – වා පිත් රෝග වලට 04. වස්තීය – වාත රෝග සඳහා 05.
රක්ත මෝක්‍ෂණය - සිරුරේ අපිරිසිදු ලේ ධාතුව පූඩාවන් ලවා ලේ ඉරීම ආදිය
වේ. මෙසේ පිළියම් යෙදීම ගැන ශ්‍රී මුඛයෙන්ම දේශිත කරුණු ග්‍රන්ථාරූඪ කර
ඇත. මහා වග්ගයේ වාතාබාධ එක් කොටසකට සීමා කර ඇති අතර එය සතරකට බෙදාදී
වෙන් කර ඇත. ඒ සතර නම් 01. වාතාබාධ 02. අංශ වාතාබාධ 03. සබ්බ වාතාබාධ
04. උදර වාතාබාධ යනුවෙනි. අංගුත්තර නිකායෙන් හා ගිරිමන්ද සුත්‍රයෙන්
සියලුම වාතාබාධ වාත සමුට්ඨාන ආබාධ යනුවෙන් නාමයන් දී ඇත. ඔසු සංයෝගයේදී
ඒ ඒ රෝගයන් අනුව ප්‍රබල ලෙස ක්‍රියා කිරීමට උත්තේජන ඔසු ගත යුතුව ඇත.
එවිටයි රෝග නිවාරණය මුළු මනින් සිදු වන්නේ. අංශ වාතාබාධයට බුදු පියාණන්
වදාළේ සේදකම්ම කළ යුතු බවය. සේදකම්ම යනු වා ගැන්වීමය. මෙය සතර
ආකාරයකින් සිදු කිරීමට අනුදැන වදාළ සේක. ඒවා නම් 01. සම්හර සේදකම්ම -
මෙයට වාත හරන කොළ තම්බා තව තවා දාඩිය ගැන්වීමයි. ගම් සෝදක සේදකම්ම යනු
වාත හරණ කොළ ජලයෙන් තම්බා ගත් ජලයෙන් සිරුර තෙම තෙමා තවමින් දාඩිය
ගැන්වීමය. උදක කාට්ඨක සේදකම්ම යනු දිය කොටුවේ උණු දිය භාජනයක් තබා ඒ
භාජනයට බස්සා ඩා ගැන්වීමයි. මහා සේද කම්ම යනු මහත් සේ ඩා ගැන්වීමයි.
මෙය තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අනු දැන වදාළ වේදු පෑමකි. එය මෙසේ
වදාළා ඇත. දෙරීයන (අඩි තුනක්) පළල හා හය රියනක් (අඩි නවයක්) දිගු ද
(අඩියක්) ගැඹුර ද සිටින සේ වලක් සාරා ඒ වළ තුළට තදින් රත් වන අගුරු
බහින දර වර්ග දමා පුළුස්සා අඟුරු බැස්සාට පසු වියලුන වැලි හා පස් වලින්
වළේ මට්ටමට පුරවා සමතලා කර වන් ඇපල කටු කරඬු ආදී වාත හර කොළ අතු අතුරා
වාතාබාධයෙන් පෙළෙන රෝගියා අමුඩ ගස්වා වාත නාසක, මහ නාරසන, සිද්ධාර්ථ,
බලා කොරණ්ඩ ආදි තෙල් එකට මිශ්‍ර කර එම තෙල් මුළු සිරුරේ හොඳින් ආලේප කර
නහර වැල් ක්‍රියා කරන සේ හොඳින් අතුල්ලා ගිනි වල උඩ ඇති වාත හරණ ඔසු
කොළ උඩ නිදි කරවා ඒ මේ අත පෙරළවමින් ඩා ගැන්වීම මහා සේදකම්මය.
උදර වාතාබාධය නමින් හැඳින්වන්නේ බඩේ හට ගන්නා වාතයටයි. මෙයට බුදු
පියාණන් වහන්සේ පිළියම් වශයෙන් ලෝණ සමීරණ බෙහෙතක් නේකටු යාගුවත් අනු
දැන වදාළහ. නේකටු යාගුව නම් තල, මුං හා සහල් එක්කර සාදා ගන්නා කැඳකි.
ගිරිමානන්ද සුත්‍රයේ එන තවත් රෝගයකි ඩා හෝ රෝගය. ඩා හෝ රෝගය යනු සිරුරේ
දැවිල්ලය. තුන්දොස් කිපීම, සර්ප විෂ හා අමුනුස්ස නිසා මෙම රෝගය උපදින
බව බුදු පියාණන් වහන්සේ වදාළ සේක. මෙම රෝගයට ඔසුවක් වශයෙන් නෙළුම් අල
ඉතා අනගි බව ප්‍රකාශ කළහ. තුන් දොස් කිපීම් රෝගයන්ට මහ වග්ග සුත්‍රයේ
සඳහන් වන්නේ ‘අභිසන්තකාය’ යනුවෙනි. පිළියම් වශයෙන් විරේකය නියම කර ඇත.
බ්‍රහ්ම ජාල සුත්‍රයේ විරේක තුනක් දක්වා ඇත. ඒවා නම් උද්ධ විරේචනය, අධෝ
විරේචනය හා සිස විරේචනය යනුවෙනි. මෙම විරේචන කළ රෝගීන්ට දීමට හැකි ආහාර
වශයෙන් මහා වග්ගයේ මෙයට දක්වා ඇත්තේ ලුණු කැඳ, මාංශ වලින් සැදු සුප්
වර්ග (මෙයට ගත යුත්තේ ත්‍රී කෝටි පාරිශුද්ධ මාංශ) හා මුං තැම්බු ජලයයි.
බ්‍රහ්ම ජාල සුත්‍රයේ සර්ප විෂ වෙදකම හඳුන්වා දී ඇත්තේ අනිවිජ්ජා
පානයයි.
දිනක් රාජකීය වෛද්‍යවරයා භගන්දරා රෝගය වැළඳී සිටි භික්ෂූන් වහන්සේ නමකට
ශල්‍ය කර්මයක් කිරීමට සූදානම් වෙද්දී තථාගත වහන්සේ එය වැළැක්වූවේ අද
මෙන් එදා නිර්වින්දන ඔසු නො තිබුණු නිසා ශල්‍ය කර්මයේදී ඇති වන දරුණු
වේදනාවෙන් භික්ෂූන් වහන්සේ අපවත් වීමට ඉඩ තිබුණු නිසාය. මෙය බුදුන්
වහන්සේට තිබු ශ්‍රේෂ්ඨ වෛද්‍ය ඥානයේ ප්‍රතිඵලයක් බවත් විනය පිටකයේ
සඳහන් කර තිබේ. තවද රෝගි තත්ත්වයෙන් පසුවන භික්ෂූන් වහන්සේලාට ඔසු
මෙන්ම ආහාර පාන පිළිගැන්වෙන සියලු දෑ කාලෙත් අකාලෙත් වැළදීමට අවසර දී
ඇති බව මහා වග්ග සුත්‍ර දේශනාවෙන් පෙන්නා දී තිබේ.
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වේවා !!! |