Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගණ උමතුව හා ජය මංගල ගාථා

සෙත් ශාන්තියට ජය මංගල ගාථා සුදුසුද යන මැයෙන් දයා අංහෙට්ටිගම මහතා විසින් පළ කරන ලද ලිපියට පිළිතුරක් මා විසින් ලියන ලදුව අගෝස්තු 16 වැනි දින බුදුසරණ පත්‍රයේ පළ විය. එම ලිපියට එම මහතා විසින්ම ලියන ලද ලිපියක් සැප්තැම්බර් 14 දා බුදුසරණ පත්‍රයේ පළ කර තිබිණි. කවුරු කෙසේ කීවත් ජයමංගල ගාථා සෙත් ශාන්තියට සුදුසු නැතැයි එම මහතා අවධාරණය කරයි. ඒ මහතාගේ අදහස වන්නේ ජයමංගල ගාථා 8 ක් නිසා එය අෂ්ටකයක් බවත් එය සුබ ගණ, සුබ අකුරු මුල් කරගෙන ලිය යුතු බවත් ය. අෂ්ටක කියවීම බුදු දහමේ, සඳහන් වන්නකි. සුත්ත නිපාතයේ අට්ඨක නමින් වර්ගයක් ඇත. අවන්ති ජන ප්‍රදේශයේ සිට හමුවීමට පැමිණි කුටිකණ්ණ සෝණ නම් වූ සාමනේරයන්වහන්සේ ලවා මිහිරි හඬින් කියවා අවසානයේදී බුදුරජාණන් වහන්සේ සාධුකාර දුන්හ. අට්ඨක වර්ගයේ ඇති සූත්‍ර කීපයකම ඇත්තේ ගාථා 8 බැගිනි. ඒ නිසා අෂ්ටක ලිවීම හා කියවීම සංස්කෘත භාෂාවට පමණක් නොව බුදු දහමටත් අයත් වූවකි. අෂ්ටක ලියන විට සුබ ගණයකින්ම ලිවිය යුතුය යන නීතියක් කොතැනක හෝ තිබේද? අංහෙට්ටිගම මහතා හොඳම වෘතය ලෙස සලකන මාලනී වෘත්තයෙන් ලියූ අෂ්ටක කොහි හෝ තිබේද?

පිරිත් දේශනාවෙහි පිහිටුවා ඇත්තේ සත්‍යක්‍රියා බලයයි. මා කී දෙය ඒ මහතා ද, පිළිගනී. එහෙත් එම බලය බුදු කෙනෙකුන්ට මිස වෙනත් කෙනෙකුට පිහිටු විය නොහැකි යයි අංහෙට්ටිගම මහතා කියයි. එහෙත් සත්‍යක්‍රියා කිරීමෙන් ඕනෑම කෙනෙකුට බලයක් ලබාගත හැකිය. පන්සිය පනස් ජතක පොතේ 438 වැනි කතාව වන ‘කණ්හදීපායන’ ජාතකය කියවා බලන්න. එහි සඳහන් පරිදි සර්පයකු දෂ්ට කරන ලද ළමයකුගේ විෂ බැස්සීමට තවුසකු හා ළමයාගේ මවුපියෝද, සත්‍යක්‍රියා කළහ. එහිදී තිදෙනාම සත්‍යක්‍රියාවට යොදාගත්තේ තමා තුල ඇති කුහක ප්‍රතිපත්තියයි. තවුසා සත්‍ය ක්‍රියා කළේ මෙසේය. මා පැවිදි වී දැනට පනස් වසකි. මා හොඳින් මහණදම් කළේ. දින 7 ක් පමණි. එම සත්‍යයෙන් ළමයාගේ විෂ පපුව දක්වා බැස ගියේය.

මා මේ තවුසාට කිසිදාක ආදරයෙන් සැලකුවේ නැත. ඒ සත්‍යයෙන් මේ ළමයාගේ විෂ බසීවා කියා පියා සත්‍යක්‍රියා කළේ ය. මව සත්‍යක්‍රියා කළේ තම සැමියාට කිසිදාක ආදරයෙන් නොසැලකූ® සත්‍යයෙන් මේ ළමයාගේ විෂ බසීවා කියාය. ළමයාගේ සිරුරේ විෂ දෙපතුල දක්වාම බැස ගියේ ය. මේ අනුව හොඳින්ම පැහැදිලි වන්නේ සත්‍ය වූ සිද්ධිය මුල් කරගෙන කරන ඉල්ලීම සත්‍යක්‍රියාව බව නේද? ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ගුණයක් කියා ඕනෑම කෙනෙකු කරන ආශිර්වාදය සඵල නොවන්නේ ද? ජය මංගල ගාථාවලින්ද, කෙරෙන්නේ ඒ ටිකම නොවේද?

බුදුරජාණන්වහන්සේ සත්‍ය සිදුවීම් අටක් විස්තර කොට මේ තේජසින් ඔබට ජයමංගලයක් වේවායි කීම ජයමංගල ගාථාවල තේමා වී ඇත. ඒ නිසා ජයමංගල ගාථාවලට සුබ ගණ, සුබ අකුරු යොදන්නේ කුමටද? පිරිත් පොතෙහි ඇති සෙත් පිරිත් නමින් හඳුන්වන ජිනපඤ්ජරය මහා ජයමංගල ගාථා යනාදී එකක්වත් බුද්ධ දේසිත ඒවා නොවේ. පසු කලෙක රචනා කරන ලද පිරිත්ය. අංහෙට්ටිගම මහතා කියනාකාරයට ජිනපඤ්ජරය පිරිත්ද, සුබ ගණ, සුබ අකුරුවලින් ආරම්භ කර නැත්නම් එහි කිසිම ගුණයක් නැත.

ජිනපඤ්ජර පිරිත ආරම්භ වන්නේ ‘ජයාසන ගතා වීර’ යන ගාථා පදයෙනි. එහි ජයාසන යන පදයෙහි ඇත්තේ අසුබ ගණයක් වන ‘ජ’ ගණයයි. එමෙන්ම ආරම්භයට ඇති ‘ජ’ යන්නද, අපායක්ෂරයකි. මහා ජයමංගල ගාථා ආරම්භ වන්නේ ද, ‘මහා කාරුණිකෝනාථෝ’ යන ගාථා පදයෙනි. එහි ආරම්භයට සුබ ගණයක් යෙදී ඇතත් මුලට ඇති ‘ම’ යන්න අපායාක්ෂරයකි.

අටවිසි පිරිත ආරම්භ වන්නේ ද, අසුබ ගණයක් වූ ‘ත’ ගණයෙනි. අංහෙට්ටිගම මහතා ගේ් තර්කය අනුව මේ කිසිම සෙත් පිරිතකින් ගුණ ලැබිය නොහැකිය. ගුණයක් ලැබීමට නම් සෙත් පිරිත් සියල්ලම වෙනස් කර මාලිනී වෘත්තියෙන් ලිවිය යුතු වෙයි.

පිරිතෙහි බලය පිහිටුවා ඇත්තේ බුදුරජාණන්වහන්සේ ය. මේ සුබ, අසුබ ගණවලට ඒ බලය ලබාදුන්නෝ කවරහු ද?

ගණවලට හා අකුරුවලට සුබ අසුබ බලයක් යමෙක් ලබාදී ඇත්නම් ඔහු කර ඇත්තේ අපරාධයකි. හේතුව යම්කිසි කවියකුට තමා කැමැති ආකාරයෙන් වචන යොදා කවියක් ගාථාවක් තනා ගැනීමට ඉඩ නොලැබෙන නිසාය. යම් කිසි විපතට පත්වූවන් ගැන අංහෙට්ටිගම මහතාට ඉදිරිපත් කළ හැකි එකම නිදසුන නම් ගුත්තිලය ලියූ වැත්තෑවේ හිමියන් ‘සියපින් සිරින්සරු’ යන පදයේ මුලට අසුබ ගණයක් යෙදීමෙන් පිටරට ගොස් දුක් වින්දේ ය. යන කට කතාවකි. එය කටකතාවක් මිස විශ්වාස කිරීමට කිසිම සාධකයක් නැති කථාවකි.

අද මුදල් නැතිකම නිසා පිටරට යෑමට නොහැකි බොහෝ අය සිටිති. ඔවුන් කළ යුත්තේ ‘ස’ ගණය මුලට යොදා කවියක් ලිවීමය. එවිට නොමිලයේ ම පිටරට ගිය හැකිය. සිංහලයේ ලියවී ඇති උසස්ම මහා කාව්‍ය වන ‘කව්සිළුමිණ’ ලියා ඇත්තේ ‘තමා වරද නොදිස්නේ’ යන ගීය මුලට යොදා ගනිමින්ය. එහි මුලටම යෙදී ඇත්තේ අසුබ ගණයක් වන ‘ජ’ ගණයයි. එසේ යෙදීම නිසා කව්සිළුමිණ කතුවරයාට වරදක් සිදු වී ඇත්ද? මහා කවි කාලිදාසයන් ලියූ ‘රඝුවංශ” කාව්‍ය ආරම්භ කර ඇත්තේ ජයමංගල ගාථාවල මෙන් ‘ත’ ගණය මුලට යෙදීමෙනි. (වාගර්ථ මිව සම්පෘක්තෞ)

මේ සුබ ගණ සුබ අකුරු ගැන උමතු වී සිටින උපදෙස් මත බොහෝ මව්පියවරු තම දරුවන්ට සුබ ගණ, සුබ අකුරු යොදා නම් තැබීමට වෙහෙසෙති. ඒ නිසා අද සිංහල දරුවන්ගේ නම් කුමන භාෂාවට අයත් දැයි සිතා ගැනීමට පවා අපහසු වී ඇත. වර්තමාන ශ්‍රී‍්‍ර ලංකාවේ බෞද්ධ පුනරුදය ඇති කළ වැලිවිට සරණංකර සංඝ රාජ හිමිපාණන්ගේ් සරණංකර යන නමෙහි මුලට යෙදී ඇත්තේ බොහෝ භයානක යයි අංහෙට්ටිගම මහතා සලකන ‘ස’ ගණයයි.

වර්තමාන ලංකාවේ ශාස්ත්‍ර පුනරුදයේ නිර්මාතෘවරයාණන්වන හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ගේ සුමංගල යන නමෙහි ඇත්තේ අසුබ ගණයක් වන ‘ජ’ ගණයයි. ශ්‍රී‍්‍ර ලංකාවට නිදහස ලැබීමෙන් පසු බිහිවූ සියලු රාජ්‍ය නායක නායිකාවරුන්ගේ සුබ ගණයක් ඇති නමක් තිබුණේ සේනානායකවරුන්ට පමණකි. අනිකුත් කොතලාවල, බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ජයවර්ධන චන්ද්‍රිකා, පේ‍්‍රමදාස, යන සියලුම නායකවරු අසුබ ගණවලින් යුත්නම් ඇත්තෝ වෙති.

ඒ නිසා නම් තැබීමේදී සුබ ගණ යෙදීමට තැත් කිරීමේ තේරුමක් ඇත්ද? ජන්දස් ශාස්ත්‍රය අනුව ගණ නිෂ්පාදනය කර ඇත්තේ කවියෙහි රිද්මයක් සකස් කිරීමට මිස සුබ අසුබ ප්‍රතිඵල ලැබීමට නොවේ.

මේ අතර අංහෙට්ටිගම මහතා මගෙන් ප්‍රශ්නයක් අසා ඇත. එනම් ජයමංගල ගාථාවක යෙදී ඇති ‘ජනකාය මජ්ඣ‘ යන පදයෙහි ජනකාය කියා ‘ත’ යන්නක් රිංගා ගත්තේ කෙසේද? කියාය.

එම පදය තුළට කෙසේවත් ‘ක’ යන්නක් රිංගා නැත. එහි ඇත්තේ එම පදය තුලට කෙසේවත් ‘ක’ යන්නක් රිංගා නැත. එහි ඇත්තේ ජනසමූහය යන තේරුම ඇති ජනකාය යන පාලි වචනය ගාථාවට ඇතුළත් කිරීම පමණකි. ‘ජනතාය’ යන පාලි වචනය ගැන ඔබට සැකයක් ඇත්නම් පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ පාලි සිංහල ශබ්ද කෝෂයේ 24 වැනි පිට හා අඊඉ නම් වු පාලි - ඉංගී‍්‍රසි ශබ්ද කෝෂයේ 278 වැනි පිටුව බලන්න.

මේ වාදය ආරම්භ වූයේ ජයමංගල ගාථා වල සුබ ගණ යෙදී නැති ඬසා එයින් ගුණයක් නොලැබේ යැයි කියා අංහෙට්ටි ගම මහතා ඉදිරිපත් කළ මතය වැරැදි බව පෙන්වා දීමටය. ජය මංගල ගාථා බුද්ධ භාෂිතයක් පෙන්වුවද බුදුරජාණන්වහන්සේ සම්බන්ධ වූ සත්‍ය කරුණු අටක් ඉදිරිපත් කර එයින් මට හෝ ඔබට ජය මංගලයක් වේවායි ආශිර්වාද කර ඇත. එය කියවන්න කවුරුත් වුවද එයින් ගුණ ලැබිය හැකි බවද මා පෙන්වා දී ඇත. තීරණය පාඨකයා සතුය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.