බුදු දහම කවුරුන් සඳහා ද?
නාරාවිල පැට්රික්
‘පඤ්ඤවන්තස්සායං ධම්මෝ, නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස’ හෙවත් මේ දහම පැණවතුන්
සඳහා ය, දුපැණවතුන් සඳහා නොවේ’ යන ප්‍රකාශය බුදුන් වහන්සේගේ දේශනා
පාඨයක් ලෙස බෞද්ධයෝ සලකති. බොහෝ විට මෙය ඉදිරිපත් කැරෙන්නේ බුද්ධ
දේශනාවේ ගම්භීරත්වය හෙවත් ගැඹුරු දාර්ශනික වැදගත්කම උපරිමයෙන් විවරණය
කරනු පිණිස විය හැකි ය.
එතෙක් කිසිවකු විසින් අවබෝධ කර නොගත් දහමක්, තමන් වහන්සේ විසින් අවබෝධ
කර ගන්නා ලදැ යි සිතූ බුදුන් වහන්සේ, එහි ගම්භීරත්වය සලකා එය තේරුම්
ගත හැක්කවුන් නැතැ යි සිතා දහම් දෙසීමට පසුබට වූ බව සඳහන් වෙයි. එහෙත්
ඒ ගැන නැවත සලකා බලන්නට හිත හදා ගත්තේ සහම්පතී බ්‍රහ්මයාගේ ඉල්ලීම අනුව
යැ යි කියනු ලැබේ.
ඉක්බිති දහම් දෙසන්නට සුදුස්සන් ගැන සිතන විට, පළමුවෙන් තමන්ගේ
ගුරුවරුන් ලෙස සිටි ආලාරකාලාම, උද්දකරාම පුත්ත ආදීන් ජීවත්ව
නොසිටියෙන්, යන්නට සිදු වුයේ පස්වග මහණුන් වෙත ය. තමන් සමග කලක් සත්‍ය
ගවේෂණයේලා තවුස්දම් පුරා තිබුණු හෙයින්, ඔවුන් වෙත වූ ධර්ම අවබෝධ ඥානය
ගැන උන්වහන්සේ තුළ කිසියම් විශ්වාසයක් තිබුණු බව පෙනේ. ඒ පස්දෙනා අතර
ජ්‍යෙෂ්ඨයා වූ කොණ්ඩඤ්ඤ හිමියෝ බුදුන් වහන්සේටත් වැඩිමහල්ලෙක් වූහ.
මේ හමුවීමෙන් පසු බුදුන් වහන්සේ විසින් සිය පළමු වැනි ධර්ම දේශනය වූ
ධම්මචක්ක පවත්තන සූත්‍රය පස්වග මහණුනට දෙසන ලදී. එහිදී කොණ්ඩඤ්ඤ
තවුසාණෝ සෝවාන් වූහ. ඔහුට පැවිදි උපසම්පදාව ලැබුණේ ඉන් පසුව ය. ඉක්බිති
දින හතරක් තුළ එක් දිනකට එක් කෙනකු බැගින් අනෙක් සිවුදෙනා සෝවාන් හෙවත්
සෝතාපන්න තත්ත්වයට පත් වූහ. සෝතාපන්න යනු විමුක්ති මාර්ගයට හෙවත්
නිර්වාණාවබෝධ මාර්ගයට පිවිසි බව යි. ඉක්බිති ඒ පස් දෙනා ම රහත් බවට
පත් වූයේ පස් වැනි දින අනන්ත ලක්ඛණ සූත්‍රයට සවන් දීමෙනි. ඒ තත්ත්වයට
පත් වූයේ සියලු කෙලෙසුන් නසාලීමෙනි යි කියනු ලැබේ.
අනත්ත යනු අනාත්ම යනු යි. අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාව අසා රහත් බවට පත්
විණැ යි යන්නෙන් ගම්‍ය වන්නේ ‘මමත්වය’ නැති කළ බව යි. එනම් නිර්වාණ
ප්‍රාප්තිය සාක්ෂාත් කළ බව නොවේ ද ? එසේ නම් අනත්ත ලක්ඛණ සුත්‍රයේ
නිර්වාණගාමී ප්‍රතිපදාව සපුරා අඩංගු විය යුතු ය.
ධම්ම චක්ක පවත්තන සුත්‍රයේදී නිර්වාණගාමි ප්‍රතිපදාව ඉතා පුළුල්
ආකාරයෙන් අර්ථකථනය කර ඇති බව පැහැදිලි ය. මානව සංහතිය සදාකාලික දුකට
පත්වී ඇත්තේ අත්තකිලමථානුයෝගය හා කාමසුඛල්ලිකානුයෝගය තුළ අන්තගාමි ලෙස
දෝලනය වීමෙනි. එයින් දුකින් මිදිය නොහැකි ය. දුකින් මිදීමට මඟ මධ්‍යම
ප්‍රතිපදාව යි. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එය සම්මාදිට්ඨි,
සම්මාසංකප්ප ආදි ලෙස දක්වන අතර ප්‍රඥා, සීල, සමාධි වශයෙන් අනුපූර්ව
ප්‍රතිපදාවක් සේ විස්තර කැරේ.
කෙසේ වෙතත් බුදුන් වහන්සේ විසින් තමා අවබෝධ කර ගන්නා ලද නිර්වාණගාමි
ප්‍රතිපදාව පළමු වෙන්ම තේරුම් කර දෙන්නට තෝරා ගැනුණු පිරිසට පවා එය
තේරුම් ගෙන අර්හත් භාවයට පත් වන්නට හැකි වූයේ එතරම් පහසුවෙන් නොවේ. ඒ
තරමින්වත් තේරුම් ගත හැකි වූයේ ඔවුන් දිගු කලක් සත්‍ය ගවේෂීන් ලෙස
සත්‍යාවබෝධයට කැපවී තවුස්දම් පුරමින් සිටි හෙයිනි. ඒ අතර පස්වග මහණුනට
සිදුහත් තවුසා පිළිබඳ අත්දුටු වැටහීමක් ද තිබිණ.
ඉක්බිති පැවිද්ද ලැබුවාහු යසකුලපුත් මුල් කොට ගත් පනස් පස් දෙනා ය.
ඔවුන් පැවිද්ද ලැබුවේ බුදුන් වහන්සේ සොයා අවුත් බණ ඇසීමෙනි. ඔවුහු
කාමසුඛල්ලිකානු ජීවිත ගත කොට හෙම්බත්ව සිටියහ. ඇති පදමින් ජීවන
අත්දැකීම් ලබා සිටියෙන් ඔවුනටත් බුදුන් වහන්සේ වෙත යෑමෙන් නිවුණු,
සැනසුණු දිවි පෙවෙතක් ගත කළ හැකි වනු ඇතැයි වැටහුණා විය හැකි ය.
ඉන් පසු බුදුන්ට හමුවූවාහු භද්දවග්ගිය කුමාරවරු ය. ඔවුන් පිළිබඳ
කතාපුවතේ සඳහන් වන්නේ බුදුන් වහන්සේ ඔවුන්ගෙන් අසන ලද ප්‍රශ්නයකි.
‘දරුවනි, ස්ත්‍රියක සෙවීම උතුම් ද ? තමන් සෙවීම උතුම් ද ?’ යනු යි. එය
තරමකින් හෝ බරපතළ ප්‍රශ්නයකි. තමන් ඒ වන විට ජීවිතය පිළිබඳ ලබා සිටි
ව්‍යවහාරික අත්දැකීම අනුව දෙන ලද පිළිතුර ද ඔවුන්ගේ පැණවත් බව පළ
කරන්නකි.
‘ස්වාමිනී, අපට අප ගැන ම සෙවීම උතුම් ය’. ඉක්බිති ඔවුනට චතුරාර්ය
සත්‍යය අලළා දහම් දෙසන ලදී. අනතුරු සියලු දෙනා පැවිද්ද ලබා ගත්හ.
ඉක්බිති මුණගැසුණු උරුවේල කාශ්‍යප තවුසා තමා රහතෙකි යි සිතා මානයෙන්
මත් වුවෙකි. එහිදී උරුවේල කාශ්‍යප ප්‍රමුඛ සොහොයුරන් තිදෙනාත්, ඔවුන්ගේ
පිරිවර දහසකුත් පහදවා ගැනීම පහසු කාරියක් නොවීය. උරුවේල කාශ්‍යප සහ
බුදුන් වහන්සේ අතර ඇතිවූ විවාදය බරපතළ තර්ක විතර්කාදියෙන් පිරුණකි.
කෙසේ වෙතත්, අන්තිමට උරුවේල කාශ්‍යප ප්‍රමුඛ පිරිස රහත් බව ලබන්නට තරම්
ගැඹුරු අවබෝධය ලැබුවේ ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවට සවන් දීමෙනි.
එහිදී සියල්ල ගින්නට උපමා කොට දක්වා ඇත. ‘සබ්බ භික්ඛවේ ආදිත්තං, ...
චක්ඛුං භිකඛවේ ආදිත්තා, රූපා ආදිත්තා, චක්ඛු විඤ්ඤාණං ආදිත්තං,
චක්ඛුසම්ඵස්සෝ ආදිත්තෝ...’ ආදී වශයෙනි. සියල්ල දුක උපදවමින් ගින්නක් සේ
දවන්නේය, තවන්නේ යැ යි දක්වා, ආර්ය ශ්‍රාවකයා සුබ හෝ දුක්ඛ හෝ අදුක්ඛ
හෝ අසුබ ආදී සියල්ල නිවාලන්නේ යැ යි විවරණය කර ඇත.
ආදිත්ත පරියාය සූත්‍රයේ අන්තර්ගතය විනිවිද දක්නා විට එය කොතරම් දුරට
ප්‍රඥාවන්තයන්ගේ සිත් නිර්වාණගාමී චින්තනයට යොමු කරන්නේ දැයි පෙනෙනු
ඇත.
අනතුරු මහා ප්‍රඥාවන්තයෝ දෙදෙනෙක් බුදුන් වහන්සේ වෙත එළඹෙති. එනම්
සාරිපුත්ත සහ මොග්ගල්ලාන දෙදෙනා ය. ධර්මසේන හිමියන් ඒ පුවත
සද්ධර්මරත්නාවලියේ දක්වාලන්නේ මෙසේ ය.
‘බුදුහු සිවුවනක් පිරිස් පිරිවරා වැඩ හිඳ බණ වදාරන සේක්, එන දෙන්නා
දුරදී ම සතර ගවුවෙක තැබූ දෙයක් දක්නට සමර්ථ වූ මසැස ඇති හෙයින් දැක
වහන්දැ බණවාලා, මහණෙනි, තෙල එන දෙන්නා දුටු ද? තූලූ මට අගසවු වෙති’ යි
වදාළ සේක. මෙතෙක් සඳහන් සියලු දෙනා බුදුන් වහන්සේ හමු වන්නටත් කලින්
සිට ම සත්‍ය ගවේෂණයට එළඹ සිටියෝය, නැතහොත් කාමභෝගී ජීවිත ගත කිරීමෙන්
සහ ඉක්බිති ගිහිගෙයි කලකිරීමෙන් යන එන මං නැතිව සිටියෝ ය. ඔවුන්
සොයමින් සිටියේ නිවීමත්, සැනසීමත් ලබනු හැකි දහම් හඬකි.
බුදුන් වහන්සේ පන්සාළිස් වසක් දහම් දෙසූහ. හැටනමක සඟ පිරිසකින් ඇරැඹුණු
දහම් දෙසීම කෙතරම් පුළුල් පරාසයක ව්‍යාප්ත වූයේ දැයි කීය යුතු නැත.
මුලින් සිදු වූයේ සොය සොයා ගොස් බණකීම යි. ඉක්බිති සිදුවූයේ සොය සොයා
ගොස් අරාධනය කර බණ කියවා ගැනීම යි.
මුලින් බණ ඇසුවාහු එක්කෝ සියලු ලෞකික සැප සම්පත් අත්හැර ගියාහු ය,
නැතහොත් බණ අසන්නට ගොස් යළිත් ලෞකික සැප සම්පත් භුක්ති විඳින්නට ආපසු
නොපැමිණියාහු ය.
එහෙත් කාලයාගේ ඇවෑමෙන් සිදුවූයේ තත්වූ පරිදි පෙරළියකි. බහුජන හිත
පිණිස, බහුජන සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස දහමක් වූ කල්හී පොදු ජනතාව
බලාපොරොත්තු වූයේ ලෞකික සැප සම්පත් භුක්ති විඳින අතර ම නිර්වාණයත්
සාක්ෂාත් කර ගන්නට ය. ඒ නිසා බුදුන් වහන්සේටත්, මහා සංඝයාටත් සිදුවුයේ
හැකිතාක් පොදු මහ ජනතාවගේ ව්‍යවහාර ලෝකය පිළිබඳ සංසිද්ධි උදාහරණ කොට
ගනිමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සමග ගළපා, නමුත් කෙළින් ම ඒ බවක් සඳහන්
නොකර, ඔවුනට සිය ජීවන පුවත් ඇසුරින් ම නිවනක් ලැබිය හැකි මග කියාදීම
යි.
සැබවින් ම එය අපූර්වාකාරයෙන් කියා දෙන හැටි, ධම්මපදය හා මංගල,
සිඟාලෝවාද, පරාභව, මෙත්ත ආදි සූත්‍රයන්ගෙන් පැහැදිලි වෙයි.
මෙහිලා උදාහරණයක් ලෙස සිගාලෝවාදය සුත්‍රය පමණක් නමුත් අත්‍යන්තයෙන්
අර්ථාන්විත ය. පුළුල් සංවාදයකට යොමු කළ හොත් එහි කුලකගත කොට ඇති සමාජ
ව්‍යවහාර ආර්ය අෂ්ටාංගික මාර්ගාංග සමග මැනවින් ගළපා ගත හැකි ය. එකල්හි
එය අපූර්ව ධර්ම විවරණයක් ද වන්නට පුළුවන.
සැබවින් ම ඒ පිළිබඳ විවරණ අට්ඨකථාවන්හි ඇති පදමින් අර්ථකථනය කර ඇතැ යි
සිතේ.
මංගල සූත්‍රය මංගල කරුණු 38 ක් දක්වන අතර, 35 වැන්න ලෙස දැක්වෙන්නේ
‘ඵුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති’ හෙවත් ලෝ දහම්හි ගැටීමෙන්
යමකුගේ සිත කම්පාවට පත් නොවේ ද, එය උතුම් මංගලයක් වන බව යි. මෙහි
ලෝකධම්ම යන්න බෙහෙවින් අර්ථ සම්පන්න ය. ලෝක ධම්ම යන්නෙන් හැඳින්වෙන්නේ
‘ලාභෝ අලාභෝ අයසෝ යසෝ ච, නින්දා පසංසා ච සුඛං දුක්ඛං ‘ ආදී තැන විස්තර
කැරෙන අටලෝ දහම යි. ඉදින් අටලෝ දහම්හි ගැටීමෙන් යමකුගේ සිත කම්පාවට පත්
නොවන්නේ නම් එයින් ගම්‍ය වන්නේ ලෝභ, දෝස, මෝහාදී අකුසල මූල තත්ත්වයෙන්
මිදුණු මැදුම් පිළිවෙතක පිහිටි බව යි.
මෙසේ 35 වැනි එක මංගල කරුණ පමණක් අර්ථකථනය කරමින් මැදුම් පිළිවෙතට
ගැළපිය හැකි නම් අනෙක් මංගල කරුණු 37 විවරණයට බඳුන් කළහොත් ඒවා කෙතරම්
අර්ථවත් පරිදි ආර්ය අෂ්ටාංගික මාර්ගාංග සමග බද්ධ කර සම්පාත කළ හැකි දැ
යි විමසනු නොහැකි ද ?
සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ අසූහාරදහසක ධර්මස්කන්ධයක් දේශනා කර
වදාරා ඇත්තේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නැ යි කියන්නට ද ?. |