මහා වාලුකා නදී තෙර
සුදිලෙන මියුඟුණු සෑ රද
එස්. ප්‍රේමසිරි
සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වීමෙන්
අනතුරුව නව වන මස එළැඹෙත්ම දුරුතු පුර පසළොස්වක පොහොය දින සිරිලක්
දෙරණට වැඩම කොට සම්බුදු පාදස්පර්ශයෙන් සුපූජිත කොට වදාළහ. ඒ මහවැලි
නදිය අසබඩ පිහිටි අති රමණීය කඳු වළල්ලකින් වට වූ මහියංගන වෙතයි.
සම්බුදු පහසින් එදා පාරිශුද්ධත්වයට පත් වූ මේ ඓතිහාසික භූමි භාගය ඒ
නිසාවෙන්ම නිපන් සදහම් අමා සිසිලසින් බොදු සැදැහැවතුනගේ හදවත් තෙමාලන
සිද්ධස්ථානයක් බවට වර්තමානයේ ප්‍රසිද්ධියක් උසුලයි.
ශ්‍රී ලංකාද්වීපයට ප්‍රථම වතාවට වැඩම කළ තථාගත බුදු පියාණන් වහන්සේ මහා
වාලුකා නදී තෙර පිහිටි මහා නාග වනෝද්‍යානය තුළ රැස්ව සිටි යක්ෂ සමාගමය
මධ්‍යයෙහි නබො ගැබ වැඩ සිට පෙළහර පා ඔවුන් දමනය කළ වග ඉතිහාසයේ සඳහන්
වේ. එම ඓතිහාසික සිද්ධිය සිදු වු ස්ථානයෙහි නිල්වන් තුරු වදුලු අතරින්
සුදෝ සුදු පැහැයෙන් දිස්වන මහියංගන සෑ රදුන් ඉදි වී තිබේ. එදා මහියංගන
ප්‍රදේශයෙහි විසූ යක්ෂයින් දමනය කොට ගිරි දිවයිනට පළවා හළ පසු මිනිස්
වාසයට සුදුසු පසුබිමක් ගොඩනැගුණු බව ද සඳහන් වේ.
සොයිලියස් මැන්දිස් සිත්තරාණන් කැලණියේ නව විහාර මන්දිරයෙහි සිත්තම් කර
ඇති පරිද්දෙන්ම එදා යක්ෂ සමාගමයට වැඩම කළ බුදු පියාණන් වහන්සේ අහස් කුස
වැඩ සිටිමින් වර්ෂාවතාන්ධකාරය මැවූ සේක. දැඩි සේ භීතියට පත් ඔවුහු
බුදුරජාණන් වහන්සේගෙන් අභය ඉල්ලූහ. බුදු පියාණන් වහන්සේ යක්ෂයිනට මෙසේ
වදාළ සේක. ‘යක්ෂයිනි, තොපගේ මේ බිය සහ දුක මම පහ කරන්නෙමි. තොපි සමඟිව
මෙතන්හිම හිඳිනා තැනක් දෙන්නහු ද ?’ පිළිවදන් දුන් යක්ෂයෝ මෙසේ පැවසූහ.
‘භාග්‍යවතුන් වහන්ස ! ඔබ වහන්සේට මේ සියලුම ලක්දිව දෙම් හ. අපට අභය දුන
මැනව‘ සියලු යක්ෂ සමූහයා බුදුරජාණන් වහන්සේ වෙත මෙසේ ප්‍රතිචාර දක්වත්ම
ඔවුනගේ භීතියද වර්ෂායෙන් ලද ශීත ද දුරු කොට එලෙස දුන් භූමියෙහි පත් කඩ
එළා එහි වැඩ සිටි බුදු රජාණන් වහන්සේ පත් කඩ ගිනිගෙන දැවෙන අයුරු මවා
හාත් පසින් විශාල කර පෙන්වූ සේක.
දෙවන වරට ග්‍රීස්මයෙන් බියපත් යක්ෂයෝ ලක්දිව අන්තයෙහි සිටියෝය. අනතුරුව
උන් වහන්සේ ගිරි දිවයින මෙහි ළඟා කළ සේක. බුදු පියාණන් වහන්සේ එසැනින්
පත් කඩ ඇකිලූ යෙන් දෙවියෝ පැමිණිය හ. ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ
ශ්‍රී සද්ධර්මය දේශනා කළ සේක. ;එතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වන පරිදි
එදා බුදු පියාණන් වහන්සේ යක්ෂ දමනය සිදු කළ ආකාරයයි ඒ.
වර්තමානයෙහි බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ පහළ ඌවට අයත් මහියංගන දාගැබ
හෙවත් මියුගුණු සෑය පුරාවිද්‍යා සාධක මත ක්‍රිස්තු පූර්ව තුන්වෙනි ශත
වර්ෂයට අයත් වේ. ව්‍යවහාර වර්ෂ 1951 දී මුල්ම කැණීම් කළ අවස්ථාවේදී
මුල් බැම්ම බැඳ තිබුණ ගඩොලක පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් මේ බව සඳහන්
වේ.
එහෙත් වංශකතාවල සඳහන් පුවත ද මෙහිලා අමතක කළ නොහැකිය. සමන්තකූඨවාසී
සුමන නම් දෙවිරජතෙම එහි වැඩම කළ බුදු පියාණන් වහන්සේ වෙතින් දහම් අසා
සෝවාන් ඵලයට පැමිණ පූජාර්හ වස්තුවක් ඉල්ලූ කල්හි බුද්ධ ශීර්ෂය පිරිමැද
කේශධාතූන් අත්ලක් පමණ ප්‍රදානය කළ සේක. එය ස්වර්ණමය වූ උතුම් කරඬුවකින්
ගෙන මහියංගන ථූපය ප්‍රථම කොට ඉදි කළහ. ඒ අනුව බුදුපියාණන් වහන්සේ ධරමාන
කාලයෙහිම ඉදි වූ ථූපය ලෙසත් දෙවියෙකු විසින් ඉදි කළ චෛත්‍යය ලෙසත්
ඉතිහාසගතව තිබේ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සාරිපුත්ත මහ රහතන්
වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවේ සරභූ මහරහතන් වහන්සේ සඳුන් දර
සෑයෙන් ශ්‍රීවාස්ථි ධාතුන් වහන්සේ සෘද්ධියෙන් රැගෙන මෙහි වැඩමවා
මහියංගන ස්තූපයෙහි තැන්පත් කළ බව කියැවේ. එලෙස බැලූ කල රහතන් වහන්සේ
නමක් ඉදි කළ ප්‍රථම දාගැබ ලෙස මහියංගන දාගැබ ඉතිහාසගත වනුයේ මේධවර්ණ
පාෂාණයෙන් වස්වා දොළොස් රියන් උස දා ගැබක් කළ බැවිනි.
පසුව සිරිලක රජ පැමිණි විවිධ නරපතීහු මියුගුණු සෑයට විවිධාකාරයෙන්
දායකත්වය සැපයූහ. දෙවන පෑ තිස් නිරිඳුනගේ සොයුරෙකු වූ උද්ධචූලාභය
රජතුමා මෙම දාගැබ තිස් රියන් කොට බැඳ වූ බව කියැවේ. දුටුගැමුණු මහ
නිරිඳු මියුගුණු සෑය අසුරියන් කොට බඳවන ලද බව ද ඉතිහාසයේ සඳහන් ය.
වෝහාරිකතිස්ස රජතුමා, දෙවන සේන රජතුමා, හතරවන කාශ්‍යප රජතුමා, පළමුවන
විජයබාහු රජතුමා, පළමු වන පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල රජතුමා, හයවන
පරාක්‍රමබාහු රජතුමා, දෙවන රාජසිංහ රජතුමා ආදි රජවරු මහියංගන පූජා
භූමියෙහි උන්නතිය පතා විවිධ කටයුතු කළ බව ඉතිහාසයෙහි සඳහන් ය. මේ
තොරතුරු සොරබොර වැව හමු වූ අභිලේඛන, දඹේගොඩ ටැම් ලිපිය, මිනිපේ පුවරු
ලිපිය නිශ්ශංක මල්ල රජතුමාගේ ගල් පොත ආදියෙන් කදිමට අනාවරණය වේ.
මහියංගන දාගැබ ආශ්‍රිත පුරාවිද්‍යා කැණීම් වලදී එකොළොස්වන සියවසට අයත්
ධාතු ගර්භයක් මතුකර ගැනිණ. එහි තිබී ඓතිහාසික වටිනාකමින් යුත් භාණ්ඩ
රැසක් හා බිතු සිතුවම් කැබලි කිහිපයක් සොයා ගන්නා ලදී. ලෝකඩ මාධ්‍යයෙන්
නිම කළ අශ්වාරෝහක රූප සතරක්, ශංඛයක්, ආභරණ, කාසි, ආදියද එම ධාතු
ගර්භයෙහි විය. පුරාවිද්‍යා මතයට අනුව මෙම අශ්වාරෝහක රූප ඉන්දීය කලා
කෘති අතරවත් හමු නොවන තරමේ කලාත්මක ගුණයෙන් උසස් අනර්ඝතම නිර්මාණ ලෙස
සැලකේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීහු මෙම අශ්වාරෝහක රූප වෛදික යුගයේ
ප්‍රබල දෙවියෙකු වූ ‘අශ්වින්’ දෙවියන් නිරූපණයක් බව පවසති.
බිතු සිතුවම් කැබලිවල මාර පරාජය, සිදුහත් තවුසා බුද්ධත්වයට පත්වීම,
දෙවි බඹුන් පැමිණ බුදු රජාණන් වහන්සේට වැඳුම්, පිදුම් දැක්වීම ආදි තේමා
නිරූපණය වේ. තිවංක පිළිම ගේ සිතුවම් කොට ඇති පොළොන්නරු බිතුසිතුවම්
සම්ප්‍රදායේ මූලික ආභාෂය මෙම සිතුවම් වලටද ලැබී තිබේ. ප්‍රාණවත් රේඛාවට
මුල් තැන දී රතු තැඹිලි කහ කළු සුදු ගුරු වැනි වර්ණ උපයෝගී කරගෙන ඇති
ඉතා විශිෂ්ඨතම නිර්මාණ හැටියට ද මෙම බිතු සිතුවම් හඳුන්වා දීමට පිළිවන.
මහියංගන දාගැබ අවස්ථා කිහිපයකම ප්‍රතිසංස්කරණයට ලක් වූ බැවින් උඩරට
බිතු සිතුවම් සම්ප්‍රදායේ සිතුවම් වලදී සොළොස්මස්ථාන සිතුවම් කරන
අවස්ථාවල දී බාහිර රූපයෙන් ඇතුළට යත්ම ක්‍රමයෙන් කුඩාවන දාගැබ් හතක්
පමණ ඇඳ තිබෙනු දක්නට ලැබේ.
උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය පාලනයට නතුවීමත් සමග මහියංගන පූජා භූමියේ
පරිහානිය ඇරඹින. 1850 පමණ වන විට මියුගුණු සෑය නටබුන් බවට පත්වීමෙන් ම
ඒ බව පැහැදිලි වේ. 1851 දී පූජ්‍ය ඉඳුවලුගොඩ ධමමපාල ස්වාමීන් වහන්සේගේ
මූලිකත්වයෙන් දාගැබෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹිණ. 1871 දී පූජ්‍ය
යටවත්තේ ශ්‍රී චන්දජෝති මහා නා හිමිපාණන් වහන්සේගේ මෙහෙයවීමෙන් දෙවන
වරට ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරිණි. යළිදු 1908 දී පූජ්‍ය
අඹගස්වැවේ ශ්‍රී ධම්මපාල නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යළි
පිළිසකර කටයුතු මෙහෙයවිණි. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක
අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් යළි ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹුණේ
1949 දී ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම යටතේ මහියංගන විහාර
වර්ධන සමිතියේ මෙහෙයවීමෙන් ප්‍රතිසංස්කරණ කටයුතු කරගෙන ගොස් 1961 දී
කොත් වහන්සේ පළඳවන ලදී.
මහියංගන පූජා භුමිය ආශ්‍රිතව රජමහා විහාරයත් සමන් දේවාලයත් සංවිධානය
කරන වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයද පවත්වයි. |