Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සසර ගමන පුරා ගෙන යන මග වියදම්

නමො තස්ස
භගවතො අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

අප්පමාදෙන මඝවා
දෙවානං සෙට්ඨතං ගතො
අප්පමාදං පසංසන්ති
පමාදො ගරහිතො සදා

පින්වත්නි,

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයෙක්හි මහාලී නම් ලිච්ඡවී රජු විසින් දෙදෙව්ලොවට අධිපති සක්දෙව් රජුගේ ඉසුරු සම්පත් පිළිබඳව පිළිවිසි පැන විසඳීම සඳහා මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.

දිනක් මහාලී ලිචිඡවී බුදුරදුන් වෙත පැමිණ ‘ස්වාමිනී’ බුදුරජාණන් වහන්ස! සක්දෙව් රජු ගැන මෙතරම් වර්ණනා කරන්නේ දැක දැනගෙන දැයි ප්‍රශ්න කළේය. එවිට බුදුරජාණන්වහන්සේ මහාලිය මම ශක්‍රයාද හොඳින් හඳුනමි. ශක්‍ර පදවිය සඳහා කළ පින්දහම්ද දනිමියි, උත්තර දෙමින් ශක්‍රයාගේ අතීත චරිත කතාවද දේශනා කළ සේක.

මෙම සක්දෙව් රජ පෙර මනුලොව ඉපිද මඝනම් මානවකව බොහෝ පින්දහම් කළ බැවින් මඝවා යන නමින්ද ප්‍රකට වේ. පෙර දානාදී පින්දහම් කරන්නේ සැම දෙනාටම ප්‍රථමයෙන් පුරෝගාමීව සිටි නිසා පුරින්දද යයිද එකල ආවාස කොට ජනයාගේ ප්‍රයෝජනයට පරිත්‍යාග කළ බැවින් වාසව යයිද කියනු ලැබේ.

තවද පින්වත්නි මෙම සක්‍ර දේවරජතුමා අතීතයෙහි මගධ රට මචලග්‍රාමයේ මඝනම් මානවකව තවත් තෙතිසක් යහළු තරුණයන් සමඟ තම කැමැත්තෙන්ම මංපෙත් පවිත්‍ර කිරීමාදී මහජන සුබ සිද්ධිය සඳහා විවිධ ශ්‍රමදාන කරන්නට ඉදිරිපත් වූහ.

මඝමනාවක ප්‍රධාන පිරිසගේ සත් ක්‍රියාවන් දෙස ඊර්ෂ්‍යාවෙන් කීප දිනක් බලාසිටි ග්‍රාම ප්‍රධානියා තමන්ගේ් වාසිය තත්වය නැතිවේදෝයි සිතා රජුට කේලම් කියා දඬුවම් පැමිණවීමට ක්‍රියා කළේය. මෙම කුමන්ත්‍රණය නොදත් රජතුමා රාජපුරුෂයන් යවා මඝමානවක ප්‍රධාන පිරිස ගෙන්වා රාජාංගනයේ ඇතුන් ලවා පාගා මරන්ට නියම කළහ. මඝමානවකයන්ගේ ස්ථානෝචිතව ක්‍රියාකොට රජතුමන් ඇතුළු සියලු දෙනාටම මෛත්‍රී පැතිරවීමේ බලයෙන් ඇතුන් පෑගීම තවා ළඟටවත් කිට්ටු නොවූයෙන් පසුව සියලු සිද්ධීන් යථා පරිදි අවබෝධ කරගත් රජතුමා පිරිස නිදහස් කළා පමණක් නොව මචලගම ප්‍රධාන පළාත දියුණු කරන්නට රාජ්‍ය තාන්ත්‍රික බලතල ද පැවරූහ.

මඝමානවකයෝද ඉතා ප්‍රසන්න මනසින් තම යහළුවන් සමඟ තිරසර අදිටනින් ඉතා උසස් පින්කමක් කරමු යයි කතිකා කරගෙන සිව්මං සමීපයේ මහජන ශාලාවක් හදන්නට පටන් ගත්හ. වඩුවන් කාර්මිකයන් ශාලාව ඉදිකරගෙන යනවිට මඝමානවකයන්ගේ් සුධම්මා නම් භාර්යාව ශාලාවේ කැණිමඩල සකස් කරවා සුධම්මා යන නමද ලියවා තැබුවාය. නන්දා බිරිය සිත්කළු පොකුණක්ද චිත්තා ශාලාවට පිවිසෙන ප්‍රදේශයේ මල්ඵල ඇති මනහර උයනක්ද කරවූවාය.

මෙසේ සත් කි‍්‍රයාවන් කරගෙන යන්නෝ සප්තවත් පදයක්, පිළිවෙතක් අනුගමනය කළහ.

මාතාපෙත්තිභරං ජන්තුං - කුලජෙට්ඨාපචායිනං
ඝණ්හං සඛිල සම්භාසං - පෙසුන්‍යෙප්පහායිනං
මච්ඡේරවිනයෙ යුත්තං - සච්චං කොධාභිභූං නරං
තං වෙදෙවා තාවතිංසා - ආහු සප්පුරිසො ඉති

මව්පිය උපස්ථානය, කුලදෙටුවන්ට සැලකීම, සත්‍ය භාෂිතය නපුරු වචන නොකීම, කේලාම් නොකීම, දන්දීම, ක්‍රෝධ නොකිරීම යන පිළිවෙත් අනුගමනය කොට දිවි කෙළවර තව්තිසා දෙව්ලොව උපන්හ.

මඝමානවක මිනිස් ලොවදී කළ මහඟු පින්කම් අතර ආවාස දානමය පුණ්‍යබල මහිමය දෙවියන් සහිත ලෝකයට ප්‍රකට කරවමින් තිව්තිසා භවන, වෛජයන්ත ප්‍රාසාදය, සුධර්මා සභාශාලාව චිත්‍රා උයන, නන්දා පොකුණ ඓරාවණ හස්තිරාජා ආදී සම්පත් හා පරිවාර දෙවියන් දෙවඟනන් විශ්ම කර්ම දිව්‍ය පුත්‍රයා ආදී සිතූ පැතූ සම්පත් ‘ඉච්ඡිත’ පරිදි ලබන්නට හේතූපකාර විය. මේ සියල්ලටම හේතුවූයේ අප්‍රමාදව පින්කම් කිරීමයි. එය සිතීම් මාත්‍රයක් නොව ශුද්ධාවත් සම්මාදිට්ඨියත්, සෝමනස්සයත් ස්වච්ඡන්දයත් එක් අරමුණක වැඩි වේලාවක් මනස පිහිටුවා ගත් කුසල චේතනාවයි. ‘පුඤ්ඤ’ යන නමින් කුසල චෛතසිකයක් නොමැත. එය පවිත්‍රත්වයේ පරියාය නාමයයි.

සිතක් පවිත්‍රව විශ්වය පුරා සකල සත්ත්ව සන්තතිය කෙරෙහි විවෘත වන්නේ සිහිබුද්ධියෙන් ලෝභය දෝෂය, මෝහය යන අකුසල මූලයන් තදංග වසයෙන් හෝ වික්ඛම්භන වශයෙන් හෝ සිතින් අයින් වූ විටය. අරමුණේ් බොහෝ වේලාවක් නැවත නැවත චිත්තක්‍ෂණ වීථි ගමන් කරන්නේ පුහුදුන් ලෝභය නිසාය. එය කුසල චෛතසික වශයෙන් ඇතිවන චේතනා පින්කම් කිරීමට අත්‍යාවශ්‍ය වේ. අරමුණේ ගැටීම සංඛ්‍යාත ද්වේෂයද, හරි අරමුණක් තෝරා බේරා ගැනීමේ තිරසර අධිෂ්ඨානය නැතිවන්නේ මෝහය මගිනි. මේ නිසා පින්කම් කරන්ට කුසල චෛතසික වර්ධනය කරගන්නට සිහිබුද්ධියෙන් හෙවත් අප්‍රමාදයෙන් අකුසල මුල අයින් කළ යුතු වේ.

ලෝභාදී අකුසල මූලයන් නැති කර දානාදී පින්කම් කරන්ට ක්‍රමක්‍රමයෙන් තදංග වික්ඛම්භන සමුච්ඡේද ප්‍රහාණයෙන් නැතිකොට ආලෝභදී කුසල මූලයන් වර්ධනය කරමින් ආර්යඤාණයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් සුවයෙන් සදා සැනසීමට අප්‍රමාදය අවශ්‍යම වේ.

රාග, ද්වේශ මෝහාදී අනන්ත කෙලෙස් මලින් අපවිත්‍ර චිත්ත සන්තානය ක්‍රමයෙන් පවිත්‍ර කිරීමේ මූලික පදනම වන්නේ අප්‍රමාදයෙන් ආරක්ෂා කරන සීලය යි.

කිකීව අණ්ඩං චමරීව වාලිධිං
පියංව පුත්තං නයනංව ඒකකං
තථෙව සීලං අනුරක්ඛමානො
සුපේසලා හොථ සදා සගාරවා

කිකිළිය බිජු රකින්නා සේ, සෙමරා වලිගය ආරක්ෂා කරන්නා සේ, මවක් තම එකම පුතා ආරක්ෂා පෝෂණය කරන්නා සේ භික්ෂූන් විසින් සීලය ආරක්ෂා කරගෙන සුපේසලව වාසය කළ යුතුªබව බුදුරදුන් විසින් දේශනා කොට ඇත. අප්‍රමාදයේ ප්‍රතිවිපාක වශයෙන් සිහිබුද්ධියෙන් හොඳ නරක තීරණය කර තුන්දොර සංවර කර ගැනීමෙන් සීලය ආරක්ෂා වේ.

අප්‍රමාදය පිළිබිඹුකරණ චරිත කතා සියගණන් බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන නමුත් මඝමානවක චරිත කතාව තරම් සජීවී එමෙන්ම තම පරමාර්ථය සඳහා එකම අධිෂ්ඨානයක් ඇතිව ක්‍රියාකළ ජීවන චරිත අල්ප වේ. ඔහු හා පිරිස අවංකත්වය, ස්ථිර අධිෂ්ඨානය නිර්භීත පෞරුෂත්වය යන උත්තරීතර ගුණාංග මොනවට ක්‍රියාත්මක කොට අවසානයේ ජයග්‍රහණය ලබාගෙන ඉතිහාසයේ සටහන් සංලක්ෂණ කළහ.

දානය, සීලය, භාවනාව, පින්දීම, අනුමෝදනය, වතාවත් කිරීම වෘද්ධාපචායනය, ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය, සම්මා දිට්ඨි යන දසවිධ පුණ්‍යක්‍රියා නිතර කිරීමෙන් කෙලෙස් ශමණය වේ. පින්කම්වල නිතර යෙදීමෙන් කෙලෙස් අවම වන අතර සුගති සංඛ්‍යාත දේවමානුෂිකාදී සම්පත් ලැබීමටද අප්‍රමාදව සමථ විදර්ශනා භාවනා කිරීමෙන් නාම රූප ධර්මයන්ගේ ස්වලක්ෂණ ප්‍රත්‍යක්ෂවීමෙන් උතුම් නිවන් සම්පත් ලබාගැනීමට වාසනාභාගී වන්නේය. මානසික පාලනය කයින් ශික්ෂණය වාචසික අර්ථවත්භාවය කෙනෙකුගේ සමාජමය ජීවිතයේදී අත්‍යාවශ්‍ය වන්නේ උසස් ශිෂ්ටාචාරයක පසුබිමක් වශයෙනි. ලෞකික ලෝකෝත්තර සම්පත්තිදායක වූ ධනාත්මක සසර ගමනකට සීලය භාවනාව, නිතර නිතර ක්‍රියාත්මක කළයුතු වන්නේය. සත්ක්‍රියාවන්ගෙන් රැස්කරගන්නා කුසල චෛතසිකයන් විවෘත මනසින් සියලු සත්වයන් කෙරෙහි පැතිරීමෙන් විශ්වයේ එක් තැනක සිට සමස්ත විශ්වයම තමාට වශී කරගන්නට උපනුපන් ජාතිවල සුබවාදීව ජීවත්වන්නට භවාන්තරයේ සත්පුරුෂයන් ආශ්‍රය කිරීමෙන් බුදු පසේබුදු රහත් යන ලෝකෝත්තර පදවි ලැබීමෙන් අමාමහ නිවනින් සැනසුමට වාසනාභාගී වන්නේය.

ඔබ සැමට දෙලොව ශාන්තිය උදාවේවා.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.