Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින පින්කම් ඇරැඹෙන වප් පුර පොහොය

ශ්‍රී ලංකාවාසීන් වප් පෝය දිනය සලකන්නේ වස් පවාරණය කොට කඨින චීවර පූජාව සිදුවන පොහොය දිනය ලෙසට ය. වප් පොහෝ දිනයෙන් පසු විහාරස්ථානවල කඨින පූජා පින්කම් පැවැත්වේ. කඨින සිවුරු පූජාව වසරකට වරක් පමණක් සිදු කරන මහත් වූ පින්රැස්කර ගැනීමට හැකි උතුම් පින්කමකි. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වසනා සමයේ පාවෙය්‍ය රටේ තිස් නමක් භික්ෂූන් වහන්සේ තථාගතයන් වහන්සේ දකිනු කැමැතිව ගමන් ඇරැඹීය. වැසි සමය උදා වී ඇති බැවින් අතර මඟ සාකේත නුවර වස් සමාදන්ව තුන් මස අවසන් වී යළි ගමන් ඇරැඹී අතර මඟ මහ වැස්සකට කොටු වූ උන් වහන්සේගේ සිවුරු තෙමී තෙත බරිත විය. ඔවුන් ජේතවනාරාමයට පැමිණියේ තෙත්වූ සිවුරු සමගින්ම ය. කරුණු විමසීමෙන් පසු වෙනත් සිවුරක් ආරක්ෂිතව ගෙන ආවේ නම් එවන් ආපදාවකට ගොදුරු නොවන බව දෙසූ බුදුරජාණන්වහන්සේ ඔවුන්ට කඨිනාසතරණ විනය කර්මය කිරීමට අවසර දුන්හ.

සංඝාටිය - උත්තරා සංඝ - අන්තරවාසක යන නම්වලින් තුන්සිවුර ඉටා පරිභෝ. කරන්නා වූ භික්ෂූන් වහන්සේට එක් රාත්‍රියකුදු තුන් සිවුරෙන් වෙන්ව විසූවහොත් නිසති පචිත්‍ර ඇවැත් වේ. එබැවින් එසේ තුන්සිවුරු පරිහරණය කරන භික්ෂූන් වහන්සේට යන යන තැනට තුන්සිවුරු ගෙන යාමට සිදු වේ. එය භික්ෂූන් වහන්සේට තරමක කරදරයක් විය. කොසෙල් රජතුමාගේ් සොහොයුරු වූ තිස් නමක් වූ ‘භද්ද වග්ගිය’ තෙරුන් වහන්සේට එයින්වූ කරදරය දුටු මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ, විසින් භික්ෂූන් වහන්සේට තරමක පහසුවක් ඇතිකර දෙනු වස්, භික්ෂූන් වහන්සේට පඤ්චානිසංසයක් ලැබෙන්නා වූ කඨිනාස්තරණ විනය කර්මය අනුදැන වදාළ සේක.

එය සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ විමසා බැලීම වැදගත් වනු ඇත. ගිහි වූ හෝ පැවිදි වූ හෝ යම්කිසි සැදැහැවතකු විසින් කඨිනත්ථාරයට නියමිත කාලය තුළදී පෙර වස් වැස පවාරණය කළ භික්ෂූන් වහන්සේ විෂයෙහි චීවරයක් සඟසතු කොට පිදූ කල්හි මහා සංඝයා වහන්සේ විසින් එය ගෙන සීමාවට රැස්ව, කඨිනාස්තරණ විනය කර්මය කරනු සඳහා එය දීමට සුදුසු භික්ෂුවක් තෝරා කර්ම වාක්‍යය කියා, කඨින වස්ත්‍රය ඒ භික්ෂුවට ප්‍රදානය කළ යුතුය.

සංඝයා විසින් එක් භික්ෂුවකට දෙන ලද ඒ කඨින වස්ත්‍රය, පූජාකළ පින්වතුන් විසින්ම කපා මසා පඬුපොවා අධිෂ්ඨානයට යෝග්‍ය වන පරිදි පිළියෙල කර තිබෙන වස්ත්‍රයක් හෙවත් සිවුරක් වේ නම්, වස් වැසූ සීමාව තුළ හිඳ එහි කප් බින්ධු තබා, එය දෙපොට සිවුරක්නම් තමාගේ් පරණ සංඝාටිය පච්චුධරණය කොට ඉටා ගත යුතු අතර, තනි පොට සිවුරක් වේ නම්, පරණ උත්තරාසංඝය පච්චුද්ධරණය කොට ඉටාගත යුතුය. අඳනයක් නම් පරණ අන්තරවාසකය පච්චුද්ධරණය කොට එය ඉටාගත යුතුය. ඉන් අනතුරුව ඒ චීවරය අතට ගෙන එය සංඝාටිය නම් ‘ඉමාය සංඝාටියා කඨිනං අත්ථරාමි’ යි තුන්වරක් කිව යුතුයි. උත්තරාසංඝය නම් ‘ඉමිනා උත්තරාසංඝෙන කඨිනං අත්‍ථරාමි’ යි ද අන්තරාවාසකය නම් ‘ඉමිනා අන්තරවාස කෙන කඨිනං අත්‍ථරාමි’ යි ද කිව යුතු ය. එසේ කීම කඨිනාස්තරණ විනය කර්මය යි. එය කළ කල්හි ඒ භික්ෂූන් වහන්සේට බුද්ධාඥාව වූ පරිදි අනාමන්තවාරාදී පඤ්චානිශංසය ලැබෙන්නේ්ය. ඉක්බිති ඒ භික්ෂුව විසින් කඨිනාස්තරණ කර්මය අනුමෝදන් කරවිය යුතුය.

එය මෙසේ කළ යුතුªවේ. ඒ භික්ෂුව විසින් සිවුරු ඒකාංස කොට පොරවා ඇඳිලි බැඳ, සංඝයාහට තමා සංඝස්ථවිර නම් නියමිත වාක්‍යය කියා ඒකාංස කොට පෙරවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ගෙන කියා කඨිනත්ථාරය අනුමෝදන් විය යුතුය. ඉන් පසු අනුමෝදන් වූ භික්ෂූන්ටද පඤ්චානිශංසය හිමිවේ. කඨින වස්තුය වැඩ නිම නොවූ වස්ත්‍රයක් වේ නම්, එය සේදීම, නූල් ගසා කඩ වෙන් කිරීම, කැපීම, බොරුනූල් දැමීම, ආදියෙන් කඩ එකතු කිරීම, මැසීම, පඬු පෙවීම, කප්බින්දු තැබීම යන පූර්වකෘත්‍ය සත එදිනම කොට නිමවා එදිනම කඨිනත්ථාරය කළ යුතුªය.

යම්කිසි මනුෂ්‍යයකු විසින් හෝ දෙවියකු විසින් හෝ භික්ෂුවක් විසින් හෝ භික්ෂුණියක විසින් හෝ සාමණේරයකුª විසින් හෝ සාමණේරියක විසින් හෝ ශික්ෂමානාවක විසින් හෝ දෙන ලද වස්ත්‍රය, කඨිනයට සුදුසු වන්නේ්ය.

කඨිනය දියයුතු අයුරු නොදන්නා පින්වතකු විසින් එය කෙසේ දිය යුතුදැයි භික්ෂූන් ගෙන් විචාලහොත් තුන් සිවුරු අතුරෙන් එක්තරා සිවුරකට පොහෝනා වස්ත්‍රයක් ඉර උදාවන වේලෙහි දිය යුතුªබවත්, එය කිරීමට ඉඳිකටු නූල් හා පඬුත්, එයට සහභාගි වන භික්ෂුන්ට දානයත් දිය යුතු බවත් ඒ පින්වතාට කිය යුතුය. ඒ බව ෂනය අටුවාවෙහි දක්වා තිබේ. කඨිනය සඳහා වස්තුවක්ම දිය යුතුය කියා හෝ නිම වූ සිවුරක් දිය යුතුය කියා හෝ විනය පාලියෙහි කඨිනය දීම පිළිබඳ වචන මාත්‍රයකුදු සඳහන් කොට නැත. අටුවාවෙහි තුන් සිවුරෙන් එකකට වස්ත්‍රයක් දිය යුතු යැයි දක්වා තිබෙන්නේ වැඩ නිම කළ සිවුරක් දිය යුතු නිසා නොව ඒ කාලයේ පැවැති සිරිත අනුව ය. අතීත කාලයේ සිවුරු මසා ගැනීම කරන ලද්දේ භික්ෂූන් විසිනි. දායකයෝ සිවුරු පිණිස වස්ත්‍රම පිදූහ.

යම්කිසි දායකයකු විසින් කඨිනය පිණිස පුදන ලද වස්ත්‍රය සංඝයා විසින් ඒ පිරිසෙහි වූ භික්ෂූන් අතුරෙන් දිරාගිය සිවුරු ඇති භික්ෂුවට දිය යුතුය. දිරාගිය සිවුරු ඇත්තෝ නැත්තාහු හෝ බොහෝ දෙනෙක් ඇත්තාහු හෝ වෙත්නම්, ඒ වස්ත්‍රය වෘද්ධයාට දිය යුතුය. වෘද්ධයන් අතුරෙනුත් එදිනම කපා, මසා, පඬු පොවා සිවුර කොට නිමවා කඨිනය, ඇතිරීමට සමත් මහ පිරිස් ඇති තැනැත්තකුට දිය යුතු ය. ඉතින් වෘද්ධයා එසේ කිරීමට සමත් නොවී නවකයෙක් සමත් වේ නම් නවකයාට කඨින වස්ත්‍රය දිය යුතු ය. සංඝයා විසින් මහ තෙරුන් වහන්සේට සංග්‍රහ කිරීම වටින්නේ ය. එබැවින් ‘නුඹ වහන්සේ පිළිගනු මැනව, අපි එය නුඹ වහන්සේට කර දෙන්නමු යැයි සංඝයා විසින් මහා ස්ථවිරයන් වහන්සේට කිය යුතු ය.

කඨින චීවරය සමග පිරිනමන පිරිකර

කඨින චීවරයක් පුදන කල්හි දායකයෝ එහි පරිවාර පරිෂ්කාර වශයෙන් තවත් චීවරාදී බොහෝ වස්තූ®න් පුදති. ඒවා කඨිනානිසංස පරික්ඛාර නම් වේ. ඒවා ගැන පිළිපැදිය යුතු අන්දම විනය අටුවාවෙහි දැක්වෙන්නේ මෙසේ ය.

කඨිනය අතුළ කල්හි ඒ කඨින චීවරය සමඟ ගෙන ආ ආනිශංස පරිෂ්කායන් දායකයෝ ‘අපගේ කඨිනය ගන්නා තෙරුන් වහන්සේටම දෙමුය කියා දෙත් නම්, ඒවා භික්ෂූ සංඝයාට අයිති නැත. දායකයෝ ඒවා ගැන කිසිවක් නොකියා ගියාහු නම් ඒ පිරිකර සංඝයාට අයිති ය. එබැවින් කඨිනය ලැබූ භික්ෂුවගේ් අන් සිවුරුත් දුබල වී ඇතිනම්, සංඝයාට දන්වා ඒ සිවුරු පිණිසද කඨින්‍ථාරයකයාට වස්ත්‍ර දිය යුතුª ය. කර්මාවාක්‍ය කිය යුත්තේ කඨින චීවරය සඳහා පමණකි. ඉතිරි කඨිනානිශංසයන් ගෙන් බලවත් වස්ත්‍ර වස්සාවාසික ඨිතිකාවෙන් දිය යුතු ය. ඨිතිකාවක් නැතහොත් මහතෙරුන් වහන්සේගේ පටන් පිළිවෙළින් දිය යුතුය. ගරු භාණ්ඩ නොබෙදිය යුතුය.

බොහෝ භික්ෂූන් වහන්සේ වාසය කරන තැන්වලට සාංඝික වශයෙන් ලැබෙන සිවුරු වැඩිමහලු පිළිවෙළින් ලැබෙන ලැබෙන සැටියට බෙදා දෙනු ලැබේ. එය මේ ආකාරයෙන් කළ යුතුය. අද සිවුරු පසක් ලදහොත් මහ තෙරුන්වහන්සේගේ පටන් පිළිවෙළින් පස් නමකට ඒ සිවුරු දෙති. ඊට පසු ලැබෙන සිවුරු සවන තෙරුන් වහන්සේගේ පටන් පිළිවෙළින් දෙනු ලැබේණ. ‘ඨිතිකාවය’ යි කියනුයේ සිවුරු දීම නැවැතුණ තැන ය. පිළිවෙළින් සිවුරු දීගෙන පැමිණ නැවතුණ තැනක් ඇතිනම් කඨිනානිසංස වස්ත්‍ර ඒ ඨිතිකාවේ පටන් දෙනු ලැබේ.

කඨිනය ඇතුළේ වී නමුත් කඨිනාස්තරණ විනය කර්මය සිද්ධාන්තයට නොපැමිණීමේ කරුණු සුවිස්සක් මහා වග්ග පාලියෙහි වදාරා තිබේ. ඒ සුවිස්ස සංග්‍රහ කොට ගතහොත් කරුණු කීපයකි.

අධිෂ්ඨානයට යෝග්‍ය සිවුරක් වන පරිදි සිවුර පිළිබඳව කළයුතු දෑ සම්පූර්ණ නොකළ සිවුරකින් කඨිනය ඇතුළේ ද එය සිද්ධියට නොපැමිණේ. මහා වග්ගයෙහි දේසිත සුවිසි විපත්තීන් ගෙන් ;බාහෝ ගණනක් කියන ලද කරුණෙහි සංග්‍රහ වේ.

මහා වග්ගි පාලියෙහි සඳහන් වන පරිදි මේ වස්ත්‍රය හොඳය. මෙය කඨින චීවරයකට සුදුසුය යනාදීන් නිමිති ඇති කිරීමෙන් ලබාගත් වස්ත්‍රයෙන් කඨිනය ඇතුළේ ද සිද්ධියට නො පැමිණේ. ‘කඨින දීම හොඳ පින්කමකි.

වෙන අවුරුදු වල නම් මේ කාලයේ කඨින දෙනවාය මේ අවුරුද්දේ ඒ ගැන සූදානමක් නොපෙනේය යනාදීන් වටින් පිටින් කථා කොට උපදවා ගත් වස්ත්‍රයෙන් කඨිනය ඇතුළේද සිද්ධියට නොපැමිණේ.

මේ කරුණු දෙක විශේෂයෙන් භික්ෂූන් විසින් මතක තබා ගත යුතු කඨින විපත්ති දෙකකි. මෙය විස්තර කරන විනය අටුවාවෙහි සඳහන් වන පරිදි කඨිනය ඉතා උත්කෘෂ්ඨ වූයේම ය. මවටවත් කියා ලබා ගන්නට නොවන්නේ්ය.

භික්ෂුවක ගේ කිසිම නිමිත්ත කරණයක් හෝ පරිකථාවක් හෝ ඉල්ලීමක් හෝ නැතිව අහසින් වැටුණාක් මෙන් ලද වස්ත්‍රයක්ම කඨිනය පිණිස සුදුසු යැයි මහවග්ග පාලියෙහි වැඩිදුරටත් සඳහන් වෙයි. මෙහි අහසින් වැටීමේ උපමාව දක්වා තිබෙන්නේ නිමිති පහළ කිරීම්, වටින් පිටින් කථා කිරීම් වලින් තොරව, දායකයකුගේ කැමැත්තෙන්ම පුදන ලද්දක් විය යුතු බව දැක්වීම පිණිස ය.

කඨිනය පිළිබඳව ඇත්තා වූ සියලු නීති රීති ඇත්තේ සාප්පුවල හෝ දායකයන් ළඟ හෝ තිබෙන වස්ත්‍ර හෝ සිවුරු පිළිබඳ නොව සංඝයාට පුදන ලද වස්ත්‍ර හෝ සිවුරු පිළිබඳ ය. කඨිනය පිණිස දායකයකුª විසින් නිකම්ම වස්ත්‍රයක් මිස, සිවුරක් නොපිදිය යුතුය කියා හෝ සිවුරක් දුනහොත් එය නොපිළිගත යුතුය.

එයින් කඨිනය නො අතුළ යුතුය කියා හෝ විනය නීතියක් නැත.

ඉදින් දායකයකු විසින් වැඩ නිම කළ සිවුරක්ම කඨිනය පිණිස පූජා කරන ලද්දේ නම් එය පිළිගෙන සංඝයා විසින් කඨිනත්ථාරික භික්ෂුවට දිය යුතු ය.

ක ැපීම් මැසීම් ආදී පූර්වකරණය එහි කෙරී තිබෙන බැවින් කඨිනත්ථාරක භික්ෂුව විසින් පූර්ව කරණය සම්පූර්ණ කරන්නට ය කියා එහි පඬු සෝදා හැර නැවත එය කපා, මසා පඬුපොවා, ගැනීමට වුවමනාවක් නැත.

ඒවා ඒ සිවුරෙහි කෙරී ඇති බැවින් නැවත නොකළාට කරණ විපත්තියක් නැත. එය කරණ සම්පත්තියෙන් යුක්තය.

කපා මසා පඬු පොවා ඇති සිවුරක් කරණ සම්පත්තිය ඇති කර ගැනීමටය කියා විනාශ කරනවා නම් එය මහ විහිළුවකි. එබඳු නිෂ්ඵල වැඩ කරන්නට බුදුරජාණන් වහන්සේ නියම නොකරන සේක.

එබැවින් කලින් දායකයකුª විසින් කරන ලද චීවරයෙන් කඨිනය ඇතිරීමෙන් එය කරණ විපනන කඨිනයක් නොවන බවත්, අද ලැබුණ වස්ත්‍රයෙහි පූර්වකරණය පසු දිනක කිරීමෙන් ම චීවරය කරණ විපතන වන බවත් නිවැරැදිව තේරුම් ගත යුතුය.

වප් පොහෝ දිනය කඨින චීවර මාසය ආරම්භ වීම මෙන්ම තවත් වැදගත් කරුණු ගණනාවකින්ම පූජනීයත්වයට පත් වූ දිනයකි.

බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොවෙන් දඹදිව සංකස්ස පුරයට වැඩීම, භික්ෂූන් වහන්සේ විනය ප්‍රඥප්තියක් ඉටුකරන දිනය දෙවන පෑතිස් රජතුමා අරිට්ඨ කුමරා ඇතුළු දූත පිරිස ධර්මාශෝක රජු වෙත යවා ජයසිරි මහා බෝධි ශාඛාව ලංකාවට වැඩමවීම හා අරිට්ඨ කුමරු සිඟාල මහ රහතන්වහන්සේ විසින් මිහිඳු මා හිමියන්ගේ අනුදැනුම ඇතිව ථූපාරාමයේ දී විනය පිටකය සංගායනා කිරීමාදිය මේ පෝය හා පවතින ශාසනික වැදගත් සිද්ධීන් වෙති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.