Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අෂ්ට ගරු ධර්මයෙහි සාමාජික පසුබිම

සමාජ ප්‍රතිමාන සකස් වී ඇත්තේ සමාජයෙහි වෙසෙන බොහෝ දෙනෙකුගේ විවිධ රුචි අරුචිකම් අනුව බැවින් සමාජ ප්‍රතිමාන අරබයා ගනු ලබන තීරණ කෙරෙහි සාරධර්ම හෝ සදාචාරමය ප්‍රස්තුත පිළිබඳ සැලකිල්ල යොමු කිරීම විවාදාපන්න කරුණක් වන්නට ඉඩ ඇත. විශේෂයෙන්ම සාරධර්ම හා සදාචාරාත්මක ප්‍රස්තුතයන් කෙරෙහි මිනිස් මනස යොමු කරවා එහි වර්ධනය සිදු කිරීමට ගනු ලබන්නා වූ ප්‍රයත්නයක දී හා ඊට අදාළ ක්‍රමික වැඩපිළිවෙළක් දියත් වන අවස්ථාවක දී ඊට සමාජ ප්‍රතිමානවල බලපෑම පිළිබඳ මහත් සේ අවධානයට ලක් කළ යුතු වේ. එය එසේ වන්නේ එකී වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගලා යෑමට නම් පවතින සමාජයේ බාධාකාරී අවස්ථාවන් හඳුනාගෙන ඊට නිසි පිළියම් යෙදීම තුළින් ඒ බාධාවන් මඟ හරවාගෙන කටයුතු කිරීමට ඒ අදාළ වැඩපිළිවෙළ දියත් කරන්නා හා ඊට මූලිකව කටයුතු කරන්නන් හට සිදු වේ. මේ හේතුව නිසාම අනවශ්‍ය හා එතරම් වැදගත් නොවන්නා වූ හා සමාජ ප්‍රතිමානයන් දැඩි සේ උල්ලංඝනය වන කාර්යයන් ප්‍රධාන කාර්යය සමඟ පටලවා ගැනීමට ආරම්භයේදීම ඊට මූලික වන්නන් අකමැත්තක් දැක්වීම ස්වභාවික ය.

කෙසේ වූවත්, සමාජ ප්‍රතිමාන ඛණ්ඩනය සිදු කළ යුත්තේ, මූලිකවම හුදෙක් සාරධර්ම හා සදාචාරමය ප්‍රස්තුතවල මතු ආරක්‍ෂාව තකා නම් අනිවාර්යයෙන්ම එය සිදු කිරීම අත්‍යවශ්‍ය ය. නැතහොත් සමාජ ප්‍රතිමාන බිඳ දැමීමේ අභිප්‍රාය හුදෙක්, අනිවාර්යය සාරධර්ම හා සදාචාර අවශ්‍යතාවයක් නිසා නොව, ඒ සඳහා නව්‍ය සමාජ ප්‍රතිමාන හඳුන්වාදීම අරබයාම පමණක් වන අවස්ථාවලදී, ඊට මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සාරධර්ම හා සදාචාර වර්ධනයෙහි ලා ප්‍රෝත්සාහී වන අය නොපෙළඹේ. එසේ වන්නේ බලවත් උත්සහයකින්, එකී නව්‍ය සමාජ ප්‍රතිමාන හඳුන්වාදීම හුදෙක් සාරධර්ම හා සදාචාර වර්ධනය කෙරෙහි එතරම් උපයෝගීතාවයක් නොදක්වන බැවිනි. ඊට අමතරව කිසිදු ඵලදායිතාවකින් තොරව අනවශ්‍ය අවදානමකට ද ආරම්භයේ දී ම මුහුණ පෑමට සිදුවීම මෙවන් අවස්ථාවල දී තවත් අවාසියක් සේ එවන් පුද්ගලයන් හට පෙනී යා හැකි ය.

බුදුරදුන් විසින් භික්‍ෂු සමාජ සංස්ථාව පිහිට වූ මුල් වකවානුව වන විට, සමකාලීන වෙනත් ආගමික ශාස්තෘවරුන් විසින්, සමාජ ප්‍රතිමාන හා සමාජ සාරධර්ම නිර්දය විචාරයට ලක් කරමින් පැවතිණි. විශේෂ‍ෙයන්ම කුල භේදය, සමාජ සංස්ථා, අධිපතිවාදී ආකල්ප හා වැඩවසම් සමාජ ක්‍රමයෙහි පැවති දුර්වලතා වැනි සමාජ ප්‍රතිමාන බලවත් ලෙස ආගමික කර්තෘවරුන් අතින් ෂචාරයට ලක්විය. හුදෙක් විවේචනය කිරීමත් විචාරයට ලක් කිරීමත් පමණක්ම විනා, අනෙකුත් ආගමික කර්තෘවරුන් විසින් විවේචනයට හා විචාරයට ලක් කරන ලද සමාජ ප්‍රතිමාන සඳහා වඩාත් පරිපූර්ණ, ප්‍රායෝගික, ක්‍රමවත් හා ප්‍රත්‍යක්‍ෂ අර්ථ කථනයන් ඉදිරිපත් කිරීමට ඔවුන් ද අසමත් වීම බුදුසමයෙහි පහළවීමට ඉතාමත් ප්‍රබල උපස්ථම්භනයක් සැකසූ කරුණක් වී තිබිණි. බුදුරදුන්ගේ මුල්ම අනුගාමික පිරිස සැකසුනේ භික්‍ෂූන් වහන්සේලාගෙනි. අලුත් අදහස් වලට කන් යොමන හා විචාර පූර්වක ආකල්පයකින් කටයුතු කරන්නට කැමැත්තක් දක්වන මහත් තරුණ ජවයකින් සමන්විත භික්‍ෂූ පිරිසක් උන්වහන්සේ වටා ඒකරාශි විය.

බුදුන් වහන්සේ හට ද මූලිකවම අවශ්‍ය වූයේ එකල සමස්ත භාරතය පුරා ව්‍යාප්තව පැවති අති මහත් විවිධ ආගමික හා දාර්ශනික ඉගැන්වීම් හා තරගකාරී ලෙස ස්වකීය ඉගැන්වීම් අති මහත් ජවයකින් හා වේගයකින් අඛණ්ඩවම භාරතයෙහි ගම් දනව් රාජධානි කරා ව්‍යාප්ත කර හැරීමට ය. මූලිකවම බුදුන් වහන්සේගේ ධර්මය වටා එක් රැස් වූයේ රජවරුන් ප්‍රමුඛ කුලීන රාජකීය පිරිසත්, වෙළෙඳ පිරිසත්, ගොවීන්, ශිල්පීන් ඇතුළු විවිධ වෘත්තීකයින් පිරිසත්, සමාජයෙහි පහත් යැයි සම්මත කුලවල ජනතාවත් ය.

සමස්ත භාරතය පුරාම විවිධ ප්‍රදේශවල ස්වකීය ධර්මය අති මහත් වේගයෙන් ව්‍යාප්ත කර හැරීම සඳහා මුල් වරට තෝරා ගනු ලැබූ භික්‍ෂු පිරිසත්, විවිධ කලා ශිල්ප, ආගමික හා දාර්ශනික ආකල්ප වලින් හෙබි, උගත්, බුද්ධිමත්, නීරෝගී, ශක්තිමත්, දුෂ්කරතා මධ්‍යයෙහි කටයුතු කළ හැකි, ජව සම්පන්න තරුණයින් පිරිසක් වීම එම ධර්මයෙහි ශීඝ්‍ර ව්‍යාප්තිය කෙරෙහි සෘජුවම දායකත්වයක් සැපයී ය. යම්තම් ලැබෙන දෙයකින් කුස පුරවා ගනිමින් යොදුන් සිය ගණන් දිනපතා පා ගමනින් වැඩම කරමින්, ලෙඩරෝග ආදී අනේකවිධ අපහසුතා හා අතිමත් දුෂ්කරතා අසීරුවෙන් විඳ දරා ගනිමින්, ධර්ම ප්‍රචාරක වැඩ පිළිවෙළ මෙහෙය වූවෝ බුදුන් වහන්සේගේ මුල්ම සංඝ පිරිසට අයත් භික්‍ෂූන් වහන්සේ වෙති. ජීව විද්‍යාත්මකව මොළයෙහි අභ්‍යන්තර ව්‍යුහාත්මක ලක්‍ෂණ හා ශක්තිමත් දේහ ව්‍යුහයත්, දුෂ්කරතා, විඳ දරා ගැනීමට සුදුසු කායික යෝග්‍යතාවයත්, දිවා රාත්‍රී වෙනසක් නොමැතිව, විවිධ ස්ථානවල, හුදකලාව, අනාරක්‍ෂිතව දිවි ගෙවීමට හැකියාවක් ඇති බවත් වැනි කරුණු සලකා බැලූ කල ඒ සඳහා උචිතම පිරිස වූයේ ද භික්‍ෂූන් වහන්සේ ය. බුදුන් වහන්සේ ද මුල් කාලීනව ධර්ම දේශනා කිරීම සඳහා යොදා ගනු ලැබුවේ යම් යම් ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ මනා උගත්කමක් සහිත එමෙන්ම පැවිදි දිවියෙහි අත්දැකීම් සහිත පුද්ගලයන් බව පස්වග තවුසන් හා තුන් බෑ ජටිල පිරිස වැනි අය පිළිබඳව සලකා බැලූ කල පැහැදිලිවම පෙනී යයි. ධර්ම දූත මෙහෙයෙහි ක්‍රියාකාරී පක්‍ෂයෙන් ඉතා විශාල කාර්යභාරයක් හා කැප කිරීමක් සිදු කරන ලද භික්‍ෂු පිරිසගේ දායකත්වය නිසා සංඝ සමාජයෙහි ජ්‍යෙෂ්ඨතම සාමාජිකයින් ලෙස සළකන ලද්දේ හා ශාසන භාරධාරී තෙරවරුන් ලෙස වගකිව යුතු ස්ථාවරත්වයක් දරනු ලැබුවේ ද බුදුන් වහන්සේ විසින් ද නොමඳ ප්‍රශංසාවට ලක් කරන ලද භික්‍ෂු සංඝයාම වේ. ශ්‍රාවකයින් මාර්ගඵලාවබෝධයට පැමිණීම ස්වකීය පෞද්ගලික ආධ්‍යාත්මික දියුණුව අරභයා වැදගත් වන නමුත්, භික්‍ෂු සමාජ පිහිටුවීමේ මූලිකම හා ප්‍රධානතම අරමුණ බුදුරදුන්ගේ ධර්ම පණිවුඩය මිනිසුන් අතරට වඩා වේගවත් ලෙස හා ප්‍රායෝගික ලෙස ගෙනයාමයි.

හෙවත් ධර්ම ප්‍රචාරණ වැඩ පිළිවෙළයි. මෙම ධර්ම ප්‍රචාරණ යාන්ත්‍රණයෙහි කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය සඳහා බුදුරදුන් විසින් තෝරා ගනු ලැබුයේ ද, යථෝක්ත කාර්යය සඳහා උචිතම පිරිස වූ භික්‍ෂු සංඝයායි. ප්‍රජාපතී ගෝතමී දේවියගේ ඇයැදුම හා ආනන්ද තෙරුන්ගේ ඒ සඳහා කැපවීම කෙරෙහි අනුකම්පාවෙන් භික්‍ෂුණී සංස්ථාව ආරම්භ කිරීම සඳහා බුදුරදුන් අවසර ලබා දෙන්නේ, මුලින් පිහිට වූ සංඝ සමාජයෙහි සාමාජික ප්‍රතිමාන පද්දතියට ඉන් ඇතිවිය හැකි හානිකර තත්ත්වයන් හැකිතාක් අවම වන පරිදි අෂ්ට ගරු ධර්ම නමින් හැඳින්වෙන ආචාර ධර්ම කොට්ඨාසයක ආවරණය ලබා දෙමිනි.

භික්‍ෂුණී සංස්ථාව පිහිටුවීමේ මූලික අරමුණ වූයේ ඒ සඳහා කැමැත්තක් දක්වන කාන්තා පිරිසට පෞද්ගලික ආධ්‍යාත්මික සාරධර්ම සංවර්ධනයට පහසු මඟක් පාදා දීම විනා භික්‍ෂු පිරිස මෙන් පූර්ණකාලීන ක්‍රියාකාරී ලෙස ජව සම්පන්නව හුදකලාව දුර බැහැර ඉතාමත් අනතුරුදායක ප්‍රදේශවල පවා තනිවම පාගමනින් වැඩම කරමින් අති මහත් ගැහැට විඳදරා ගනිමින් ධර්ම ප්‍රචාරණයෙහි නියුක්ත වීම නොවේ.

එවන් දුෂ්කර කාර්යයක නියැළී හුන් බුදුරදුන්ගේ මුල්ම ශ්‍රාවක පිරිස වූ භික්‍ෂූන් වහන්සේ තමන්ගේ සෙසු පැවිදි පිරිස අතරින් මුල් තැනකලා සැලකීමට බුදුරදුන් ක්‍රියාකිරීම අසාධාරණ නොවේ. පෞද්ගලික සාරධර්ම සංවර්ධනය අරමුණු කර ආගන්තුකව පිහිටුවන ලද භික්‍ෂුණී සංස්ථා සාමාජිකාවන්ගේ ක්‍රියාකාරීත්වයෙහි හා මුල්ම ශ්‍රාවක පිරිස වූ භික්‍ෂූන් වහන්සේගේ සමාජ සේවා ක්‍රියාකාරීත්වයෙහි සමාජ ප්‍රතිමාන, සමාන ලෙසින් සැලකීම තත් භික්‍ෂු සංස්ථාවට සිදු කරනු ලබන අසාධාරණයක් වන අතර, තනිව හුදකලාව අනාරක්‍ෂිතව කාන්තාවකට කටයුතු කරන්නට අනුබල දීම ඒ අයගේ ජීවිත ද අනතුරට පත් කිරීමක් ද වේ. ඒ තත්ත්වය බුදුනුවණින් දැන දැනම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට එවැනි දේ නොවළකා සිටිය හැකි ද නොවේ. හැරත් සමාජයෙන්, මිනිසුන්ගෙන් නින්දා ගැරහුම් අපවාද වලට මුහුණපෑමට ද සිදුවේ. ඒ අෂ්ට ගරු ධර්ම පණවා තිබියදීත්, ආගන්තුක භික්‍ෂුණී සංස්ථාව නිසා පසු කාලීනව මුහුණ දීමට සිදු වූ උද්ගත වූ විවිධ අර්බුද හා ගැටලු මහත් රාශියක් පිළිබඳ තොරතුරු භික්‍ඛුණී විහංගය පුරා සඳහන්ව තිබේ.

1. උපසම්පදාවෙන් වර්ෂ සීයක් ගත වූ මෙහෙණිය විසින් ද එදාම උපසම්පදා වූ භික්‍ෂුව දැක වැඳුම්, හුනස්නෙන් නැඟී සිටීම් ආදී සැලකිලි දැක්විය යුතු ය.

2.භික්‍ෂූන් නැති ප්‍රදේශයක හෝ ආවාසයක මෙහෙණිය විසින් වස් නොවිසිය යුතු ය.

3. අඩ මසක් පාසා මෙහෙණිය විසින් භික්‍ෂු සංඝයාගෙන් පොහොය විචාළ යුතු ය. අවවාද දීමට භික්‍ෂුවකගේ පැමිණීම ද බලාපොරොත්තු විය යුතු ය.

4. වස් අවසානයේ දී භික්‍ෂු භික්‍ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතු ය.

5. ගරු ඇවතකට පැමිණි මෙහෙණිය විසින් උභතෝ සංඝයා කෙරෙහි මානත පිරිය යුතු ය.

6. දෑවුරුද්දක් ශික්ෂමානාවකව සිට එයට පසුවම උපසම්පදාව ලැබිය යුතු ය.

7.මොනම කාරණයකින්වත් මෙහෙණියක විසින් භික්‍ෂුවකට ආක්‍රෝශ පරිභව නොකළ යුතු ය.

8. මෙහෙණිය විසින් භික්‍ෂූන්ට අවවාද නොකළ හැකි ය. භික්‍ෂූන් විසින් මෙහෙණියන්ට කළ මනා ය. ඒ අවවාද මෙහෙණියන් විසින් පිළිගත යුතුමය. (අංගුත්තර නිකාය, අට්ඨක නිපාතය, ගෝතමී වග්ගය) හා (චුල්ල වග්ග පාලි)

මෙහි 2, 3, 4, 5 හා 6 යන ගුරු ධර්ම පැණවී ඇත්තේ භික්‍ෂූන් නොමැති ස්ථානයක විසීමෙන් භික්‍ෂුණින්ට සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වයන්ගෙන් ඔවුන්ව ආරක්‍ෂා කරගැනීම අරමුණු කොටගෙන ය. තත්වය එසේ තිබිය දී පවා ශික්‍ෂාපද 220 ක් අන්තර්ගත වන භික්‍ෂු ප්‍රාතිමෝක්ෂය, පාරාජිකා, සංඝාදිසේස හා පාටිදේසනීය යන කොටස්හි අතිරේක ශික්‍ෂාපද හතර බැගින් ද පාචිත්තිය 74 කින් ද වශයෙන් භික්‍ෂුණී ප්‍රාතිමෝක්ෂයෙහි දී 304 ක් දක්වා ශික්‍ෂා ගණනින් වර්ධනය වූයේ භික්‍ෂූණීන් තුළ විද්‍යාමාන විවිධාකාර දුර්වලතා හා විනය කඩවීම් සඳහා අවස්ථානුකූලව පැණවුනු ශික්‍ෂා පද නිසා ය. 3 න් කියවෙන පරිදි සෑම අර්ධ මාසයකදීම භික්‍ෂූන් වෙතින් පොහොය විචාරීම හා අවවාද දීම පිණිස භික්‍ෂුවකගේ පැමිණීම සිදු වන්නේ නිරන්තරයෙන්ම භික්‍ෂූන් වහන්සේ ගැවසෙන ස්ථාන ආශි‍්‍රතව හා නොදුරින් වාසය කරන කලය. 4 හා 5 න් කියවෙන්නේ ද භික්‍ෂුණී සංඝ පිරිස භික්‍ෂු සංඝ පිරිස සමඟිව හා ආසන්නව විසීම අවශ්‍යතාවයයි. ඉන් අදහස් කරන්නේ නිරන්තරයෙන්ම භික්‍ෂුණී පිරිසේ ආරක්‍ෂිත බවයි. එසේම තත් යුගයෙහි වෙනත් ආගමික සංස්කෘතිවල පැවැති සාමාජයීය ප්‍රතිමානවල ස්වභාවයද මෙහි දී සැලකිල්ලට ගෙන තිබේ. භික්‍ෂුණීන් විසින් සිදු කරනු ලබන සෑම විනය කටයුත්තක දීම භික්‍ෂූන්ගේ සහභාගීත්වය ලබා ගැනීම සාරිපුත්ත, මොග්ගල්ලාන වැනි දෑග සව්වන් හා අසූ මහ ශ්‍රාවකයින් වැනි තත් යුගයෙහි භික්‍ෂූන් විසින් ධර්ම ප්‍රචාරක කාර්යභාරය හේතුවෙන් සමාජය තුළ අත්පත් කරගෙන තිබූ මහජන අවධානය, ප්‍රසාදය, සැලකිල්ල හා සමාජ වටිනාකම ඒ භික්‍ෂූන්ගේ ඇසුර තුළින් භික්‍ෂුණීන් හට ද ලබාදීම කේන්ද්‍රකොට ගෙන මෙම ගරු ධර්ම පැණ වී තිබේ. මෙහි 6 න් කියවෙන සික්ඛමානාව නම් උභය සංඝයාගෙන් උපසම්පදාව ලැබීමේ බලාපොරොත්තුවෙන් ප්‍රාණඝාත ශික්‍ෂා පදයෙහි සිට විකාල භෝජනා ශික්‍ෂා පදය දක්වා ශික්‍ෂාපද හය වර්ෂ දෙකක් නොකඩවා ආරක්‍ෂා කරන්නා වූ සාමණේරියයි. මෙම පැණවීම සිදුකර ඇත්තේ භික්‍ෂුණී සංස්ථාවෙහි මෙන්ම මූලික භික්‍ෂු සංස්ථාවෙහි ද සාමාජයීය ප්‍රතිමාන පිළිබඳව මනාව වැටහීමක් ඇතිව, ඒවා සුරක්ෂිත වන පරිදි අධි ශීල ප්‍රතිපදාව හෙවත් උපසම්පදාව ලැබීමට යෝග්‍යතාවය හා ස්වකීය පෞද්ගලික ආධ්‍යාත්මික සංවර්ධනය පහසුවෙන් අත්පත් කර ගැනීමට අවශ්‍ය මානසික කුසලතාවය සික්ඛමානාවන්හට පහසුවෙන් ලබාදීම පිණිස ය.

සේම මෙහි 1, 7 හා 8 යන ශික්‍ෂාපද පැණ වී ඇත්තේ සමස්ත භික්‍ෂු සංස්ථාවට, භික්‍ෂු සංස්ථාව ආරම්භ කිරීම හේතුවෙන් සමාජ ප්‍රතිමාන පැතිකඩ තුළ පැණ නැඟිය හැකි කිසිදු ගැටලුවක් ඇති නොවනාකාරයෙනි. මෙහි විද්‍යාමන වන්නේ පුරුෂයා ගැහැණියට වඩා ශ්‍රේෂ්ඨය යන අදහසට වඩා ආරම්භක අවස්ථාවේ මූලිකවම පිහිටවනු ලැබූ භික්‍ෂු සංස්ථාවෙහි සාමාජයීය ප්‍රතිමාන පැතිකඩ පසුව පිහිටවනු ලැබූ භික්‍ෂුණී සංස්ථාවෙහි ප්‍රතිමාන පැතිකඩ මඟින් ආරක්‍ෂා කරදීමකි. මේ අදහස මතුපිටින් එක්වරම තේරුම්ගත නොහැකි ගැඹුරු අර්ථයකි.

මෙහි නියම තත්ත්වය තේරුම් ගත හැක්කේ මෝස්තර හා අනුකාරකවාදී ස්වරූපයෙන් වර්තමාන ලාංකේ ය සමාජයෙහි ප්‍රචලිතව ඇති යල්පිනූ විවිධ බටහිර දාර්ශනික මතවාද අනුව නොව, මීට වසර දහස් ගණනකට පූර්වයෙන් භාරතීය සමාජ සංස්කෘතියෙහි භාෂා සංස්කෘතික මුහුණුවර, සමාජයීය පසුබිම, තත් යුගයෙහි භාරතීය වෙනත් ආගමික හා සමාජ සංස්ථාවන්හි කාන්තාවට හිමි ස්ථානය වැනි කරුණු මනාව ගැඹුරින් හදාරා තිබීමේ සුදුසුකම් මත හා ඒ පිළිබඳව අපක්ෂපාතීව විචාර පූර්වකව කරුණු අවධානයට ලක් කිරීම අනුවය.

භාරතය කේන්ද්‍රකරගත් අවිවාදිතවම ස්ත්‍රියට ගරු කරන ආසියාතික මාතෘ මූලික සමාජ ක්‍රමයක බිහි වූ, ලිංගභේදයකින් තොරව සියලු සත්ව වර්ගයාගේ විමුක්තිය පිණිස මඟ පෙන්වන බුදුසමයට බටහිර වික්ටෝරියානු පීතෘ මූලික සමාජ ක්‍රමයක පීඩිත ස්ත්‍රීන්ගේ විමුක්තිය උදෙසා බිහි වූ විවිධ කල්ලි හා ගුරු කුල වල අදහස්වලින් මතවාදී පෝෂණය ලැබීමේ අවශ්‍යතාවයක්ද මතු නොවන බව පෙන්වා දෙන්නේ ළාමක අදහස්වලින් වියුක්තව පොදු මනුෂ්‍යත්වයෙහි වටිනාකම අවධාරණය කරමිනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.