දානයෙහි සමාජයීය අගය
අධිකරණ සහ නීති
ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ
ප්‍රජා පාදක විශෝධන ඒකකයේ
ශාස්ත්‍රපති,
උඩුබද්දාවේ අස්සජී හිමි
බෞද්ධයා විවිධ පින්දහම් කටයුතුවල යෙදේ. පින්කමක මූලික අරමුණ වන්නේ
නිවන් අවබෝධයට මග සැලසෙන චිත්ත පාරිශුද්ධිය හා නික්ලේශී බව ක්‍රම
ක්‍රමයෙන් ලබා ගැනීමයි. සිතේ පිරිසුදුකම හා නිකළෙස් බව ලබා ගත හැක්කේ
එම තත්ත්වයන්ට බාධක වූ ලෝභ, දෝස, මෝහ යන බාධකයන් ඉවත් කිරීමෙනි. මූලික
වශයෙන් ම ලෝභය නැති කිරීම සඳහා පරිත්‍යාගශීලී බව වර්ධනය කරගත යුතු වේ.
බෞද්ධයා ඒ සඳහා සිදු කරන ප්‍රධාන පින්කම දන් දීමයි. එය බෞද්ධයා අතර
ඉතාමත් ජනපි‍්‍රය පින්කම ද වේ.
දන්දීම දිව්‍ය සම්පත්, මානුෂික සම්පත් හා නිවන් සම්පත් යන ත්‍රිවර්ග
සම්පත ම ලබාදෙයි. මෙහිදී උත්සාහ කරන්නේ දන්දීම තුළින් පුද්ගලයා තුළ
වර්ධනය වන පරිත්‍යාගශීලී භාවය සමාජයක් නිවැරැදි කිරීමට කෙතෙක් දුරට
හේතු වන්නේ ද යන්න සාකච්ඡා කිරීමටයි. තවත් අයුරකින් පැහැදිළි කළ හොත්
දානයෙහි ඇති සමාජමය අගය පිළිබඳව විග්‍රහ කිරීමටයි.
දාන ශබ්දයෙන් ‘දීම’ යන අර්ථය ප්‍රකාශ වේ. තමා සතු යමක් අනුන්හට
අනුකම්පාවෙන් හෝ පූජා බුද්ධියෙන් හෝ මසුරුකමින් තොරව දීම ඉන් අදහස් වේ.
දෙන වස්තුව හා දීම යන දෙකටමත් දානය යන වචනය භාවිත කරයි. එසේම ත්‍යාග,
දක්‍ඛිණ හා යාග යන නම් වලින් ද “දානය” යන්න හඳුන්වනු ලබයි.
දානය උසස් මනුෂ්‍ය ගුණ ධර්මයක් මෙන්ම ගිහි ජනයාට අයත් වූ යහපත්
ක්‍රියාකාරකමක් ද වේ. ඒ නිසා බුදුන් වහන්සේ දීම ‘ගිහි ධර්මයක්’ ලෙස
හැඳින්වූහ. මානව සමාජය ශිෂ්ටාචාර වන්නට ආරම්භ වූ මුල් කාලයේ සිට ම දීම
උත්තම ගුණයක් ලෙස පිළිගනු ලැබ ඇත. ඒ දීම තුළින් සියල්ලන්ගේම සිත් තුළ
සැනසීමක්, සහනයක් උදාවන හෙයිනි.
දීම එසේ නැතිනම් දානය බෞද්ධ සමාජයට පමණක් අයත් වූ ක්‍රියාකාරකමක් නොවේ.
එය බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමටත් පෙර වෛදික, බ්‍රාහ්මණ හා උපනිෂද්
යුගල වල පවා ආගමික භාවිතයක්ව පැවති බව ත්‍රිපිටක සූත්‍රාගත තොරතුරු
වලින් අනාවරණය වේ. එමෙන් ම ක්‍රිස්තියානි, කතෝලික, ඉස්ලාම් හා හින්දු
භක්තිකයන් අතර පවා ප්‍රචලිතව පවතින්නකි. එසේ වූවත් දීම සම්බන්ධව ඉතා
විශිෂ්ට වූ පොදුවේ පිළිගත හැකි ආගමික විවරණයක් ඉදිරිපත් කරන ලද්දේ
තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසිනි.
බෞද්ධ විග්‍රහයට අනුව දානයෙහි ආකාර තුනක් (3) හඳුනා ගත හැකි ය. එනම්,
01. ආමිෂ දානය, 02. අභය දානය, 03. ධර්ම දානය යනුවෙනි. සූත්‍ර, ෂනය හා
අභිධර්ම පිටකයෙහි ආමිෂ දානය පිළිබඳ ත්‍රිවිධාකාර අර්ථ දැක්වීමක් වේ.
සූත්‍ර පිටකයේ දාන වස්තු දහයක් ද, විනය පිටකයේ දාන වස්තු සතරක් ද,
අභිධර්ම පිටකයේ දාන වස්තු සයක් ද සඳහන් වේ. මින් සූත්‍ර පිටකයේ දැක්වෙන
ආහාර ආදී දාන දහය ද, විනය පිටකයේ එන චීවර ආදී දාන සතර ද ආමිෂ දානයට
අයත් සේ සලකයි.
අභය දානය නම් ජීවිතයක් විපතින් මුදවා නිදහස් කිරීමයි. රජ, සොර, සතුරු,
ගිනි, දිය ආදී පංච උපද්‍රවයන්ගෙන් අනතුරක් වන්නට නොදී ආරක්‍ෂා කිරීමයි.
මාංශය පිණිස සත්ව ඝාතනයට ලක් වන සතුන් නිදහස් කර ගැනීමත්, වෙදකම් කිරීම
තුළින් රෝගීන් සුවපත් කිරීමත්, සිරකර සිටින සතුන් නිදහස් කිරීමත් හා
තමා පස් පවින් වැළකීමත් යන කාරණා ද අභය දානයට අයත් ඒවා වේ.
සත්ත්වයන් නිවන් මගට පැමිණ වීම සඳහා ලාභ අපේක්‍ෂාවෙන් තොරව
නිස්සරණධ්‍යාශයෙන් යුක්තව කුසල්, අකුසල්, පින්, පව් හඳුන්වාදීම පිණිස
දහම් දෙසීම ධර්ම දානයයි. ධර්ම ග්‍රන්ථ ලිවීම, ධර්ම ග්‍රන්ථ ලියවීම,
පූජා කිරීම, පොත්ගුල් තනා දීම, ධර්ම ශාලා තැනවීම, ධර්මය ඉගෙනීම,
ඉගැන්වීම හා නිවන් ලැබීමේ අරමුණින් ධර්මය ප්‍රචාරය කිරීම ද ධර්ම දානයට
අදාළ කාර්යයන් ය.
මෙම ත්‍රිවිධ දාන අතුරින් ධර්ම දානය ශ්‍රේෂ්ඨතම දානය බව බුදුන් වහන්සේ
පෙන්වා දුන් සේක. බුදුරදුන් පිරිනිවන් පානා තෙක් ම වසර 45 ක් පුරා එකී
උත්කෘෂ්ට ක්‍රියාවලියෙහි උන්වහන්සේ ප්‍රායෝගිකව ම නිරතවීමෙන් එය සනාථ
කර දැක්වූහ. ඒ අයුරින් බුදුන් වහන්සේ ධර්ම දානය ශ්‍රේෂ්ඨබව දක්වන්නේ
පුද්ගලයා උතුම් ගුණාංග වලින් හෙබි යහපත් තැනැත්තෙකු බවට පත්වන්නේ ධර්මය
ඇසීමේ ප්‍රතිඵලයක් වශයෙන් වන හෙයිනි. එසේම පුද්ගලයන් මෙලොව පරලොව යන
දෙලොවම ජය ගන්නේත්, මහ දන් දෙන්නේත් ලොව ලොව්තුරු සුව ලබන්නේත් දහම්
ඇසීමෙනි. ඒ නිසා සෙසු දානයන්ට වඩා ධර්ම දානයෙහි ඇති සමාජය අගය බෙහෙවින්
ඉහළ ය.
බුද්ධ දේශනාව තුළ පොදුවේ දානයට ඉතා ඉහළ අගයක් හිමිව ඇත.බුදුවීමට උපකාර
වන දස පාරමිතා අතුරින් පළමු වැන්න ද, දස පුණ්‍ය ක්‍රියා අතර පළමු
වැන්නද, දස රාජ ධර්ම අතර පළමු වැන්න ද, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතර
පළමු වැන්න ද, ශ්‍රද්ධා සම්පත්ති අතර තෙවැන්නද එයට හිමිව තිබේ. ඒ වගේම
දානය මංගල කාරණයක් ලෙස ද ඇගයීමට ලක් කර ඇත.
දානයේ සමාජමය අගය පිළිබඳව විමසීමේ දී සමාජ කණ්ඩායම් දෙකක් අතර පවතින
අන්තර් සම්බන්ධතාවයන් හඳුනා ගත හැක. එනම් දායක (දෙන අය) සහ
ප්‍රතිග්‍රාහක (පිළිගනු ලබන අය) වශයෙනි. මේ කණ්ඩායම් දෙක අතර පවතින
යහපත් සමාජ සම්බන්ධය සමාජමය ලෙස ඉතා වැදගත් වේ. මේ අතරින් දෙන තැනැත්තා
දීම සිදු කරන්නේ අනුන්ගේ දුක දැක ඔවුන් ඉන් මුදවාලීම සඳහාත් එසේ
නැතිනම් යමකුගේ යම් ගුණයන් දැක එම ගුණයට පුද සත්කාර කිරීමත් පිණිස ය.
යමෙකු දුකින් මුදවා ලීම පිණිස අවශ්‍ය දෑ පරිත්‍යාග කිරීම තුළින් දෙන
තැනැත්තා තුළ සතුටු සිතක් නිර්මාණය වේ. දීම ලබන්නා ද තමා කැමති දේ හා
තමන්ට අවශ්‍ය දේ ලැබීම හේතු කරගෙන සතුටු සිතැත්තෙකු බවට පත්වේ. එහිදී
ඔහු දුකින් මිදී සුවපත් භාවයට පත් වේ. ඒ නිසා ඔහු වස්තුව ඇති
පුද්ගලයන්ට ඊර්ෂ්‍යා කිරීමට හෝ ඔවුන් සතු ධනය සොරකම් කිරීමට හෝ කඩා වඩා
ගැනීමට හෝ ක්‍රියා නොකරයි. ඒ අනුව වස්තුව හෝ ධනය නොමැති සමාජ කණ්ඩායමක
ජීවිතය සුවදායී කිරීමට දානය උපකාරී වේ. තමාට ලැබෙන දේ ක්‍රමානුකූලව
කළමනාකරණය කර ගැනීම තුළින් දුගී බවින් මිදී සමාජය තුළ ශක්තිමත් බවකින්
ජීවත් වීමේ හැකියාව එම සමාජ කණ්ඩායම තුළ වර්ධනය වේ.
බුදුන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට දිළිඳුකම සමාජය තුළ ඇති ඒකාත්මික බව
නැති කර දමයි. පුද්ගලයා දිළිඳු බවේ විපුලත්වයට පැමිණීම නිසා සොරකම
සමාජය තුළ ඇති වේ. සොරකම තුළින් සිදු වන්නේ අන්සතු දේ පුද්ගල
කැමැත්තකින් තොරව බලහත්කාරයෙන් පැහැර ගැනීමයි. එවිට වස්තුව ඇත්තන්ට
මානසික පීඩනයකින් යුතුව ජීවත් වීමට සිදු වේ. එය සමාජ ඒකාබද්ධතාවයට
හානිකරය. මේ නිසා අනුන් දුකින් මුදවා ලීම සඳහා දෙන දානය තුළින් මෙවැනි
සමාජ වාතාවරණයක් නිශේධනය වේ. සම්පත් සාධාරණව හුවමාරු වීමේ ක්‍රමයක්
නිර්මාණය වේ.
එසේම පූජා බුද්ධියෙන් ලබා දෙන දානය ද පුද්ගලයා තුළ සංයමය ජනිත කරයි.
යමෙකු පූජා බුද්ධියෙන් තමාට වඩා උසස් ගුණවන්තයන්ට දීම සිදු කරන්නේ ඉහළ
ප්‍රතිවිපාක ලබා ගැනීමේ අරමුණිනි. එහිදී පුද්ගල සිත තුළ ලෝභය තාවකාලිකව
යටපත් වී (තදංග) අලෝභය වූ ස්මතු වේ. එසේම තරහව යටපත්ව මෛත්‍රී සහගත
සිතිවිලි ඇතිවේ. මෝඩකම තුරන්ව ප්‍රඥාව පහළ වේ. එයින් පුද්ගල මනස තුළ
කුසල මූලික සිතිවිලි ඇති වේ. ඒ සිතිවිලි වර්ධනය වීමෙන් පුද්ගල මනස
සංයමයෙන් යුත් සිතක් බවට පත්වේ. අපිරිසුදු සිතිවිලි වෙනුවට පිරිසුදු
සිතිවිලි ගොඩ නැංවේ. එයින් ස්වයං විනයක් ඔහු තුළ ඇතිවේ. සමාජ පාලනය
සඳහා අතිශයින් ම උපකාරී වේ. ඒ අනුව සමාජය තුළ ස්වයං පාලිත විනය
ක්‍රමයක් දානය හෙවත් දීම හේතු කොටගෙන ඇතිවේ.
සාමකාමී යහපත් සමාජයක් බිහි වීමට දානය මහෝපකාරී වන හෙයින් දෙන තැනැත්තා
දීම සිදු කළ යුතු ආකාරය පිළිබඳ මඟ පෙන්වීමක් බුදුන් වහන්සේ සිදු කරන
සේක. එහිදී උන්වහන්සේ අවධාරණය කරන්නේ දෙන දෙය සාදරයෙන් පිළියෙළ කොට දිය
යුතු බවත්, දෙන දෙය කෙරෙහිත්, දීම ලබන්නා කෙරෙහිත් සැලකිල්ලෙන් හා
ගෞරවයෙන් එය සිදු කළ යුතු බවත් ය. දීම සාදරයෙන් හා සැලකිල්ලෙන් සිදු
කරන විට දෙන්නාත් ලබන්නාත් අතර, සතුටු සහගත බවත් ඇතිවේ. එබඳු දීම
බුදුන් වහන්සේ හඳුන්වන්නේ “සප්පුරිස දාන” ලෙසිනි.
ඒ වගේම දෙන තැනැත්තා තමා තුළ ගොඩ නංවා ගත යුතු ගුණාංග පිළිබඳව ද බුදුන්
වහන්සේ කරුණු පෙන්වා දෙන සේක. එනම්
01. දෙනු ලබන දෙය වස්තුව අල්ලා නොගැනීම් වශයෙන් මුදාහරින ලද ගුණයෙන්
යුක්ත වීම (මුත්තචාග)
02. දීම සඳහා තම දෑත් පිරිසුදු කරගෙන සිටීම (පයතපාණි)
03. දීමෙහි ඇලුණ පරිත්‍යාග ගුණයෙන් යුතු වීම (වොස්සග්ගරත)
04. ඉල්ලන්ට සුදුසු කෙනෙකු වීම (යාචයෝග)
05. තම පරිභෝගයට තබාගත්, ආහාර පිණිස අතට ගත් දෙය වුව ද දීමට සූදානම්ව
සිටීම (දාන සංචිභාගරත) වශයෙනි.
මෙබඳු ගුණාංග දායකයා තුළ වර්ධනය වූ විට ඔහු දීම සිදු කරන්නේ හුදු
ජනපි‍්‍රයවීමේ අරමුණින් නොවේ. ස්වල්පව දී බහුලව ලබා ගැනීමේ අභිප්‍රාය
ඔහුගේ සිත තුළින් ඉවත් වේ. යමෙකු එසේ ලාභ ලැබීමේ අරමුණින් දීම සිදු
කරන්නේ නම් එය පිළිකුල් සහගත නින්දා කළ යුතු ක්‍රියාවක් සේ බුදුන්
වහන්සේ පෙන්වා දෙන සේක. ලාභ අපේක්‍ෂාවෙන් තොරව දීම නිසා සමාජය තුළ
තරගකාරී බවක් ඉස්මතු නොවේ. අනිත් අතට දීම ලබන්නා තමාට වඩාත් හොඳින්
සැළකිය යුතුය යන අපේක්‍ෂාවත් ඉන් බැහැර වේ. මේ නිසා ගොඩනැඟෙන අන්තර්
සබඳතාවය කිසිවෙකුට හානිකර එකක් නොවේ. එසේ නොමැතිව තමාගෙන් ලබාගත්
හෙයින් තමා කියන කවර ම හෝ දෙයක් කළ යුතු යැයි හෝ දිය යුතු යැයි ප්‍රකාශ
කළහොත් එහිදී ප්‍රතිග්‍රාහකයාට දායකයාගේ අණසකට යටත්වූවකු වීමට සිදුවේ.
නමුත් බුදුන් වහන්සේ අනුදැන වදාළ දානය තුළ එබඳු ස්වභාවයක් හෝ එබඳු
කොන්දේසි හෝ දැක ගත නොහේ. දායකයා දීම සිදු කරන්නේ කරුණාවෙනි. බුද්ධිමත්
භාවයෙනි. ඒ නිසා එයින් ගොඩනැගෙන සමාජ පරිසරය බාධා රහිතය. යහපත්ය,
අර්ථවත් ය.
කරුණාවෙන් හා ප්‍රඥාවෙන් දීම හේතු කරගෙන පුද්ගලයාට සමාජය තුළ ඉහළ සමාජ
තත්ත්වයක් හිමි වන බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. එහිදී ඒවා සඳහන්
වන්නේ දීම හේතු කරගෙන පුද්ගලයාට ලැබෙන ආනිශංස වශයෙනි. එබඳු ආනිශංස
සතරක් දැකගත හැකි ය.
01. බොහෝ දෙනාට පි‍්‍රයවීම.
02. සත්පුරුෂයන් විසින් ආශ්‍රය කරනු ලැබීම.
03. කීර්තිය පැතිරීම.
04. විශාරදව නිර්භීතව පිරිස් මැදට යා හැකිවීම යනාදීයයි.
ඒ අනුව දානය තුළින් පුද්ගලයා සමාජශීලී, පි‍්‍රයශීලී පුද්ගලයෙකු බවට
පත්වේ. එය සමාජමය වශයෙන් ඔහු ලබන ඉහළ ප්‍රතිලාභයක් ලෙස දැක්විය හැකි ය.
දීම සඳහා උපයෝගි කර ගන්නා වස්තුව පිළිබඳව ද බුදුන් වහන්සේ කරුණු සඳහන්
කර ඇත. එහිදී බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ දිය යුතු වන්නේ ධාර්මිකව
උපයාගත් වස්තුව බවයි. ධාර්මික වස්තු යනු දහඩිය මහන්සියෙන් තම
උත්සාහයෙන් සොයා ගත් දෙයයි. පංච දුශ්චරිතයෙන් හා පංච අධාර්මික
වෙළඳාමෙන් තොරව, කෘෂිකර්මාන්තයෙන් සත්ව පාලනයෙන් හා ධාර්මික වෙළඳාමෙන්
ලබාගත් වස්තුවයි. යමෙකු දැහැමින් වස්තුව හරි හම්බ කිරිම සමාජයට
හානිදායක නොවේ. ඒ තුළින් සමාජය තුළ ජීවත් වන සෙසු සාමාජිකයන්ට පීඩාවක්
සිදු නොවේ. ලාභය ම පරමාර්ථ කරගෙන කටයුතු කිරීම ඉන් වැළකෙයි.
ඒ අනුව බුදුන් වහන්සේ දීම සඳහා නිර්දේශ කරන්නේ සමාජය පීඩාවට පත් නොකරන
සාධාරණ ලෙස ඉපයූ වස්තුවයි. මේ නිසා දානය සඳහා යොදා ගන්නා වස්තුව හේතු
කරගෙන සමස්ත සමාජය තුළ ම යහපත් බවක් ඇතිවේ. යමෙකු අධාර්මික සොයාගත් ධනය
තුළින් දීම සිදු කරන්නේ නම් ඒ හේතු කොටගෙන ඔහු බලාපොරොත්තු වන නිවැරැදි
සතුට ඔහු තුළ ඇති නොවේ. ඔහු වස්තුව සොයා ගත් ආකාරය පිළිබඳව ඔහුත්
සමාජයත් මනාව අවබෝධ කරගෙන ඇති හෙයින් බලාපොරොත්තු වන අරමුණ කරා ඔහුට යා
නොහැකි වේ. දායකයකු ලෙස දීම තුළින් නිවැරැදි සතුටක් ගොඩනංවා ගැනීමට ඔහු
සමත් නොවේ.
එයින් පිරිසුදු සිතක් ඔහු තුළ ඇති නොවේ. ඒ වගේ ම මහජනයාගේ පිළිකුලට ද
ඔහු භාජනය වේ. දීම ලබන්නා තුළ ද සොම්නසක් ජනිත නොවේ. ඔහු දායකයා කෙරෙහි
ප්‍රසන්න හැඟීම් සමුදායක් ඇති කර නොගනී. ඒ නිසා දීම තුළින් දායකයා හා
ප්‍රතිග්‍රහකයා යන දෙදෙනාට ම ඵලදායී අරුතක් ලබා ගැනීම සඳහා ධාර්මික
වස්තුවක් උපයෝගි කර ගැනීම ම වැඩදායක වේ. ඒ තුළින් සමාජය තුළ යහපත්
පාලනයක් ඇතිවේ. සමාජය ධාර්මික සමාජයක් බවට පත් වේ. පුද්ගලයා නිවැරැදි
කර්මාන්තයෙහි නියැලෙන්නෙක් බවට මෙන්ම සම්මා ආජීවයෙන් යුතුව දිවි
ගෙවන්නෙක් බවට ද පත් වේ.
දෙන පුද්ගලයාත්, දෙන වස්තුව මෙන්ම දීම ලබන්නා ද ධාර්මික ගුණයෙන් යුක්ත
විය යුතු බව බුදුන් වහන්සේ අවධාරණය කරන සේක. මෙහිදී උන් වහන්සේ සමාජයට
පෙන්වාදීමට උත්සාහ කරන්නේ දුගියකු වූවද යමක් ලබා ගැනීමට සුදුසු ගුණයෙන්
යුක්තව සමාජය තුළ ජීවත් විය යුතු බවයි. යම් දෙයක් ලබා ගැනීමේ නිර්ණායකය
වන්නේ දුගී බව හෝ අසරණ කම හෝ නොව යහපත් ධාර්මික ජීවිතය බවයි. මෙයින්
සමාජයට ඉතා හොඳ පණිවුඩයක් බුදුන්වහන්සේ ලබාදෙන සේක. එනම්, යමෙකු
දුප්පත් වූවද යමක් ලබා ගැනීමට නම් ඒ දුගී කමට අසරණ කමට වඩා තමා තුළ ඇති
යහපත් ගුණාංග ප්‍රබලව ඉස්මතු කර ගත යුතු බවයි. දුගියෙකු හෝ අසරණයෙකු
වූව ද පංච දුශ්චරිතයෙන් වෙන්ව ධාර්මිකව තමන්ට ඇති හැකි අයුරින් ජීවත්
වන්නකු බවට පත්විය යුතු බවයි. එවැනි සමාජය තුළ දුප්පත්කම නිසා ඇති වන
සොරකම, වංචාකාරී ක්‍රියාවන්, මිනී මැරීම් සිදු නොවන අතර, එම සමාජය
ධාර්මික සමාජයක් බවට පත්වන බවයි.
මේ අනුව දානය එසේ නැතිනම් දීම සමාජමය ලෙස සුවිශේෂී වැදගත්
ක්‍රියාකාරකමක් සේ හඳුන්වා දිය හැකි ය. එයින් සමාජය යහපත්ව හා
ගැටුමකින් තොරව පවත්වාගෙන යාමට සුවිශාල කෘත්‍යයක් ඉටු වන බව පෙන්වා දිය
හැකි ය. විශේෂයෙන් ම එය පුද්ගල කේන්ද්‍රීය ක්‍රියාකාරකමක් වුව ද ඒ
තුළින් ගොඩ නැගෙන සමාජ අන්තර් ක්‍රියාකාරකම් හේතු කරගෙන පොදුවේ මුළු
මහත් සමාජය තුළ ම යම් ධනාත්මක බලපෑමක් ඉන් සිදු කළ හැකි වේ. එය දානයෙහි
තවත් දීමෙහි ඇති සුවිශේෂතාවක් ලෙස දැක්විය හැකි ය. |