නොනැසෙන පිළිසරණ
පුත්තලම, මොණරවැව
ශ්‍රී ගුණරතනාරාමාධිපති
විහිනාවේ අංගීරස හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
ධම්මං විනා නත්ථි පීතාච මාතා
තමේම සරණං පතිට්ඨා
තස්මාහි තානං භො කිච්ච මඤ්ඤප්පහාය
සුණාථ ධාරේථ චරාථ ධම්මේ
වාසනාවන්ත පින්වතුනි
බුදුරජාණන් වහන්සේගේ උතුම් දහමින් බිඳක් ඉහතින් මාතෘකා කළා. ඔබ සෑම
සතියකම බුදුසරණ මගින් දහම් සරණ යන පිංවතුනි, එසේ ඔබ සරණ යන ධර්මරත්නයේ
ඇති අපිරිමිත වටිනාකම කොතෙක්ද කිව නොහැකිය. මේ උත්සාහ කරන්නේ සුළු
වශයෙන් වුවද එකී උතුම් ධර්මයේ වටිනාකම පහදා දෙන්නටයි. එබැවින් පළමුව
ඉහත ගාථාවේ තේරුම පිළිබඳව සරලව සිතමු.
ලෝක සත්ත්වයාට සසරින් මිදීම පිණිස ධර්මරත්නය ඉවහල් වේ. ධර්මය හැර මවක්
පියෙක් සසරින් මිදීමට ලෝකයේ වෙනත් නොමැත. එහෙයින් කටයුතු පසෙක තබා ඉතා
මැනවින්ම සමාහිතව ඒ උතුම් ධර්මය නිසිලෙස අසව්! දරව් ඒ අනුව හැසිරෙව්!
යන්න මේ ගාථාවෙන් ප්‍රකාශිත වෙනව.
මේ ලෝකයේ තවත් එක් නවාතැන් පලකයි අප නතරවෙලා ඉන්නේ. එහෙම කීවේ අනේක
වාරයක් ඉපදි ඉපදී මැරී මැරී ගමන් කරන මේ භවගාමී තත්ත්වය කොතරම් ද කියන
එක අපට තීරණය කළ නොහැකි නිසා. එයද බුදුන් වහන්සේ දුටු සංසාර ධර්මයකි.
එසේ වූ දීර්ඝ සසර තත්ත්වය අවබෝධ කරගන්නට අපට ඉතාම අමාරුයි. ඒ ධර්මය
පිළිබඳව අපට නිසි අවබෝධයක් නොමැති නිසා. එබැවින් ධර්මය යනුවෙන් අදහස්
වෙන්නේ කුමක්ද යන්න මෙයින් පැහැදිලි කර ගනිමු.
ලෝකයේ ඇති අජීවි සජීවි සෑම වස්තුවක්ද ධර්මතාවයනට හසුවේ. ඒ ලෝකස්වභාව
ධර්මයයි. ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි’ යනුවෙන් ප්‍රකාශ වුයේ ධර්මයෙන්
දිවි ගෙවන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි කියන එකයි. ධර්මයෙන් තොරව දිවි
ගෙවන්නා නරකයට යයි. ධර්මානුකූලව දිවි ඇත්තා සුගතිගාමී වෙයි යනුවෙන්
ධර්මය ප්‍රභේද වෙයි. කුසල ධර්ම (හොඳ යහපත් දේ සිතුවිල්ල අකුසල ධර්ම
අයහපත් දේ - අයහපත් සිතිවිල්ල)
මේ සැම විටම ධර්මය යන වචනය කියවෙනවා. එය තවත් විස්තර කරන්නට යනවාට වඩා
ධර්මතාවයන් එකක් දෙකක් පිළිබඳවත් සිතා බලමු!
උල්පතේ එන වතුර හරිම පිරිසුදුයි. එහෙත් එය පාවිච්චි කිරීමේදී හා
පරිහරණය කිරීමේදී අපිරිසුදු වෙනව. ඒ එක ධර්මතාවයක්. මේ අනුව මිනිසා
නමැති මේ සත්ත්වයා පොඩි දරුවෙකුව ඉපදි හැදී වැඩි ලොකු වුනාට පසු
අපිරිසුදු වෙනවා. ඒ ඇයි’ ‘චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, යන මේ පංච
ඉන්ද්‍රියන් සන්තර්පණය කිරීමට යාමේදී විවිධ වූ ආරම්මණයන් කරා සිත
යෙදෙනවිට, ඇසට, කණට, නාසයට, දිවට ශරීරයට අවශ්‍ය සම්පත් ලබා දෙන්නට
යනවිට, විවිධාකාර ගැටුම් ප්‍රශ්න අවහිර බාධා ඇති වෙනවිට එතනදී අවශ්‍ය
වෙනව. ධර්මතාවයන් සිත සනසා ගැනීම පිණිස. එහෙම කීවේ, ඒ පසිඳුරන් මැඩ
පවත්වා ගැනීමට මධ්‍යස්ථව කටයුතු කිරීම හා නුවණින් යුතුව ක්‍රියා කිරීම
අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මැදුම් පිළිවෙත, එයද ධර්මතාවකි.
එහෙම වනවිට මැදහත්ව ක්‍රියා කරන්නෙක් බවට ඔබ පත්වෙනවා. ඔබට සැනසුමක්
ඇතිවෙනවා. පසිදුරන් පිනවීමට අනන්ත වූ අපේක්ෂාවන් හිතේ තිබෙන විට
දොඩංගොඩ බදාගත්තා සේ සිද්ධවෙනවා. සුපරික්ෂාකාරීව මධ්‍යස්ථ වූ විට ඔහු
ධර්ම චාරිපුද්ගලයෙක් වෙනවා. ‘ධම්මෝ සුචිණ්ණෝ සුඛමාවහාති’ (ධර්මය
මැනවින් පුහුණු කරන ලද්දේ සුවයෙන් සිටියි) එයද ධර්මතාවයකි.
‘ධම්මං චරේ සුචරිතං න තං දුච්චරිතං චරේ’ සුචරිතයෙහි හැසිරෙන්න
ධර්මානුකූ®ලව දුෂ්චරිතයෙන් වළකින්න. මේ සෑම විටම සෑම අවශ්‍යතාව මත මුල්
වන්නේ් ධර්මය යි. (දහමට අනුව පැවැත්මයි) ඉහතින් දැක්වූ ඉන්ද්‍රි‍්‍රයන්
සැනසීම පිණිස විවිධ ආශාවන් කරා පෙළඹුන විට නිරායාසයෙන්ම දුශ්චරිතයට
ඇදෙනව. ධර්මය හෝ ධර්මතාවය පිළිබඳව කෙනෙකුට කියල ඉවර කරන්න බැහැ. අපේ
බුදුගුණාලංකාර කතුවරයාණෝ ප්‍රකාශ කළානේ.
සුවාසු දහසක්
යොදුන් ගැඹුරුති මුහුදක්
ගොඩ කරමැයි උදත්
ලෙහෙනු කළ තැත් වැන්න දවසක්
කියල. කලන්දක ජාතකයේ මුහුදට වැටුණ ලේන්පැටවා බේරා ගැනීමට මහා සාගරයේ
ජලය ඉසීමට ලේන් අම්මයි, තාත්තයි වලිගෙ තෙමාගෙන ගොඩට ඇවිදින් වලිගය ගසා
දැමුවා සේ ඉතින් කෙනෙකුට කියල ඉවර කිරීමට නොහැකි වූ නිසා අදට අපි මූලික
මාතෘකාවේ අදහස යළිත් සිතට ගනිමු! ධර්මය මවක් සේ ය. පියෙක් සේය. එබැවින්
සත්පුරුෂයිනි සසර දුක නිවා ගැනීම පිණිස ධර්මය අහන්න. ඇසු දහම් සිත්හි
දරන්න. සිතට ගත් දහමට අනුව හැසිරීමෙන් ඔබේ උභයලෝකාර්ථ යහපත සැළසේවි.
ඔබට තෙරුවන් සරණයි! |