සදහම් දැනුම
ප්‍රශ්නය
පරපටිබද්ධා මේ ජීවිකාති පබ්බජිතෙන අභිණ්හං පච්චචෙක්ඛි තබ්බා, (දස ධම්ම
සූත්‍ර) බෞද්ධ භික්‍ෂු ජීවිතය සැමවිටම පරපටිබද්ධ තාවයකින් (අන්‍යයන් හා
නිරතුරුව බැඳී පවත්නා) යුක්ත ජීවිතයක් බව සිහි කළ යුතු ය. ‘පරපටිබද්ධ’
පැවිදි ජීවිතය පිළිබඳව පැහැදිලි කරන්න.
පිළිතුර
අගාරිකව (ගිහි)සිට අනගාරික පැවිදි ජීවිතයට පත්වීමේ දී සිදු කරන බාහිර
ක්‍රියා වලිය අංශ තුනක පරිවර්තනයක් නියෝජනය කරයි.
1. කායික වෙනස (මුඩු හිස, කසාවත් හැඳීම)
2. භෞතික සම්පත් වීරමණය (භවභෝග සම්පත් අතහැරීම)
3. සමාජ සම්බන්ධතා පිළිබඳ වෙනස ( පෞද්ගලික ඤාතීත්වය හා සම්ප්‍රදායක
ප්‍රභේදයන්ගෙන් වෙන්වීම)
මෙම තෙවදෑරුම් පරිවර්තනයන්ගෙන් හැඟී යන්නේ පෞද්ගලික භාවයෙන් පොදු බවට
පත්වීමයි. පැවිදි ජීවිතයේ කැපී පෙනෙන ආවේණික ලක්‍ෂණ අතර පෞද්ගලිකත්වය
ඉක්මවූ පොදු වගකීමක් සහිත කෙනෙකු බවට පත්වීම සුවිශේෂ වූවක්ම විය.
පුළුල් වශයෙන් අර්ථ කථනය කරන විට ජීවිත පැවැත්ම සඳහා පොදු සමාජය මත
තමන් යැපිය යුතු බව, බුදුරජාණන් වහන්සේ දසධම්ම සූත්‍රයෙහි දී
‘පරපටිබද්ධා මෙ ජීවිකාති’ පබ්බජීතෙන අභිණ්හං පච්ච වෙක්ඛි තබ්බං”
යනුවෙන් පෞද්ගලික දේපල අයිතිය අත්හල භික්‍ෂුව තම මූලික අවශ්‍යතාවන චීවර
පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍යය යන සිව්පසය, සමාජයෙන් ලබාගන්නා බව නිතර
සිහිකළ යුතු දහමක් ලෙස පැහැදිලි කළහ. මෙම පරපටිබද්ධතාවය විස්තර කරන
අටුවා විවරණයේ මගේ ජීවිකාව අන්‍යයන් කෙරෙහි බැඳී ඇත. සිව්පසය සැපයීම
අනුන්ට අයත් බව ප්‍රත්‍යවෙක්‍ෂණ (සිහිගැන්වීම, ආපසු බැලීම) කළයුතු බවත්
එවිට භික්‍ෂුවගේ ආජීවය පාරිශුද්ධත්වය (පිරිසුදු බවට) පත්වන බවත්
දැක්වේ.
මෙලෙස තම මූලික අවශ්‍යතා පොදු සමාජය මගින් ඉටුවීම මත භික්‍ෂු ජීවිතයට
විශාල කායික හා මානසික විවේකයක් ලැබේ. සාමාන්‍ය ගිහි පුහුදුන්
පුද්ගලයෙක් එම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දරන වෑයම භික්‍ෂුවකට
යෙදීමට අවශ්‍ය නොවේ. එම විවේකය ධර්මය ප්‍රගුණ කිරීම ආරාම වත් පිළිවෙත්
කිරීම හා තම අධ්‍යාත්මික සංවර්ධනය සඳහා යොදා ගත හැකි ය. මෙ
පරපටිබද්ධතාවය නිවැරැදිව පවත්වා ගැනීම සඳහා සාවද්‍ය ආකාර දෙකක් සහ
නිරවද්‍ය ආකාර දෙකක් ද පැහැදිලි කර ඇත. තමා දුසිල්වතෙකු සිට
සැදැහැතියන්ගේ සිව්පස පරිභෝග කරයි නම්ථෙය්‍ය පරිභෝග (සිව් පස සොරකමින්
ලබා ගන්නා) නම් වන අතර සිල්වෙතක් වුව ප්‍රත්‍යවේක්‍ෂාවෙන් තොරව පරිභෝග
කරත් නම් එය ‘ඉණ පරිභෝග‘ (සැදැහැවතෙකුට ණයවීමක්) නමින් සඳහන් කොට ඇත.
‘දසධම්ම’ සූත්‍ර අටුවාව සඳහන් කරන පරිදි ආධ්‍යාත්මික සංවර්ධනය සිවුපසය
පරිභෝජනයෙහිදී භික්‍ෂු ජීවිතයව අත්‍යවශ්‍ය අංගයක් සේ සැලකිය යුතු බව
සඳහන් කර ඇත. එසේ ආධ්‍යාත්මික සංවර්ධනයට යොමු වූ ප්‍රතිපදාවක සිට
සිව්පසය පරිභෝග කිරීම තමන්ගේ ශාසනික ජීවිතයේ සඵලත්වය පිණිසත් සිව්පසය
පිරිනමන දායකයනට මහානිශංස පිණිසත් හේතුවන බව අග්ගිනික්ඛන්ධෝපම
සූත්‍රයෙහිද සඳහන් වේ.
පරපටිබද්ධ පැවිදි ජීවිතයෙහි තවත් අවස්ථා දෙකක් පෙලපොත්හි සඳහන්ව ඇත.
එනම් සංඝ පටිබද්ධතාවය සහ සමාජ පටිබද්ධතාවය යයි. කෙනෙක් භික්‍ෂුවක් බවට
පත්ව උපසපන් බවින් යුක්ත වූ විට සංඝ සමූහයේ සාමාජිකත්වය මෙන්ම
සාමාජිකයන් සමග අන්තර් සම්බන්ධතාවයකින් වගකීම් හා යුතුකම් සමූහයකින්
යුත් අයෙකු බවට පත් වේ. එබැවින් භික්‍ෂු ජීවිතයේ පරිපටි බද්ධතාවයේ
වැදගත් අංශයක් සංඝ සංවිධානය සමග ඇති සබඳතාවලින් නියෝජනය වේ.
භික්‍ෂු ජීවිතය සමාජයෙන් පෝෂණය වන පද්මයක් (නෙළුමක්) පමණක් නොව සමාජය
නමැති විල සුවඳවත් කරන පියුමක් (සුචිගනිධං මනොරමං) බඳු ය. ආධ්‍යාත්මික
සංවර්ධනය උදෙසා පවුල වැනි සමාජ සංස්ථාවන් අභිනිෂ්ක්‍රමණය කොට වනගතව
නිරතුරුව අනිත්‍ය භාවනානුයෝගීව හුදකලා වූවෙක් ද නොවේ. භාරතීය අනගාරික
ශ්‍රමණ සම්ප්‍රදායට පටහැනිව සමාජ වගකීමක් ඇති පරපටි බද්ධ ජීවිතයක් ම
අනුදැන වදාළහ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ශ්‍රාවක ධර්මදූතයන් අමතා
මහණෙනි! බොහෝ ජනයාට හිතසුව පිණිස ලෝකානුකම්පාව පිණිස දෙවි මිනිසුන්ට
වැඩ පිණිස හිත පිණිස සැප පිණිස චාරිකාවේ හැසිරෙන්න. එක් මගකින්
දෙදෙනෙක් නොයන්න. මුල මැද අග යහපත් වූ ව්‍යාංජන සහිත අර්ථ සහිත
සියල්ලෙහි සපිරි පිරිසුදු බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරන්න (මහාවග්ග පාලි)
යැයි වදාළහ.
පොදු සමාජය වරදෙන් මුදවා ගැනීමත් යහපතෙහි යෙදවීමත් භික්‍ෂු ජීවිතයට
අදාළ කාර්යක් වේ. පොදු සමාජයෙන් සිව්පසය ලබා ගන්නා භික්‍ෂුව ආපසු පොදු
සමාජයට ලබාදිය යුත්තේ මෙම ධාර්මික භාවයයි. මීට අමතරව පොදු සමාජය පිළිබඳ
සංවේදී වීම හා එහි දියුණුවට කටයුතු කිරීම, පැවිදි පක්‍ෂයට අදාළ ප්‍රධාන
යුතුකමක් ද වන බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කළහ. සිඟාලෝවාද සූත්‍රයේ
අනික් හැම සමාජ කොටසකටම යුතුකම් පහ බැගින් දක්වා පැවිදි පක්‍ෂය සඳහා
යුතුකම් හයක් මෙසේ දක්වා ඇත.
01. පවින් වැළැක්වීම
02. යහපතෙහි යෙදවීම
03. යහපත් සිතින් අනුකම්පා කිරීම.
04. නො ඇසූ ධර්මය අසන්නට සැලැස්වීම.
05. ඇසූ ධර්මය සැක දුරලා පහදා දීම.
06. සුගතියට මඟ කියාදීම.
පොදු ජන ජීවිතය පිළිබඳව භික්‍ෂුවගේ බැඳීම හා වගකීම වඩා වැදගත්කොට සලකා
ඇති බව ඉන් පැහැදිලි වෙයි.
ප්‍රශ්නය
මහරජාණෙනි! ප්‍රව්‍රජිතයන් වහන්සේ අල්පේච්ඡ වන සේක. සන්තුෂ්ට වනසේක.
විවේකීව වසනසේක. පටන් ගන්නා ලද වීර්ය, ඇතිසේක. නිරාලය වන සේක. සැහැල්ලූ
ප්‍රවෘත්ති ඇති වන සේක. ඒ කාරණයෙන් ප්‍රව්‍රජිතයන් වහන්සේ යම්කිසි
කටයුතු කෘත්‍යයක් ඇද්ද සියල්ලම කල් නොයවා වහාම සමෘද්ධි වන්නේ ය.
(මිලින්ද පක්හ පී.150) යනුවෙන් නාගසේන හිමියන් භික්‍ෂු ප්‍රතිපදාව ගැන
මිළිඳු රජුට කල දේසනා පාඨය ඇසුරු කරමින් පැවිදි වත පෙලපොත (පාලි
ග්‍රන්ථ) ඇසුරු කොට පැහැදිලි කරන්න.
පිළිතුර
භික්‍ෂුවගේ මූලික කාර්ය විය යුත්තේ කුමක්ද? ‘මුත්තොහං සබ්බවාසෙහි යෙ
දිබ්බායෙව මානුසා, තුම්හෙ, පි භික්ඛවෙ මුත්තා සම්බපාසෙහි යෙ දිබ්බායෙව
මානුසා චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහු ජන සුඛාය, ලොකානුකම්පාකාය,
අත්ථාය හිතාය සුඛාය, දෙවමනුස්සානං. මා එකෙන ද්වෙ අගමිත්ථ දෙසෙථ භික්ඛවෙ
ධම්මං ආදි කල්‍යාණං මජ්ඣ කළ්‍යාණං පරියොසාන කල්‍යාණං සත්ථං සව්‍යඤ්ජනං
කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙථ සන්ති සත්තා අප්පරජක්ඛ
ජාතිකා අස්සවනතා ධම්මස්ස, පරිහායන්ති, භාවිස්සන්ති, ධම්මස්ස අඤ්ඤාතාරො
(මහවග්ග පාලි 1 – පී.42)
සියලු දිව්‍යමයවුත් මානිෂ්ක වූත් මාර පායාසයෙන් යෙන් මිදීමයි. එසේ මිදී
ඇත්නම් කළ යුත්තේ චාරිකාවේ හැසිරීමයි. චාරිකාවේ හැසිරෙන්නේ බොහෝ ජනයාට
හිත පිණිසයි. සුව පිණිසයි. ලෝකානු කම්පාව පිණිසයි. දෙවි මිනිසුන්ට
හිතසුව පිණිසයි. එසේ හිතසුව සලසන්නේ නම් කළ යුත්තේ ආදි මද්‍ය පරියොසාන
වශයෙන් යහපත් වූ අර්ථ සහිත ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත හාත්පසින්
පිරිසුදු වූ පිරිපුන් වූ බ්‍රහ්ම චර්යාව ප්‍රකාශයට පත්කිරීමයි.
බ්‍රහ්මචර්යාව ස්ථාවරයට පත් කෙරෙන්නේ අනුසය සහිතවම කාම රාගය ප්‍රහාණය
කිරීමෙනි. බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහතන් වහන්සේ සැටනම අමතා අල්ප
රජස්ක සත්වයින්ගේ නොපිරිහීම පිණිස බඹසර පදනම් කරගත් සදහම් මග දේශනා
කිරීමට අනුදැන වදාළ ආකාරය බලන විට සසුනට භික්‍ෂුත්වයක් අවශ්‍ය වන්නේ
ඇයිද යන්න පැහැදිලි වෙයි. උභයාර්ථ (මෙලොව හා පරලොව) සංසිද්ධිය ඇතිකර
ගනිමින් ආර්ය මාර්ගය ඔස්සේ ගමන් කිරීම භික්‍ෂුවගේ අභිමතාර්ථයයි. (අත්ථ
දත්ත පරත්ථ) තමා හා අනුන් සඳහා සේවය ද තම පාරිශුද්ධිය මුල්කොට ගෙන
පරාත්ම ශුද්ධිය අපේක්‍ෂා කළ යුතු ය. තමන් මඩේ එරී සිටියදී අනුන් මඩෙන්
ගොඩගත නොහැකි ය. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤªට විසෙධයේ
ධනෝපායනය භික්‍ෂු ආකල්පය ගැටුමට තුඩුදෙන්නක් සේම මූලික පරමාර්ථයෙන් ද
ඈත්වීමට සිදුවෙයි. කථං නූන කේන කාරණෙන කිං ආරම්මණං කත්වා ධනංච භෝගේච
පහාය, සරා නික්ඛමිත්වා පබ්බ ජිතොසි සපඤ්ඤ පණ්ඩිත පුරිසාති( ජාතක පාලි)
පි.48) බෞද්ධ භික්‍ෂුවගේ අවසාන පරමාර්ථය නිර්වාණාව බෝධයයි. බෞද්ධ ජන
සමාජයේද පොදු අරමුණ එයයි. දුඛ්චාර්ය සත්‍යයෙන් ජීවිතය හා ලෝකය දකින
පුද්ගලයා තුළ මමත්වය අහංකාරය ආත්මීය හැඟීම් ප්‍රගුණ නොවෙයි. අන්ත වලින්
විරහිත මැදුම් පිළිවෙත ඔස්සේ ගමන් කරන පුද්ගලයාට ඒකායන මාර්ගය කරා ළඟා
වීමට පුළුවන. |