Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අවබෝධයට මඟ සැලසූ බුදු දහමේ චින්තන නිදහස

අති උතුම් වූ ද, අති ශ්‍රේෂ්ඨ වූ ද චින්තනයක් ලොවට පෙන්වා දෙන බුදු දහම, විශිෂ්ට ය. ඉන් මනුෂ්‍ය බුද්ධියේ ඇති මහා බලය මනාව පහදා දෙයි. භාග්‍යවතුන්වහන්සේ ලොව පහළ වන සමයේ මහ භාරතය පුරා සිටි සෙසු ශාස්තෘවරු ඊශ්වරයා නැතහොත් අදෘශ්‍යමාන බලවේග පිළිබඳ ඉගැන්වීම් ඉදිරිපත් කළහ. නමුත් ඒ මත සියල්ල බැහැර කළ භාග්‍යවතුන්වහන්සේ වදාළේ තමා මනුෂ්‍යයකු බවත් මනුෂ්‍ය බුද්ධියෙන් ලොවුතුරා බුද්ධත්වය ලබා ගත් බවත් ය. ලොවුතුරා බුද්ධත්වය ලබාගත හැකි වන්නේ මනුෂ්‍යයකුටම පමණක් වන අතර බුදුවරයකු වීමේ මහා ශක්තිය මනුෂ්‍යයා සතුව ඇති අයුරු පැහැදලි කර වදාළහ. ඊට අවශ්‍ය වනුයේ ප්‍රඥාව වීර්යය, ශුද්ධාව, අධිෂ්ඨානය ආදී ගුණධර්ම බවත් බුදුහිමියෝ සඳහන් කළහ.

බුද්ධ ධර්මයේ පෙන්වා දී ඇති පරිදි මිනිසා උත්තරීතර ය. තමා තමාගේ් ස්වාමියා වන අතර, තමාට පිහිට තමාම ය. වෙන කවරකු නම් පිහිට වේ ද? ඒ අනුව තම බුද්ධියත් ව්‍යායාමයත් ඉවහල් කරගෙන සියලු සංස්කාරික බැඳීම්වලින් නිදහස් වීමේ මහා බලය මිනිසා සතුව පවත්නා අයුරු පැහැදිලි කර ඇත. තම බුද්ධියේ බල මහිමය ඉවහල් කර ගෙන සසර බැඳීම්වලින් මිදීමේ හැකියාව මිනිසා සතුව පවත්නා අයුරු පෙන්වා දී වදාළහ.

බුද්ධ ධර්මයේ දැක්වෙන සිතීමේ නිදහස උතුම් ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයක් වන අතර වෙනත් ආගම් තුළ එවැනි චින්තන නිදහසක් දක්නට නැත. බුද්ධ ධර්මය එහිපස්සක ය. (ඇවිත් බලන්න යැයි ඇරැයුම් කිරීමට සුදුසු ය.) ඒ බව දහම් ගුණ ප්‍රකාශිත ‘ස්වාක්ඛාතො භගවතා ධම්මෝ’ ආදී වශයෙන් වූ වන්දනා පාඨයෙන් ප්‍රකාශ වෙයි. ඒ අනුව පෙන්වා දෙනු ලබන්නේ ‘ඇවිත් බලන්න’ කියා මිස, ඇවිත් විශ්වාස කරන්න කියා නොවන බව පැහැදිලිව පෙනෙයි. එක් එක් පුද්ගලයා පෞද්ගලිකව සත්‍යය අවබෝධ කර ගත යුතුය. එසේ නොමැතිව දෙවියකු මගින් හෝ අදෘශ්‍යමාන බලවේගයක පිහිටෙන් මිනිසාට සසර දුකින් මිදිය නොහැකි බව පැහැදිලි කර ඇත. වරක් කොසොල් රට කේසපුත්ත ගමට වැඩි භාග්‍යවතුන් වහන්සේ එහි විසූ කාලාමයන් අමතා කළ ධර්ම ‍ෙද්ශනාව ඉතා වැදගත් එකක් ලෙස සැලකිය හැකි ය. මෙලෙස බොහෝ අවස්ථාවලදී භාග්‍යවතුන්වහන්සේ දේශනා කොට වදාළේ දෙසූ පමණකින්ම යමක් පිළිගත යුතු බව නොව, විචාරශීලිව බුද්ධිමත්ව අවබෝධ කරගත යුතු බව ය. අන්ධ විශ්වාසයෙන් කිසි දෙයක් පිළිගැනීම බුදු දහම කිසිවිටෙක අනුමත නොකරයි. විචාර බුද්ධියෙන් තොරව සාවද්‍ය දෘෂ්ටිවල එල්බීගෙන ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහ දැරීම සර්පයකු වැරැදි තැනින් අල්ලා ගැනීම හා සමාන බව භාග්‍යවතුන් වහන්සේ දැක්වූහ. සර්පයා වැරැදි තැනින් අල්ලා ගත් විට ඌ දෟෂ්ට කරනු ඇත. මිථ්‍යා දෘෂ්ටිවල එල්බගෙන ධර්මය දෙස වැරැදි ලෙස බැලීමෙන් මිනිසා මහා විපතකට පත්වන අන්දම පෙන්වා දුන්හ.

සැක නැතිකොට යමක් අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාව බුදුදහම තුළ අවධාරණය කර ඇත. ඕනෑම දෙයක් සැක නැතිකොට අවබෝධ කර ගත නොහැකි නම් ඉන් නිසි ඵල ලැබිය නොහැකි ය. ඒ අනුව යම්කිසි සැක මුසු ස්ථානයක් ඇති නම් ඒ ගැන වහාම විමසන ලෙස භාග්‍යතුන් වහන්සේ තම පිරිනිවන් මංචකයේදි පවා තම ශ්‍රාවක සමූහයාට උපදෙස් දුන්හ. එ‍ෙස් වදාළ පසුවද දුක් මුසු මුහුණින් නිශ්ශබ්දව තමා දෙස බලා සිටින ශ්‍රාවක සමූහයා අමතා වදාළ වාග්මාලාව, හද කකියවන සුළු ය. ‘ඔබලා සැක සහිත දේ නොවිමසන්නේ, ශාස්තෘවරයාණන් කෙරෙහි ඇති අසීමිත වූ ගෞරවය සැලකිල්ල, නිසා නම් එය තම යහළුවකුට හෝ පවසන්න. එවිට යහළුවා හෝ ඔබ වෙනුවෙන්, ඒ සැළ කර සිටිනවා ඇත. ඇත්තෙන්ම මේ හද කකියවන වාග් මාලාවෙන් භාග්‍යවතුන්වහන්සේ පෙන්වා ඇත්තේ සැක සහිත දේ සිත්හි රඳවා නොගනිමින් නිසි අවබෝධය ලබා ගැනීමේ ඇති අවශ්‍යතාවය යි වැදගත්කමයි.

සහනශීලිත්වය, බෞද්ධ චින්තන මාලාවේ ඇති විශිෂ්ට පරමාදර්ශ අතර කැපී පෙනෙන්නකි. එය බුදුදහම පුරාම පැතිරී ඇති අයුරු මනාව පෙනේ. මේ ගැන සාකච්ඡා කිරීමේදී එක්වැදගත් සිදුවීමක් කැපී පෙනේ. කර්මය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේගේ මතය තමන් දරන මතයට වෙනස් වූ හෙයින්, ඒ ගැන භාග්‍යවතුන් වහන්සේ සමඟ වාද කොට උන්වහන්සේ පැරදවීමේ බලාපොරොත්තුවෙන්, නිගන්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකයකු වූ උපාලි නමැති ගෘහපති පැමිණියේ ය. නමුත් මේ වාදය අවසානයේ නිගණ්ඨනාථ පුත්‍ර දරන මතය සම්පූර්ණයෙන්ම වැරැදි සහගත එකක් බවත් භාග්‍යවතුන්වහන්සේ දේශනා කර වදාළ මතය නිවැරැදි බවත් උපාලි ගෘහපති විසින් පිළිගනු ලැබිණි. එපමණක් නොව බුදුදහම කෙරෙහි අතිශය පැහැදීමට පත් උපාලි ගෘහපති තමා බුද්ධ ශාසනයේ උපාසකයකු ලෙස පිළිගන්නා ලෙස භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කළේය. ඒ අසා භාග්‍යවතුන් වහන්සේ උපාලි ගෘහපතිය, ඔබ වැනි ප්‍රසිද්ධ පුද්ගලයෙක් තීන්දු ගත යුත්තේ් ගැඹුරින් සිතා බැලීමෙන් පසුව ය. ඉක්මන් නොවිය යුතුය යනුවෙන් වදාළහ. ඉන්පසුව ද යළි යළි උපාලි ගෘහපති විසින් කරන ලද ඉල්ලීම ගැන සලකා බැලූ භාග්‍යවතුන් වහන්සේ එසේ නම් එසේ වූවත් පෙර ඉටු කළාක් මෙන් පූර්ව ශාස්තෘවරයාට සැලකිලි සත්කාර ඉටු කළ යුතු යැයි අවවාද දී වදාළහ. මේ උතුම් ආදර්ශය ලොව සමගිය සමාදානය, සහජීවනය මිත්‍රත්වය උදාකිරීම සඳහා අතිශයින් වැදගත් වෙයි. කුමන කරුණක් නිසා හෝ සහනශීලිත්වයෙන් තොරව කිසිවකු තුළ සිත්තැවුල් ඇතිවන අන්දමට ක්‍රියාකිරීම බුදු දහමට පටහැනි ය.

ලොව ප්‍රකටව පවත්නා බොහෝ ආගම් භක්තිය පදනම් කර ගත් ඒවාය. නමුත් බුදු දහම ඇත්තේ අවබෝධයට මිස භක්තියට හෝ විශ්වාසයට නොවේ. ඒහිපස්සික වු බුදු දහමේ ‘ඇවිත් බලන්න’ යනුවෙන් කෙරෙන ආරාධනාවක් මිස, ඇවිත් විශ්වාස කරන්න යනුවෙන් බලපෑමක් නොකෙරේ. මෙය අතිශය වැදගත්කමකින් යුක්ත ය. මහා දුක් කන්දරාවක් දරා සසර සැරිසරමින් ඉතා දුක් මහන්සියෙන් ප්‍රඥාව මෙහෙයවා, ලොවුතුරා බුද්ධත්වයට පත් භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී මෙසේ සඳහන් කළ සේක. එනම් ඇස පහළ විය; නුවණ පහළ විය; ප්‍රඥාව පහළ විය; විද්‍යාව පහළ විය; ආලෝකය පහළ විය යනුවෙනි. මෙම පී‍්‍රති වාක්‍යයෙන් දැක්වෙන්නේ නුවණින් දැනගැනීම විනා භක්තියෙන් විශ්වාස කිරීමක් ගැන නොවන බව පැහැදිලි ය. සත්‍යය අවබෝධ කර ගත හැකි වන්නේ විචාර බුද්ධිය තුළින් වන අතර අවිචාරවත්ව ගතානුගතික අදහස් පසුපස හඹා යන්නා අන්ධයකු ලෙස සැළකෙයි.

බුදුදහම තුළින් පෙන්වා දෙන්නේ, ජීවිතයේ සැබෑ තත්ත්වය වටහා ගෙන එම යථාර්ථය හමුවේ සසර දුකින්මිදීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය යි. එය නිර්වාණාවබෝධයට පමණක් නොව එදිනෙදා සැනසිලිදායක ජීවිතයක් ගොඩනගා ගැනීමට ද උපකාර වෙයි. වර්තමාන ලෝකයේ ආර්ථික සංවර්ධනය, තාක්ෂණික හා කාර්මික දියුණුව මගින් මිනිසාට දායාද කොට ඇත්තේ අසහනයෙන් හා පීඩනයෙන් පිරි ජීවිතයකි. එහි මිනිසාට අතිශයින්ම අවශ්‍යවන චිත්ත විවේකය හා සැනසුම් සුවය නැත. චිත්ත විවේකය හා සැනසුම ලබා ගැනීම සඳහා බුදුදහම පෙන්වා දෙන භාවනාව වටිනා ඉගැන්වීමකි.

බුදු දහම මෙලොව පරලොව දෙකටම සෙත සාදා දෙන්නකි. සදාකාලික සුවය වන නිර්වාණය සඳහා මග පෙන්වන්නකි. ගිහි පැවිදි දෙපිරිසගේම යහපත සලසා දෙන්නකි. තම ශ්‍රාවක පිරිස ගුණ නුවණින් පිරි නිවැරැදි මඟ ගමන් ගන්නා ප්‍රතිපත්තිගරුක අනුගාමිකයන් පිරිසක් වනු දැකීම භාග්‍යවතුන් වහන්සේගේ උදාර අපේක්ෂාව වූ බව පැහැදිලි වෙයි. ශාස්තෘගෞරවය නිසා තමන් වහන්සේට ආමිසයෙන් පමණක් පුද පූජා පැවැත්වීම උසස් බෞද්ධයකුගේ් ලක්ෂණය නොවන බව අවධාරණය කළ භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේට සැබවින්ම ගරු කරන්නේ දහමට අනුව සැමවිටම ක්‍රියා කරන්නා යැයි දේශනා කර වදාළහ. මෙය අවබෝධ කර නොගත් අන්ධ, මුලාවෙන් යුතු වර්තමාන සමාජයේ බහුතරය ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය අසමගිය පතුරුවා හරිමින් අසහනය හා පීඩනය තව තවත් ළඟා කර ගන්නා බව පෙනේ.

බලය හෝ අන්කිසිවක් සඳහා එකිනෙකා වනසා නොගන්නා සාමකාමී සමාජයක් ගොඩනැගීම, බෞද්ධ චින්තනයේ වැදගත් පරමාර්ථයකි. සාමකාමී බව රජයන සමාජයක වැඳුම් පිදුම් ලබන්නේ ආයුධ හා ධන බලයෙන් මිනිසුන් දිනන්නවුන් නොව, තමන් දිනන මිනිසා ය. එහි ක්‍රෝධය වෛරය තෘෂ්ණාව ඊර්ෂ්‍යාව ආදි දුර්ගුණ නැත. ඇත්තේ් කරණාව, දයාව අවිහිංසාව පෙරටු කොට ගත් සහජීවනය යි.

මෙහි ලුහුඩින් සාකච්ඡා කරන්නට යෙදුණේ නිවන් මඟ හෙළි කරන බෞද්ධ චින්තනයේ ඇති විශිෂ්ටත්වය පෙන්වා දෙන කරුණු ච්පයක් පමණකි. බෞද්ධ චින්තනයේ උතුම්බව, ශ්‍රේෂ්ඨත්වය වඩ වඩා ඉස්මතු වී පෙනෙන්නේ බුදුදහම ගැඹුරින් හදාරන විටය. ධර්මය දකින්නා නිවන අවබෝධ කරයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.